උද්භිද උද්‍යාන සංවර්ධනය සදහා රුපියල් මිලියන 72ක්

දිවයින පුරා පිහිටි උද්භිද උද්‍යාන සංවර්ධනය සදහා රුපියල් මිලියන 72 ක් වෙන් කෙරේ. ඉදිරි මාස හතර සදහා මෙම මුදල වෙන් කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඒ අනුව මේ වන විට උද්භිද උද්‍යාන පහක සිදුකෙරෙන සංවර්ධන කටයුතු බොහෝමයක් මේ වසර අවසන් වන විට නිම කිරීමට අපේක්ෂා කරන බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

හම්බන්තොට මිරිඡ්ඡවිල උද්භිද උද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය. නිරීක්ෂණ චාරිකාව (30) පස්වරුවේ සිදු කෙරිණ.

මෙරට විශාලතම උද්භිද උද්‍යානය ලෙස සැලකෙන මිරිඡ්ඡවිල උද්භිද උද්‍යානය මෙරට වියළි කලාපයේ පිහිටි එකම උද්භිද උද්‍යානයයි. අක්කර 300 කින් සමන්විත මෙම උද්භිද උද්‍යානයේ අක්කර 200 කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට සංවර්ධනය කර තිබේ. චෝගම් සමුළුව අවස්ථාවේ දිවයිනට පැමිණි රාජ්‍ය නායකයන් 52 කු විසින් එම අවස්ථාව සංකේතවත් කිරීම සදහා රෝපණය කරන ලද ගස්වර්ග 52 ක් ද මෙහි වේ. මෙම උද්භිද උද්‍යානය 2013 නොවැම්බර් මස 14 වෙනිදා මහජන ප්‍රදර්ශනය සදහා විවෘත කෙරිණි. මෙය වියළි හා ශුෂ්ක කලාප වලට ආවේණික ශාක සංරක්ෂණය සදහාම නිර්මාණය වූවකි.

මෙම උද්භිද උද්‍යානයේ මාවත් 28 ක් නම් කර ඇත්තේ ශාක වල නම් වලින් වීම විශේෂත්වයකි. වියළි කලාපය තුළම තෙත් කලාප සංරක්ෂණය කිරීම ද මෙම උද්භිද උද්‍යානය තුළ සිදු කෙරේ. දේශිය හා විදේශිය පතොක් ශාක රැසකින් මෙය සමන්විතය. එමෙන්ම කාන්තාර ආකෘතියක් සහිත එකම උද්භිද උද්‍යානයද  මෙයයි.

මිරිජ්ජවිල උද්භිද උද්‍යානය පිළිබද ව ප්‍රමාණවත් ප්‍රචාරයක් නොමැති වීම පිළිබද ව ඇමති ප්‍රසන්න රණුතංග මහතාගේ විශේෂ අවධානය මෙහි දී යොමු විය. ඔහු අවධාරණය කළේ මෙරට සියලුම උද්භිද උද්‍යාන වලට මහජන ආකර්ෂණය ලබා ගැනීම සදහා විශේෂ වැඩසටහනක් වහාම ආරම්භ කළ යුතු බවයි. ඒ සදහා කඩිනමින් පියවර ගන්න යැයි  ඇමති ප්‍රසන්න රණතුංග මහතා උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරියට උපදෙස් දුන්නේය.

ඉදිරි මාස තුනක කාලය තුළ මෙම උද්භිද උද්‍යානයේ ඉඩම් හා මාර්ග පද්ධතිය සංවර්ධනය සදහා රුපියල් මිලියන 08 ක් වෙන් කර ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී කීවේය. පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ ගිම්හාන කුටි සංචාරක ආකර්ෂණය වැඩි වන පරිදි අලුත්වැඩියා කිරීමටත් උද්‍යානයේ අනෙකුත් සංවර්ධන කටයුතු සදහා රජය වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 25 කි. සීතාවක උද්භිද උද්‍යානයේ සංවර්ධන කටයුතු සදහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 11 කි. ගම්පහ උද්භිද උද්‍යානයේ ඉඩම සංවර්ධනය සදහා රුපියල් මිලියන 05 ක් ද වෙන් කර ඇතැයි ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී කියා සිටියේ උද්භිද උද්‍යාන සංචාරක ආකර්ෂණිය ස්ථාන ලෙස කඩිනමින් සංවර්ධනය කරන බවයි. එම සංවර්ධනයේදී ස්වාභාවික සෞන්දර්යට මුල් තැන දෙමින් එය සිදු කරන බවද ඇමතිවරයා මෙහිදී කියා සිටියේය.

රාජ්‍ය ඇමති ඩී.වී චානක මහතා සහ උද්භිද උද්‍යාන අධ්‍යක්ෂ ජනරාල්තුමිය ද මෙම අවස්ථාවට එක්වූහ.

Recommended For You

About the Author: Editor