ඇමෙරිකානු සත්වෝද්‍යානයක වඳුරන් සමඟ ප්‍රදර්ශනය කෙරුණු අප්‍රිකානු දරුවෙක්

ඔටා බෙන්ගා (Ota Benga) නම් අප්‍රිකානු දරුවා 1904 වසරේ පැහැරගනු ලැබ තිබුණේ ප්‍රදර්ශනයකට තැබීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයට ගෙනයාම සඳහාය. ඔහු පැහැරගනු ලැබ තිබුණේ අද කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය යනුවෙන් හැඳින්වෙන භූමියෙනි.

ඔටා බෙන්ගාට කුමක් සිදුවීද? යන්න මුල්කරගත් ඔහු මුහුණදුන් ඉරණම වසන් කිරීම සඳහා දශක ගණනාවක් ගෙන ඇති ප්‍රයත්නය සම්බන්ධයෙන් එම සිදුවීමට අදාළ සවිස්තරාත්මකව ලියා ඇති මාධ්‍යවේදිනී පැමලා නිව්කර්ක් (Pamela Newkirk)එම කරුණ සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරන්නීය.

අප්‍රිකානු ළමයෙක් නිව් යෝර්ක් නගරයේ ‘බ්‍රොන්ක්ස්’ (Bronx Zoo) සත්වෝද්‍යානයෙහි වඳුරු කූඩුවක ප්‍රදර්ශනය සඳහා තබනු ලැබීම ප්‍රධාන සිරස්තල මට්ටමින් ජාත්‍යන්තර අවධානයට ලක්වීමෙන් සියවසකටත් වැඩි කාලයකට පසු අවසානයෙහි ඒ සම්බන්ධයෙන් කණගාටුව පළකරනු ලැබ ඇත.

කොංගෝ සම්භවයක් සහිත ඔටා බෙන්ගා 1906 වසරේ ඉහත කී පරිදි ප්‍රදර්ශනයට තැබීම සම්බන්ධයෙන් වනසත්ව සංරක්‍ෂණ සමාජය සමාව ඉල්ලා ඇත්තේ ඇමෙරිකානු පොලිසිය විසින් ජෝර්ජ් ෆ්ලොයිඩ් (George Floyd) නම් කළු ජාතිකයාගේ ගෙල සිරකොට මරාදැමීම දැක්වෙන වීඩියෝ පටය ප්‍රචාරය වීමත් සමඟ එය මුල්කර ගනිමින් ලෝකය පුරා විරෝධතා ව්‍යාපාර පැතිර යද්දී එක්සත් ජනපදය තුළ වර්ගවාදය බල පැවැත්වෙන ආකාරය යළි ප්‍රදර්ශනය වීමත් සමඟය.

වනජීවී සංරක්‍ෂණ සමාජයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිස්ටියන් සාම්පර් (Cristian Samper) ”ඔටා බෙන්ගා පිළිබඳ කාරණය වනසත්ව සංරක්‍ෂණ සමාජයේ ඉතිහාසය දෙස හැරී බැලීම සහ ඇමෙරිකානු ආයතනයන්හි මුල්බැසගත් වර්ගවාදය පිළිබඳව අවධානය යොමුකිරීම අතින් වැදගත් වන” බව සඳහන් කළේය.

ඔටා බෙන්ගා ‘බ්‍රොන්ක්ස්’ සත්වෝද්‍යානයේ වඳුරු කූඩුවක් තුළ පළමුවරට ප්‍රදර්ශනය කරනු ලැබ තිබෙන්නේ 1906 සැප්තැම්බර් මස 09 වෙනිදාය. එදිනට පසුදා පටන් බෙන්ගා නිදහස් කරන තෙක් එය ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙන්ම යුරෝපයේ පුවත්පත්වල, මහජනයා හුස්ම නොහෙළා කියවන ලද ප්‍රධාන පුවතක් බවට පත් විය. 1906 සැප්තැම්බර් මස 28 වෙනිදා බෙන්ගා වඳුරු කූඩුවෙන් මුදාහැර ඇත.

‘බ්‍රොන්ක්ස්’ සත්වෝද්‍යානය පවත්වාගෙන යනු ලබන වනසත්ව සංරක්‍ෂණ සමාජය විසින් එම සිද්ධිය පිළිබඳ පූර්ණ විනිවිදභාවය සහිතව කටයුතු කරනු ලබන බවට එහි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිස්ටියන් සාම්පර් ප්‍රතිඥාවක් දී ඇත.

එහෙත් එම කල්පසු වූ සමාව අයැදීම කෙරුණේ එවැනි පියවරක් ගැනීම දීර්ඝ කාලයක් පුරා ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් අනතුරුවය.

ඔහු සත්වෝද්‍යාන සේවකයෙක්?

බෙන්ගා පිළිබඳ සිද්ධිය පාඩමකට ගැනීම වෙනුවට වනජීවී සංරක්‍ෂණ සමාජය දිගින් දිගටම අනුගමනය කර තිබූ ක්‍රියාමාර්ගය වූයේ සියවසකට අධික කාලයක් එය වසන් කිරීමට කටයුතු කිරීමය. එම හැසිරීම හේතුවෙන්, සැබවින්ම සිදුවී තිබූ දෙය පිළිබඳ නොමග යැවෙන සුළු පුවත් නිවැරැදි කිරීමට අසමත්විය.

බෙන්ගා වඳුරු කූඩුවෙහි තබා ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් එල්ල වෙමින් පැවති විවේචන උග්‍රවීමත් සමග නිලධාරීන් ”ඔටා බෙන්ගා එහි සේවකයකු” යයි පැවසෙන ප්‍රබන්ධයක් නිර්මාණය කිරීමට සාකච්ඡා කර ඇති බව සත්වෝද්‍යානයේ සංරක්ෂිත ලේඛන අතර වූ 1906 වසරේ තරම් ඈත කාලයකට අයත් ලිපියක් මගින් හෙළිදරව් කෙරෙයි. ඔවුන්ගේ එම කූඨ ප්‍රයෝගය දශක ගණනාවක් සාර්ථකව තිබිණි.

2px presentational grey line

බෙන්ගා කවුද?

  • එවක බෙල්ජියම යටතේ පාලනය වූ කොංගෝවේ දී බෙන්ගා අල්ලාගෙන තිබුණේ සැමුවෙල් වර්නර් (Samuel Verner) නම් ඇමෙරිකානු වෙළෙන්දකු විසිනි. ඔහු අල්ලාගෙන ඇති කාලය 1904 මාර්තු මාසය ලෙස සටහන් වෙයි. ඒවනවිට බෙන්ගාගේ වයස කොපමණ වී දැයි දැනගන්නට නැත. ඇතැම්විට ඔහු වයස අවුරුදු දොළහ හෝ දහතුනේ පසුවන්නට ඇතැයි සැලකෙයි.
  • අල්ලා ගනු ලැබීමෙන් අනතුරුව,බෙන්ගා නැවකින් ‘නිව් ඔර්ලීන්ස්’ නම් ඇමෙරිකානු ප්‍රාන්තයට ගෙනගොස් ඇත. එසේ රැගෙනගොස් තිබෙන්නේ, එම වසරේ ශාන්ත ලුවිස්හි (St Louis) ලෝක වෙළෙඳපොළෙහි තවත් පිරිමි ළමුන් අටදෙනකු සමඟ ප්‍රදර්ශනය සඳහාය.
  • එම වෙළෙඳ ප්‍රදර්ශනය එම වසරේ ශීත කාලයට අයත් මාස කිහිපයක් ද පැවැත්වුණු අතර බෙන්ගා ඇතුළු ළමුන් එහි ප්‍රදර්ශනය සඳහා තබා තිබුණේ ශීතලට ඔරොත්තු දෙන ඇඳුම් හෝ නිසි ආවරණයකින් තොරවය.
  • 1906 වසරේ සැප්තැම්බර් මාසයේ නිව් යෝර්ක් ප්‍රාන්තයේ බ්‍රොන්ක්ස් සත්වෝද්‍යානයේ (Bronx Zoo) බෙන්ගා දවස් විස්සක් ප්‍රදර්ශනය කර ඇති අතර ඔහු විශාල පිරිසකගේ නැරඹීමට ලක්ව ඇත.
  • කිතුනු පූජකවරුන්ගේ විරෝධය හේතුවෙන් බෙන්ගා සිරකරුවකු මට්ටමින් තබා ගැනීම අවසන් කෙරුණු අතර අනතුරුව ඔහු අප්‍රිකානු-ඇමෙරිකානු පූජකයකු වූ එච්.ගෝර්ඩන් විසින් නිව් යෝර්ක් නගරයේ පවත්වා ගෙන යන ලද ‘ කළු ජාතික අනාථයන්ට පිහිටවීමේ ආයතනය’ ට ගෙනගොස් ඇත.
  • 1910 ජනවාරි මාසයේ බෙන්ගා ලින්ච්බර්ග් දේවධර්ම සෙමනේරියට (Lynchburg Theological Seminary) සහ වර්ජිනියා ප්‍රාන්තයේ කළු ජාතිකයන් සඳහා වූ කොලීජියකට ඇතුළත්ව ඇත.
  • එම කාලය තුළ බෙන්ගා සිය අසල්වැසි ළමුන්ට තමා කොංගෝවේදී අසා තිබූ පුදුමය එළවන සුළු කතන්දර සහ මාලුබෑම සහ දඩයම් කරන ආකාරය කියා දුන්නේය.
  • පසු කාලයෙහි ඔහු සිය රට සහ නෑදෑයන් පිළිබඳ මතකයේ වේදනාවෙන් පීඩා විඳිමින් අවසානයේ දී ‘විශාදයට’ ගොදුරුව ඇත.එය කෙළවර වූයේ 1916 මාර්තු මාසයේ ඔහු සඟවාගෙන සිටි තුවක්කුවකින් වෙඩිතබා ගනිමින් සියදිවි හානිකර ගැනීමෙනි. ඒවනවිට බෙන්ගාගේ වයස අවුරුදු 25ක් වන්නට ඇතැයි සැළකෙයි.

මූලාශ්‍රය: Spectacle:The Astonishing Life of Ota Benga

2px presentational grey line

1916 වසරේ දී බෙන්ගා මරණයට පත්වීමෙන් අනතුරුව ‘නිව් යෝර්ක් ටයිම්ස්’ පුවත්පතේ පළවූ ලිපියක් මගින් ‘ඔහු ප්‍රදර්ශනයට තැබීමේ’ පුවත බැහැර කරන ලද්දේ එය මිත්‍යා කතන්දරයක් ලෙස හඳුන්වා දෙමිනි.

”වැඩෙහි යොදනු ලැබ සිටි තැනැත්තකු සත්වෝද්‍යානයක වඳුරු කූඩුවක් තුළ ප්‍රදර්ශනය සඳහා තබාසිටි බවට පදනමක් නොමැති වාර්තා පැතිරයාමක් සිදුව ඇත” ‘නිව් යෝර්ක් ටයිම්ස්’ පුවත්පතේ පළවූ ලිපියෙහි සඳහන් විය.

Ota Benga,St Louis
බෙන්ගා (දකුණේ). 1904 වසරේ පින්තූරයකි. බෙන්ගා සහ සෙසු ළමුන් ”කුරුමිට්ටන්” ලෙස හඳුන්වා ප්‍රදර්ශනය කොට ඇත

යුරෝපයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදය පුරා පුවත්පත්හි බෙන්ගා මුහුණදුන් තත්වය පසුබිම් කරගනිමින් පළවූ බොහෝ වාර්තා සැබැවින්ම එකිනෙකට පරස්පර විය.

මෙම කාරණය සම්බන්ධයෙන් ‘ද නිව් යෝර්ක් ටයිම්ස්’ පුවත්පතේ පමණක් ලිපි දොළහක් පමණ පළකර තිබිණි. 1906 සැප්තැම්බර් මස 09 දින පළවූ පළමු ලිපියේ සිරස්තලය මෙසේ විය.

”වනචාරියා (Bushman) ‘බ්‍රොන්ක්ස්’ උයනේ කූඩුවක වඳුරන් සමඟ”

අනතුරුව එම සත්ව උයනේ විශ්‍රාමික පාලක විලියම් බ්‍රිජ්ස් (William Bridges) 1974 වසරේ ප්‍රකාශයක් කරමින් ”සැබවින් ම සිදුව ඇත්තේ කුමක්ද යන්න දැන ගැනීමට නොහැකි වනු ඇත” යි සඳහන් කළේය.

ඔහු විසින් රචනා කරන ලද ”සතුන් එක්රැස් කිරීම” යන තේරුම දෙන ”The Gathering of Animals” නම් කෘතියෙහි මෙසේ ප්‍රශ්න කරයි.

”දුර්ලභ, අමුතු සතකු ලෙස ඔටා බෙන්ගා ප්‍රදර්ශනය කර තිබේද?”

‘බ්‍රොන්ක්ස්’ සත්වෝද්‍යානයේ ඓතිහාසික ලිපිලේඛන භාරව සිටි පාලකයා ලෙස විලියම්, ඔහු නගන ප්‍රශ්නයට පිළිතුර හොඳින් දැන සිටියා විය හැකිය.

”නිශ්චිත පැය ගණනාවක් බෙන්ගා කූඩුවක දමා වසා දමනු ලැබීම සිදුවිය හැකි දෙයක් නොවන බව පෙනීයයි” යනුවෙන් විලියම් බ්‍රිජ්ස් පවසන්නේ, සත්ව විද්‍යා සමාජය සතු එසේම දැනට අනාවරණය වී ඇති කන්දක් තරම් සාක්ෂි පැහැදිලිවම නොතකා හරිමිනි.

සත්වෝද්‍යාන අධ්‍යක්ෂවරයා විසින් අදාළ ප්‍රදර්ශනය සම්බන්ධයෙන් රචනා කරන ලදුව මෙහි සත්‍ය කරුණු ඇතුළත් ලිපියක් සත්ව විද්‍යා සමාජය විසින්ම පළකරනු ලබන ප්‍රකාශනයකට ඇතුළත්වෙයි.

කෙසේවුවද, විලියම් බ්‍රිජ්ස් මෙසේ ලියයි.

”ඒ සියල්ල සිදු කරන ලද්දේ යහපත් අභිලාශයකින් වන අතර, සිදුවීමට අදාළ කාල පරතරය අනුව මේ මොහොතේ ඒ ගැන කිව හැක්කේ එලෙසින් පමණක් වුව ද, ඔටා බෙන්ගා නිව්යෝර්ක් වාසීන් උනන්දුවක් දැක්වූ චරිතයක් වූ බව පැහැදිලිය.”

වහලා සහ ඔහු අල්ලාගත් පුද්ගලයා අතර මිත්‍රත්වය

ඉහත කී සියලු ආකාරයේ පැහැදිලි නිගමනයකින් තොර අවිශ්වසනීය අදහස් සම්මිශ්‍රණය කරමින් 1992 වසරේ දී ග්‍රන්ථයක් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත. එම කෘතියේ සමකතුවරයා වන්නේ 1904 ශාන්ත ලුවිස් ලෝක වෙළෙඳ පොළේ(St Louis World’s Fair) ප්‍රදර්ශනය කිරීම සඳහා බෙන්ගා සහ ඔහු වැනි තවත් දරුවන් පැහැර ගැනීමට අධි සන්නද්ධව කොංගෝවට ගිය සැමුවෙල් වර්නර්ගේ මුනුබුරෙකි.

එම කෘතිය ”පුදුමය එලවන සුළු සහ විහිළු සහගත මට්ටමින් වර්නර් සහ ඔටා බෙන්ගා අතර මිත්‍රත්වයක් ගොඩනගයි.

”තමා අල්ලාගත් පුද්ගලයාට එරෙහිව බෙන්ගා දැඩිව විරෝධය පළකර ඇති බව කණිෂ්ට වර්නර් විසින් පවා ප්‍රකාශකරනු ලැබ තිබියදී, බෙන්ගා නිව්යෝර්ක්වාසීන් ඉදිරියේ පෙනී සිටීමෙන් විනෝදයක් ලද බව ඉහත කී කෘතිය එළිදක්වනු ලැබීමෙන් පසු අඩුතරමින් එක් පුවත්පතක් වාර්තාකර ඇත.

බෙන්ගා පැහැරගෙන ගොස් ප්‍රදර්ශනය කිරීමේ සිද්ධියට අද වනවිට සියවසකටත් වඩා අධික කාලයක් ගතව ඇතත්, බෙන්ගා සහ ඔවුන්ගෙන් පැවත එන්නන් නිර්දය ලෙස සූරා කෑමට ලක්කරන ලද පුද්ගලයන් සහ ආයතන විසින් අසත්‍ය කරුණු මගින් ඓතිහාසික වාර්තා විකෘති කර ඇති අතර එම දූෂමාන මත ලෝකය පුරා පතුරුවා හැර ඇත.

වනසත්ව සංරක්‍ෂණ සමාජයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිස්ටියන් සාම්පර් (Cristian Samper) විසින් අද පවා සමාව ඉල්ලනු ලැබ තිබෙන්නේ, බෙන්ගා දවස් කීපයක් ”ප්‍රදර්ශනයට තබා තිබීමක්” ගැන පමණි. වහලකු මට්ටමින් අත්අඩංගුවේ තබා ගනිමින් වඳුරු කූඩුවක සති තුනක කාලයක් බෙන්ගා ප්‍රදර්ශනය කරනු ලැබීම වෙනුවෙන් සාම්පර් සමාව ඉල්ලා නැත.

Bronx Zoo
සිය ඉතිහාසයේ නිගරු පරිච්ඡේද හෙලාදකින බව ‘බ්‍රොන්ක්ස්’ සත්වෝද්‍යානය පාලනය කරන වනසත්ව සංරක්ෂණ සමාජය පවසයි

‘බ්‍රොන්ක්ස්’සත්වෝද්‍යානය විසින් මේවනවිට ඉහත කී වෘත්තාන්තය ඇතුළත් ඩිජිටල් වාර්තා අන්තර්ජාලයෙහි පළකරනු ලැබ ඇත. ඒවා අතර ඔටා බෙන්ගා සහ ඔහු කූඩුවේ තබන ලද පුද්ගලයන්ගේ දෛනික ක්‍රියාකාරකම් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් වෙයි.

ඒවා අතරින් ලිපි රැසක් 2015 වසරේ ප්‍රකාශයට පත්කරන ලද ”ඔටා බෙන්ගාගේ විශ්මයජනක ජීවිතය” (Spectacle:The Astonishing Life of Ota Benga) නම් කෘතියෙහි ඇතුළත් වෙයි.

එකී කෘතිය ප්‍රකාශයට පත්කරනු ලැබ දැනට වසර පහක් ගතවී ඇතත්, කණගාටුව ප්‍රකාශ කිරීම හෝ එසේත් නැත්නම්, මාධ්‍ය මගින් විමසන කරුණුවලට ප්‍රතිචාර දැක්වීම පවා සත්වෝද්‍යාන නිලධාරීහු කිසිදු පැහැදිළි කිරීමක් නොකොට බැහැර කරමින් සිටිති.

ඔටා බෙන්ගා රඳවා ප්‍රදර්ශනය කර ඇති වානර කුටිය නැරඹීමට මෙම ලිපියේ රචකයාට අවස්ථාව ලැබිණි. දැන් එම ගොඩනැගිල්ල මහජනයාට දැකිය නොහැකි පරිදි වසා දමනු ලැබ ඇත.

”වඳුරු නිවසේ හොඳම කුටිය”

ක්‍රිස්ටියන් සාම්පර් දැන් මෙසේ කියා සිටියි. ” ඉහත කී ක්‍රියාවන් සිදුකරන ලද පුද්ගලයන් හෙලා දැකීමට සහ එවැනි ක්‍රියා ප්‍රතික්ෂේප කිරීමට අප කලින් අසමත්වීම මගින් පරම්පරා ගණනාවකට අයත් බොහෝදෙනා වේදනාවට පත්වීම සම්බන්ධයෙන් අපි අපගේ බලවත් කනගාටුව පළකරන්නෙමු”

ඔටා බෙන්ගා ප්‍රදර්ශනයෙහි තැබීම සඳහා සෘජුව මැදිහත්ව ඇති ෆෙයාර්ෆීල්ඩ් ඔස්බෝර්න් සහ මැඩිසන් ග්‍රාන්ට් යන දෙදෙනාම ක්‍රිස්ටියන් සාම්පර් ගේ හෙලා දැකීමට ලක්විය. එම පුද්ගලයන් දෙදෙනාම ඉතා ප්‍රබල සුජනකවාදීන් (eugenicists) වූහ. (සුජනකවාදය – මනුෂ්‍ය වර්ගයාගේ කායික සහ මානසික ලක්ෂණ වැඩිදියුණු කිරීම පිළිබඳ ඉගැන්වීම)

මැඩිසන් ග්‍රාන්ට් විසින් රචනා කරන ලද ”ශ්‍රේෂ්ට ජාතිය පසුකර යාම” (The Passing of The Great Race) නම් වර්ගවාදය කුළුගන්වන ලද මිත්‍යාමය විද්‍යාත්මක ප්‍රබන්ධ කෘතිය ෆෙයාර්ෆීල්ඩ් ඔස්බෝර්න් සහ ඇඩොල්ෆ් හිට්ලර් විසින් අගය කරනු ලැබ ඇත.

Ota Benga pictured in 1904
බෙන්ගා 1904 වසරේ. සිය මව්බිම වූ කොංගෝවට යළි පැමිණීම ඔටා බෙන්ගාට දැරිය නොහැකි වැයක් විය හැකිව තිබුණි

ෆෙයාර්ෆීල්ඩ් ඔස්බෝර්න් විසින් ස්වභාවික ඉතිහාසය පිළිබඳ ඇමෙරිකානු කෞතුකාගාරය වසර විසිපහක කාලයක් පාලනය කරනු ලැබ ඇති අතර, 1921 දී දෙවන ජාත්‍යන්තර Eugenics සමුළුවේ සත්කාරකයා ලෙස කටයුතු කර ඇත.

පුදුමයකට මෙන්, ක්‍රිස්ටියන් සාම්පර් ‘බ්‍රොන්ක්ස්’ සත්වෝද්‍යානයේ සමාරම්භක අධ්‍යක්ෂවරයා මෙන්ම, ඇමෙරිකාවේ ප්‍රමුඛ සත්ව විද්‍යාඥයා සහ වොෂිංටන් DC ජාතික සත්වෝද්‍යානයේ ආරම්භක අධ්‍යක්ෂවරයාව සිටි විලියම් හොර්නඩේ( William Hornaday) ගැන සඳහන් නොකරයි.

විලියම් හෝර්නඩේ, ප්‍රදර්ශනයේ දී ඔටා බෙන්ගා මිනීමස් බුදින්නකු ලෙස පෙන්වීම සඳහා ඔහු රඳවා සිටි කුටිය තුළ ඇටකටු විසුරුවා හැර ඇත. එපමණක් නොව, වඳුරන් රඳවනු ලැබ තිබූ අංශයේ හොඳම කුටිය ඔටා බෙන්ගාට වෙන්කළ බවට හෝර්නදේ ලජ්ජාවක් තොරව කයිවාරු ගසා තිබිණි.

ප්‍රමුඛ අධ්‍යාපන ආයතනයකට සිදුව ඇති දේ පිළිබඳව ගැඹුරු සත්‍යය ප්‍රකාශ කිරීම මගින් පරිසර සංරක්ෂණ සමාජය පූර්ණ සමාවක් ඉල්ලා සිටීමේ අවශ්‍යතාවක් පවතින බව ඇතැමුන්ගේ හැඟීම වෙයි.

එසේම මෙම වෘත්තාන්තය මගින් පරිසර සංරක්ෂණ ව්‍යාපාරයේ ඉතිහාසය සහ එයත් සමඟ පැවති eugenics සම්බන්ධය පිළිබඳ මහජනයා දැනුවත් කිරීමට සත්ව විද්‍යාඥයන්ගේ සංගමයට අවස්ථාවක් ලැබෙයි.

‘බ්‍රොන්ක්ස්’ සත්වෝද්‍යානය ආරම්භයේ එහි මූලධර්ම අතර වූ ”ජීවීන් ජාති වශයෙන් උස් පහත් වන්නේ යයි ” තදින් වපුරා තිබූ න්‍යාය තවමත් දෝංකාර දෙනු ඇසෙයි.

මෙහිදී ඉදිරිපත් කෙරෙන එක් අදහසක් වන්නේ ‘බ්‍රොන්ක්ස්’ සත්වෝද්‍යානයට ගැලවුමක් නොමැති බැඳීමක් සහිත ඔටා බෙන්ගාගේ ජීවිතයට අත්වූ විපත සහ ඔහුගේ උරුමය වෙනුවෙන් ”ඔටා බෙන්ගා නමින් සිය අධ්‍යාපන මධ්‍යස්ථානය” නම් කිරීමට වනසත්ව සංරක්ෂණ සමාජය සලකා බලමින් සිටිනවා වියහැකි බවය.

BY bbc sandesaya

Recommended For You

About the Author: Editor