මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ හෘද සාක්ෂිය රිදී තිරයට

මේ නිර්මාණයේ පදනම යුද්ධය වුණත් සිනමා පටයෙන් කියැවෙන්නේ යුද්ධය ගැන ම නෙවෙයි. ඊට යටින් දිවෙන්නා වූ වෙනත් ගැඹුරු අරුතක් මෙතුළ ගැබ්ව ඇති බව බුද්ධිමත් ප්‍රේක්ෂකයා වටහා ගනීවි

දුෂ්කරයි කියා ජීවිතය හැර යා යුතු ද? කෙතරම් දුෂ්කර වුවද ජීවිතය, මරණය ද රමණීය වූවක් ම නොවේ. ජීවිතයක් නසන්නට, නසාගන්නට, මරාගෙන මැරෙන්නට මනුෂ්‍ය චිත්ත සන්තානයේ ඇති කළ යුත්තේ සුළුපටු විපර්යාසයක් ද නොවේ.

සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වන මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වටා ගෙතුනකි. එකී සිනමා කෘතිය තුළ දිව යන්නේ මරාගෙන මැරෙන බෝම්බකරුවකුගේ චිත්ත අභ්‍යන්තරයේ වරින්වර ඇති වන්නා වූ පෙරළිය යි. ජීවිතාශාව හා ඔහු කරන පොරබැදීම යි. එසේත් නැතහොත් අවසාන මොහොත දක්වා ම ජීවිතය වැරෙන් අල්වා ගැනීමට දරන තැත යි.   

අධ්‍යක්ෂකවරයා සිය කුළුඳුල් සිනමා නිර්මාණයට ප්‍රවිශ්ට වන්නේ වෘත්තීය අත්දැකීම් මෙන් ම සිනමා කර්මාන්තය තුළ විසි වසරක් පුරා ලද අත්දැකීම් ද පාදකකොට ගනිමිනි.

ජනාධිපතිතුමන්ගේ නිල ඡායාරූප ශිල්පියා වශයෙන් ද ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ වශයෙන් ද කටයුතු කරන හෙතෙම සිය ජීවිත කාලය තුළ ලැබූ දුලබ ගණයේ අත්දැකීම්, කුළුඳුල් සිනමා නිර්මාණය ඔස්සේ ප්‍රේක්ෂකයා වෙත සම්ප්‍රේෂණය කිරීමෙහිලා කෙතෙක් දුරට සාර්ථක වනු ඇතැයි ද? යන කාරණය නුදුරේදී තීරණය වනු ඇත.

වාර්තා චිත්‍රපටකරණයෙන් ඔහු ලද ආභාසයත් ස්වකීය නිර්මාණය තුළ සාක්ෂාත් කරගත යුතු අරමුණු හඹා යෑමේදී මනා පිටිවහලක් වනු නොඅනුමාන ය. ඇමරිකාව, ඉන්දියාව, ජපානය යන රටවල රූගත කිරීමට නියමිත මෙකී සිනමා නිර්මාණය වෙනුවෙන් මේ වන විටත් නිෂ්පාදකවරුන් දෙදෙනකු සැදීපැහැදී සිටින අතර මෙහි පිටපත සාමුහික ව ලියැවෙන්නකි.   

කථා වස්තුව (Plot) මොහොමඩ් අලී රජාබ්දීන්ගෙනි. අධ්‍යක්ෂකවරයා සහ පිරිස මෙකී සිනමා කෘතිය වෙනුවෙන් දරන පරිශ්‍රමය අතිමහත් ය. තිරපිටපත ලිවීමට පමණක් ගත ව ඇති කාලය දෙවසරකි. දර්ශන තල සොයාගැනීම වෙනුවෙන් පමණක් රටරටවල සංචාරය කරමින් වැයකොට ඇති මුදල දෙකෝටියකට ආසන්න ය.

මෙය වූ කලී ජාත්‍යන්තරයට යැවීම වෙනුවෙන් සූදානම් කෙරෙන ලාංකේය සිනමාකරුවකුගේ අද්වීතිය සිනමා නිර්මාණයක් බවට ඉඟි පළ කෙරෙමින් පවතින අතර ජපානය, ඉන්දියාව වැනි රටවල මෙම සිනමා කෘතිය බෙදාහැරීමට පවා දැනටමත් කටයුතු සූදානම් ය.  මෙම සිනමා කෘතිය සිංහල, දමිල, ඉංග්‍රීසි යන ත්‍රෛ භාෂාවන්ගෙන් ම ප්‍රේක්ෂයා ආමන්ත්‍රණය කරයි.

රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ ප්‍රේක්ෂකයාට රිදී තිරයෙන් නිරතුරුව හමුවන හුරුපුරුදු මුහුණු නොවීම ද විශේෂත්වයකි. දේශීය විදේශීය නවක රංගන ශිල්පීන් හා ශිල්පිනියන් කරළියට ගෙන එන මෙම සිනමා කෘතිය තුළ විවිධ සංස්කෘති පිළිබඳ කතාවක් ද දිගහැරේ.  

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යක්ෂකවරයා:

“මම මුලින් ම වැඩ පටන් ගත්තේ පරිගණක ඉංජිනේරුවකු විදිහට. ඒ අංශයෙන් බොහෝ අත්දැකීම් ලබාගත්තත් මෘදුකාංග සහ දෘඩාංග සමඟ වැඩ කිරීමට මට එතරම් තෘප්තියක් ගෙනදුන්නේ නෑ. ඒ නිසා ම මම ඊළඟට එඩිටින්, ඇනිමේෂන්, ග්‍රැෆික් සහ ඕඩියෝ කියන පැතිවලට යොමු වුණා. මගේ ම   රෙකෝඩින් ස්ටූඩියෝ එකක් හදාගෙන, එහි ශබ්ද පරිපාලකයෙකු වශයෙනුත් කටයුතු කළා. ඒ ස්ටුඩීයෝ එක ඇතුළේ ලංකාවේ සෑහෙන ගීත ප්‍රමාණයක් වෙනුවෙන් ඩිජිටල් රෙකෝඩින් සිදු කෙරුණා. ඒත් එක්කම ක්‍රමක්‍රමයෙන් තමයි මම සිනමාව පැත්තට හැරුණෙ.

මේ වෙනකොට සිනමා කර්මාන්තය තුළ වසර 20ක පමණ අත්දැකීම් ඇති කෙනෙක් විදිහට ලංකාවේ ප්‍රේක්ෂකයාගේ අවශ්‍යතාව, ලංකාවේ සිනමා කර්මාන්තය තුළ ඇති අඩුපාඩුකම්, සිනමාපටයක් නිර්මාණය වන ආකාරය සහ විකිණීමට උත්සාහ ගන්නා ආකාරය පිළිබඳව මා තුළ යම් අවබෝධයක් තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ චිත්‍රපටියක් නිර්මාණය කිරීම ම එක්තරා අභියෝගයක්. මේ සිනමා පටයෙන් ඉදිරිපත් කෙරෙන අදහස ප්‍රේක්ෂකයා කොයි ආකාරයෙන් භාර ගනීවිද? කියන්න මම දන්නෙ නෑ.

මේ නිර්මාණයේ පදනම යුද්ධය වුණත් සිනමා පටයෙන් කියැවෙන්නේ යුද්ධය ගැන ම නෙවෙයි. ඊට යටින් දිවෙන්නා වූ වෙනත් ගැඹුරු අරුතක් මෙතුළ ගැබ්ව ඇති බව බුද්ධිමත් ප්‍රේක්ෂකයා වටහා ගනීවි.

පාසල් අවධියේ පටන් මා යුද්ධය සම්බන්ධයෙන් වූ රුසියානු පරිවර්තන කෘති සිය ගණනකට වැඩියෙන් කියවා ඇති අතර යථාර්ථවාදී සහ යුද්ධය පිළිබඳ කතා පුවත් රැගත් චිත්‍රපට සහ වාර්තා චිත්‍රපට නැරඹීමටත් මතුළ වූයේ දැඩි කැමැත්තක්. ඒවායෙන් ලද ආභාසයත් සිනමාව පිළිබඳ විසි වසරක් මුළුල්ලේ මා කළ හැදෑරීමත් මෙම සිනමා කෘතිය නිර්මාණය කිරීම වෙනුවෙන් මා තුළ ඇති කළේ දැඩි පෙළඹවීමක්.”        

යුද්ධයට මුහුණ දුන් එක් එක් පුද්ගලයා වෙන වෙන ම ගත් කළ ඔහුගේ හෝ ඇයගේ ජීවිතය සැබැවින් ම සිනමා කෘතියකි. යුදමය කලාපවල ජීවත් වූ මිනිසුන් ගෙවා ඇත්තේ යුද්ධයට ඈතින් සිටි මිනිසුන්ගේ ජීවිතවලට හාත්පසින් ම වෙනස් වූ අතිශය කටුක ජීවිත යි. එකී ජීවිතවල වූ කටෝර අත්දැකීම් සමුදායක් මෙකී සිනමා කෘතියට පාදක වී තිබීම විශේෂත්වයකි.  

සිනමාකරණයේදී අත්දැකීම්, ප්‍රතිභාව සේ ම හැදෑරීම ද අතිශ්‍ය වැදගත් ය. ඒ අනුව මෙහි එන අධ්‍යක්ෂකවරයාගේ හැදෑරීම වූ කලී පැරැණි සම්භාව්‍ය සිනමාවේ සිට සුප්‍රසිද්ධ ඇනිමේෂන් චිත්‍රපට දක්වා ම දිව යන්නකි.

සිනමාවේදී මනෝ විද්‍යාව සහ සංඥාර්ථවේදය වඩා වටිනා හරයන් ලෙස හඳුනාගත හැකි වුව ද ඉලක්ගත ප්‍රේක්ෂකයාට එකී භාෂාව වටහා ගත නොහැකි නම් එයින් ලද හැකි ඵලප්‍රයෝජන ද අල්ප ය. එහෙයින් මාර්ග සංඥා පවා හඳුනාගත නොහැකි ව රතු බල්බය දැල්වෙන විට හැල්මේ පාර මාරු වන සමාජයක් සංඥාර්ථවේදය, ශරීර භාෂාව, මනෝමය භාවයන් වැඩි වශයෙන් මුල්කරගනිමින් දෙබස් හා සංවාද අවම කළ සිනමා කෘතියක් කෙසේ භාරගනීවි ද? යන්න තවදුරටත් විමසිල්ලෙන් බලා සිටිමු.

කෙසේ වෙතත් අධ්‍යක්ෂකවරයාගේ විශ්වාසය මෙකී සිනමාකෘතිය මැනවින් කියවා අවබෝධකොට ගත හැකි ප්‍රේක්ෂක පිරිසක් මේ වටා එක්රොක් වනු ඇති බව යි. සත්‍ය කතාවක් ඇසුරුකොට ගත් මෙකී සිනමා නිර්මාණය සිනමාවේ ෆැන්ටසියෙන් ඔබ්බට යමින් යථාර්ථය දක්වා දිවෙන්නකි.

මෙහිදී වඩා වැදගත් වන්නේ අධ්‍යක්ෂකවරයා සිය ජීවිතය තුළ ලබාගත් දුලබ අත්දැකීම් සංක්ෂිප්තකොට ගත් සාරයෙන් ප්‍රේක්ෂකයා සුපෝෂණය කිරීමට ගන්නාවූ වෑයම යි. මෙතුළ හුදු සිනමාපටයක් නැරඹීමේ තෘප්තියෙන් ඔබ්බට ප්‍රේක්ෂකයාට සිතන්නට යමක් ශේෂ වීම ද සුවිශේෂත්වයකි. මෙය වූ කලී ජීවිතය ගැන වෙනස් විදිහක කියැවීමකි. ප්‍රේක්ෂකයා විසින් මඟනොහැර අත්විඳිය යුතු ම සිනමා අත්දැකීමකි. 

කාංචනා සිරිවර්ධන

Recommended For You

About the Author: Editor