Diplomacy News: රාජ්‍ය තාන්ත්‍රික පුවත්

ශ්‍රී ලංකාවේ ප්‍රංශ ජනරජය සඳහා නම් කළ තානාපති සහ යුනෙස්කෝව සඳහා නම් කළ නිත්‍ය නියෝජිතවරිය සිය රාජකාරි භාර ගනී

ශ්‍රී ලංකාවේ ප්‍රංශ ජනරජය සඳහා නම් කළ තානාපති සහ යුනෙස්කෝව සඳහා නම් කළ නිත්‍ය නියෝජිතවරිය වන මහාචාර්ය ශානිකා හිරිඹුරේගම මැතිනිය 2021 ජනවාරි 08 වැනි දින පැරීසියේ දී සිය රාජකාරි භාර ගත්තාය.

ශ්‍රී ලංකාවේ ජාතික ධජය තානාපති කාර්යාල පරිශ්‍රයේ දී නම් කළ තානාපති මහාචාර්ය හිරිඹුරේගම මැතිනිය විසින් ඔසවන ලද අතර, සහභාගී වූ සියලු දෙනා විසින් ජාතික ගීය ගායනා කරන ලදී.

ඉන්පසුව, රණවිරුවන් සහ මාතෘ භූමිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ අය සැමරීම සඳහා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වන ලද අතර, සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව නම් කළ තානාපතිවරිය සහ කාර්යය මණ්ඩලය විසින් රාජ්‍ය සේවකයන් සඳහා වන දිවුරුම කියවනු ලැබීය.

කාර්යය මණ්ඩලයේ සම්බන්ධීකරණය සහ සහයෝගය වෙනුවෙන් ස්තූති කරන අතරම, අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රංශ ජනරජය සමඟ පවත්නා ආර්ථික හා සමාජ සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත්කම නම් කළ තානාපති මහාචාර්ය හිරිඹුරේගම මැතිනිය විසින් අවධාරණය කරන ලදී.

වියට්නාමය හා ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් ඇරඹිමේ සූදානමක්

ආගමික හා සංස්කෘතික සංචාරක කටයුතු  ප්‍රවර්ධනට දෙරට අතර ඍජු ගුවන් සම්බන්ධතාවයක් ඇති කර ගැනීම සඳහා වියට්නාමයේ හා ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇත.

වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසන්න ගමගේ මහතා හා වියට්නාමයේ හෝ චි මිං නුවර පිහිටි වියට්නාම් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (VCCI)  උප සභාපති සහ සාමාන්‍ය අධ්‍යක්ෂ වෝ ටැන් තාන් මහතා අතර ඉකුත් 11 වැනි දා පැවැති සාකච්ඡාවකදී මේ පිළිබඳව අවධානය යොමු වී තිබේ.

සංචාරක කටයුතු සීමා කොට ඇති කොවිඩ්-19 කාල සීමාව තුළ දී වෙළඳ, ආයෝජන සහ ව්‍යාපාරික සබඳතා සඳහා පහසුකම් සැලසීම පිණිස, ද්විපාර්ශ්වික වෙළඳාම, ආයෝජන සහ සංචාරක අපේක්ෂාවන් මෙන්ම පවත්නා නීතිමය උපකරණ මෙන්ම වෙබ්නාර්, වීඩියෝ සම්මන්ත්‍රණ වැනි නව මාධ්‍යයන් පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී ඔවුහු සමාලෝචනය කළහ.

වෙළඳ, සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලබා දුන් අඛණ්ඩ සහයෝගය පිළිබඳව ගමගේ මැතිතුමා වියට්නාම් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයට සහ උප සභාපති තාන් මහතාට සිය ස්තූතිය පුද කළේය.

මේ වසරේ දී තානාපති කාර්යාලය විසින් සිදු කරනු ලබන ප්‍රවර්ධන වැඩසටහන් සඳහා VCCI හි සහාය ලබා දෙන ලෙස එතුමා ඉල්ලා සිටියේය. ‍ඊට ප්‍රතිචාර දක්වමින්, VCCI හි පූර්ණ සහයෝගය ලබා දෙන බවට තාන් මහතා සහතික වූ අතර, හෝ චි මිං හි පැවැත්වෙන වඩාත්ම කැපී පෙනෙන ප්‍රවර්ධන වැඩසටහන් දෙක වන මෙම වසරේ අග භාගයේ දී පැවැත්වීමට නියමිත වියට්නාම් එක්ස්පෝ 2021 (VN Expo) සහ ජාත්‍යන්තර සංචාරක එක්ස්පෝ 2021 (ITE) සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය.

මෙම ප්‍රදර්ශන දෙක සඳහා අදාළ කර්මාන්තවල ප්‍රධාන පාර්ශ්වකරුවන් විශාල සංඛ්‍යාවක් සහභාගී වන අතර, එමඟින් නව හවුල්කාරීත්වයන් හා සබඳතා ගොඩනැගීම සඳහා ශක්තිමත් වේදිකාවක් සපයයි.

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ගුවන් සේවාවක් ආරම්භ කීරිමෙන් දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බව තාන් මහතා මෙහි දී පෙන්වා දුන්නේය. දෙරට අතර වෙළඳ, ව්‍යාපාර සහ සංචාරක කටයුතු වැඩි දියුණු කිරීම සඳහා පවතින ප්‍රධාන බාධකය ලෙස පුද්ගලාන්තර සබඳතා අවම වීම බව ඔහු පෙන්වා දුන්නේය.

දෙරට අතර නිරන්තර හා පහසු ගමන් බිමන් තුළින් අන්තර් ක්‍රියාකාරීත්වය ඉහළ නංවන අතර, එමඟින් ජනතාව අතර අභ්‍යන්තරික ධනාත්මක බවක් ඇති වන බව ඔහු පැවසීය. සෘජු ගුවන් සම්බන්ධකතාවයක් ස්ථාපිත කිරීම ශ්‍රී ලංකා බලධාරීන්ගේ අවධානයට ලක්ව ඇති බවත්, ජනතාව අතර සම්බන්ධතා වැඩි කිරීම පිළිබඳව උප සභාපතිවරයාගේ අදහසට එකඟ වූ බවත් තානාපති ගමගේ මැතිතුමා මෙහිදී ප්‍රකාශ කළේය.

VN Expo සහ ITE 2021 සඳහා සහභාගීත්වයට අතිරේක වශයෙන් මෙම වසර තුළ දී ප්‍රවර්ධනය කිරීම සඳහා අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් අංශ කෙරෙහි අවධානය යොමු කරමින් වෙබිනාර් සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට තාන් මහතා සහ තානාපති ගමගේ මැතිතුමා එකඟ වූහ.

හෝ චි මිං හි වියට්නාම් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ අන්තර්ජාතික සබඳතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ න්ගුයෙන් වැන් ටුවාන් මහතා සහ අංශ භාර නිලධාරි න්ගුයෙන් ක්වින් නු මහත්මිය ද මෙම රැස්වීමට සහභාගී වූහ.

ශ්‍රී ලංකාව හා මියන්මාරය අතර ගුවන් ගමන් ළඟදීම ඇරඹෙයි ?

ශ්‍රී ලංකාව හා මියන්මාරය අතර ගුවන් ගමන් ආරම්භ කිරිම සදහා පැවැති සාකච්ඡා සාර්ථක වී තිබේ. මියන්මාරය සමඟ ගුවන් සම්බන්ධතා ඇති කර ගැනීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ ප්‍රධානත්වයෙන් විදේශ අමාත්‍යාංශයේ දී පැවැති මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කලාපීය කළමනාකරු (අග්නිදිග ආසියාව) මොහාන් මීගොල්ල මහතා මෙන්ම අන්තර්ජාලය ඔස්සේ මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමා ද සම්බන්ධ වී සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ තානාපති මහාචාර්ය සිල්වා මැතිතුමා දෙරට අතර පවතින බෞද්ධ සංස්කෘතික සම්බන්ධතාවය හේතුවෙන් ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර ගුවන් සම්බන්ධකතාවය පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡා පවත්වා ඇති බව පැවසීය. මේ අනුව 2021 වසරේ මැද භාගයේදී දෙරට අතර ගුවන් ගමන් ආරම්භ කීරිමට හැකි වනු ඇති බවද මෙම සාකච්ඡාවේදී විශ්වාසය පල විය.

මියන්මාර බෞද්ධ භික්ෂූන් වහන්සේලා 300 නමක් පමණ මේ වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබන අතර, ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේලා සහ නියෝජිත කණ්ඩායම් රැසක් භාවනා සහ වෙනත් ආගමික අරමුණු සඳහා මියන්මාරයට පැමිණේ. මියන්මාරයේ සිට වෛද්‍ය සංචාරක කටයුතු සඳහා විශාල ඉඩ ප්‍රස්තාවක් පවතින බව එතුමා වැඩිදුරටත් පැවසීය. මියන්මාර රජය, සංචාරක සංගම් සහ විශේෂයෙන් මියන්මාරයේ ජනාධිපතිවරයා ද  මෙම ගමනාන්ත දෙක අතර ගුවන් සම්බන්ධතාවය ඇති කිරීම කෙරෙහි සිය උනන්දුව ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහකාර අධ්‍යක්ෂ ජීවන ප්‍රනාන්දු මහතා, පශ්චාත් කොවිඩ් අවධියේ දී බෞද්ධ සංචාරකයින් මෙරටට පිළිගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බැවින්, මෙය විශිෂ්ට පියවරක් මෙන්ම කාලෝචිත කටයුත්තක් ලෙස ප්‍රශංසා කළේය. මේ සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මියන්මාරයේ සිට සංචාරකයින්ගේ පැමිණීම ප්‍රවර්ධනය කිරීම පිණිස ප්‍රබල ව්‍යාපාරයක් දියත් කිරීම සඳහා ඔවුන්ගේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට තහවුරු කළේය.

විදේශ ලේකම් මහාචාර්ය කොළඹගේ මහතා සිය අදහස් දක්වමින්, මියන්මාරයට ගුවන් ගමන් ආරම්භ කිරීම මඟින් දෙපාර්ශ්වයේම සංචාරකයින් සඳහා පහසුකම් සැපයෙන බවත්, සංචාරකයින් සඳහා ජනවාරි 21 වැනි දින ශ්‍රී ලංකාව ගුවන් තොටුපල විවෘත කිරීමට සූදානම් වන බැවින් එය කාලෝචිත වන බවත් පැවසීය. විශේෂයෙන් අග්නිදිග ආසියාවේ අසල්වැසි රටවල් කෙරෙහි අවධානය යොමු කිරීමට අතිගරු ජනාධිපතිතුමා අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේය. මියන්මාරය ශ්‍රී ලංකාවේ සමීපතම නාවික අසල්වැසි රටක් වන අතර, දෙරට අතර වෙළඳ සබඳතා වැඩි දියුණු කිරීම සඳහා විශාල ඉඩ ප්‍රස්තාවක් පවතින බව ද විදේශ ලේකම්වරයා අවධාරණය කළේය.

මෙම රැස්වීම සඳහා ගුවන් ගමන් හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම්වරයා සහ නිලධාරීන්, විදේශ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නැගෙනහිර), නියෝජ්‍ය නීති උපදේශක සහ නිලධාරීන්, මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරීන් ද සහභාගී වූහ.

ශ්‍රී ලංකාව සහ මියන්මාරය ක්‍රි.පූ. 04 වැනි සියවස දක්වා දිවෙන බුද්ධාගම පදනම් කරගත් ඉතිහාසයකට හිමිකම් කියයි. අනුරාධපුර රාජධානි සමයේ දී බොහෝ මියන්මාර භික්ෂූන් වහන්සේලා සහ ගිහියන් නිතර ශ්‍රී ලංකාවට පැමිණි අතර, පොළොන්නරුව රාජධානි සමයේ දී පළමුවැනි විජයබාහු රජු, පළමුවැනි පරාක්‍රමබාහු රජු සහ දෙවැනි විජයබාහු රජු සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූහ. 1865 දී ශ්‍රී ලංකාවේ රාමඤ්ඤ නිකාය පිහිටුවීම මියන්මාරය සමඟ පවතින දීර්ඝ කාලීන සම්බන්ධතාවයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස දැක්විය හැකිය. ශ්‍රී ලංකාව 1949 දී මියන්මාරය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා ගත් අතර, 2019 දී වසර 70 ක රාජ්‍යතාන්ත්‍රික සබඳතා සැමරීය.

Recommended For You

About the Author: Editor