‘වාරි සෞභාග්‍යා වැඩසටහන’ උරුමය සුරකින නව වාරි යුගයක්

පේ කෘෂිකර්මාන්තයේ හදවත බඳු වැව් ප්‍රතිසංස්කරණය කිරීම ඇළ වේලි ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කොට ඇත. ගෝඨාභය රාජපක්ෂ  ජනාධිපතිතුමාගේ “වාරි සෞභාග්‍යා” වැඩසටහන යටතේ වැව් කිහිපයක්  ප්‍රතිංසස්කරණය කිරීමට මේ වන විට පියවර ගෙන තිබේ.

ඈත අතීතයේ පෙරදිග ධාන්‍යාගාරය නමින් හැඳින්වූ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජීව‍නෝපාය වූයේ වී ‍ෙගාවිතැනයි. ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන අපේ රටේ විශිෂ්ට වාරි ශිෂ්ටාචාරයකට උරුමකම් කීම ද අමතක නොකළ යුත්තකි. ඒ අනුව ලෝකයේ කිසිදු රටකට නො දෙවැනි අන්දමේ වාරි ශිෂ්ටාචාරයක් අප සතුව ඇත.

බත බුලතින් සරු ජනතාවක් ඈත අතීතයේ සිටම අපේ රටේ වාසය කළහ. ඔවුන් නිරන්තරයෙන්ම මහ පොළොව සමඟ පොර බදා සිය ජීවිතය සරු කර ගත්තේ ඉතා ධාර්මික අයුරිනි. ජලාශ්‍රිත ජීවන රටාවකට හුරු වූ ජනයා වැවයි දාගැබයි ගමයි පන්සලයි යන උදාර සංකල්පය සමඟ පැවැතියේ ගසට පොත්තත් පොත්තට ගසක්මෙන් දැඩි බැඳීමකිනි.

සාමූහික ජීවන රටාවකට හුරු වූ ජනයා වැවක් අසල ජනාවාස පිහිටුවා ගැනීම එකල සුලභ දසුනකි. ක්‍රි.පූ. 500දී මුලින්ම වැවක් සෑදූ බවට සලකනු ලබන්නේ පඬුවස් දෙව් රජතුමාගේ කාලයේය. ඒ පණ්ඩු වැවයි. එය ලංකාවේ ප්‍රථම වාරි කර්මාන්තය ලෙස ඉතිහාසගතවී ඇත. එහෙත් වංශ කථාවල සඳහන් වන්නේ පණ්ඩුකාභය රජතුමාගේ කාලයේ ප්‍රථම වැව ඉදි කළ බවයි වසර 70ක් රජකම් කළ පණ්ඩුකාභය රජතුමා අනුරාධපුරයේ අංග සම්පූර්ණ නගරයක් ඉදිකොට නගර ගුත්තිකවරයකු පවා පත් කළ බව ඉතිහාසයේ සඳහන් වේ. ඒ පණ්ඩුකාභය රජතුමා ඉදි කළ අභය වැව පැරණිම වැව වශයෙන් පූජාවලිය, සමන්ත පාසාදිකාව වැනි වංශ කථාවල සඳහන් වේ. වර්තමානයේ අභය වාපිය බසවක්කුලම වැව වශයෙන්ද ප්‍රකටව ඇත.

මහින්දාගමනයෙන් පසු ලංකාවේ ඇතිවූ බෞද්ධාගමික ප්‍රබෝධය සමඟ වැවයි දාගැබයි යන සංකල්පය ජනී ජනයා අතර තව තවත් වර්ධනය වන්නට විය. ඒ අනුව දේවානම්පියතිස්ස රජු දවස තිස්සවැව ආරම්භවීමත් සමඟ දියුණු කෘෂිකාර්මික ජීවන රටාවකට අවැසි මං පෙත් විවර වූ බව නොරහසකි. එකල රාජකීය ක්‍රීඩා අතර ජල ක්‍රීඩාවට ප්‍රමුඛස්ථානයක් හිමිවිය. මේ ජල ක්‍රීඩාවට යොදාගත්තේ පිරිසිදු ජලයෙන් පිරි වැවයි. සිය කුඹුරේ ධාන්‍යවලින් කොටසක් කුරුල්ලන් වෙනුවෙන් වෙන් කළ ජනයා ගෝනා, මුවා, අලියා ආදී සිවුපා සතුන්ට සිය ජල පිපාසය සංසිඳවා ගැනීමට වැවේ එක්තරා කොටසක් වෙන් කළේය. මිනිසුන්ට පමණක් නොව වැවේ අයිතිය සිවුපා ආදී සතුන්ටද හිමි වූ බව මෙයින් පැහැදිලි වේ. විශේෂයෙන් වියළි කලාපයට වසරකට වැස්ස ලැබෙන්නේ මාස දෙකකට පමණය.

ඈත අතීතයේ සිටම මේ තත්ත්වය මැනවින් වටහාගත් පාලකයෝ රජරට භූමි කලාපයේ ස්වාභාවික පිහිටීමට අනුව ජලය හැසිරවීම සිදුකර ඇත. මෙහිදී වඩාත්ම වැදගත් වී ඇත්තේ මුහුද දෙසට බෑවුම්ව විහිදී ගිය තැනිතලාවයි. මෙහි සමානාන්තරව පිහිටි ප්‍රපාතාකාර රැළි බිම් මතින් දිය පාරවල් ගලා ගියේය. වැව තැනීමේදී එදා මේ අඛණ්ඩ දිය පහර හරස් කිරීමට යොදා ගැනුණේ පස්වැටියක් හරස් කිරීමකි.

වාරි තාක්ෂණය

උස් බිම්වල පිහිටි කැලෑබද පෙදෙස්හි දිය උල්පත්වලින් ගලා ආ ජල දහරා ද වැව කරා ගෙන ගියේය. කුඹුරු ලෙස යොදා ගැනුණේ වැව් කණ්ඩියට පහළින් පිහිටි නිම්නයයි. මේ ප්‍රදේශය ඒ සඳහා සුවිශේෂී විය. කඳුවලින් සේදී ආ සාරවත් පස කෙත් බිම් සරුසාර කළේය. වැවේ ජලධාරිතාවෙන් වගා කළ හැකි බිම් ප්‍රමාණයක් අස්වැද්දීමට ද කල්පනා කළ ඔවුහු මනාව භූමිය ප්‍රයෝජනයට ගත්හ. නිම්නයේ එක් පැත්තක ජනාවාස පිහිටුවීමට යොදා ගත්හ.

ජනාවාස නිර්මාණයේදී පහත් බිමට වඩා උස් බිම යොදා ගැනීමට සැලකිලිමත් වී ඇත. ජනාවාසවල ගෙවල් ප්‍රාථමික ස්වරූපයක් ගත්තේය. මැටි ගැසූ ගෙවල් වරිච්චි බිත්ති, බහුලව දැකගත හැකි විය. පිදුරු හෝ ඉලුක් වහලකින් සෙවණ දුන්නේය. ගම්ගොඩ නමින් හැඳින්වූ මේ ප්‍රදේශය ස්වංපෝෂිත විය. මේ ආකාරයට සෑම ජනපදයකම වැවක් දක්නට ලැබුණි.

වසභ රජතුමා මේ වාරි තාක්ෂණ ඥානයෙන් ඉතාම ඉහළින් සිටි රජ කෙනෙකි ඔහුගේ යුගයේ ජීවත්වූ වාරි ඉංජිනේරු ශිල්පීන්ගේ හැකියාවන් ගැන බටහිර රටවල්වල අදත් විශ්වාස දනවන්නකි. ඒ තරමට සැලසුම් සහගත වාරි තාක්ෂණයක් පැවැති බව පැහැදිලිය. එතුමා වැව් 12ක් හා ඇළවල් 12ක් ඉදි කළේය. විශාල වැව් ඉදිකිරීම උමං ජල මාර්ග තැනීම, විශිෂ්ට තාක්ෂණ භාවිතය, මේ රජුගේ නිෂ්පාදනවල සුවිශේෂ ලක්ෂණ විය. වැව් ජලය ගැන කථා කරන විට ඔහුගේ නාමය සදා නොමැකෙන නාමයක් වූයේ මේ දැවැන්ත තාක්ෂණයට මුල්ගල තැබූ හෙයිනි. මහවැලි ගඟේ අතු ගංගාවක්වන අඹන් ගඟ හරස් කොට වේල්ලක් බැඳ ඇළහැර ඇළට ජලය හරවා ඇති අයුරු ඉතාම විස්මය ගෙන දෙන නිර්මාණයකි. එවැනි විශිෂ්ට නිර්මාණයක් කළේ වසභ රජතුමාය. මිනිසාට පළමුව අවශ්‍ය වන්නේ ආහාර බව තේරුම්ගත් මහසෙන් රජතුමා ආහාර නිෂ්පාදනයට වැව් බැන්දේය. අතිවිශාල වැව් මේ අතර විය. ලොකු කුඩා වැව් ඇළ මාර්ග රැසක් සමඟ විශාල වැව් 16ක් තැනවීමට තරම් මහසෙන් රජතුමා දක්ෂ පාලකයෙක් විය. එතුමාගේ විශ්ෂට නිර්මාණය මින්නේරිය වැවයි. ජල්ලුරු වැව, භානු වැව, මොනරා වැව, පරක වැව, කුම්බාක වැව, වාහත වැව, රත්මල්කඩ වැව, නිහව වැව, වෙලංවිටි වැව, මාගල් වැව, ‍ෙස්රු වැව, මහාදාර ගල්ලක වැව, කළුපහන් වැව, මුමිණියා වැව, කෝකවාත වැව, මොහු විසින් තැනවූ වැව් ලෙස සැලකේ.

උසස් නිර්මාණ

ධාතුසේන රජතුමා ඉදිකළ කලාවැව වාරි තාක්ෂණයේ තවත් විශිෂ්ට නිර්මාණයකි. බරණ නම් විස්මිත වාරි ඉංජිනේරුවාගේ දස්කම් මොනවට පැහැදිලි වේ. කලාවැව වැව් ඉස්මත්තේ තැනූ අවුකන පිළිමයද බරණගේ විශිෂ්ට නිර්මාණයකි. පළමුවෙනි අග්බෝ දෙවැනි අග්බෝ යන රජවරුන් දෙදෙනාද කෘෂිකර්මාන්තය වෙනුවෙන් දිවිහිමියෙන් කටයුතු කළ තවත් නරපතියන් දෙදෙනෙකි. මිහින්තලේ වැව, කුරුඳු වැව හා මිණිපේ ඇළ ඔවුන් අතින් සිදුවූ ඒ වාරි සංස්කෘතියේ විශිෂ්ට නිර්මාණයන් වෙති. එසේම කන්තලේ ගිරිතලේ වැව ඇතුළු තවත් වැව් 14ක් දෙවන අග්බෝ රජතුමා ඉදි කළේය. රජරට වැව් බැඳි රාජ්‍යය නමින් විරුදාවලිය ලැබුවේ මේ තරම් මහා සාගරය පරයා යන වැව් තැනවූ නිසාය.

පොළොන්නරු යුගයේ පොළොන්නරුවේ රජකම් කළ මහාපරාක්‍රමබාහු රජතුමා පරාක්‍රම සමුද්‍රය ඉදිකරමින් පෙරදිග ධාන්‍යාගාරය යන විරුදාවලිය ලබමින් සශ්‍රීක සමෘද්ධිමත් දේශයක් ගොඩනැගීමට ඇප කැපවී ක්‍රියාකළ තවත් ශ්‍රේෂ්ඨ නරපතියෙකි.

“අහසින් වැටෙන එක දිය බිඳක්වත් මුහුදට නොයවා රැකගතයුතු” බව මහාපරාක්‍රමබාහු රජතුමාගේ ඒකායන අරමුණ විය. එය සාර්ථක කරගත් එතුමා විදේශ රටවලට පවා සහල් යැවූ බව ඉතිහාසයේ සඳහන් වේ.

මේ අනුව කෘෂිකර්මාන්තයෙන් ඉතාම ඉහළ මට්ටමකට ගෙන ඒමට පෙර රජ දරුවන් ක්‍රියාකොට ඇති අන්දම ඉතාම ප්‍රශංසනීය වන්නේය.

වියළි කලාපයට සීමා නොවූ වැව් අමුණු පහත රට තෙත් කලාපයේද පැවැති බව විශේෂයෙන් බොරලැස්ගමුව වැව, බණ්ඩාරගම වැව ආදී වැව් පැවතීමෙන් පැහැදිලිය. තවද දිය අගල් සතුරු උවදුරුවලින් ආරක්ෂාවීමට තැනූ බව ඉතිහාසයේ විවිධ රාජ්‍ය වකවානු වලින් ඔප්පු වේ. එහෙත් ස්වයං පෝෂිත ආර්ථිකයක් ඇති රටක් වෙනුවෙන් වැවකින් සිදුවූ කාර්යභාරය ඉතාමත් විශාලය. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණ තුනේදීම අපේ රටේ කෘෂිකර්මාන්තය රැක ගැනීමට අපේ රටේ ජීවත්වූ මිනිස්සු උත්සාහ ගත්හ. එහෙත් විවිධ ආර්ථික වැවිලි භෝග හඳුන්වා දෙමින් වී ගොවිතැන අපෙන් ඈත් කිරීමට පියවර ගත්හ. ලන්දේසීහු ඇළ මාර්ග තැනූ නමුත් සිය වෙළෙඳාම වෙනුවෙන් ඒවා පාවිච්චි කළෝය. විශේෂයෙන් පුත්තලම දක්වා දිවෙන හැමිල්ටන් ඇළ ඊට උදාහරණයකි. ඉංග්‍රීසි යුගයේදී නුවරඑළියේ ග්‍රෙගරිවැව, ආදී වැව් ආරම්භ කළත් ඒවා කෘෂිකාර්මික දියුණුවට හේතු නොවීය. ඇතැම් ඉංග්‍රීසි පාලකයෝ වැව් අමුණු ප්‍රතිසංස්කරණය කළද ඔවුන්ගේ මූලික ඉලක්කයන් වූ තේ, කුරුඳු, කොකෝවා, කෝපිවැනි වැවිලි භෝග වෙනුවෙන් මාර්ග පද්ධති හා දුම්රිය මාර්ග ඔවුන්ගේ වාණිජ ඉලක්ක සපුරා ගැනීමටය. එහෙත් රටේ වී ගොවිතැනට අත්වූයේ ඉතාම ශෝචනීය ඉරණමකි. ඇතැම් ඉංග්‍රීසි පාලකයෝ ගොවිබිම් ගිනිතබා වනසා මිනිසුන් මරා දමමින් ඔවුන්ගේ පාලනය සාධාරණීකරණය කරගත්තා මිස අපේ වී ගොවිතැනට කළ සෙතක් නොවූහ.

කෘෂි යුගය

නිදහසින් පසු මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා ගොවි ජනපද ව්‍යාපාර ආරම්භකොට වැව් අමුණු ප්‍රතිසංස්කරණ කොට කෘෂි කර්මාන්තය නැංවීමට පියවර ගත්තේය. ඩඩ්ලි සේනානායක යුගයේද කෘෂිකර්මාන්තයට අතහිත දුන්නේය. සර් ජෝන් කොතලාවල යුගයේ කෘෂිකර්මාන්තයට රජයේ අනුග්‍රහයක් හිමි නොවීය.

1956 එස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක මහතා පිලිප් ගුණවර්ධන මහතා සමඟ එකතු වී කුඹුරු පනත ඉදිරිපත් කරමින් ගොවියාගේ ආත්ම විශ්වාසය වැඩි දියුණු කළේය. කුඹුරු ඉඩම් සම්බන්ධයෙන් පැවැති අවහිරතා දුරුවී ගියේය. දේශීය ගොවියා දිරිමත් කළේය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ යුගයේ දේශීය ගොවියා දිරිමත් කරමින් කව්පි, කුරහන්, අල, බතල වැනි භෝගවලට ඉහළ ඉල්ලුමක් ඇති කළේය. පිටරටින් අල, ලූනු ගෙන්වීම නතර කළේය.

විශේෂයෙන් යාපනයේ ජීවත් වූ ගොවීන්ගේ ආර්ථිකය ශක්තිමත් කළේය. කුඩා බිම් ප්‍රමාණයක හෝ කුමන හෝ භෝගයක් වගා කොට තමන්ගේ නිවසේ ආර්ථිකය ශක්තිමත් කළේය.

1977 මේ තත්ත්වය ඉතාමත් දරුණු ලෙස උඩු යටිකුරු කිරීමට බලයට පැමිණි ජේ.ආර්.ජයවර්ධන මහතා ක්‍රියා කළේය. සිංගප්පූරුව දියුණුවීමට පෙර අපේ රට ආදර්ශයට ගත් බව ලීක්වාන් යූ ප්‍රකාශ කළේය. එහෙත් ජේ.ආර්. ලීක්වාන් යූ ගේ සිංගප්පූරු මොඩලය අපේ රටේ ස්ථාපිත කිරීමට සිහින දුටුවේය. ඒ විවෘත ආර්ථිකය හරහාය. එහෙත් අපේ රටේ කෘෂිකාර්මික ආර්ථිකයට එයින් දරුණු ඉරණමකට මුහුණදීමට සිදුවිය.

ගමේ තරුණ තරුණියන්ගේ ශ්‍රමය ඇඟලුම් කම්හලට පූජාකොට සොච්චම් වැටුපකින් ජීවත්වෙන වහලුන් බවට පත් කළේය. නි‍ෙවසේ සිටි කාන්තාව අරාබි කරයේ වහල් සේවයට සින්න කළේය. ගමේ ජීවත් වූ දුප්පත් ජනයාගේ පවුල් ජීවිත දෙදරා ගියේ බිරය අරාබි කරයේ රැකියා සඳහා පිටත්කර හැරීමක් සමඟය.

වැරදුණු තැන

ඉතිහාසය හා සාහිත්‍යය ඉගෙනීමෙන් ශත 50ක් වත් උපයන්න බැරි බව රාජ්‍ය සාහිත්‍ය උළෙලකදී රටේ ජනාධිපතිවරයා වශයෙන් ජේ.ආර්. ප්‍රකාශ කළේය. එයින් පෙන්වා දුන්නේ බල්ලෝ මරා හරි මුදල් සොයමු යන අදහසයි. රටේ සදාචාරය සාරධර්ම අන්තයට පිරිහී ගියේය. ගොවියන් වස පානය කොට දිවි නසා ගත්තේ සිය වගාවන්ට වෙළෙඳපොළේ අත්වූ ඉරණම් හේතුවෙනි. කෘෂි රසායන වර්ග පොහොරවලින් අපේ රටේ නිරෝගී ජනයා රෝගීන් බවට පත් කළේය. රජරට අද දක්වා දිවෙන වකුගඩු රෝගය එයින් ඇති කළ භයානක ප්‍රතිඵලයකි.

එහෙත් ගොවියාට යම්තම් හෝ හුස්මක් කටක් ගැනීමට හැකිවූයේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වීමෙන් පසුවය. ගොවියාට හිමිවූ පොහොර සහනාධාරය ඔහුට ලැබුණු ප්‍රබල උත්තේජනයකි, දිරියකි. එජාපය ප්‍රමුඛ ආණ්ඩු බලය ගත් අවස්ථාවලදී සිදුවූයේ කුඹුරු ඉඩම් ගොඩකිරීම පමණෙකි. පාරක් ආසන්නයේ කුඹුරක් නම් එය ගොඩකර කොත්තු කඩයක් ආප්ප කඩයක් දමා ගැමියාට කොත්තු කැවීමට රයිස් යැයි කියාගත් මේදය වැඩි ආහාර පුරුදු රටාවන් තුළින් වෛද්‍ය චැනල්කරුවන්ද පොහොසතුන් කළේය. කුඹුරු උගසට තබා ත්‍රීවීල් එකක් ගෙන ගමේ හන්දියේ ත්‍රීවීල් මල්ලි කෙනෙකු කළේ ජවයෙන් පිරි ගොවි මහතෙකි. මේ තත්ත්වය ඉඳුරාම වෙනස් කළ යුතු බව තීරණය කළේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය‍යේ දැක්මයි. තරුණ ව්‍යවසායකයින් තරුණ ගොවියන් නැවත ගමෙන් නිර්මාණය කළ යුතු බව එතුමා තරයේ විශ්වාස කළේය. ඒ අනුව ඒ මහතා ක්‍රියාත්මක විය. ගමින් ගමට වැඩසටහනේ ජනාධිපතිතුමාගේ මූලික අරමුණු එයයි. තරුණ තරුණියන් අතර කෘෂිකර්මාන්තයට නැඹුරුවක් ඒ තුළින් ඇති කළේය. මේ වනවිට අපේ කෘෂිකර්මාන්තයේ හදවත බඳු වැව් ප්‍රතිසංස්කරණය කිරීම ඇළ වේලි ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භකොට ඇත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ “වාරි සෞභාග්‍යා” වැඩසටහන යටතේ වැව් කිහිපයක් ප්‍රතිංසස්කරණය කිරීමට මේ වන විට පියවර ගෙන තිබේ.

පසුගිය දිනෙක ජනපතිවරයාගේ මැදිරිගිරිය දුෂ්කර ගම්මානවල සංචාරයේදී කවුඩුල්ල වැව ආශ්‍රිතව ජල පවිත්‍රාගාරයක් ඉදිකොට ජල නල එලා රජරට ගොවියාගේ ජල පිපාසය සංසිඳවීමට පියවර ගත්තේය. විශේෂයෙන් වගාවන් කරගෙන යෑමට ගොවීන්ට පවතින ප්‍රශ්න සාකච්ඡා කොට ඒ අවස්ථාවේදීම විසඳුම් දීමට පියවර ගැනීම අපේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් ගත් ඉතාම ප්‍රශංසනීය ක්‍රියාමාර්ගයකි. රාජ්‍ය නිලධාරීන්ද ඒ වගකීම නිසි අයුරින් ඉටුකරනු ඇතැයි රටේ ජනතාව විමසිල්ලෙන් බලා සිටිති. දේශීය ආර්ථිකය ශක්තිමත් වීම යනු අපේ රටේ සම්පත්වලින් ප්‍රයෝජනය අරගෙන අපි කාටවත් අත නොපා ජීවත්වීම තුළින් අප සෑම දෙනාටම ඇති වනුයේ දැඩි ආත්ම අභිමානයකි.

මහින්ද ආරියවංශ

Recommended For You

About the Author: Editor