‘නිහඬ මාරයාගෙන්’ බේර ගන්න දූරියන් ගසට මීට වඩා සලකන්න වෙයි

දූරියන් කියන්නේ මේ වන විට අපේ රටෙත් ජනප‍්‍රිය පලතුරක්. පාර අයිනේ ගොඩගහලා තිබෙන දූරියන්වලට හොඳ ඉල්ලුමක් වගේම හොඳ මිලකුත් තිබෙන බවක් පේන්න තියෙනවා. ඒ නිසා අලුත් වගාකරුවන් ද දූරියන් වගාවට ආකර්ෂණය වෙමින් සිටිනවා.

ඒත් අපේ රටේ තිබෙන පැරණි දූරියන් ගස් බොහොමයක් ‘ඇට වැටිලා ඉබේම පැළ වුණ ගස්. ඒ වගේම ඒවා තිබෙන්නේ මිනිසාගේ පාලනයට නිතර හසු නොවන තැන්වල. මේ බොහෝ දෙනකුට තමන්ගේ වත්තේ දූරියන් ගහක් තියෙනවා කියලා මතක් වෙන්නේ ගෙඩි ආවට පස්සේ. ඒ වෙනකම් මේ ගහ උන්න ද මළා ද කියලා බලන්න කෙනෙක් නැහැ.

ඒ නිසා කාගෙවත් සෙවිල්ලක් – බැලිල්ක් නැති දූරියන් ගහට ඇතිවන පීඩා නිමක් නැහැ. මුල් තැලෙනවා, කැපෙනවා, අතු කඩා වැටෙනවා, ගස මුල දිය සීරාව රැඳෙනවා, දිරන කොළ රොඩු ගස මුලට එකතු වෙනවා. මේ වාගේ බොහෝ අකරතැබ්බවලට දූරියන් ගස මුහුණ දෙනවා.

ප‍්‍රශ්නේ ආරම්භ වෙන්නේ මේ සොයා නොබැලිල්ල නිසා. දූරියන් ගසට වුණත් ලෙඩ දුක් වැළදෙනවා. ඒත් කිසිම සැලකිල්ලක් නැති නිසා ඒ ලෙඩ – රෝග අසාධ්‍ය වෙන්නත් පුළුවන්.

ගසට වඩාත් හානිකරන දිලීර වර්ග වර්ධනය වෙන්නත් මේ තත්ත්වය හේතු වෙනවා.
දූරියන් ගසට මාරාන්තික හානියක් කරන දිලීරයක් ලෙස ‘ෆයිටොප්තොරා – Phytophthora’ දිලීරය සැලකෙනවා. මේ දිලීරය වැසි වතුරෙන් වුණත් පැතිරිලා තුවාල වූ මුල් හරහා නිරෝගී ගසට ඇතුළු වෙන්න පුළුවන්.

මෙන්න රෝග ලක්ෂණ

  • කඳ දිගේ පිටතට ඉස්ම වැනි දේ ගලා එනවා.
  • පිළිකා වැනි දේ කඳ මත හට ගන්නවා.
  • අසාමාන්‍ය ලෙස පත‍්‍ර හැලෙනවා.
  • ගෙඩිවලට ආවොත් ගෙඩියේ විවිධ ලෙඩ හැදෙනවා.

මේ රෝගය පැතිරෙන්නේ බොහොම හෙමින්. ඒ නිසාම තමයි මේකට ‘නිහඬ මාරයා’ කියලා කියන්නෙත්.

ගැටලුව තිබෙන්නේ මේ රෝගය වැළඳුණු ශාකයක් බේරා ගන්න එක හරිම අසීරුයි.
ඒ නිසා ගත හැකි හොඳම පියවර තමයි ‘වළක්වා ගැනීම’. මේ සඳහා ඔබට කරන්න තිබෙන දේ ඉතාම පහසුයි.

  1. මුලින්ම කියන්න තියෙන්නේ ගෙඩි හැදෙන කාලයට විතරක් ගහ දිහා බලන්න එපා.
  2. ගසේ මුල පිරිසිදුව තබා ගැනීම අතිෂයින්ම වැදගත්.
  3. මුල් පද්ධතියට හානිකර විදිහට අවට පරිසර ක‍්‍රියාකාරකම් සිදුකරන්න එපා.
  4. ගසට ජලය අවශ්‍ය වුණත් නිතරම ගසමුල සහ අවට තෙත බරිතව තබන්න එපා.
  5. ගෙඩිවල අවශේෂ කොටස් ඈතට ගිහින් දමන්න.

මේ ආකාරයෙන් හොඳට සොයලා බලලා බලා කියා ගත්තොත් ඔබේ වත්තේ තියෙන ¥රියන් ගස ඔබට සදාකාලිකව ධන ආකරයක් වනවාට සැකයක් නැහැ.

මේ ගැන වැඩි තොරතුරු අවශ්‍ය අයට, හොරණ, කනන්විල පලතුරු ආයතනයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ) ඩබ්ලිව්. ඞී. ලෙස්ලි මහතාට (071 56 57016) කතා කරන්න පුළුවන්.

සටහන – සනත් එම්. බණ්ඩාර – සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ, ජාතික කෘෂිකර්ම තොරතුරු සහ සන්නිවේදන මධ්‍යස්ථාන, පේරාදෙණිය

Recommended For You

About the Author: Editor