2018 වසරේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ හිඟ ආදායම ට්‍රිලියන 1.3ක්

2018 වසරේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ මුළු හිඟ ආදායම රුපියල් ට්‍රිලියන 1.3 ක් බව ඊයේ (02) පාර්ලිමේන්තුවේදී අනාවරණය වූයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා කළ විමසීමකදීය.

මෙම හිඟ ආදායම්වලින් බහුතරය රාජ්‍ය ආයතන විසින් ගෙවියයුතු ඒවා බවද, එම සමහර ආයතන අදාළ  බදු ගෙවීම සඳහා සුදුසු මූල්‍ය තත්ත්වයක දැනට නොසිටින බව ස්වාධීන මණ්ඩලයක් විසින් තීරණය කර ඇති බව ද  මෙහිදී   දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තු නිලධාරීන් විසින්  සඳහන් කෙරීණි. එම ආයතන පිළිබඳව සම්පූර්ණ  වාර්තාවක් ලබා දෙන ලෙස කමිටුව විසින් ආදායම් බදු දෙපාර්තමේන්තුව වෙත නිර්දේශයක් ලබා දෙන ලදි.

මෙම අතිවිශාල  හිඟ බදු  ආදායමට තවත් හේතුවක් ලෙස  විගණාකාධීපති දෙපාර්තමේන්තුව විසින්  පෙන්වා දී තිබුණේ , රුපියල් බිලියන 03 ක වටිනාකමින් යුතු චෙක් පත් 8060 ක  චෙක්පත් අගරුවීම යි. ඒ සම්බන්ධව  මේ වන විටද බදු ගෙවන්නන්  65 කගෙන් යුතු අසාධු ලේඛනයක් සකස් කර ඇති බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තු නිලධාරීහු කමිටුවට පෙන්වා දුන්හ.

පාර්ලිමේන්තුවේ  රජයේ ගිණුම් කාරක සභාව  හමුවට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ඊයේ කැඳවා තිබුණු අතර , එම රැස්වීමට අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් රැසක්ද සහභාගීව සිටියහ. මුදල් අමාත්‍යංශ ලේකම් සහ භාණ්ඩාගාර ලේකම් එස් .ආර්. ආටිගල මහතා  සම්බන්ධ වූ මෙම රැස්වීමට  දේශීය ආදායම් බදු කොමසාරිස් සී.ජේ.පී. සිරිවර්ධන මහතා ඇතුළු  එම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් ද, විගණාකාධීපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් ද එක්ව සිටියහ.

2017 මුල් භාගයේ පටන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව බදු අය කිරීම වඩ‍ා විධීමත්කරණය සඳහා RAMIS නම් පරිගණකගත පද්ධතියක් යොදාගෙන ඇති අතර ආදායම් බදු, ලිපි ගොනු මඟින් අය කිරීමට වඩා සාර්ථකත්වයක් එයින් දෙපාර්තමේන්තුව ලබා ඇති බව මෙහිදී නිලධාරීන් විසින් සඳහන් කෙරීණි.

එසේ වුවද, ගරු මන්ත්‍රීවරයන් විසින් පෙන්වා දුන්නේ , රු.බිලියන 4 කට අධික මුදලක් වැය කර ස්ථාපිත කළ මෙම පද්ධතියට  බදු සංශෝධනයක් සිදුවන සෑම අවස්ථාවකදීම එම තොරතුරු පද්ධතියට එක්කිරීමට සිංගප්පූරු සමාගමට තවත් රු .බිලියන 3 කට වැඩි  මුදලක් ගෙවීමට සිදුවීම නිසා ගැටලුසහගත තත්ත්වයක් උද්ගත වන බවයි. එනිසා, බදු සංශෝධන පිළිබඳව එක්වර ගෙවීම් සිදුකිරීමට සමාගම හා කිසියම් නිශ්චිත එකඟතාවයක‍ට පැමිණිය යුතු බව  අමාත්‍ය දුමින්ද දිසානායක මහතා විසින් යෝජනා කෙරිණ.

මෙහිදී කරුණු පැහැදිලි කළ  මුදල් අමාත්‍යංශ ලේකම් සහ භාණ්ඩාගාර ලේකම් එස් .ආර්. ආටිගල මහතා මෙවර අයවැයෙන් වසර 05 ක අඛණ්ඩ, ස්ථාවර බදු ප්‍රතිපත්තියක් යෝජනා කරන ලද්දේ  බදු ගෙවන්නන්ගේ මෙන්ම  එකතු කරන්නන්ගේ ද  ප්‍රායෝගික පහසුව සඳහා බව පෙන්වා දුන්නේය.

එසේම, දේශීය ආදායම් බදු කොමසාරිස් සී.ජේ.පී. සිරිවර්ධන මහතා කියා   සිටියේ,  කොවිඩ්  සමයෙහි පවතින  සීමා මධ්‍යයේ වුවද බදු ගෙවීම සඳහා  මාර්ගගත පද්ධතියක් සහ 1944 විශේෂ දුරකථන සේවාවක් යොදා ගනිමින්  බදු මඟින් දේශීය ආදායම වර්ධනය සඳහා සිය උපරිම උත්සාහය ගන්නා බවයි.

ගරු ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙහිදී කළ විමසීමකට අනුව , ආදායම් බදු කොමසාරිස්වරයා කියා සිටියේ දැනට මාර්ගගත පද්ධතිය භාවිත කර දෙපාර්තමේන්තුවට බදු ගෙවන්නන් සිටින්නේ 12%ක් පමණක් බවයි. මේ තත්ත්වය ශීඝ්‍රයෙන් ඉහළ නැංවීම සඳහා මෙවර අයවැයේ පටන් ව්‍යාපාර ක්ෂේත්‍රයේ  (Cooperate Sector) බදු ගෙවන්නන්ට මාර්ගගත පද්ධතිය භාවිතය අනිවාර්ය කර ඇතැයි ද  මුදල් අමාත්‍යංශ ලේකම්වරයා මෙහිදී සඳහන් කළේය. කෙසේවෙතත් මෙරට  බදු එකතු නොකරන ප්‍රමාණය  30%ක් ‍පමණ වෙතැයි කමිටු  සභාපති තිස්ස විතාරණ මහතා සඳහන් කළ මතය ද රට තුළ තිබෙන බවත් එම නිලධාරිහූ පිළිගත්හ.


එහිදී  නිලධාරීන් කළ පැහැදිලි කිරීමට අනුව, ශ්‍රී ලංකාවේ  මහා පරිමාණයේ බදු ගෙවන්නන්  2192 ක් සිටින අතර එයින් 532 ක්  බදු ආදායමෙන් 70.2% ක් ගෙවීමට දායක වෙති.

මෙම රැස්වීම‍ට, රාජ්‍ය අමාත්‍ය  ලසන්ත අලගියවන්න,දුමින්ද දිසානායක මෙන්ම  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන තිස්ස අත්තනායක,  ගුණපාල රත්නසේකර, අකිල වලේබොඩ, වීරසුමන වීරසිංහ, මහාචාර්ය රංජිත් බණ්ඩාර,අජිත් රාජපක්ෂ,ශ්‍රිවඥානම් ශ්‍රීධරන් සහ හරිනි අමරසූරිය මහත්ම-මහත්මීන් සහභාගී වූහ.

Recommended For You

About the Author: Editor