Diplomacy News: රාජ්‍ය තාන්ත‍්‍රික පුවත් ගොනුව

ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර ද්වීපාර්ශ්වික වෙළඳාම දියුණු කිරීමේ සාකච්ඡා

ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වෙළඳ ගනුදෙනු සඳහා පවතින අවස්ථාවන් පිළිබඳව සාකච්ඡාවක් ඉකුත් 13 වන දා පැවැත්විණ. මැනිලා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අන්තර්ජාලය ඔස්සේ සංවිධානය කර තිබු මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව (STC) සහ පිලිපීන ජාත්‍යන්තර වෙළඳ සංස්ථාව (PTIC) නියෝජනය කරමින් නිලධාරීහු සහභාගි වී සිටියහ.

දෙරටේ ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් යුතුව වෙළඳ අංශයේ වටිනා පියවරයන් අනුගමනය කරන ලෙස තානාපති ශෝබිනී ගුණසේකර මැතිනිය සිය පිළිගැනීමේ කතාවේදී සංවිධාන දෙකෙන්ම ඉල්ලා සිටියාය. දෙරටේ ශක්තීන් හා විශේෂඥතාවයන්, විශේෂයෙන් අනෙකුත් අංශ අතර, කෘෂිකර්මාන්තය, තොරතුරු තාක්‍ෂණය, සැකසූ ආහාර නිෂ්පාදනය යනාදිය සඳහා අනුපූරක විය හැකි වෙළඳ ක්ෂේත්‍රවල නියැලීම සඳහා සුදුසු ක්ෂේත්‍ර හඳුනා ගැනීමේ වැදගත්කම පිළිබඳව තානාපතිවරිය මෙහිදී අවධාරණය කළාය.

ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ අලෙවිකරණ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මහේෂ් මෙන්ඩිස් මහතා ඔවුන්ගේ ආයතනය වෙත පැවරී ඇති බලතල සහ කාර්යයන් පිළිබඳ දළ විශ්ලේෂණයක් ලබා දුන්නේය. පිලිපීන වෙළඳපොළ තුළ අලෙවි කිරීම සඳහා ඉහළ ඉඩ ප්‍රස්තාවක් පවතින ශ්‍රී ලාංකික වෙළඳ භාණ්ඩ සහ නිෂ්පාදන මෙන්ම, ශ්‍රී ලංකාවේ වෙළඳපොළ සඳහා පිලිපීන නිෂ්පාදන ආනයනය කිරීම සඳහා පවතින අවස්ථාවන් පිළිබඳව ද ඔහු විස්තර කළේය.

එමෙන්ම, පිලිපීන ජාත්‍යන්තර වෙළඳ සංස්ථාව නියෝජනය කරමින්, එහි ජාත්‍යන්තර වෙළඳ සේවා උප සභාපති නීතීඥ මාර්ක් බ්‍රයන් ඩෙලා කෲස් මහතා, අපනයන පිළිබඳ කාර්යය භාර නිලධාරි සහ උප සභාපති ජොයෙල් රොඩ්‍රිගස් මහතා සහ භාණ්ඩ හුවමාරු දෙපාර්තමේන්තුවේ කළමනාකරු ඩේවිඩ් ඉනොසෙන්සියෝ මහතා යන නිලධාරීහු ශ්‍රී ලාංකික අපනයන සඳහා පිලිපීනයේ පවතින අවස්ථාවන් හඳුනාගැනීමේ දී ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව සමඟ කටයුතු කිරීම සඳහා පවතින උනන්දුව පිළිබඳව සඳහන් කළහ. ආනයන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ වෙළඳ නියෝජිතායතනවලට සහාය වීමට ද ඔවුහු කැපවී සිටිති.

ආයතන දෙක අතර සහයෝගීතාවය හා ගනුදෙනු විධිමත් කිරීමේ අරමුණින් යුතුව රාමුගත ගිවිසුමක් ඇති කර ගැනීම පිළිබඳ කරුණු ද මෙහි දී පැන නැඟිණ. මෙම කටයුත්ත සිදුකිරීමේ හැකියාව අධ්‍යයනය කිරීම සඳහා දෙපාර්ශ්වයම එකඟ වූහ.

ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව යනු ශ්‍රී ලංකා වෙළඳ අමාත්‍යාංශයේ විෂයය පථය යටතේ ක්‍රියාත්මක වන පූර්ණ වශයෙන් රජය සතු ආයතනයකි. විවිධ ආකාරයේ කර්මාන්ත හා ඛණ්ඩ සපුරාලීම සඳහා පවතින හැකියාව හේතුවෙන් මෙම සංවිධානය ශ්‍රී ලංකාවේ ආයතනික ක්ෂේත්‍රය තුළ හොඳින් මුල් බැස ගෙන ඇති ගෞරවනීය ආයතනයකි. මේ අතර, පිලිපීන ජාත්‍යන්තර වෙළඳ සංස්ථාව යනු පිලිපීනයේ වෙළඳ හා කර්මාන්ත දෙපාර්තමේන්තුව (DTI) යටතේ SIO සහතික ලත් රාජ්‍ය වාණිජ ව්‍යවසායයක් වන අතර, වෙළඳපොළ ව්‍යාප්තිය සහ ගෝලීය තරඟකාරිත්වයේ ආර්ථික දිශානතිය සාක්ෂාත් කර ගැනීම පිණිස පිලිපීන රජයට උපකාර කිරීමේ මෙහෙවර විසින් එය මෙහෙයවනු ලැබේ.

මෙරට පාරිභෝගික නිෂ්පාදන 30 කට ඔස්ට්‍රියාවේ වෙළඳපොළ ඇරේ

ඔස්ට්‍රියාවේ දී පැවැත්වෙන ශ්‍රී ලංකාවේ 73 වැනි නිදහස් දින සැමරුමට සමගාමීව, ඔස්ට්‍රියාව තුළ අලෙවි කළ හැකි ශ්‍රී ලාංකික පාරිභෝගික නිෂ්පාදන භාණ්ඩ  30 ක් සඳහා තරඟකාරී සැපයුම්කරුවන් ආකර්ෂණය කර ගැනීමට එරට එම්ටීසී එක්සොටික් සමාගම සැලසුම් කරයි.

එම්ටීසී එක්සොටික් සුපිරි වෙළඳසැලෙහි සහාය ඇතිව, ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කිසිදු වියදමකින් තොරව වියානා හි නගර මධ්‍යයේ ස්ථානගත කිරීම සඳහා වෙළඳපොළ රාක්කවල ඉඩකඩ ලබා ගැනීමට තානාපති කාර්යාලට මේ වන විටත් හැකි වී තිබේ. මෙම මුලපිරීම මඟින්  ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා ඔස්ට්‍රියාවේ නව වෙළඳපොළ අවස්ථා ආකර්ෂණය කර ගැනීමට හැකි වනු ඇත.

එම්ටීසී එක්සොටික් යනු ශක්තිමත් පාරිභෝගික පදනමක් සහිත ඔස්ට්‍රියාවේ ජනප්‍රිය සුපිරි වෙළඳසැල් ජාලයක් වන අතර, එමඟින් ශ්‍රී ලංකා නිෂ්පාදන ස්ථානගත කිරීමට සහ වෙළඳපොළ කොටස ඉහළ නැංවීම සඳහා කදිම වේදිකාවක් සපයනු ඇත.

ඕමාන රජයේ පොදු සමාව ලැබූ ශ්‍රී ලාංකිකයින් 568 දෙනෙකු මෙරටට පැමිණෙති

ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් 568 දෙනෙකු ඕමානයේ මස්කට් හි සිට කොළඹ දක්වා ශ්‍රී ලංකන් ගුවන් යානා මගින් කණ්ඩායම් දෙකක් ලෙස මෙරටට ගෙන්වා ගෙන ඇත. ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකාවේ ජනාධිපති ලේකම් කාර්යාලය සහ විදේශ අමාත්‍යංශය සමඟ එක්ව, මෙම පිරිස ගෙන්වා ගෙන ඇත්තේ ඉකුත් 14.හා15 යන දිනවලදීය.

වීසා බලපත්‍ර කල් ඉකුත් වීමෙන් පසු ඕමාන් සුල්තාන් රාජ්‍යයේ රැඳී සිටි 300 කට අධික ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින් සංඛ්‍යාවක් මෙයට ඇතුළත් වේ. මෙම අසරණ වූ සංක්‍රමණික සේවකයින් ඔවුන්ගේ දඬුවම් සහ දඩ මුදල්වලින් සම්පූර්ණයෙන් නිදහස් කොට, ඕමානයේ සිට ශ්‍රී ලංකාව බලා පිටත්ව යාම සඳහා ඕමාන රජය පොදු සමාවක් ලබා දුන්නේය. මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ඔවුන්ට ආපසු සිය රට බලා යාමට අවශ්‍ය ගමන් ලේඛන නොමිලයේ ලබා දුන්නේය. සෙසු අය අතර, රැකියා අහිමිවූ, බන්ධනාගාරවලින් නිදහස් වූ සහ වෛද්‍ය හදිසි අවස්ථා යටතේ සිටි ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් ද වෙති.

ඕමාන් සුල්තාන් රාජ්‍යයේ තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා අසරණ වූ ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන්ට ආපසු සියරට බලා පැමිණීම සඳහා දැක්වූ නොමසුරු අනුග්‍රහය වෙනුවෙන් සුල්තාන් හයිතම් බින් තාරික් උතුමාණන්ගේ රජය වෙත සිය අවංක කෘතඥතාව පළ කළේය.

අසරණව සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් 568 දෙනා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණීමෙන් පසු ශ්‍රී ලංකා රජය විසින් ඔවුන් සඳහා නොමිලයේ පී.සී.ආර් පරීක්ෂණ පැවැත්වූ අතර, ඔවුන් සියලු දෙනාටම නවාතැන්, ආහාර සහ වෙනත් පහසුකම් සහිතව දින 14 ක් සඳහා රජය විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයක දී නොමිලයේ නිරෝධායන පහසුකම් ලබා දීමට කටයුතු සිදු කෙරුණි.

කොවිඩ්-19 ව්‍යාප්තයෙන් පසුව ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මේ වන විට ශ්‍රී ලාංකික සංක්‍රමණික කම්කරුවන් 2600 දෙනෙකුට පමණ ඕමානයේ සිට ශ්‍රී ලංකාවට ආපසු යාම සඳහා පහසුකම් සලසා දී ඇත.

Recommended For You

About the Author: Editor