සිරස ලක්ෂපති: ‘ගාල්ලේ ෂුක්රා – පාකිස්ථානයේ මලාලා’ සහ තවත් කතා

ගෝලීය මහ බලවතුන්ගේ අනුග්‍රහය ඇතිව නොබෙල් සාම ත්‍යාගය ලැබූ පාකිස්තානි යුවතිය මලාලා යූසෆ්සායි කලක් තොරම්බල් වූ අයුරු, අවසානයේ වෙළඳපල තරගයෙහි අලෙවිවන “ෂුක්රලා” ගැන ඉතිරි වන්නේ අනුකම්පාවක්ම පමණි.  

සිරස “ලක්ෂපති” වැඩසටහනට පසුගිය සතියේ පැමිණි ගාල්ලේ මුස්ලිම් පාසල් දැරිවිය ලක්ෂ 20 ක දිනුම රැගෙන යාම විශේෂයෙන් ෆේස් බුක් ලෝලීන් අතර ඉමහත් කතා බහට ලක් විය. 

පාසල් දැරිවියක් හෙයින් තම සමාජ ආර්ථික වටපිටාව පිළිබඳව තවම පූර්ණ අවබෝධයක් නැතත් ඇය සැබවින්ම ඉතා දක්ෂ දැරිවියකි. ඒ ගැන වාදයක් නැත.  එනිසා ඇයගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇයට හිමි ගෞරවය හා ඇගයුම කිසිදු අඩුවකින් තොරව ඇයට පිරිනමමින්, සිරස “ලක්ෂපති” වැඩසටහන ගැන ඉතා කෙටි සටහනක් මෙසේ තබමි.  

අපේ රටේ ප්‍රධාන රූපවාහිනි නාලිකා හත අටක වැඩසටහන් රොත්ත අතරින් උනන්දුවක් ඇතිව යම් දැනුමක් අතගා ගත හැකි වැඩසටහන සිරස “ලක්ෂපති” වැඩසටහන විය යුතුය.  එයට එක් ප්‍රධාන සාධකයක් ලෙස මා සළකන්නේ රූපවාහිනි වැඩසටහන් සම්පාදනය කිරීමේ හා ඉදිරිපත් කිරීමේ අවුරුදු 30 ට වැඩි අත්දැකීම් ඇති සහ වැඩසටහන සඳහා අවශ්‍ය පූර්ව සූදානම සමගින් වැඩසටහන මෙහෙයවන්නා ලෙස අසුන් ගන්නා චන්දන සූරියබණ්ඩාරගේ ප්‍රසන්න දායකත්වයද වන්නේය. 

එය එසේවන අතර, අපගේ වෙළඳපලෙහි ඉතා සීමිත වෙළඳ ප්‍රචාරක ආදායම බෙදා ගැනීමේ තරගය වෙනුවෙන් හැම රූපවාහිනි ආයතනයක්ම තම ආයතනික ප්‍රතිරූපය (Station Image) බහුතරයකට ගැලපෙන අයුරු ස්ථානගත කරන්නට උත්සාහ දරති.    

බොහෝ සිංහල නාලිකා ඒ සඳහා උත්සාහ ගන්නේ සිංහල-බෞද්ධ බහුතරයේ නාලිකාව ලෙස පිළිගැනුමක් හදා ගන්නටය. ඇතැම් නාලිකා එය විවෘතව, ප්‍රචාරාත්මකව කරන්නේ එවැනි ප්‍රසිද්ධියක් සමග දේශපාලන බලය හා කේවල් කිරීමටත් ජාවාරම්කාර ගනුදෙනු සඳහා පහසු ඉඩක් හදා ගැනීමටත්ය. 

රාජ්‍ය නාලිකා සහ තවත් කිහිපයක් පාසල් අධ්‍යාපනය සමගින් කාලාන්තරයක සිට රාජ්‍ය මතවාදය ලෙස තහවුරුව ඇති සිංහල-බෞද්ධ අධිපතිවාදයෙහි සීමා සමගින් ඉන්නාහ. එනිසා ඒවා සිංහල-බෞද්ධ මතවාදයට දායක වන බවක් බොහෝවිට එකවර පෙනෙන්නේ නැත. සූරියබණ්ඩාර මෙහෙයවන “ලක්ෂපති” දැනුම මිණුම වැඩසටහනද එවැන්නකි. එය එසේ යැයි පසුගියදා තරග වැදුණු ජයග්‍රාහි මුස්ලිම් දැරිවිය ෂුක්රා මුනව්වර් දැන් ඇගයෙන අයුරින් යළි තහවුරු වන්නේය.    

Screen Shot 2021 01 19 at 3.53.00 PM

ඇය ගැන කතා කෙරෙන්නේ ඇයගේ ඇත්ත ශක්තිය මත නොව, “ගුත්තිලය” හා “සිංහබාහු” පිළිබඳව ඇය දැක්වූ අදහස් අනුවය.   එයට හේතුව වැඩසටහන මෙහෙයවන සූරියබණ්ඩාර ඇයව ඔසවා තැබුවේ ඒ වෙනුවෙන් නිසා ය.

“ඇය සිංහසීවලී වූවානම්” යැයි සූරියබණ්ඩාර ඇසුවේද “කවදාවත් තාත්තා දාලා යන්නේ නැහැ” යැයි ඇයගෙන් ලැබෙන පිළිතුර කලින් දැන සිටි හෙයින් යැයි මම සිතමි.  

ඇයගේ ඒ පිළිතුර සිංහල-බෞද්ධයින් කර ගසා ගත්හ.    එක් සිංහල-බෞද්ධයෙකුගේ සටහන වූයේ ඇය ආදර්ශමත් “සිංහ දෝනියකි” යන්න ය. එනිසා ඇයව ඇගයෙන්නේ ඇයගේ මුස්ලිම් අනන්‍යතාවද ඇයට අහිමි කිරීමෙනි.  

ලක්ෂපති වැඩසටහනෙහි දැනුම මැනෙන්නේ එවැනි ඉතා පටු සිංහල-බෞද්ධ දැනුම් තීරුවක තරගකරුවන් තරගකාරියන් අසුන් ගැන්වීමෙනි.  එනිසා පෘතුගීසින් ලක් බිමට ගොඩ බසින විට කෝට්ටේ රජු කවුරුන්දැයි ඇසුවාට එවක යාපනයේ රජු කවරෙක්දැයි අසන්නේ නැත.  

නැගෙනහිර පළාතේ මුස්ලිම් ප්‍රජාව අතර “කාරියප්පාර්” යැයි අරාබි මූලයකින් තොර නමක් ඇත්තේ කෙසේදැයි අසන්නේ නැත.  කන්ද උඩරට වැවිලිකරයේ ජනතාවගේ “පුරවැසි සහ ඡන්ද අයිතිය” අහෝසි කෙරුණේ කවර අවුරුද්දේ දැයි අසන්නේ නැත.  “ඉන්දු ලංකා ගිවිසුම” අත්සන් තැබුණේ කවදා කවුරුන් විසින් දැයි අසන්නේ නැත. සාලිය කුමරුගේ මව කවුරුන්දැයි අසන්නේද නැත.  

“ලක්ෂපති” වැඩසටහන මූලික වශයෙන් මේ ලංකාව බහු වාර්ගික, බහු ආගමික, බහු සංස්කෘතික හා ද්වි භාෂාමය රටක් යන්න අමතක කරමින් දැනුම උරගා බලන වැඩසටහනකි.   එනිසා යාපනයේ දෙමළ රාජධානිය ගැන, දෙමළ සාහිත්‍ය ගැන, අතීතයේ වූ දෙමළ හා මුස්ලිම් ප්‍රජා නායකයින් ගැන, ආනන්ද කුමාරස්වාමි, එම්. සී. සිද්දි ලෙබ්බේ වැන්නවුන් ගැන “ලක්ෂපති” වැඩසටහනෙහි ප්‍රශ්න ඇසෙන්නේ නැත. ප්‍රශ්නාවලින්හි දෙතුන් පලක සාමාන්‍ය බුද්ධියට අදාල ප්‍රශ්නයක් දෙකක් ඇතුළත් වුවද ඒවාද බොහෝවිට ඉතා පටු විෂය දැනුමකට සීමා කෙරෙන්නේය.  

පසුගියවර ෂුක්රා දැරිවියගෙන් ක්ෂුද්‍ර ජීවින් හා ආතර් සී ක්ලාක් සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්න එවැනි ය.  එහෙත් නූතන ලෝකය විවෘත කෙරෙන ආකාරයේ ප්‍රශ්න ඉඳහිටවත් ඇසෙන්නේ දැයි නොදනිමි.  ලතින් ඇමෙරිකාවේ ස්පාඤ්ඤ භාෂාව කතා නොකරන රටවල් මොනවාද, එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමට අත්සන් තැබූ ආරම්භක රටවල් කොපමණද,  ලංකාව එහි සාමාජිකත්වය ගත්තේ කුමන වසරේද හෝ න්‍යෂ්ටික අවි ගබඩා නිල වශයෙන් තබාගෙන ඉන්නා රටවල් කොපමණක් තිබේද වැනි ප්‍රශ්න තරගකරුවන්ට ඉදිරිපත් කරනවා අසා නැත.  

“ජීවිත කාලය පුරා සංගීතයට කෙරුණු දායකත්වය” වෙනුවෙන් පිදෙන “ග්‍රැමි සම්මානය” ලැබූ ආසියානු සංගීතඥයා කවුරුන්දැයි යන්න හෝ කොපමණ කලු ජාතිකයින් ඔලිම්පික් රන් පදක්කම දිනා ඇතිදැයි වැනි ප්‍රශ්න තරගකරුවන්ට ඉදිරිපත් කෙරෙනවාද අසා නැත. 

sirasa 12

 “ලක්ෂපති” වැඩසටහන සඳහා ප්‍රශ්න සකසන මඬුල්ලෙහි කොපමණ දෙමළ හා මුස්ලිම් විද්වතුන් ඉන්නේදැයි කවුරුන් හෝ කියන්නේ නම් වැදගත් ය.  කොපමණ කාන්තාවන් ඉන්නේදැයි කියන්නේ නම්, එයද ඉතා වැදගත්ය.  

එවගේම කවර විෂය ක්ෂේත්‍ර ආවරණය වන්නේදැයි කියන්නේ නම් එයත් වැදගත් ය. ඉදිරිපත් කෙරෙන ප්‍රශ්න අනුව නම්, ප්‍රශ්න හැදෙන්නේ “ලක්ෂපති” වැඩසටහන සමාජගත කිරීමේ සිංහල-බෞද්ධ මතවාදය හා එක මග යෑමටය. එබැවින් “ෂුක්රලා” සමාජගත කරනු ඇත්තේ ප්‍රචාරක වෙළඳපල තරගයට මිස “බහු සංස්කෘතික” සමාජයක් වෙනුවෙන් නොවන බව ඉදිරියටත් දැකිය හැකි වනු ඇත.  

ගෝලීය මහ බලවතුන්ගේ අනුග්‍රහය ඇතිව නොබෙල් සාම ත්‍යාගය ලැබූ පාකිස්තානි යුවතිය මලාලා යූසෆ්සායි කලක් තොරම්බල් වූ අයුරු, අවසානයේ වෙළඳපල තරගයෙහි අලෙවිවන “ෂුක්රලා” ගැන ඉතිරි වන්නේ අනුකම්පාවක්ම පමණි.  

කුසල් පෙරේරා –  සමාජ හා දේශපාලන විශේලේෂක හා ප්‍රවීන මාධ්‍යවේදී 

Recommended For You

About the Author: Editor