ගොවිබිමේ දළුලන ප්‍රෝටීන් ගබඩාව! ‘සෝයා වසන්තය’ සොයා යමු

අලෙවිය ප්‍රශ්නයක් – කෑම හදන හැටි දන්නෙත් නෑ –  එදා සෝයා ගොවීන් වගාවෙන් ඈත් වුණා

ලෝකයේ කිසිදු බෝගයක් මේ තත්වය අත්කරගෙන නැත. සමස්ත ලෝකයේ වගා ඉඩම් වලින් 6% ක් පිරවීමට සමත්වීම එම ජයග්‍රහණයයි. 1960 දී ටොන් මිලියන 17ක නිෂ්පාදනයක් ලොවට දායාද කර, 2015 වසර වනවිට, එනම් වසර 60 ක් අවෑමෙන් එය ටොන් මිලියන 315 ක් දක්වා ඔසවා තැබීම සුළුවෙන් තැකිය හැකි සිද්ධියක් නොවේ. ලොව පුරා දැනට වගාකරන ප්‍රභේද ගණන 3500 කට වඩා වැඩිය.

අපට අසල්වැසි නැගෙනහිර ආසියානු භූමියේ සම්භවය ලැබූ බවට ඉතිහාසය සාක්ෂි සැපයුවද, සෝයාබෝංචි නොහොත් විද්‍යාත්මකව ග්ලයිසීන් මැක්ස් (Glycine max) නමින් හඳුන්වන මේ විස්මිත බෝගයේ සාඩම්බර වත්මන් වගාකරුවන් වී සිටින්නේ පිලිවෙලින් බ්‍රසීලය, ආජන්ටීනාව හා ඇමරිකාවයි.

සෝයාබෝංචි වලට චීනයේ ඇත්තේ වසර දහස් ගණනකට වඩා පැරණි ඉතිහාසයකි. මෙය ඔවුන්ගේ ‘ශුද්ධ වූ බෝග’ පහෙන් එකකි. ඉතිරිවා වන්නේ සහල්, තිරිඟු, බාර්ලි හා මෙනේරිය.

ඇමරිකානු ආහාර හා ඖෂධ පාලක මණ්ඩලයේ නිර්දේශයට අනුව සෝයා බෝංචි පාදක නිෂ්පාදනයන් සත්ව මාංශ පරිභෝජනයට අකමැති ජනතාවට හොඳ විකල්ප ආහාරයක් සපයන්නේය. මන්දයත් අනෙකුත් රනිල බෝග වලට සාපේක්ෂව සෝයා බෝංචි විසින් පෝෂණයට අවශ්‍ය ප්‍රෝටීන සංයුතිය සත්ව ප්‍රෝටීන වලට සර්වසම ලෙස නොවූවත්, වඩාත් සාධාරණ ලෙස මිනිස් සිරුරට ලබාදෙන බැවිනි.

මේ නිසාම ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනතාවගේ ප්‍රෝටීන පෝෂණය ඉහළ දැමීමේ අරමුණින් මීට ශතවර්ෂ භාගයක පමණ කාලයකට ඉහතදී සෝයාබෝංචි වගාව මෙරටටද හඳුන්වා දෙන්නට කටයුතු කරන ලදී. හැත්තෑව දශකයේදී විදේශ ආධාර සහිතව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ විශේෂ ව්‍යාපෘතියක් ලෙස ඇරඹි සෝයාබෝංචි ප්‍රචලිත කිරීමේ වැඩසටහන ඉතා ඉක්මනින් මහජන ප්‍රසාදයද දිනා ගත්තේය.

ගොවීන් බොහොම කැමැත්තෙන් බෝගය පිළිගත් එක හේතුවක් තමයි වගාවේ රෝග හුඟක්ම අඩුවීම. අනෙක හෙක්ටයාරයකට ටොන් එක හමාරක විතර අස්වැන්නක් දුන්න. ඒ කාලේ අනෙක් රනිල බෝග වල අස්වැන්න බොහෝ විට ටොන් එකට වඩා අඩුයි

ඍජුවම සෝයා බෝගය හා කටයුතු නොකළත්, එකල මහඉලුප්පල්ලම පර්යේෂණ ස්ථානයේ තරුණ පර්යේෂකයෙකු වශයෙන් සේවය කර, පසු කලෙක ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයට බැඳී, එහි උපකුලපතිවරයා ලෙසද, උද්‍යාන විද්‍යාව පිළිබඳව සම්මානනීය මහාචාර්යවරයෙකු ලෙසද සේවය කර විශ්‍රාම ලැබූ, මහාචාර්ය සුමිත්‍ර ජයසේකරට සෝයා සොයා ගිය ගමනේ මුල් අවධිය ගැන තවමත් හොඳහැටි මතක තිබේ.

“බෝගය හඳුන්වාදීම සඳහා ඉන්දියාවෙන්, ඇමරිකාවෙන් එහෙම සෝයාබෝංචි වර්ග ගෙනාව. පන්ජාබ් වලින් ගෙනාපු වර්ගයක් තමයි අදටත් ගොවීන් වවන පී.බී. 1 කියන්නෙ. ගොවීන් බොහොම කැමැත්තෙන් බෝගය පිළිගත් එක හේතුවක් තමයි වගාවේ රෝග හුඟක්ම අඩුවීම. අනෙක හෙක්ටයාරයකට ටොන් එක හමාරක විතර අස්වැන්නක් දුන්න. ඒ කාලේ අනෙක් රනිල බෝග වල අස්වැන්න බොහෝ විට ටොන් එකට වඩා අඩුයි”

එසේ නමුත් බලධාරීන්ට අමතකවූ තැනක්ද එදා තිබිණ. ජනතාවගේ ප්‍රෝටීන ඌණතාවය මගහරින්නට කියා රැගෙන ආවත්, සෝයාබෝංචි අනුභව කරන ක්‍රමයක් ජනතාව දැන සිටියේ නැත. කවුපි, මුංඇට මෙන් සෝයා ඇට තම්බා කන්නටද නොහැකිය. එකල ජනතාව අතර තිබුණු ජනප්‍රිය සෝයා නිෂ්පාදන දෙකක් වූ ‘සෝයාමීට්’ නොහොත් ටී.වී.පී. (Textured Vegetable Protein) මෙරට නිෂ්පාදනය කෙරුවේද නැත.

ඒ නිසා වහ වහා නිලධාරීන්ව අවට රටවලට යවා සෝයා කිරි සාදන්නටත්, ඒ ඇසුරෙන් ‘ටෝෆු’, ‘ටෙම්පේ’ වැනි ආහාර සෑදීම පුහුණුකර එම දැනුම ජනතාව අතරට යවන්නට පියවර ගත්තත්, වැඩේ සාර්ථක වූ බවක් නොපෙනුණි.

1999 දී මෙරටට පැමිණි ‘ප්ලෙන්ටි කැනඩා’ නම් ආයතනය කල අධ්‍යයනයකින් පසු සනාථවූයේ ඉහත දැක්වූ ආහාර මාදිලි වඩාත් ජනප්‍රිය වන්නේ නාගරිකයින් අතර බවත්, ග්‍රාමීය ජනතාවගේ ප්‍රෝටීන අවශ්‍යතාවය උදෙසා ඒ මගින් සැලසෙන සේවය ඉතා අල්ප බවත්ය. ගමේ මිනිසුන් ටෝෆු, ටෙම්පේ වැනි ආහාර සාදන්නට වැඩි උනන්දුවක් දක්වන්නේ නැති බව අදටත් යථාර්තයකි. එසේනම් සෝයාබෝංචි ග්‍රාමීය ජනතාවගේ ආහාර සලාකයට එකතුකිරීමේ ක්‍රමවේදය අදටත් අභියෝගයකි.

පසුගියදා රජය විසින් ප්‍රකාශයට පත්කෙරුණු අතිරේක බෝග කඩිනමින් වගා කරන වැඩසටහනටද සෝයාබෝංචි ඇතුළත් කර තිබුනේය. එයට අනුගතවීම සඳහා සියලු සුදුසුකම් මෙම විස්මිත බෝගයට තිබේ.

සෝයා හොඳින් සාර්ථක වන්නේ වියලි කලාපයේය. එයද වර්ෂාව අඩු යල කන්නයේය. රජයේ ඉලක්කය වූයේද යල කුඹුරු කොටසක් වී වගාවෙන් ඉවත්කර අතිරේක බෝග සඳහා යොමුකිරීමයි. එසේ වුවද සෝයා ප්‍රචලිත කිරීමට අද දවසේ ප්‍රධාන බාධකයක්ව පවතින්නේ ජලයයි.

වෙනත් රනිල බෝගයන් මාස දෙකෙන්, දෙක හමාරෙන් අස්වැන්න ලබා දුන්නද, කරල් පැසීමට දින 90 කට වඩා ගතවෙන සෝයා බෝගයට කරල් පැසී අවසන් වනතුරු අවශ්‍ය තරමට වතුර දෙන්නට ප්‍රමාණවත් ජල සංචිතයක් යල කන්නය අවසන් වනවිට නොමැතිවීම ලොකු අවාසියකි. මේ නිසා ගොවීන් අඩු වයස් කාණ්ඩයේ රනිල බෝගයන් වෙත යොමුවීම නිරායාසයෙන්ම සිදුවේ.

සාමාන්‍යයෙන් හෙක්ටයාර් 5000 ක් පමණ වපසරියක පැතිරෙන වගාව 2018 වසරේදී හෙක්ටයාර් 1510 ක් දක්වා පල්ලම් බැස සමස්ත වාර්ෂික දේශීය නිෂ්පාදනය ටොන් 2500 ක් දක්වා අඩුවූයේද, පැවති නියඟය හේතුවෙන් ජල සැපයුම සීමා කිරීම නිසාය.

එම වසරේද ගොවීහු අඩු වයසෙන් කටයුතු අහවර කළහැකි වෙනත් බෝග වලට යොමුවූහ. මේ වනවිට රජරට පැත්තේ සොයා තෙල් හිඳින කම්හලක් ක්‍රියාත්මක බැවින්ද, දශක හතරකට එපිටදී තිබූ ග්‍රාමීය ප්‍රෝටීන ඌනතාවයට විකල්ප විසඳුම් ගම් පළාත්වලටත් පැමිණ ඇති බැවින්ද, කෑමට නොවුනත් ආර්ථික බෝගයක් වශයෙන් අලෙවිය සඳහා හෝ සෝයා සොයා යාමට ගොවීන් නොපැකිලව ඉදිරිපත් වේවි. එහෙත් ස්ථාවරව විසඳිය යුත්තේ ජල ප්‍රශ්නයයි. මෙය අපට පමණක් තිබෙන ගැටලුවක්ද නොවේ. ඇතැම් රටවල ගොවීන් මෙයට විසඳුම් සොයාගෙන ඇත්තේ ජනතාවට විකල්ප අනුභව රටාවක් පවා හඳුන්වා දෙමිනි.  

ඉන්දුනීසියාව, තායිලන්තය වගේ රටවල සෝයා කරල් ලපටි කාලෙදි ගහ පිටින්ම ගලවනවා. කරල් පොකුරක් තියෙන කොලපාට ගස් පාරවල් අයිනේ තියාගෙන තම්බනවා. මෙහෙ බඩඉරිඟු තම්බනවා වගේ. විකුනන්නෙත් ගස් පිටින්මයි. වතුරට ලුණු ටිකකුත් දාල තැම්බුවහම, පාරේ යනඑන අයට තැම්බූ කරල්වල තියෙන ඇට හොඳ ස්නැක් එකක්

“වතුර ප්‍රශ්නෙත් විසඳගෙන සෝයාබෝංචි කෑමටත් එකතු කරගන්න පුළුවන් ක්‍රම අපි පිටරට වලදී දැකල තියෙනවා. ඉන්දුනීසියාව, තායිලන්තය වගේ රටවල සෝයා කරල් ලපටි කාලෙදි ගහ පිටින්ම ගලවනවා. කරල් පොකුරක් තියෙන කොලපාට ගස් පාරවල් අයිනේ තියාගෙන තම්බනවා. මෙහෙ බඩඉරිඟු තම්බනවා වගේ. විකුනන්නෙත් ගස් පිටින්මයි. වතුරට ලුණු ටිකකුත් දාල තැම්බුවහම, පාරේ යනඑන අයට තැම්බූ කරල්වල තියෙන ඇට හොඳ ස්නැක් එකක්. අපේ රටට මේවගේ දේවල් පුරුදු කරන්න ඕනේ. විවිධ හැඩයට බැදපු රසකාරක යෙදූ පාන්පිටි ගුලි පාරදිගේ කනවට වඩා මේ වගේ දෙයක් මොනතරම් හොඳයිද?”

එසේ විමසා සිටින්නේ මහාචාර්ය ජයසේකරයි. බඩඉරිඟු ගොවියාද කිරිකරල් අස්වැන්නක් වෙත සැලකිය යුතු තරමින් යොමුවී සිටී. මිරිස් වගාකරුවාද වෙළඳපොල දෙස බලා අමුමිරිස් වලට දෙන්නට කරල් කඩන්නේය. ලූණු ගොවියා වුවත් කොළ අස්වැන්නකට යාමට තීරණය කරන අවස්ථා තිබේ.

ජලය සීමාකාරී වෙත්දී සෝයා වගාකරුවාට වුවත් අවදානමෙන් මිදෙන්නට මෙවැනි කෑමපුරුදු සමාජගතව තිබීමේ වැදගත්කම මේ අනුව පැහැදිලිය. වගාකිරීමට ලබාදෙන දිරිගැන්වීම් වලට අමතරව වගාව පැතිරීම සීමාකෙරෙන සාධක ගැනද බලධාරීන්ගේ අවධානය යොමුවියයුතු වකවානුවකට අප පැමිණ සිටිමු. සෝයා සොයා යන ගමන යලිත් වරක් ආපසු නොහැරෙනු ඇත්තේ මෙම අවධානය සවිමත් වන තරමටය.

සනත් එම්. බණ්ඩාර

Recommended For You

About the Author: Editor