19 සංශෝධනයෙන් ආපස්සට ගිය රට ඉදිරියට ගෙනයාම 20 සංශෝධනයේ අරමුණයි – ඇමති ප්‍රසන්න

මාර්ග ප්‍රතිසංස්කරණය හරහා රටේ ආර්ථිකය නංවාලීම තමයි අපේ අරමුණ – ග්‍රාමීය මාර්ග හා අවශේෂ වටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය ඇමති නිමල් ලාන්සා

20 වෙනි සංශෝධනය ප්‍රජාතන්ත්‍ර විරෝධි යැයි කිඹුල් කදුළු හෙළන්නේ යහපාලන සමයේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කළ අය බවත් 20 වෙනි සංශෝධනය මගින් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට කිසිදු තර්ජනයක් එල්ල වී නොමැති බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.  ඔහු පෙන්වා දෙන්නේ 20 වෙනි සංශෝධනය හරහා සිදු කෙරෙන්නේ මුඩු බිමක්ව පැවති රට වැඩබිමක් බවට පත් කිරීමට අඩිතාලම සැකසීම බවයි.

19 වෙනි සංශෝධනය තිබු හොද දේවල් කිසිසේත් ඉවත් නොකරන බවත් 19 නිසා ආපස්සට ගිය රට නැවත ඉදිරියට ගෙන යාම 20 වෙනි සංශෝධනයේ අරමුණ බවත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටී.

මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ චිත්‍රා මාවත කාපටි කිරීමේ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී සදහන් කළේය.  අද (06) පැවති සමාරම්භක අවස්ථාවට සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග සහ ග්‍රාමිය මාර්ග  සංවර්ධන සහ අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය ඇමති නිමල් ලාන්සා යන මහත්වරු සහභාගී වුහ. මේ අනුව චිත්‍රා මාවතේ කිලෝමීටර් 1.3 ක් කාපට් යොදා ප්‍රතිසංස්කරණය කරන අතර ඒ සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 18.5 කි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

“ 2015 – 2019 මේ රට අරාජික වූ කාලයක්. ඒදා 19 ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ මේ රටේ ජනතාව නොමග යවලා. 19 ගෙනාපු අයම 19 නිසා වැඩ කරන්න බැරි වුණා කිව්වා. ඒදා මහින්ද මහත්තයාට යුද්ධය දිනන්න පුළුවන් වුණේ විධායක බලය තිබුණු නිසා. තීන්දු තීරණ ගන්න පුළුවන් වුණ නිසා. හැබැයි ඒ ගැන ජනතාව අතර බොරු වපුරලා 19 ගෙනල්ලා රට අරාජික කළා. ජනාධිපති කිවුවා තමන්ට බලය නෑ කියලා. අගමැති කිවුවා අගමැතිට බලය නෑ කියලා. දෙන්නා දෙපැත්තට ඇද්දා. රට ආපස්සට ගියා. ඒ නිසයි අපි පසුගිය මැතිවරණයේ දී ව්‍යවස්ථාව වෙනස් කරන්න බලයක් ඉල්ලුවේ.

ඉදිරි දින කිපය තුළ 20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. අපි 19 තියෙන හොද දේවල් ඉවත් කරන්නේ නෑ. අපි වෙනස් කරන්නේ 19 හරහා රට වැඩ කරන්න තියෙන බාධාවන්. ජනාධිපතිධුරයට දෙපාරකට වඩා ඉල්ලන්න බෑ කියලා සංශෝධනයක් 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ දී ගෙන ආවා. ජනතාව ඒකට කැමති නම් අපි ඒක වෙනස් කරන්නේ නෑ. 35 ට අඩු අයට ජනාධිපතිවරණයට ඉල්ලන්න බෑ කියන සංශෝධනය ගෙනාවේ නාමල්ට ඉල්ලන්න බැරි වෙන්න. නාමල්ට 35 පැනලා නිසා දැන් ඒක අදාළ නෑ. නමුත් අපි තරුණයන්ට අවස්ථාව දෙන්න ඕනේ. ඒ නිසා 30ට වැඩි අයට ජනාධිපතිවරණයට ඉල්ලන්න අවස්ථාව දිය යුතුයි. ජනතාවට තොරතුරු දැනගැනීමේ පණත අහෝසි කරන්න අපි සුදානම් නෑ.

අපිට ඕනේ වැඩ කරන රටක් හදන්න. ජනාධිපතිවරයාට වැඩ කරන්න පුළුවන් තත්ත්වයක් ඇති කිරීම තමයි 20 වන සංශෝධනය ගෙන ඒමෙන් කෙරෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ව්‍යවස්ථා විරෝධි වැඩ කරන්නේ නෑ. මුළු රටම කියනවා ජනාධිපතිතුමාට ආරක්ෂක අමාත්‍යාංශය භාර ගන්න කියලා. ඒත් 19 නිසා ජනාධිපතිතුමාට ආරක්ෂක අමාත්‍යාංශය භාරගන්න බෑ. ඒ නිසයි අපි 20 ගේන්නේ. සමහරු කියනවා  20 වන සංශෝධනය ප්‍රජාතන්ත්‍ර විරෝධි කියලා. පසුගිය යහපාලන ආණ්ඩුව කළේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කළ අයම තමයි 20 වන ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍ර විරෝධියි යැයි කිඹුල් කදුළු හෙළන්නේ. 20 වන සංශෝධනය හරහා රටේ ප්‍රජාතන්ත්‍රවාදයට කිසිදු තර්ජනයක් එල්ල වී නෑ.”

මාර්ග ප්‍රතිසංස්කරණය හරහා රටේ ආර්ථිකය නංවාලීම තමයි අපේ අරමුණ

ග්‍රාමීය මාර්ග හා අවශේෂ වටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය ඇමති නිමල් ලාන්සා

මාර්ග කාපට් කිරිම, කොන්ක්‍රීට් කිරිම ආරම්බ වුණේ 2015 ට පෙර යුද්ධ අවසන් වුණාම. 2015-2019 කාලය තුළ යහපාලන ආණ්ඩුව කිසිදු සෙයක් කළේ නෑ. ඒ නැවතුණු සංවර්ධනය අපි නැවත ආරම්බ කළා. මාර්ග සංවර්දන අධිකාරියට අයත් මාර්ග තියෙන්නේ කිලෝමීටර් 12,600 යි. ඒකෙන් මේ වන විට කිලෝමීටර් 7600 ක් හදලා ඉවරයි. තව කිලෝමීටර් 5000 යි හදන්න තියෙන්නේ. මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ඒ හා බී මාර්ග කිලෝමීටර් 5000 හදලා ඉවර කරන්න අපි කටයුතු කරගෙන යනවා.

පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග කිලෝමීටර් 16,800 ක් තියෙනවා. ඒකෙන් ඉවර කරලා තියෙන්නේ 8600 යි. තවත් 8200 ක් තියෙනවා. ලබන වසර තුළ මේ මාර්ග කිලෝමිටර් 8200 ම කොන්ක්‍රීට් හෝ කාපට් කරනවා. ග්‍රාමීය මාර්ග රටේ තියෙන්නේ කිලෝමීටර් 96,000 යි. පසුගිය කාලයේ අපි කිලෝමීටර් 25,000 ක් හදලා කියෙනවා. තව 76,000 ක් තමයි තියෙන්නේ. ලංකාවේ තිබෙන සියලු මාර්ග හදන එක තමයි අපේ රජයේ බලාපොරොත්තුව. මාර්ග ප්‍රතිසංස්කරණය හරහා රටේ ආර්ථිකය නංවාලීම තමයි අපේ අරමුණ.

නුවර අධිවේගී මාර්ගය හදලා විවෘත කරන්නත් යහපාලන ඇමතිවරු දින නියම කළා. එය හරියට මුල, මැද, අග පටන්ගෙනවත් නැතිවයි. පසුගිය අවුරුදු 05 ට යහපාලන ආණ්ඩුව කොළඹ – නුවර අධිවේගී මාර්ගය මැද කොටසක් විතරයි ඉදි කළේ. එය කිලෝමීටර් 39 යි. හැබැයි ඒකෙන් 55% යි වැඩ අවසන්. තව 45%ක් තියෙනවා.

යහපාලනය හදපු විදිහට කොළඹ – නුවර අධිවේගි මාර්ගය හැදුවනම් එය ඉවර කරන්න අවුරුදු 20ට වඩා යනවා. අපි 2024 දී මේ කොළඹ – නුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ 2024 වසරේ දී රත්නපුර අධිවේගි මාර්ගයේ ඉදිකිරිම් අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. දඹුල්ල – කුරුණෑගල අධිවේගී මාර්ගය 2024 දී අවසන් කරනවා. කොළඹ නගරයේ තදබදය අවසන් කීරිම සදහා තවත් ගුවන් පාලම් 03 ක් ඉදිකිරීමට කඩිනමින් කටයුතු කරනවා.

ලංකාව පුරා වැල්පාලම්, ඒ දඬු හා අබලන් පාලම් 4000 ක් වෙනුවට තව පාලම් ඉදි කිරීමත් අපි ඉදිරියේ දී ආරම්භ කරනවා. දැනටමත් ඒ සදහා ඉල්ලීම් රැසක් ඇවිත් තියෙනවා. ඉදිරි වසර 04 ක කාලය තුල ඒවා කඩිනමින් ඉදිකර අවසන් කරනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගම්පහ ආසන සංවිධායක ලක්ෂ්මන් ගුණවර්ධන, ගම්පහ ප්‍රාදේශීය සභාවේ ජයන්ත මුදන්නායක යන මහත්වරු ද මෙහි දී කථා කළහ.

Recommended For You

About the Author: Editor