1990 සුවසැරිය ගැන ‘බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නල්’ හි පළවූ ඇගයීම මෙන්න !

වෛද්‍යවරුන් පවා මේ ගිලන් රථ සේවයට විරුද්ධ වුණා : කොවිඩ් -19 සටනට 1990 නැතුවම බෑ

2016 වසර වෙනතෙක් ශ්‍රී ලංකාව තුළ පූර්ව රෝහල් හදිසි ප්‍රතිකාර ගිලන් රථ සේවාවක් නොතිබුණි. නව ගිලන් රථ සේවාව මගින් එම හිස්තැන පිරවූ අතර කොවිඩ් -19 වසංගත කාලයේදී මෙම ගිලන් රථ සේවාව ශ්‍රී ලාංකේය ජනතාවට මහඟු සේවාවක් ඉටුකරමින් සිටී. සිනාර රත්නායක ලියයි.

කොළඹින් කිලෝ මීටර් 297 ක් එපිටින් තිබෙන ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ කුච්චවේලි ප්‍රදේශයේ හර්ෂ ද සිල්වා සහ ඔහුගේ මිතුරන් සහ පවුලේ සාමාජිකයින් 2016 වසරේදී සංචාරයක් කරයි. මෙම සංචාරයේදී එක් වාහනයක් ලිස්සා ගොස් ලයිට් කනුවක වැදී අනතුරට පත්වන අතර එහිදී ඔහුගේ මිතුරියක් වාහනයේ පිටුපස වීදුරුව කඩාගෙන ගොස් මහ පාරට වැටේ. මෙම අනතුරින් ඇය දරුණු ලෙස තුවාල ලබන්නීය.

ඇයට හදිසි ශල්‍යකර්මයක් කිරීමට අවශ්‍ය වන අතර හර්ෂ ද සිල්වා ප්‍රමුඛ මිතුරු කැළ ඇයව කන්තලේ මූලික රෝහලට රැගෙන ගොස් ඇයව කොළඹට රැගෙන යාමට ගිලන් රථයක් අයදියි. උත්සාහය අසාර්ථක වන අතර මිතුරෙකුගේ වාහනයක් ගිලන් රථයක් ලෙස සකසා ගනිමින් මේ පිරිස ඇයව කොළඹට රැගෙන එයි. 

හර්ෂගේ මිතුරිය කොළඹදී ශල්‍යකර්මයකට භාජනය කරන අතර ඇය පසුව සුවය ලබයි. කෙදිනක හෝ අවස්ථාව ලදවිට ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් පූර්ව රෝහල් හදිසි ප්‍රතිකාර ගිලන් රථ සේවාවක් ආරම්භ කළ යුතුයැයි එවකට විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු වූ හර්ෂ ද සිල්වාගේ හිතට මේ සිදුවීම නව බලාපොරොත්තුවක් ඇති කරයි. “අවස්ථාව ලදවිට ශ්‍රී ලංකාවට පූර්ව රෝහල් හදිසි ප්‍රතිකාර ගිලන් රථ සේවාවක් හඳුන්වාදීම වෙනුවෙන් මා කැපවන බවට මා එදා අදිටන් කර ගත්තා.“ ඒ සිතුවිල්ල පිළිබඳව හර්ෂ අදත් එලෙස ආවර්ජනය කරයි.  

2015 වසරේදී හර්ෂ ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා බවට පත්වෙයි.මෙකළ, දෙරට අතර මිත්‍රත්වය තර කරගැනීම වෙනුවෙන් යම් වැඩසටහන් කිරීමට ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 7.55 ක ප්‍රදානයක් ලබාදීමට කැමැත්ත පළ කරයි.මේ වෙනුවෙන්, හර්ෂ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට යෝජනාවක් ඉදිරිපත් කරයි. එහි සඳහන් වන්නේ ශ්‍රී ලංකාව තුළ අති නවීන පූර්ව රෝහල් හදිසි ප්‍රතිකාර ගිලන් රථ සේවාවක් ආරම්භ කළ යුතු බවයි.

මෙම යෝජනාවේ ප්‍රතිඵලයක් ලෙස 2016 ජූලි 28 වනදා 1990 සුවසැරිය නොමිල පූර්ව රෝහල් හදිසි ප්‍රතිකාර ගිලන් රථ සේවාව දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ ආරම්භ කරන ලදී. ඒ සඳහා යොදාගත් ගිලන් රථ ගණන 88 කි. මෙම ක්‍රියාන්විතය සඳහා හර්ෂ සමග උරෙන් උර ගැටී අති විශාල සහයෝගයක් ලබාදුන්නේ මෙම වැඩසටහන සඳහා ස්වේච්ඡාවෙන්ම වැඩ කරන වෘත්තියෙන් ඉංජිනේරුවෙකු වන දුමින්ද්‍ර රත්නායක මහතායි. ඔහු සුවසැරිය ගිලන් රථ සේවාව තාක්ෂණික වශයෙන් ඔසවා තැබීමට විශේෂඥ කාර්ය භාරයක්ද ඉටු කරයි.    

“මුලින්ම මෙම සේවාව ආරම්භ කිරීමේදී රජයේ වෛද්‍ය නිළධාරී සංගමයෙන් විශාල විරෝධතාවයක් එල්ල වුණා. ඒ වගේම, විරුද්ධ පක්ෂයේ අයද මෙම සේවාව ආරම්භ කරනවාට විරුද්ධව කතා කළා.“ යනුවෙන් හර්ෂ 1990 සුවසැරිය ආරම්භයේදී නැගුණු විරෝධතාවයන් සිනා මුසු මුහුණින් සිහිපත් කරයි. “ඔවුන් අපිට රෝහල්වල ගිලන් රථ නතර කිරීමට අවස්ථාව ලබා දුන්නේ නෑ. මේ නිසා, අපි පොලිස් ස්ථානවල ගිලන් රථ නතර කිරීමට තීරණය කළා.“    

අවශ්‍යම හිඩැස පුරවාලීම

ශ්‍රී ලංකාවේ ඉතාමත් ඉහළ නිදහස් සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක වන අතර විවිධ අභියෝග හමුවේ වුවද ශ්‍රී ලාංකිකයින් අවුරුදු 77 ක් තරම් ඉහළ ආයු අපේක්ෂාවක් භුක්ති විඳයි. එසේම, දකුණු ආසියාව තුළ අඩුම මාතෘ මරණ අනුපාතය වාර්තාවන රට ශ්‍රී ලංකාව වන අතර 2016 වසරේදී මැලේරියා රෝගයෙන් තොර රටක් බවටද ශ්‍රී ලංකාව පත්ව තිබේ.

සුවසැරිය ආරම්භ කරන තෙක්ම ශ්‍රී ලංකාවේ සියළුම වැසියන්ට පූර්ව රෝහල් ප්‍රතිකාර හදිසි ගිලන් රථ භාවිතා කිරීමේ අවස්ථාව නොලැබුණු අතර මුදල්  වැඩිපුර වියදම් කරමින් නාගරික පුද්ගලික රෝහල්වල සේවාව ලබාගත හැකි ධනවතුන්ට පමණක් මෙම සේවාව සීමාවී තිබුණි.

“වාහනයක් අනතුරට ලක්වූ විට මහමග තිබෙන වෙනත් වාහන වලට කතා කරල තමයි මෙච්චර කලක් තුවාලකරුවන්ව රෝහල් වෙත රැගෙන ගියේ“ යනුවෙන් අප සමග අදහස් දැක්වූ වෛද්‍ය නිළධාරී සබීත් ලියාක්වට් මහතා පැවසීය. ඔහු කොළඹින් කිලෝ මීටර් 138 ක් පමණ උතුරින් පිහිටි පුත්තලම මූලික රජයේ රෝහලේ සේවය කරයි. “කොළඹ වගේ නෙවෙයි, ඉස්සර ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව අනතුරකට මුහුණ දුන්විට සමහර අවස්ථාවල රෝහලක් වෙත රැගෙන ඒමට මුළු රාත්‍රී කාලයම ගත වෙනවා. අදාළ රෝගියා රෝහලක් වෙත ගෙන ඒමට ඔවුන්ට ප්‍රවාහන පහසුකම් නොමැතිවීම එයට හේතුවයි.“  

තමන්ගේ රැකියාවේ මුල් කාලයේදී ග්‍රාමීය ප්‍රදේශවල සේවය කර මනා අත්දැකීම් ඇත්තෙකු වන වෛද්‍ය නිළධාරී ලියාක්වට් මෙසේද පැවසීය. “අනතුරකට පත්වූ අයෙකු ඉක්මනින්ම රෝහල්ගත කිරීමට නොහැකි වූ විට වැඩිපුර රුධිරය වහනය වීමක් සිදුවෙනවා. මේ ආකාරයෙන් රෝහලක් වෙත රැගෙන එනතුරු පූර්ව රෝහල් හදිසි ප්‍රතිකාර ලබාදීමට නොහැකිවූ සමහර අවස්ථාවල බේරාගැනීමට හැකියාව තිබූ ජීවිත පවා නැතිවී තිබෙනවා.“  

මෙම තත්ත්වය දකුණු ආසියාව තුළ සාමාන්‍ය දෙයක් වන අතර පාකිස්තානය තුළ ගිලන් රථ සේවා බොහෝ ප්‍රමාණයක් පවත්වාගෙන යන්නේ රාජ්‍ය නොවන සංවිධාන මගිනි. ඉන්දියාව තුළ මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත ආණ්ඩු විසින් අරමුදල් යොදවමින් ක්‍රියාත්මක වන ගිලන් රථ සේවාවන් ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකාව තුළ ආරම්භ කළ 1990 සුවසැරිය ගිලන් රථ සේවාව සඳහා ආකෘතිය වශයෙන් ගෙන තිබෙන්නේ ඉන්දියාව තුළ ක්‍රියාත්මක වන 108 ගිලන් රථ සේවාවයි. ආකෘතිය එය වුවත් ඉහළ ප්‍රමිතියෙන් යුත් උපකරණ සහ කාර්ය මණ්ඩල පුහුණුව මෙන්ම කාර්යක්ෂමතාවය අතින් සුවසැරිය සේවාව 108 ගිලන් රථ සේවාවටත් වඩා ඉදිරියට ගොස් ඇතැයි හර්ෂ ද සිල්වා සඳහන් කරයි. කෙසේවෙතත්, 108 ගිලන් රථ සේවාව බිලියනයකට වැඩි ජනගහනයක් වෙත සේවාව සපයන බවත් එය එතරම් ලෙහෙසි කටයුත්තක් නොවන බවත් හර්ෂ පැවසීය.

ශ්‍රී ලංකාවම ආවරණය කරමින් 1990 සුවසැරිය ගිලන් රථ 297 ක් ක්‍රියාත්මක වන අතර මෙම ගිලන් රථ බෙදාහැර තිබෙන්නේ ඒ ඒ ප්‍රදේශවල තිබෙන ජන ඝනත්වය පාදක කර ගනිමිනි. ආසන්න වශයෙන් 1500 දෙනෙකු පමණ සුවසැරිය කාර්ය මණ්ඩලය ලෙස සේවය කරයි. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය මෙම සේවාව ආරම්භ කිරීමේදී දැක්වූ විරෝධතාවය හේතුවෙන් මෙම ගිලන් රථ රෝහල්වල නතර නොකෙරූ අතර මේ වනවිට ඒවා පොලීසිවල නතර කර තිබේ.

1990 සුවසැරිය ආරම්භ කරන කාලයේදී එයට දැඩි විරෝධතාවයක් එල්ලකළ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ශ්‍රී ලාංකේය පුරවැසියන්ට අවධාරණය කළේ මෙම ගිලන් රථ භාවිතයට නොගන්නා ලෙසයි. වරක් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවේ මෙම ඉන්දියානු ගිලන් රථ වලට ගොඩවීමේදී දෙවරක් සිතන ලෙසත් මෙම ගිලන් රථ වලට ගොඩවී කරන්ට් වැදී මැරෙනවාද ? නැද්ද යන්න ජනතාව විසින් තෝරාගත යුතු බවයි. එසේම, මෙම සේවාව සමග ඉන්දියානුවන් ශ්‍රී ලංකාවේ රැකියා වලට පැමිණෙනු ඇතැයි ඔවුන් ජනතාව තුළ මතයක් වැපිරූ නමුත් මේ වනවිට සුවසැරිය තුළ සම්පූර්ණයෙන්ම සේවය කරන්නේ ශ්‍රී ලාංකිකයින් පමණක්වීම කැපී පෙනේ.    

මුලින්ම ඉන්දියානු රජයේ යළි නොගෙවිය යුතු ප්‍රදානයකින් ආරම්භ කළ සුවසැරිය සේවාව මේ වනවිට සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා රජයේ වියදමින් ක්‍රියාත්මක කරන සේවාවක් වන අතර එය පාලනය වන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය මගිනි.  

2019 පාස්කු බෝම්බ ප්‍රහාරය සිදුවූ අවස්ථාවේ තුවාල ලැබූවන්ට සුවසැරිය විසින් ලබාදුන් ඉතාමත් කාර්යක්ෂම සේවාව බොහෝදෙනාගේ ඇගයීමට පාත්‍රවිය. 

හර්ෂ සඳහන් කරන්නේ සුවසැරිය මගින් මේ වනවිට 6,50,000 කට වැඩි පිරිසක් රෝහල් වෙත රැගෙන ගොස් තිබෙන බවත් ඉන් අඩුම ගණනේ ජීවිත 66,000 ක් බේරාගැනීමට හැකියාව ලැබී තිබෙන බවයි.  එසේම, මෙම ගිලන්රථ තුළ මේ දක්වා දරු උපත් 200 කට වැඩි ගණනක් සිදුවී තිබේ.

කොවිඩ් -19 සටනට සුවසැරිය පෙරමුණේ

සාමාන්‍යයෙන් මේ වනවිට සුවසැරිය සේවාවට දිනකට ඇමතුම් 5300 ක් පමණ ලැබුණු අතර සිදුවීම් 1000 කට පමණ දිනකදී ක්‍රියාත්මක විය. නමුත්, කොවිඩ් -19 වසංගත කාලය තුළදී දිනකදී ලැබෙන ඇමතුම් ප්‍රමාණය සාමාන්‍යයෙන් 9000 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර දිනක් තුළදී ක්‍රියාත්මක වන සිදුවීම් ගණන 1500 ක් දක්වා වර්ධනය වී ඇතැයි මෙම සේවාවේ ප්‍රධාන විධායක නිළධාරී, සොහාන් ද සිල්වා පැවසීය. මෙම සේවාව සාමාන්‍යයෙන් මිනිත්තු 11.25 ක් තුළදී රෝගියෙකු වෙත පැමිණීම තුළින් කියාපාන්නේ මෙහි තිබෙන කාර්යක්ෂමතාවයයි.  

සොහාන් ද සිල්වා සඳහන් කරන්නේ කොවිඩි -19 වසංගතයට මුහුණ දෙන අතරම මාර්ග අනතුරු ඇතුළු අනිකුත් හදිසි අවස්ථාවන් සඳහාද එදා මෙන්ම අදත් සුවසැරිය කාර්යක්ෂමව තම සේවාව ලබාදෙන බවයි.

කොවිඩ් වැනි වසංගතයට මුහුණ දෙමින් නොයෙකුත් අභියෝග මැදින් සුවසැරිය කාර්ය මණ්ඩලය දිවා රෑ එක ලෙස වෙහෙසෙමින් ශ්‍රී ලාංකිකයින්ට ලබාදෙන සේවාව අතිශය ප්‍රශංසනීය බව මෙහිදී සොහාන් පැවසීය.

එසේම, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ඇමතිනී, පවිත්‍රාදේවී වන්නිආරච්චි පසුගිය මාර්තු මාසයේදී සුවසැරිය සේවාව ඇගයීමට ලක්කරමින් පැවසුවේ කොවිඩ් -19 ට එරෙහි සටනේදී සුවසැරිය ඉතාමත් ඉහළ කාර්ය භාරයක් සිදුකරමින් සිටින බවයි.   

Recommended For You

About the Author: Editor