Voice of දියවන්නා: ප්‍රසන්න සහ ඩී.වී ගැන නාමල් කළ අපූරු කතාව

සටහන – ගජබා නාගහවත්ත

ඇමති ප්‍රසන්න පසුගිය ඉරිදා මත්තල ගුවක් තොටුපළට ගියේ තනිවම නොවේ. ඔහු සමග චමල්, නාමල්, ඩි.වි, අජිත් රාජපක්ෂ වැනි මැති ඇමතිවරුද වූහ. ප්‍රසන්න හා චමල් මත්තලට ආවේ එකටය. ඔවුන් එනවිට ගුවන් තොටුපළ සභාපති ඇතුළු පිරිස බුලත් අත්, මල් මාලා ගෙන ඔවුන් පිළි ගැනීමට සැදී පැහැදී සිටියහ.

ඔවුන් සිටි ස්ථානයට නුදුරේ ම වාහනය නතර කළ ප්‍රසන්න හා චමල් ඉන් බැස පිළිගැනීමේ ස්ථානයට නොපැමිණ නතරව සිටියහ. ඒ නාමල් සහ ඩි.වි එනතුරුය. ගුවන් තොටුපළ සභාපති ජි. ඒ. චන්ද්‍රසිරි ඇතුළු පිරිස කලබල වී ප්‍රසන්න හා චමල් සිටින තැනට යාමට හැදූහ. ඒ දුටු ප්‍රසන්න “ටිකක් ඉන්න” යැයි ඔවුන්ට අතින් සන් කළේය.

“මත්තල එයාර්පෝට් එක තමයි පහුගිය ආණ්ඩුවට තිබුණ හිසරදේ. එයාලට ඕන වුණේ දේශපාලනය විතරක් නෙමෙයි රාජපක්ෂලා රටට කරපු වැඩ වලිනුත් ඒ නම අයින් කරන්න. ” ඔය අතර ප්‍රසන්න චමල්ට කීවේය.

“ඒකනේ මේකේ වී ගබඩා කළේ.” චමල් කීවේය.

ප්‍රසන්න හා චමල් දෙදෙනා කථා කරමින් සිටින අතරතුර නාමල් සහ ඩි.වි ද එතැනට ආවේය.

“අපි මේ ඒත් බැලුවා මොකද මේ දෙන්නා පරක්කු කියලා”. ප්‍රසන්න කීවේය.

“ඔබතුමා FCID ගිහින් එනවා කිව්වේ 11 ටනේ. මම වෙලාවටම ආවා.” නාමල් කීවේය. ප්‍රසන්නට ඉබේම ඔරලෝසුව දෙස බැලුණේය.

“ හරිනේන්නම් වෙලාව හරියටම 11යි. රාජපක්ෂවරුන්ගේ වැයික්කියට එනකොට කළින් එන්න ඕන නිසා මම උදේම FCID ගිහින් පොත අත්සන් කළා. ” ප්‍රසන්න සිනාසෙමින් කීවේය.

“මමත් මාසෙකට සැරයක් දෙකක් FCID යනවා තාම අත්සන් කරන්න ”. නාමල් කීවේය.

“අපරාදේ කියන්න බෑ. යහපාලන ආණ්ඩුව ඒ වැඩේ නම් හරියට කළා.” ප්‍රසන්න කීවේය.

“මොකක්ද? ” නාමල් ඇසුවේය.

 “පළි ගන්න එක”. ප්‍රසන්න කිවේය.

“දෙන්න එකටමයි ගමන් බිමන් නේද? ”. ප්‍රසන්න මේ අතර ඩි.වි දෙස බලමින් කීවේ ඔහු නාමල් සමග ඒම ගැනය.

“ඔව් ඉතිං අපි දෙන්නා එකටනේ ඡන්දෙත් කලේ. අපේ වැඩ එකටම තමයි.” ඩි.වී කීවේය.

“හැමවැඩේම එකමට කළාට එක වැඩක් නම් බැරි වුණානේ.” ප්‍රසන්න කිවේය.

“ඒ මොකද්ද?.” ඩි.වී ඇසුවේය.

“කසාද බදින එක.” ප්‍රසන්න කීවේ සියලු දෙනා සිනාගන්වමිනි.

චමල්, ප්‍රසන්න, නාමල් හා ඩි.වි ඇතුළු පිරිස මත්තල ගුවන් තොටුපළ නිරීක්ෂණය ඇරඹුවේ ඉන් පසුවය. මත්තල ගුවන් තොටුපළේ අනාගත සැලසුම් ගැන ඔවුන් මුලින් ම ප්‍රදේශයේ සියලු රාජ්‍ය නිළධාරීන් දැනුවත් කළහ.

ඉන්පසු සේවක සේවිකාවන් හමුවිය. මෙහි දී ඇමති නාමල් මත්තල ගුවන් තොටුපළ ගැන අපුරු පැහැදිලි කීරීමක් කළේය. ඔහු ඉතා හොදින් මත්තල ගොඩ නගන හැටි කීවේය. විනාඩි 10 ක පමණ නාමල්ගේ කථාව ප්‍රසන්න ඉතා හොදින් අසාගෙන සිටියේය. නාමල් කීවේ මත්තල ගුවන් තොටුපළ, හම්බන්තොට වරාය, කොළඔ වරාය හා කටුනායක ගුවන් තොටුපළ දකුණු අධිවේගය හරහා සම්බන්ධ කර ගත යුතු බවය. සංචාරක ආයෝජන හා භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථාන ලෙස මෙම ආයතන දියුණු කළ හැකි බව නාමල් කීවේය.

නාමල් සිය කථාව අවසන් කර ප්‍රසන්න අසළට ගිය විට ප්‍රසන්න කීවේ “මේක මේ සේවකයෝ විතරක් නෙමෙයි රටම දැනගන්න ඕන කථාවක් නේ. මල්ලී නියමෙට ස්ටඩි කරලා තියෙනවනේ.” කියාය.

 “අපි මත්තල රැකගන්න හිරේ ගිය මිනිස්සු අයියා. මේක හදන එක හම්බන්තොට මිනිස්සුන්ගේ හීනයක්. ඒ හීනේ කොහොම හරි සැබෑ කරන්න ඕනේ.” නාමල් කීවේ හැගුම්බරවය.

ප්‍රසන්න එදා හවස හම්බන්තොට මිරිජ්ජවිල උද්භිද උද්‍යානය බලන්න ගියේ ඩි.වි සමගය. බැටරි කාර් රථයක නැගි ප්‍රසන්න හා ඩි.වි උද්භිද උද්‍යානය පුරා ඇවිද්දේය.

“මේක හරි ලස්සන තැනක්නේ. ඇයි මේ ගැන හොද ප්‍රචාරයක් නොදෙන්නේ. ” ප්‍රසන්න නිළධාරීන්ගෙන් ඇසුවේය. නිළධාරීන්ගේ උත්තර වලින් ප්‍රසන්න සෑහිමකට පත් වුණේ නැත. ඔහු කීවේ මේ ගැන පුළුල් ප්‍රචාරාත්මක වැඩසටහනක් දියත් කිරීම අත්‍යවශ්‍යය බවය.

“මේ වගේ ලස්සන තැන් බලන්න අපේ රටේ මිනිස්සු හරි කැමතියි. ඒ නිසා මේ ගැන හොද ප්‍රචාරයක් දෙන්න. ” ප්‍රසන්න උපදෙස් දුන්නේය.

ඇමති ප්‍රසන්න පසුගිය බදාදා කැබිනට් මණ්ඩලයට ගියේ විශේෂ කැබිනට් පත්‍රිකාවක් අරගෙනය. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් වසා දැමුණු කටුනායක හා මත්තල ගුවන් තොටුපළ පිළිබද නිරීක්ෂණ ඒ පත්‍රිකාවේ විය. මේ වාර්තාව ප්‍රසන්න කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ ජනාධිපති ගෝඨාභය මහතාගේ උපදෙස් පරිදිය.

“අපි ආණ්ඩුව උපදෙස් දෙනවා නම් පැය 24 ක් ඇතුලත කටුනායකයි, මත්තලයි විවෘත කරන්න ලෑස්තියි. අපි යෝජනා කරන්නේ මත්තලනුත් කටුනායකිනුත් සංචාරකයෝ ගේන්න. හැබැයි සෞඛ්‍ය උපදෙස් අනුවයි.”  ප්‍රසන්න කීවේය.

“මොන විදිහට රටට සංචාරකයෝ ගෙනාවත් රට නම් අවධානමේ දාන්න බෑ.” අගමැති මහින්ද කීවේය.

“ඒක ඇත්ත. පිටරටවල ඉන්න අපේ අය ඉක්මණට ගෙන්න ඕනේ. හැබැයි මේ හැමදේම අපිට කරන්න වෙලා තියෙන්නේ රටේ ජනතාවත් ආරක්ෂා කරගෙන. ” ජනාධිපති ගෝඨාභය කීවේය.

“සර් අපි මේ නිරීක්ෂණ හදලා තියෙන්නේ සෞඛ්‍ය අංශත් එක්කත් කථා කරලයි. අපිට තියෙන ප්‍රශ්නය තමයි ගුවන් තොටුපළ පී.සි.ආර් කරනකොට යන වෙලාව. ඒක අවම කරගන්න පුළුවන් වෙන්නේ ගුවන්තොටුපළින් පිට පි.සි.ආර් කළොත්.” ප්‍රසන්න පැහැදිලි කළේය.

“කොහොම වුණත් අපි මේ ගැන තීන්දු තීරණ ගන්න ඕනේ ඉතා ම පරිස්සමින් කියලා මට තේරෙනවා. ඒ නිසා ආණ්ඩුව උපදෙස් දීලා පැය 24 ක් තුල මත්තල හා කටුනායක විවෘත කරන්න අපි ලෑස්තියි.” ප්‍රසන්න වැඩිදුරටත් කිවේය.

සටහන – ගජබා නාගහවත්ත

Recommended For You

About the Author: Editor