කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ ‘විප්ලවීය වෙනසකට’ සූදානම් – කෘෂිකර්ම ඇමැතිගෙන් ප‍්‍රතිඥාවක්

ඉපැයුම් ආනයන ආර්ථිකයෙන් මිදී අපනයන ආර්ථිකයක් කරා ළඟා වීම කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නව වැඩපිළිවෙළක්

මෙරට කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කරමින් ඉපැයුම් ආනයන ආර්ථිකයෙන් මිදී අපනයන ආර්ථිකයක් කරා ළඟාවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩපිළිවෙළක් දියත් කොට ඇති බවත් එහිදී ප‍්‍රධාන ඉලක්ක තුනක් කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියයි.

කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (19) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදීය. දිවයිනම ආවරණය වන පරිදි කේන්ද්‍රගත දත්ත කෘෂිකර්ම පද්ධතියක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාව කැඳවා තිබුණේය.

එහිදී කෘෂිකර්ම අමාත්‍යවරයා මෙසේ ද සඳහන් කළේය.

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කරමින් ඉපැයුම් ආනයන ආර්ථිකයෙන් මිදී අපනයන ආර්ථිකයක් කරා ගමන් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. මෙහිදී අප ප්‍රධාන ඉලක්ක තුනක් වෙත අවධානය යොමු කර තිබෙනවා.  ඒ අනුව කෘෂිකර්මය සදහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම, දිවයිනම ආවරණය වන පරිදි කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දත්ත පද්ධතියක් සකස් කිරීම සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු ආයතන එකට වැඩ කිරීම ඒ වැඩපිළිවෙළයි.

අපට ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් නෑ

කෘෂිකාර්මික රටක් වශයෙන් රජයේ ප්‍රමුඛතා ලැයිස්තුවට ඇතුළත්ව ඇති කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් කෘෂිකර්මාන්තය දියුණු කිරීමේදී කෘෂිකර්මාන්තය සදහා ජාතික ප්‍රතිපත්තියක් නොමැකිතම ප්‍රධාන ගැටලුවක් බවට පත්ව තිබෙනවා.

මෙහිදී රේඛීය අමාත්‍යාංශය, පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ නවය, මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැනි කෘෂිකර්මයට සම්බන්ධ ආයතන එකට කටයුතු කිරීමේදී ඒ පිළිබදව ජාතික ප්‍රතිපත්තියක් නොමැතිකම විශාල ගැටලුවක් බවට පත්ව තිබෙනවා.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කෘෂිකර්මාන්තය සදහා ජාතික ප්‍රතිපත්තියක් සකස් විය යුතු බව සදහන් කර තිබෙනවා. මේ වන විට මෙම ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම සදහා 14 දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබෙනවා. එම කමිටු වාර්තාව තව මාස හයකින් පමණ අමාත්‍යාංශය ලබාදිය යුතුව තිබෙනවා. ඒ කියන්නේ ඉදිරි මාස හය ඇතුළත ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය එළිදැක්වීමට අපට හැකියාව ලැබෙනවා.

ජාතික ප්‍රතිපත්තියක් නොවීමේ ගැටලු

කෘෂිකර්මාන්තය සදහා ජාතික ප්‍රතිපත්තියක් නොවීම නිසා ගැටලු රැසක් පැනනැගී තිබෙනවා. නිදසුනක් ලෙස බීජ සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් නොමැතිකම නිසා ඇතිවී තිබෙන ගැටලු පෙන්වාදිය හැකියි.

මේ වන විට මෙරටට බීජවර්ග 27ක් ආනයනය කරනවා. බීජ ආනයනය කරනවා වෙනුවට අපි අපට අවශ්‍ය බීජ නිෂ්පාදනය කරගත යුතුයි. පොහොර භාවිතය ගත්විට කන්නයෙන් කන්නයට පොහොර භාවිතා කරන ආකාරයේ වෙනස්කම් තිබෙනවා. ඒ වගේම තමයි ගොවීන්ට වගා කිරීමට අවශ්‍ය ජලය ලබාදීම සිදුකරන්නේ මහවැලි හරහායි.

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් එළිදැක්වූ පසු කෘෂිකර්මාන්තය හා සම්බන්ධ ගන්නා වූ සියලුම තීරණ ගන්නේ ඒ හරහායි.

විධිමත් දත්ත නෑ

කෘෂිකර්මාන්තය හා සම්බන්ධ විධිමත් දත්ත පද්ධතියක් නොමැතිකම ද කෘෂිකර්ම අමාත්‍යාංශය මුහුණ දෙන බරපතළ ගැටලුවක්. කොපමණ කුඹුරු ඉඩම් ප්‍රමාණයක් තිබෙනවාද ? කොපමණ වගාකර තිබෙනවාද ? කොපමණ නිෂ්පාදනයක් තිබෙනවාද ? මේ පිළිබද නිවැරදි හා කාලීන දත්ත ලබා ගැනීමේ ක්‍රමවේදයක් නෑ. ඒ නිසා කෘෂිකර්ම අමාත්‍යාංශය දත්ත පද්ධතියක අවශ්‍යතාව තදින්ම තිබෙනවා.

මේ වන විට 60%කින් පමණ දත්ත පද්ධතියේ කටයුතු අවසන් කර තිබෙනවා. ඉදිරි මාස තුන තුළ එහි කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරනවා. මේ සදහා අවශ්‍ය තොරතුරු කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් හරහා ලබා ගැනීම නියමිත තිබෙනවා. ඔවුන්ට ඒ සදහා අවශ්‍ය පරිගණක ලබාදීමට නියමිතව තිබෙනවා.

එකට එක්ව වැඩකිරීම

මීට සමගාමීම කෘෂිකර්මාන්තයට සම්බන්ධ සියලුම ආයතන එකට එක්ව වැඩ කිරීම මගින් අපේ රටේ කෘෂිකර්මික ක්ෂේත්‍ර යේ දැවැන්ත පෙරළියක් කිරීමට අපේක්ෂා කරනවා.මේ වන විටත් පළාත් ආණ්ඩුකාරවරු, ප්‍රධාන ලේකම්වරු, ඇතුළු අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කර තිබෙනවා

කෘෂිකර්ම අමාත්‍යවරයා කළ සම්පූර්ණ කතාව ඔබට පහත ලින්ක් එක ඔස්සේ නැරඹිය හැකිය. https://www.vishmithacloud.com/s-fjUqwmZf

Recommended For You

About the Author: Editor