Covid-19 මර්ධන සටන: සුපිරි රටවල් පරාජය කරමින් වෙනත් රටවල් ජය ගත්තේ කෙසේද?

කොවිඩ්-19 ගෝලීය වසංගතය තව දුරටත් ව්‍යාප්ත වෙමින් පවතිනවා. එන්නත් ගණනාවක් සොයා ගත්තත් ගෝලීය වසංගත තත්ත්වයේ කිසිම අඩුවක් දැකිය නොහැකිව තිබෙනවා. විශේෂඥයින්ගේ අදහස වන්නේ තවත් කාලයක් අපට කොවිඩ් සමග දෛනික ජීවිතය ගත කිරීමට සිදුවනු ඇති බවයි. ඒ කියන්නේ තවත් ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ ජීවිත හා සෞඛ්‍ය තත්ත්වය තව දුරටත් අවදානමේ තිබෙනවා.

එහෙත් ගෝලීය වසංගතයක් හෝ ප්‍රබල වසංගත අවදානමක් ගැන 2020 වසරට පෙර, 2019දී ලෝකයේ තිබුණ අදහස වත්මන් තත්ත්වයට සපුරා වෙනස්.  

වසංගතයකට මුහුණ දීම සඳහා පූර්ව සුදානමක් සහිත රටවල් ලැයිස්තුගත කෙරුණු ලෝක ශ්‍රේණිගත දර්ශකයට අනුව 2019 වසරේ දී ඉහළින් ම සිටියේ එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය යි. යම් වසංගත කාලයක දී වෙනත් රටවල් විසින් අනුගමනය කරනු ලැබිය හැකි පරමාදර්ශී රටවල් දෙකක් ලෙස එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය මෙහිදී හඳුන්වා දී තිබුණා. (මෙම වාර්තාව ප්‍රකාශයට පත් කළේ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම මගින්) ඒ වන විට, නවසීලන්තය, වියට්නාමය සහ චීනය මෙම ලෝක දර්ශකයේ සටහන් වී තිබුණේ එක්සත් ජනපදයට සහ එක්සත් රාජධානියට වඩා බොහෝ පහළ තැනක යි.

ඒත් 2019 වර්ෂයේ අවසාන භාගයේ චීනයෙන් ආරම්භ වුණ කොවිඩ්-19 වසංගතය මේ සියලු ශ්‍රේණිගත කිරීම් දැවැන්ත අභියෝගයකට ලක්කර තිබෙනවා. මේ වන විට එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ පවතින වසංගත තත්වය හඳුන්වා ඇත්තේ පාලනයෙන් ගිලිහී ගිය තත්වයක් ලෙසයි.. වසංගතයට එරෙහිව චීනය දැක්වූ දැඩි ප්‍රතිචාරය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට ලක් වී තිබෙන අතර නවසීලන්තය ආදර්ශවත් වී ඇතැයි වර්ණනාවට ලක් වුණා. මිලියන 95ක ජනගහනයක් සහිත වියට්නාමයෙන් වාර්තා වූයේ කෝවිඩ් මරණ 35ක් පමණක් වීම ද ජාත්‍යන්තර දැඩි ඇගයීමකට ලක්ව තිබෙනවා.

මෙයින් පෙනී යන්නේ, වසංගතයට කලින් ඊට මනා සුදානමක් සහිත බවට පත්‍රිකාවක සඳහන් වූ රටවල් වසංගතයක් පැමිණි පසු හොඳින් කටයුතු කර නොමැති බවයි. එමෙන්ම, ඉතා හොඳ සුදානම සහිත යැයි සැලකුණු රටවලට වඩා පහළින් සිටි ඇතැම් රටවල් කෝවිඩ් ඉදිරියේ වඩා හොඳින් ක්‍රියා කර ඇති බවයි.

මෙයින් පැහැදිලි වන්නේ කුමක් ද?

මෙම ප්‍රශ්නයට පිළිතුරු දෙන ග්‍රන්ථයක් පසුගිය දා නිකුත් වුණා. 2020 වසරේ මුල් භාගයේ ඇරඹුණු කොරෝනාවෛරස් පළමු රැල්ලට එක් එක් ජාතීන් ප්‍රතිචාර දැක්වූ ආකාරය විශ්ලේෂණය කෙරෙන අලුත් ම ග්‍රන්ථය සදහා ආසියානු, අප්‍රිකානු, ඇමරිකානු සහ යුරෝපීය රටවල් 30ක වෙසෙන විද්වතුන් 60 දෙනෙකු පමණ මෙම ග්‍රන්ථයට ලිපි සපයා තිබෙනවා. එක්සත් ජනපදයේ මිචිගන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය එලිසබත් කිං මෙහි සම සංස්කාරකවරියක්. අනෙක් සංස්කාරකවරිය වන්නේ මහාචාර්ය එලිස් මසාඩ් ද ෆොන්සේකා.

“ලෝකයේ හැම දෙනාම මුහුණ දෙන්නේ එකම වෛරසයට. ඇයි එහෙනම් එක එක රටවල් වෙනස් විදියකට ප්‍රතිචාර දක්වන්නේ?” මහාචාර්ය කිං ප්‍රශ්න කරනවා.

‘තම තමන්ගේ සාර්ථකත්වය මැනීම සඳහා විවිධ ජාතීන් විවිධ මිනුම් දඬු පාවිච්චි කරන හෙයින් අන්තර්ජාතික වශයෙන් එය සංසන්දනය කිරීම අතිශය දුෂ්කර වූ අභියෝගයක්‘ ඇය කියනවා.

උදාහරණයක් හැටියට බෙල්ජියම ගතහොත්, කෝවිඩ් 19 වැළඳී මියයන්නට ඇතැයි සැකකෙරෙන මරණ පවා ඔවුන්ගේ සංඛ්‍යා ලේඛනවලට එක් කොට ඇති බැවින් එරට සමස්ථ මරණ අනුපාතිකය අනෙකුත් රටවලට වඩා වැඩියෙන් පෙන්නුම් කෙරෙනවා. ජර්මනිය සහ ප්‍රංශය හැමවිටම වැඩිහිටි නිවාස තුළ පවා සිදුවූ කෝවිඩ් මරණ දෛනික මරණ සංඛ්‍යා ලේඛනයට ඇතුළත් කොට නිවේදනය කරද්දී එක්සත් රාජධානියේ රෝහල් පද්ධතිය තුළ සිදුවූ කෝවිඩ් මරණ සංඛ්‍යාව පමණක් ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ බවට පත් වුණා.

එක් එක් රටවල වාර්තාවන ආසාදිතයන්ගේ ප්‍රමාණය සංසන්දනය කිරීම ඊට වඩා අපහසු කාර්යයක් බවයි මහාචාර්ය කිං කියන්නේ. ආසාදිතයන් සොයා ගැනීම සඳහා පරීක්ෂණ වැඩියෙන් කරන තරමට වැඩියෙන් ආසාදිතයන් වර්තාවනු ඇති අතර ඒ සඳහා විවිධ රටවල සිදු කෙරෙනු පරීක්ෂණ ප්‍රමාණය සහ ඒ සඳහා ලබා දී තිබුණු ප්‍රමුඛතා ලැයිස්තු විවිධාකාරයි.

විවිධ රටවල පවතින ජනවිකාශන සංයුතිය ද එකිනෙකට වෙනස්. ඉතාලියේ මුළු ජනගහනයෙන් පහෙන් පංගුවක් වයස අවුරුදු 65ට වැඩි යි. එම ජන කණ්ඩායමට කෝවිඩ් 19 වඩා අනතුරුදායකයි. නමුත් අප්‍රිකාවේ පවතින්නේ තරුණ ජන සංයුතියක්. ලෝකයේ තරුණ ජනගහනය වැඩිම රටවල් විස්සෙන්, දහනවයක්ම අප්‍රිකානු මහාද්වීපයේ පවතින රටවල්. ඒ කෙසේ වී නමුදු, අවසන් ප්‍රතිඵලය යැපී ඇත්තේ පළමු රැල්ලේ දී ආණ්ඩුව කළේ කුමක් ද, කෙතරම් ඉක්මනින් එකී පියවර ගත්තේ ද යන්න මත බව පෙනී යනවා.

කෝවිඩ් 19 සහ දේශපාලනය

A nurse shows Russia"s "Sputnik-V" vaccine against the coronavirus disease (COVID-19) prepared for inoculation in a post-registration trials stage at a clinic in Moscow, Russia September 17, 2020.
බීබීසී රුසියානු සේවය කළ විමර්ශනයකින් හෙළිදරව් වුයේ විනිවිදභාවයක් නොමැති වීම හේතුවෙන් ජනතා විශ්වාසය බිඳ වැටී ඇති බවයි

අවසන් ප්‍රතිඵලය සංසන්දනය කිරීමෙන් ඔබ්බට ගොස්, මහජන සෞඛ්‍යය සඳහා බලපාන වෙනත් කාරණා බොහොමයක් පිළිබඳව තේරුම් ගැනීමට මහාචාර්ය කිං සහ ඇයගේ කණ්ඩායමට අවශ්‍ය වුණා.

රාජ්‍ය පද්ධතියේ ස්වභාවය (ප්‍රජාතන්ත්‍රවාදී හෝ ඒකාධිකාරී), නිල දේශපාලනික ආයතනවල ස්වභාවය (ෆෙඩරල් පාලනය හෝ ජනාධිපති මූලික පාලනය ආදී වශයෙන්), සෞඛ්‍ය පද්ධතිය සහ මහජන පරිපාලන කෙරෙහි රජය සතුව පවතින ධාරිතාව යන කාරනා අනුව ද එක් එක් ආණ්ඩු කෝවිඩ් 19ට දැක්වූ ප්‍රතිචාරය වෙනස් වුණා.

වුහාන් ප්‍රාන්තයේ සිටි මිලියන 50ක් වූ ජනතාව වටලා හුදෙකලා කිරීමට 2020 ජනවාරියේ දී චීනය ගත් දැඩි පියවර සලකා බැලීමේදී ඇතැමුන් තර්ක කරන්නේ, කෝවිඩ් 19 වැනි වසංගත තත්වයකට මුහුණ දීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට වඩා ඒකාධිකාරී රෙජිමයක් පැවතීම වාසිසහගත විය හැකි බවයි.

නමුත් බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් ද ලොක්ඩවුන් ක්‍රමවේදයට අවතීර්ණ වීමත් සමඟ එම තර්කය තුනී වී යන බව ඇතැමුන්ගේ අදහස වුණා.

Police wearing protective suits block a road in the Chinese city of Shijiazhuang, January 2021
කෝවිඩ් 19 හමුවේ ලොක්ඩවුන් ක්‍රමවේදය මුලින් ම ක්‍රියාත්මක කෙළේ චීනයයි

දේශපාලනික ක්‍රමවේදයන්

ඒකාධිකාරී පාලන තන්ත්‍රයකින් පැනවෙන සීමා හෝ නීතිවලට එරෙහිව එතරම් ජනතා විරෝධයක් මතු නොවීම වෙනම කාරණයක්. ඒකාධිකාරී පාලනයකට වුව තම ජනතාව පිළිබඳව පවතින ආත්ම විශ්වාසය දිරාපත් වී ගිය එකක් වන්නේ නම් මෙම ක්‍රමවිධි වැඩි කාලයක් පවත්වාගෙන යා නොහැකි වන බව මහාචාර්ය එලිසබත් කිං විශ්වාස කරනවා.

“තොරතුරු ගලා යාම, ආණ්ඩුව කෙරෙහි පවතින විශ්වාසය, ආයතන කෙරෙහි පවතින විශ්වාසය තමයි වැදගත් වෙන්නේ.”

වසංගතය හමුවේ රුසියාවේ ක්‍රියාදාමය පීඩාවට පත්වූයේ නිසි සංඛ්‍යා ලේඛන නොමැති වීම නිසා බව ඇය පෙන්වා දෙනවා. නමුත් මෑතකදී පටන් රුසියානු ආණ්ඩුව තොරතුරු ගලා යාම වැඩි දියුණු කළ බවත් වසංගතයේ බලපෑම අඩුකරලීම සඳහා ශක්තිමත් සමාජ ප්‍රතිපත්ති හඳුන්වා දුන් බවත් ඇය පැවසුවා. කෙසේ නමුත් බීබීසී රුසියානු සේවය කළ විමර්ශනයකින් හෙළිදරව් වුයේ විනිවිදභාවයක් නොමැති වීම හේතුවෙන් ජනතා විශ්වාසය බිඳ වැටී ඇති බවයි. කෝවිඩ් 19ට එරෙහි රුසියානු එන්නත පිළිබඳව ජනතා විශ්වාසය අඩු වීමට ද එය හේතුවක් වුණා.

Nurses work during New Year's Eve at a field hospital set up at a sports gym to treat patients suffering with the coronavirus disease (COVID-19) in Santo Andre, Sao Paulo state, Brazil, December 31, 2020.
“වසංගතය පාලනය කිරීම සඳහා බ්‍රසීලය ඉතා හොඳ මට්ටමක හිටියා. නමුත් අවාසනාවකට අසමත් වුනා”

“නිසි පරිදි තොරතුරු ගලා යාමක් සිදු නොවූ ඇතැම් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් පවා අපට දකින්නට ලැබුණා.” මහාචාර්ය කිං පැවසුවා.

ඇය උදාහරණයක් හැටියට පෙන්වා දුන්නේ බ්‍රසීලයයි. බ්‍රසීල ජනාධිපති බෝල්සොනාරෝ විසින් කරනු ලැබූ ඇතැම් ප්‍රකාශයන්, එරට මරණ සංඛ්‍යාව වැඩි වීමට හේතු වූ බවට චෝදනා එල්ල වුණා.

ඉහත කී ග්‍රන්ථයේ තවත් සම සංස්කාරකාරිකාවක වූ මහාචාර්ය එලිස් මසාඩ් ද ෆොන්සේකා FAPESP පුවත්සේවයට කියා සිටියේ ජනාධිපති බෝල්සොනාරෝ “වෛද්‍ය විද්‍යාවට අවමානයක්” කළ බවයි.

“වසංගතය පාලනය කිරීම සඳහා බ්‍රසීලය ඉතා හොඳ මට්ටමක හිටියා. නමුත් අවාසනාවකට අසමත් වුනා,” ඇය පැවසුවා.

බ්‍රසීලයේ රෝහල් රෝගීන්ගෙන් පිරී ඉතිරී ගියා. නමුත් ෆෙඩරල් පාලන ක්‍රමයක් සහිත රටවල සෞඛ්‍ය සේවාව සඳහා ප්‍රාන්ත ආණ්ඩුවලට වැඩි බලයක් පවතිනවා. එමනිසා වෛද්‍ය උපකරණ හෝ එන්නත් මිලදී ගැනීමටත් තම බල ප්‍රදේශය තුළ අවශ්‍ය කලාපයන් ලොක්ඩවුන් කිරීමටත් එම පළාත් පාලන ආයතනවලට ස්වාධීන හැකියාවක් පවතිනවා.

වසංගතය පාලනය කිරීම සඳහා නිසි පියවර නොගත් බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ද චෝදනා එල්ල වුණා. ගත යුතු පියවර පිළිබඳව ඔහු ප්‍රාන්ත ආණ්ඩු සමඟ මතභේද පවා ඇතිකර ගත්තා.

කොරෝනාවෛරසය ආසාදනය වී තුන් රැයක් රෝහල්ගතව සිටීමෙන් අනතුරුව ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම රෝගය හැඳින්වූයේ සාමාන්‍ය උන හෙම්බිරිස්සාවක් ලෙසයි. එය රට වසා දැමීමට තරම් රෝගයක් නොවන බවට ද ඔහු අවධාරණය කළා.

ආසාදිතයන් සොයා ගොස් හුදෙකලා කිරීම

A woman wears a protective mask as she drives past a banner promoting prevention against the coronavirus disease (COVID-19) in Hanoi, Vietnam July 31, 2020.
වියට්නාමය ඊට කදිම නිදසුනකි. ආසාදිතයන් සොයා ගොස් හුදෙකලා කිරීමට ඔවුන් ගත් ක්‍රියාමාර්ගය බොහෝ රටවල සාර්ථක වී ඇත

වසංගත තත්වය දරුණු වන තුරු බලා නොසිට “අප්‍රමාදව ප්‍රතික්‍රියා දැක්වීම මගින්” දුර්වල සෞඛ්‍ය පහසුකම් සහිත ඇතැම් රටවල් සාර්ථකව කෝවිඩ් අනතුරට මුහුණ දී ඇති බව මහාචාර්ය කිං පවසන්නවා.

“මුහුණු ආවරණ පැළඳීම, සමාජ දුරථභාවය වැනි සීමා පනවන අතරතුර ආසාදිතයන් සොයා ගොස් අවශ්‍ය සහාය ලබා දෙන්නට ශක්තිමත් ක්‍රමවේදයක් දියත් කිරීමට ඔවුන් ක්‍රියා කළා.” ඇය ප්‍රකාශ කළා.

වියට්නාමය ඊට කදිම නිදසුනක්. ආසාදිතයන් සොයා ගොස් හුදෙකලා කිරීමට ඔවුන් ගත් ක්‍රියාමාර්ගය බොහෝ රටවල සාර්ථක වී තිබෙනවා. එමෙන්ම, මිල අධික වුවද ආසාදිතයන් හඳුනාගැනීම සඳහා මහා පරිමාණයෙන් වෛද්‍ය පරීක්ෂණ දියත් කිරීම ද සාර්ථක බව දකුණු කොරියාව ඔප්පු කර තිබෙනවා.

People queue to receive food parcels distributed by Meals on Wheels in Brapkan, South Africa, on July 6, 2020.
දකුණු අප්‍රිකාව: දෙවන රැල්ල පැමිණීමත් සමඟ වෛරසයේ නව මාදිලියක් ව්‍යාප්තවීම නිසා එරට වසංගතය අතිශය දරුණු තත්වයකට පත් විය

ඉබෝලා වසංගතයෙන් පීඩා විඳි බටහිර අප්‍රිකානු රටවල් සිය ප්‍රජා සෞඛ්‍ය ජාලය යොදා ගනිමින් කොවිඩ් අනතුරට මුහුණ දුන්නා. ඒඩ්ස් රෝග මර්දනයේදී “ඉතා වැරදි ලෙස” ප්‍රතිචාර දැක්වූ දකුණු අප්‍රිකාව මීට පෙර වසංගත වලදී උගත් පාඩම් සමඟ දියත් කළ මෙහෙයුම්, කොවිඩ් පළමු රැල්ල පාලනය කිරීමට උදව් වූ බව මහාචාර්ය කිං පැවසුවා.

නමුත් දෙවන රැල්ල පැමිණීමත් සමඟ වෛරසයේ නව මාදිලියක් ව්‍යාප්තවීම නිසා එරට වසංගතය අතිශය දරුණු තත්වයකට පත් වුණා. අවසාන වශයෙන්, තනි පුද්ගල වශයෙන් පිළිපැදිය හැකි සහ කුඩා ව්‍යාපාර සඳහා ඔරොත්තු දෙන ශක්තිමත් සමාජ පිළිවෙත් සමුදායක් පිහිටවීමෙන් තොරව ඉහත කී කිසිදු උපාය මාර්ගයක් සර්ව සාර්ථක නොවන බව මහාචාර්යවරිය පවසනවා.

සෞඛ්‍ය සේවා ලබා ගැනීම සඳහා පවතින පහසුකම් සලකා බැලීමේදී සහ නිවසේ රැඳී සිටීමට ඇති හැකියාව එකිනෙකාගේ රැකියාව මත රඳා පවතින බැවින් මෙම කොවිඩ් වසංගතයේ දී සමාජ අසමානතාවන් මතු වී පෙනුණා.

සමාජය තුළ බෝවන රෝගයකට ගොදුරු වීමට ඇති ඉඩකඩ නිර්ණය කිරීමේ දී එක් එක් පුද්ගලයාගේ දරිද්‍රතා මට්ටම, ස්ත්‍රී පුරුෂභාවය, රැකියාව සහ සංක්‍රමණික තරාතිරම යන සාධක තදින් ම බලපානවා.

මෙම වසංගත අර්බුදය කළමනාකරණය කර ගැනීම සඳහා ආණ්ඩු දියත් කර ඇති සමාජ ප්‍රතිපත්ති සහ ආර්ථිකය නැවත ගොඩ ගැනීම සඳහා දියත් කෙරෙන ප්‍රවර්ධනයන් එකිනෙකට වෙනස්. උදාහරණයක් ලෙස දක්වතොත්, පාසල් අධ්‍යාපන කටයුතු නිවසේ සිට සිදු කෙරෙද්දී ඒ සඳහා දරුවන් වෙනුවෙන් කැපවීමට සිදුවන දෙමාපියන්ට අමතර නිවාඩු ලබා දී ආණ්ඩුවෙන් වැටුප් ගෙවීමට ජර්මනිය පියවර ගත්තා.

නමුත් මෙවැනි තීරණවලට වඩා චීනය ගත් අතිශය දැඩි තීරණවලින් ඔවුන්ගේ ශක්තිමත් ප්‍රවේශය පැහැදිලිව පෙනෙන්නට තිබෙන බව මහාචාර්ය කිං ගේ අදහසයි.

“තමන් ගත් දැඩි තීරණ නිසා සමාජය කුසගින්නේ නොතැබීමට චීනය පියවර ගත්තා. නමුත් ඒ රටේ පවතින ඒකාධිකාරී පාලනය නිසා එය පැවසීම ඉතා අවදානම්. විශේෂයෙන් ජර්මනිය සහ නවසීලන්තය වැනි ප්‍රජාතන්ත්‍රවාදී රටවල් පවා ඒ කටයුතු සාර්ථක කරගත් බව අපට පෙනෙන්නට තිබෙන නිසා.”

කාලය තීරණාත්මකයි!

A young woman wearing a protective facce mask and "2021" head band looks on at a shopping mall as The New Year countdown celebrations in Bangkok
පමාවී කටයුතු කිරීම, උදාසීනව ක්‍රියා කිරීම, උවමනාවට වඩා සංකීර්ණ සහ අස්ථාවර වූ ක්‍රමවේද නිසා මරණ සංඛ්‍යාව වැඩි වෙනවා”

කෝවිඩ් 19 ඉදිරියේ එක් එක් රාජ්‍යයන් විවිධ කාරනා පෙරදැරි කරගනිමින් සිය ප්‍රතික්‍රියා දියත් කර ඇති නමුත් “එහි සාර්ථකත්වය අර්ථකථනය වන්නේ” තම මූලෝපාය කෙතරම් ඉක්මනින් දියත් කළේ ද යන්න මත බව මහාචාර්ය කිං පවසනා.

පමා වී තීරණ ගැනීම මගින් ජීවිත වැඩි ගණනක් අහිමි වීම සහ ශක්තිමත් සෞඛ්‍ය සේවාවකට පවා දරාගත නොහැකි රෝගීන් ප්‍රමාණයක් එකවර දරන්නට සිදුවීම යන කාරනා සමඟ ද ඇයගේ නිරීක්ෂණය සමපාත වෙනවා.

මෙය විශාල වසංගතයක් වන බව මුලදී පැහැදිලිව පෙනුණු බවත් මේ මට්ටමින් හෝ මරණ අනුපාතිකය පවත්වාගෙන යාමට හැකිවීම වාසනාවක් බවත් එක්සත් රාජධානියේ එක්සෙටර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉයන් බේට්මන් පැවසුවා.

“කෝවිඩ් නිසා ගෙවන වන්දිය මරණය පමණක් නොවෙයි. දීර්ඝ කාලීනව පවතින සෞඛ්‍ය බලපෑම් නිසා එය ආර්ථිකයටත් බලපානවා. ඒ නිසා මෙතැනදී තමන්ගේ වාසනාව උරගා බලන්නට යාම හරි ක්‍රමයක් නොවෙයි.” ඔහු බීබීසීයට ප්‍රකාශ කළා.

“පමාවී කටයුතු කිරීම, උදාසීනව ක්‍රියා කිරීම, උවමනාවට වඩා සංකීර්ණ සහ අස්ථාවර වූ ක්‍රමවේද නිසා මරණ සංඛ්‍යාව වැඩි වෙනවා; රෝගීන් වැඩි වෙනවා; වියදම වැඩිවෙනවා; ආර්ථිකයට වන හානිය විශාල වෙනවා.”මහාචාර්ය ඉයන් බේට්මන් තවදුරටත් පැවසුවා.

බී.බී.සී වාර්තාවකි.

Recommended For You

About the Author: Editor