Voice of දියවන්නා: ප්‍රසන්නට ඔය අභියෝගය මහලොකු දෙයක් නෙවෙයි

සටහන – ගජබා නාගහවත්ත

මෙවර ද කැබිනට් මණ්ඩලය පැවැත්වුණේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේය. දයාසිරි, හකීම්, වාසු ඇතුළු මැති ඇමතිවරුන් කීප දෙනෙකුට කොවිඩ් වැළඳීම නිසා පාර්ලිමේන්තුවේ සියලු මැති ඇමතිවරුන්ටත්, කාර්ය මණ්ඩලයටත් පී.සී.ආර් පරීක්ෂණ සිදු කෙරිණ.

මේ අතර කැබිනට් රැස්වීමට ඔන්න‍ මෙන්න කියා තිබියදී රාජ්‍ය ඇමති පියල් නිශාන්තට ද කොවිඩ් වැළඳී ඇති බවට තහවුරු කෙරිණ.

කැබිනට් මණ්ඩලය රැස්වීමට පෙර ඇමති ගම්මන්පිල ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඊට සහභාගී වීමට පැමිණෙන ඇමතිවරුන්ගේ පී.සී.ආර් පරීක්ෂණ ගැන උනන්දු වනු දක්නට ලැබිණි.

‘‘පී.සී.ආර් එක කලාද ? ‘‘  ඔහු ඇමති රෝහිතගෙන් ඇසුවේය.

‘‘අපොයි ඔව්..ඒක නෙගටිව්‘‘ රෝහිත කීවේය.

‘‘පී.සී.ආර් එක කලාද ? ‘‘  ගම්මන්පිල බන්දුලගෙන් ද ඇසූවේය.

‘‘මමත් නම් බැලුවා…ඒක නෙගටිව්‘‘ බන්දුල කීවේය.

‘‘මම මේ හිතාගෙන ඉන්නේ නිරෝධායනය වෙන්න කියලා. ඒ මොකද ? හදිස්සියේම‘‘ ගම්මන්පිල ඇසුවේය.

‘‘නෑ..ඉතිං සති දෙකක් නිරෝධායනය වෙනකොට මට පොත් දෙකක් ලියන්න පුළුවන්නේ‘‘   බන්දුල කීවේය.

‘‘ඕක මොකක්ද …මම හිරේ ඉන්නකොට පොත ලිව්වේ දවසෙන් දෙකෙන් ‘‘  ගම්මන්පිල කීවේය.

‘‘මේ වෙනකොට පියල් නිශාන්ත රාජ්‍ය ඇමතිතුමාටත් කොවිඩ් හැදිලා. අපේ කීප දෙනෙක් එතුමාව සමීප ඇසුරු කරලා තියෙනවා. ‘‘ පවිත්‍රා කීවාය.

‘‘කවුද ඒ… ‘‘ ජනපති ගෝඨාභය ඇසුවේය.

‘‘අපේ ජී.එල්.ඇමතිතුමා එක්ක එහෙම  ‘‘  පවිත්‍රා කීවාය.

‘‘තව දුන් දෙනෙක් පියල් මන්ත්‍රීතුමා එක්ක ලගින් කටයුතු කරල තියෙනවා. කියලා තමයි ආරංචිය“  පවිත්‍රා කිවාය.  

‘‘කොහොම වුනත් හැමෝම පරිස්සම් වෙන එක හොදයි. “   ඇමති දිනේෂ් කිවේය.

ඔව් ඔව් එහෙම වුනොත් සමහර අයගේ හීන සැබෑ වෙනන් පුලුවන්‘‘   ප්‍රසන්න කිවේය.

‘‘ඒ කාගේද“    බන්දුල ඇසුවේය.

“ඇයි ඔය සමහරු ඉන්නවානේ පාර්ලිමේන්තු පොකුරක් බිහි වෙනකං බලාගෙන ඉන්න අය….“   ප්‍රසන්න කිවේය.

කැබිනට් මණ්ඩලයට විදුලිබල ඇමති ඩලස් අලහප්පෙරුම විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුනි. ලොක් ඩවුන් කරන ප්‍රදේශවල ජනතාවට විදුලි බිල් ගෙවීමට සහන කාලයක් ලබා දීමට අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුනි. මේ අතර ඇමති ප්‍රසන්න රණතුංග විසින්ද තවත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුනේ සංචාරක කර්මාන්තයේ නිතර හෝටල් හා ලැගුම්හල් සදහා බිල්පත් සහනයක් ලබා දීම සදහාය.

‘‘අපි බදාදා මේ රට සංචාරකයන්ට විවෘත කරනවා. ඒත් ගුවන් ගමන් යථා තත්වයට පත්වෙලා සංචාරක කර්මාන්තය යලි යථා තත්වයට පත් වෙන්න ටික කාලයක් යාවි. ඒ නිසා මේ සහන කාලය තවත් අවුරුද්දක්වත් ලබාදුන්නොත් හොදයි. ජනාධිපතිතුමනි.“  ප්‍රසන්න ඉල්ලා සිටියේය.

‘‘අපි අර ණය ක්‍රමයකින් සෝලා සිස්ටම් එකක් හදුන්වා දෙන්න යන වානේ. ඒක සංචාරක කර්මාන්තයටත් හදුන්වා දෙමු.“  ජනාධිපතිවරයා කිවේය.

‘‘ඒක ලොකු දෙයක් සර් මේ මිනිස්සු දැන් නැත්තටම නැති වෙලා ඉන්නේ“  ඇමති ප්‍රසන්න කිවේය.

මාස 10 කට අධික කාලයක් සංචාරකයන්ට වසා තිබු රට පසුගිය බ්‍රහස්පතින්දා නැවත විවෘත කෙරුනේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ ආර්ථික ප්‍රනර්ජීවන කමිටු සභාපති බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් අනුවයි. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මේ සදහා සති ගණනාවක සිට දැඩි ලෙස වෙහෙස වුයේය.

පසුගිය බදාදා (20) දහවල් ඇමතිවරයා කටුනායක ගුවන් තොටුපලට ගියේ එහි අවදානම ගැන බලන්නටය. ගුවන්තොටුපල අස්සක් මුල්ලක් නෑර ඇවිද පවතින තත්වය සොයා බැලූ ප්‍රසන්න සංචාරකයන් පැමිණිමේදි ගුවන්තොටුපල සේවකයන්ගේ සෞඛ්‍යාරක්ෂාව ගැනද සොයා බැලුවේය.

මේ අතර ආර්ථික පුනර්ජීවන කමිටුවේ සභාපති බැසිල් ද ප්‍රසන්නට කථා කලේය.

‘‘ප්‍රසන්න කොහොමද වැඩ පිළිවෙල“ බැසිල් ඇසුවේය.

‘‘සර් අපිනම් ලැස්තියි. මේ වෙනකොට ගුවන්තොටුපලම සංචාරකයන් පිලිගන්න ලැස්තියි“ ප්‍රසන්න කිවේය.

‘‘කොවිඩ් නිසා රට හැමදාම වහගෙන ඉන්න බෑ. ඒ හින්දා තමයි අපි මේ පියවර ගන්නේ“  බැසිල් කිවේය.

සර් රටට එන සංචාරකයෙකුගෙන් සමාජයටත් සමාජයෙන් සංචාරකයෙකුටත් රෝගය බෝ නොවෙන්න අපි කර ගන්න පුලුවන් හැම දෙයක්ම කලා.‘‘  ප්‍රසන්න කිවේය.

‘‘ඔව් ඒක ඇත්ත. අපි හෙමින් ඉස්සරහට  යමුකෝ ප්‍රසන්නට ඔය අභියෝගය මහලොකු දෙයක් නෙවෙයි.“  බැසිල් සිනාසෙමින් කිවේය.    

සටහන – ගජබා නාගහවත්ත

Recommended For You

About the Author: Editor