ශ්‍රී ලංකාවේ පළිබෝධනාශක භාවිතයේ ‘තිත්ත ඇත්ත’ විගණකාධිපතිවරයා හෙළිකරයි !

අපනයනය කරන එළවළු වර්ගවලද, තේ තුළද අනුමත සීමාව ඉක්මවූ පළිබෝධනාශක

දේශීය රසායනාගාර පරීක්ෂාවන් තුළින් පළිබෝධනාශක පරීක්ෂාවන් නෑ

කල් ඉකුත්වූ පලිබෝධනාශක පරිසර හිතකාමී ලෙස අපහරණය කිරීමේ ක්‍රියාවලිය අසාර්ථකයි

2013 වසරේ සිට 2017 වසර දක්වා ඩොලර් මිලියන 225ක වටිනාකමින් යුතු පළිබෝධනාශක මෙට්‍රික් ටොන් 28,640ක් ආනයනය කර ඇතැයි ද පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචිවී ලබාගත් විධිමත් සහතිකයක් යටතේ 2018 වනවිට අලෙවි කටයුතු කර ඇත්තේ අලෙවි සැල් 2294ක් අතුරින් 1079ක් පමණක් බව ද පළිබෝධනාශක ආනයනය, භාවිතය හා එහි පාරිසරික බලපෑම සම්බන්ධයෙන්වූ විගණකාධිපතිවරයාගේ පරිසර විගණන වාර්තාව සදහන් කරයි.

එම වාර්තාවේ මෙසේද සදහන් වේ.

පළිබෝධනාශක ආනයනය, ඇසිරීම, ලේබල් කිරීම, ගබඩා කිරීම, සංයෝග සකස් කිරීම, ප්‍රවාහනය කිරීම, විකිණීම, විකිණීම සඳහා බෙදා හැරීම සහ භාවිතය පාලනය කිරීම සඳහා අවශ්‍ය වන විධිවිධාන 1980 අංක 33 දරන පළිබෝධනාශක පාලන පනත මගින් ඇතිකර ඇති අතර එම කටයුතු නියාමනය පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය මගින් සිදු කෙරෙයි.

2013 සිට 2017 දක්වා ආනයනය කර ඇති මුළු පළිබෝධනාශක ප්‍රමාණය මෙට්‍රික් ටොන් 28,640කි. ඒ සඳහා ඩොලර් මිලියන 225ක් වැයකර ඇත. එම මුළු ප්‍රමාණයෙන් 63%ක් වල්නාශකද, 20%ක් කෘමිනාශකද, 17%ක් දිලීර නාශකද තිබී ඇත.

2019 ජුනි 30 වනවිට ආනයනික පළිබෝධනාශකවල අඩංගු සක්‍රිය සංඝටක ප්‍රමාණය 200ක් වී ඇති අතර ඒ සඳහා පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ආනයනකරුවන් 80ක් ලියාපදිංචි වී ඇත.

ආනයන පලිබෝධනාශකවල යෝග්‍යතාව පරික්ෂා කිරීම සඳහා එම පළිබෝධනාශක නිෂ්පාදිත රටවලින් නිකුත් කරන තත්ව සහතිකය පාදක කරගෙන ඇති අතර සියයට සියයක්ම දේශීය රසායනාගාර පරීක්ෂාවන් තුළින් පළිබෝධනාශක පරීක්ෂාවන් සිදුනොවන බව නිරීක්ෂණය වී ඇත. පවතින භෞතික සම්පත් හා මානව සම්පත් උපයෝගි කරගනිමින් පළිබෝධනාශක සංඝටක 200කින් 18කට අදාළව රසායනාගාර පරීක්ෂණ කර ඇති අතර එම ප්‍රමාණය හා ක්‍රියාවලිය ප්‍රමාණවත් නොවන බව නිරීක්ෂණය වී ඇත.

පළිබෝධනාශක අලෙවි සහතික ලබාදීම විධිමත් ආකාරයෙන් ක්‍රියාත්මක නොවන බව නිරීක්ෂණය වී ඇති අතර පළිබෝධනාශක අලෙවිසැල් නියාමනයද ප්‍රමාණාත්මකව හා අඛණ්ඩව සිදුනොවන බව නිරීක්ෂණය වී ඇත.

කෘෂිකර්ම කටයුතු සඳහා භාවිත කරන පළිබෝධනාශකවල අඩංගු සක්‍රිය සංඝටක 110ක් අතුරින් 60ක් සඳහා පමණක් පෙර අස්වනු කාලය හා උපරිම අවශිෂ්ට සීමා (පළිබෝධනාශක යම් ප්‍රමාණයක් ආහාර තූළ හෝ ආහාර මත පැවතීම පළිබෝධනාශක අවශිෂ්ට ලෙස හැඳින්වේ.) 219ක් තීරණය කර තිබෙන අතර සංඝටක 50ක් සඳහා උපරිම අවශිෂ්ට සීමා ස්ථාපිත කර නැත.

කල් ඉකුත්වූ පලිබෝධනාශක පරිසර හිතකාමී ලෙස අපහරණය කිරීමේ ක්‍රියාවලිය සාර්ථකව සිදුනොවන බව නිරීක්ෂණය වී ඇති අතර 2019 සැප්තැම්බර් 30 වන විට අපහරණය නොකරන ලද කල් ඉකුත්වූ පළිබෝධනාශක ද්‍රව ආකාරයේ ලීටර් 2057ක් හා ඝන ආකාරයේ කිලෝ ග්‍රෑම් 24,153ක් රාජ්‍ය අංශයට අයත් ස්ථාන කිහිපයක ගබඩා කර තිබී ඇත.

ආනයන කරනු ලබන පළිබෝධනාශක නියැදි රසායනාගාර පරීක්ෂණයකට භාජනය කිරීමට අවශ්‍ය භෞතික හා මානව සම්පත් රේගුවේ ස්ථාපිත කර නොමැති අතර ආනයනකරු විසින් ඉදිරිපත් කරනු ලබන තත්ව සහතිකයට නිශ්කාෂණය සිදුකර ඇත.

අම්පාර, කළුතර, මාතර, ගම්පහ, කුරුණෑගල, පුත්තලම හා නුවරඑළිය දිස්ත්‍රික්කවල වී, කොළ එළවළු, අන්නාසි, අඹ, ගස්ලබු, මිරිස් හා එළවළු සම්බන්ධව සිදුකරන ලද නියැදි පරීක්ෂණයේදී ගොවීන් පරිසරයට හා මානව සෞඛ්‍යයට හිතකර ආකාරයට පළිබෝධනාශක භාවිතය සිදුනොකරන බව නිරීක්ෂණය වී ඇත.

පළිබෝධනාශක භාවිකය හා පසු භාවිතය නියාමනය හා පාලනය කිරීමට අවශ්‍ය නිලධාරීන්, පුහුණුව හා අඛණ්ඩ දැනුම යාවත්කාලීන කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග වගකිව යුතු ආයතන විසින් තවදුරටත් සිදුකළ යුතු බව නිරීක්ෂණය වී ඇත.

පරිසර හිතකාමී හා මානව සෞඛ්‍යයට ගැළපෙන යහපත් කෘෂිකාර්මික පිළිවෙත් ක්‍රියාත්මක කිරීම සඳහා ගුඩ් ඇගිරිකල්චරල් ප්‍රැක්ටිස් වැඩසටහන හඳුන්වාදී තිබුණද ගෝවීන් අතර එය ක්‍රියාත්මක කිරීම පහළ මට්ටමක පැවතී ඇත.

පළිබෝධනාශක අලෙවිය මූලික වශයෙන් පුද්ගලික අලෙවිකරුවන් මගින් සිදුකෙරෙන අතර අලෙවිකරුවන් බහුතරයකට පලිබෝධනාශක පිළිබඳ විධිිමත් පුහුණුවක් ලබාදී නැත. එසේ වුවද පළිබෝධ ගැටලු හා පළිබෝධනාශක පිළිබඳ ගොවීන් උපදෙස් ලබාගෙන ඇත්තේ ඔවුන්ගෙනි.
පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචිවී ලබාගත් විධිමත් සහතිකයක් යටතේ 2018 වනවිට අලෙවි කටයුතු කර ඇත්තේ අලෙවි සැල් 2294ක් අතුරින් 1079ක් පමණි.

නුවරඑළිය එළවළු වගාව සම්බන්ධයෙන් පාංශු සාම්පල 162ක පවතික රසායනාගාර වාර්තා පරික්ෂාවේදී තිබිය යුතු අවම පොස්පරස් ප්‍රමාණය ඉක්මවූ නියැදි 159ක් හඳුනාගෙන ඇත. එම නියැදි 159හි පොටෑසියම් ප්‍රමාණය ඉක්මවූ නියැදි 73ක්ද හඳුනාගෙන ඇත.

අපනයනය කරන එළවළු වර්ගවලද, තේ තුළද අනුමත සීමාව ඉක්මවූ පළිබෝධනාශක තිබී ඇත.
ප්‍රොෆෙනොපොස් පළිබෝධනාශකය යෙදිය හැකි සියලු ආහාර බෝගවල පළිබෝධනාශක යෙදීම හා අස්වනු නෙලීම අතර අවම කාල සීමාව දින 14ක් වූවත් එම අවම සීමාවන් ගොවීන් අනුගමනය නොකරන බව කරන ලද සාකච්ඡාවලදී අනාවරණය වී ඇත.

ඔබට මෙම විගණන වාර්තාව පහත සදහන් ලින්ක් එක ඔස්සේ බාගත කරගත හැකිය.

http://naosl.gov.lk/web/images/audit-reports/upload/2020/performance/The_Environmental_Audit_Report-Sinhala.pdf

පළිබෝධනාශක ආනයනය, භාවිතය හා එහි පාරිසරික බලපෑම සම්බන්ධයෙන්වූ විගණකාධිපතිවරයාගේ පරිසර විගණන වාර්තාව ඇසුරිනි.

Recommended For You

About the Author: Editor