ට්‍රම්ප් ගෙදර ගියත් Trumpism තව දුරටත්

ට‍්‍රම්ප් අනුගාමිකයන් හුදෙක් දේශපාලන පක්ෂ සාමාජිකයන් ඉක්මවා ගිය පුද්ගලවාදී ඇදහිල්ලක (personality cult) හවුල්කරුවන් වුණා. ඔවුන් නින්දෙන් ඇවිදින මහජන සමූහයක් වගේ, ට‍්‍රම්ප්ගේ පච මෝලෙන් නිකුත් වන හැම බේගලයක්ම ගෙඩි පිටින් පිළිගැනීමට තරම් මොළ සේදීමකට ලක් සිටියා.

නාලක ගුණවර්ධන

ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඇමරිකා එක්සත් ජනපදයේ 45 ජනාධිපති ලෙස වසර හතරක තනි ධුර කාලයක් නිමා කොට 2021 ජනවාරි 20 වනදා තනතුර හැර ගියා.

ඇමරිකානු ඉතිහාසයේ අසාර්ථකම සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට වැඩිම හානියක් කළ ජනාධිපතිවරයා ලෙස දැනටමත් දේශපාලන විචාරකයන් ඔහු හඳුන්වනවා. 2020 නොවැම්බර් 3 වනදා පැවති එරට ජනාධිපතිවරණයෙන් පැහැදිලි සහ නිශ්චිත ලෙස ට‍්‍රම්ප් පරදවා ජය ගත් ජෝ බයිඩන්, 46 වන ඇමරිකානු ජනාධිපති ලෙස වැඩ අරඹා සිටිනවා.

බයිඩන් ධුරයේ වැඩ භාර ගත්තේ ඇමරිකාවේත් ලෝකයේත් අතිශයින් අර්බුදකාරී අවස්ථාවක. COVID-19 වසංගතය නිසා ඇමරිකානු ජනයා ලක්ෂ හතරක් පමණ අකාලේ මියගොස්, එරට ජන ජීවිතය සහ ආර්ථිකය බෙහෙවින් කැළඹී තිබෙනවා.

එසේම බයිඩන් නියෝජනය කරන ඩිමොක‍්‍රටික් පාක්ෂිකයන් සහ ට‍්‍රම්ප් නියෝජනය කළ එරට දක්ෂිණාංශික දේශපාලන පක්ෂය වන රිපබ්ලිකන් පාක්ෂිකයන් අතර සමාජයීය බෙදීම වෙන කවරදාටත් වඩා තියුණු වෙලා.

මිලියන 328ක් පමණ වන එරට ජනගහණය අතිශයින් ධ‍්‍රැවීකරණය වී ඇති මෙබඳු මොහොතක රටේ සියලූ පුරවැසියන්ගේ නායකයා ලෙස සමාජ ඒකාග‍්‍රතාව යළි පිහිටුවීමේ දැවැන්ත අභියෝගයට ජනාධිපති බයිඩන් සහ උප ජනාධිපති කමලා හැරිස් දෙදෙනා මුහුණ දෙනවා. වෘත්තීය දේශපාලකයකු නොවූ ව්‍යාපාරික ට‍්‍රම්ප්, 2016 ජනාධිපතිවරණය තරග කොට ජය ගත්තේ එරට බොහෝ කලක් පැවැති ද්වි පාක්ෂික ආණ්ඩුකරණය වෙනුවට නව දේශපාලනයක් හඳුන්වා දෙන පොරොන්දුවෙන්. එහෙත් ඔහු තනතුරේ වගකීම් තේරුම් ගත්තේම නැහැ. ඒ වෙනුවට ආත්මාර්ථකාමය, මමත්වය සහ උද්දච්චකම වැනි ගුණාංග පෙරටු කොට ගත් ඔහුගේ පාලන ශෛලිය නිසා ඇමරිකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යම් තරමක පසුබෑමකට ලක්වුණා.

ට‍්‍රම්ප් කිසි දිනක දේශපාලන මතවාදයක් තිබූ අයෙක් නොවෙයි. 1854 වසරේ ආරම්භ කළ රිපබ්ලිකන් පක්ෂය, සියවස් එකහමාරකට වැඩි කලක් ධනවාදයේ එක්තරා මුහුණුවරක් සඳහා දෘෂ්ටිවාදීව පෙනී සිටි දේශපාලන පක්ෂයක්. ඒ පක්ෂයෙන් මුලින්ම ජනාධිපති වුයේ ඒබ‍්‍රහම් ලින්කන්, 1861දී. එවන් අක්මුල් සහිත පක්ෂයක බලය අල්ලා ගත් ට‍්‍රම්ප්, ජනාධිපති ලෙස මුල පටන්ම කළේ වර්ගවාදය, ආගම්වාදය, ස්වෝත්තමවාදය සහ ජනතාවාදය (populism) ඉස්මතු කිරීමයි. ඒ සඳහා ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය අසීමිත ලෙස යොදා ගනිමින් ජන මනස විකෘති කිරීම ඔහුගේ මූලික ක‍්‍රමෝපාය වුණා.

ඇමරිකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ට‍්‍රම්ප් කළ හානිය මුළුමනින් තක්සේරු කිරීමට තාමත් කල් වැඩියි. රාජ්‍යතන්ත‍්‍රය මට්ටමින් බැලූ විට නම් ඔහුගේ අහිතකර බලපෑම් යම් තරමකට සමනය කිරීමට එරට සවිමත් ආයතන සමුදාය සමත් වී තිබෙනවා. එසේ කියන්නේ ඇයි? 1789 සිට ක‍්‍රියාත්මක වන ඇමෙරිකානු ව්‍යවස්ථාව විසින් එරට රාජ්‍යයේ කුලූනු තුන (එනම් ජනාධිපතිවරයා සහ කැබිනට් අමාත්‍ය මණ්ඩලය හරහා ක‍්‍රියාත්මක වන විධායකය; නියෝජිත මණ්ඩලය සහ සෙනෙට් සභාව හරහා ක‍්‍රියාත්මක වන කොංග‍්‍රසය හෙවත් පාර්ලිමේන්තුව; සහ අධිකරණය) අතර මනා බල තුළනයක් ස්ථාපිත කොට තිබෙනවා.

ලොව බලගතුම තනතුරට ලෙස ජනප‍්‍රිය මට්ටමින් පිළිගැනෙන ඇමරිකානු ජනාධිපතිවරයාට හිතුමතයට ක‍්‍රියා කරන්නට බැහැ. තනතුරේ බලයට නීතියෙන්ම පනවා ඇති සංවරණ සහ සංතුලන තිබෙනවා. එසේම එරට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන සියවස් දෙකකට වැඩි කාලයක් තිස්සේ සවිමත් වී ඇති බැවින් ට‍්‍රම්ප් වැනි අහංකාරෝන්මාදයෙන් (megalomania) පිරී ගිය අමනෝඥ ජනාධිපතිවරයකුට පවා තනතුරේ බලය අවභාවිත කිරීමේ සීමා පැවතියා.

ට‍්‍රම්ප් පාලනයේ ලොකුම හානිය සිදුව ඇත්තේ ඇමරිකානු ජන විඥානයේ යයි තර්ක කළ හැකියි. තාවකාලික ජනප‍්‍රිය බව සඳහා මහජනයා මුලා කිරීමට සහ ඔවුනොවුන් කෙටවීමට ට‍්‍රම්ප් සැම විටම සැදී පැහැදී සිටියා. ජන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා ජන මනස තමන්ට අවශ්‍ය පරිදි හැසිරවීමට ක‍්‍රියා කරද්දී ඔහුට කිසි ආචාර ධර්මීය සංයමයක් තිබුණේ නෑ.

2016 නොවැම්බර් 8 වනදා පැවති ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජය ගත්තේ ද මහා බොරු ගොඩක් සූක්ෂ්ම ලෙස සමාජගත කිරීමෙන්. මැදහත් විචාරකයන් කීවේ 2016 තරම් අසත්‍යය, අර්ධ සත්‍යයන් හා මිථ්‍යාවන්ගෙන් පිරුණු මැතිවරණ සමයක් අමෙරිකාවේ ඉන් පෙර කිසිදා නොතිබූ බවයි.

මැතිවරණවලදී අතිශයෝක්තීන් සහ සත්‍ය විකෘති කිරීම් සුලභ නමුත්, විදෙස් තාක්ෂණික උදව් ඇතිව සමාජ මාධ්‍ය ඔස්සේ ඉතා ඉලක්කගතව දුස්තොරතුරු ඡුන්දදායකයන් වෙත බෙදා හැරි බවට 2016 ට‍්‍රම්ප් කැම්පේන් එකට බරපතළ චෝදනා එල්ල වුණා. කලෙක සිටම අමෙරිකාවේ දක්ෂිණාංශික හා වාමාංශික යයි බෙදුණු දේශපාලන පක්ෂග‍්‍රාහී පත්තර, රේඩියෝ හා ටෙලිවිෂන් තිබෙනවා. ඔවුන් වාර්තා කරන්නේ තෝරා ගත් තමන්ට වාසි හා ප‍්‍රතිවාදීන්ට අවාසි කරුණු පමණයි. හැබැයි මාධ්‍ය ග‍්‍රාහකයෝ මේ නැඹුරුව කල්තබා දන්නවා. ඒත් උගත්කම අඩු ජනයා මේ පක්ෂග‍්‍රාහී මාධ්‍ය මගින් කෙටි කලකට මුලා කළ හැකියි.

ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය අසත්‍ය පතුරුවන විට ඒවා ප‍්‍රසිද්ධියේ පෙන්වා දෙන තොරතුරු විමර්ශන සේවා fact-checking services) රැසක් අමෙරිකාවේ තිබෙනවා. මේ නිසා පක්ෂග‍්‍රාහී මාධ්‍ය කරන හානිය යම් තරමකට සමනය වනවා. එසේම පක්ෂ දේශපාලනයට නතු නොවී පොදු උන්නතිය වෙනුවන් වාර්තා කරන හා විග‍්‍රහයන් ගෙන එන විශ්වසනීය මාධ්‍ය ගණනාවක්ද තිබීම නිසා මෑතක් වනතුරු එරට ජනමතය අයාලේ යැවීම ලේසි වුණේ නැහැ.

නමුත් දැන් පත්තර, ටෙලිවිෂන්වලට වඩා වෙබ්ගත ප‍්‍රභවයන්ගෙන් පුවත් ලබා ගන්න අමෙරිකානු ජන ප‍්‍රතිශතය වැඩියි. ඉහළ වෘත්තීය මට්ටමින් පවත්වාගන යන විශ්වසනීය පුවත් වෙබ් අඩවි මෙන්ම ඕපාදුප සමාජගත කරන වෙබ් අඩවිද දහස් ගණනක් තිබෙනවා. මේ දෙවන ආකාරයේ ඒවා නීති විරෝධී නොවූවත් ඒවා ජන මනස දූෂණය කරනවා. උවමනාවෙන්ම බොරු හා අර්ධ සත්‍යයන් පතුරු වන වෙබ් අඩවිවලින් පමණක් පුවත් ලබා ගන්නා, ප‍්‍රධාන ධාරවට තවදුරටත් බද්ධ නොවන ජන පිරිස ඉහළ ගොස් තිබෙනවා.

ට‍්‍රම්ප් 2016 ජනාධිපතිවරණය දිනා ගන්නට භාවිත කළේත්, ඉන්පසු තනතුරේ වැඩ කරද්දි දිගටම ජන මනස හැසිරවීමට වැඩිපුරම යොදා ගත්තේත් අන්ත දක්ෂිණාංශික ත්‍දංඔඪ වැනි ජනමාධ්‍ය කිහිපයක් සහ අතිශයින් පක්ෂග‍්‍රාහී ලෙස කරුණු විකෘති කරන දක්ෂිණාංශික වෙබ් අඩවියි.

මේ අතර අපක්ෂපාතී ලෙස කරුණු ගොනු කරමින් මැදහත් ලෙස පුවත් වාර්තා කරන ජනමාධ්‍ය සහ වෙබ් මාධ්‍යවලට නිතරම ට‍්‍රම්ප් ප‍්‍රසිද්ධියේ අපහාස කළා. ඔවුන් ‘මහජනයාගේ සතුරන්’ (enemies of the people) ලෙස නිතර පරිභව කළා. ගෙවී ගිය සිවු වසර (2017-2020) තුළ ට‍්‍රම්ප් ජනාධිපතිවරයා යටතේ ඇමරිකානු දේශපාලනයේ දුස්තොරතුරු කූඨප‍්‍රාප්ති වූවා යයි කිව හැකියි.

සටකපට ලෙස විකෘති කරන ලද හෝ මුළුමනින්ම ප‍්‍රබන්ධගත තොරතුරක්, එය බොරුවක් බව දැන දැනම එහෙත් එය සැබෑවක් ලෙස පෙන්නුම් කරමින් සමාජගත කිරීම දුස්තොරතුරු (Disinformation) ලෙස හැඳින්වෙනවා. එසේ ගලා එන දුස්තොරතුරු බොරු බව නොදැන, අවිචාරශීලී ලෙසින් ඒවා විශ්වාස කොට බෙදා ගැනීමට ඉංග‍්‍රීසියෙන් misinformation යයි කියනවා. මෙයට සිංහලෙන් තොරතුරු මුලාව කියමු.

සිය ධුර කාලය තුළ ට‍්‍රම්ප් තමන්ගේ ට්විටර් සහ ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම් හරහා මිලියන 100ක් පමණ ජනයාට නිතිපතා සෘජුවම සන්නිවේදන කළා. එයට සමාන්තරව ඔහුට හිතවත් ජනමාධ්‍ය සහ වෙබ් අඩවි ඔහුගේ අදහස් ප‍්‍රතිරාවය කළා. මේ ප‍්‍රවාහයන් දෙකෙන්ම විශාල පරිමාවෙන් දුස්තොරතුරු ඇමරිකානු සමාජයට මුදා හැරුණා.

රාජ්‍ය ප‍්‍රතිපත්ති සහ පියවර සඳහා සාක්ෂි මත පදනම් වීම, තර්කානුකූල වීම හෝ මහජන සම්පත් භාවිතය සම්බන්ධයෙන් මහජනයාට වගවීම වැනි සාරධර්ම එකක්වත් ට‍්‍රම්ප්, ඔහුගේ පවුල හා ව්‍යාපාරික ගජමිතුරන් ගණන් ගත්තේ නැහැ. සතියෙන් සතිය විවිධ මාධ්‍ය සංදර්ශන පවත්වමින්, නොයෙක් මාදිලියේ ‘බිල්ලන්’ මවා පාමින්, බොහෝ සෙයින් සරල සිල්ලර කරුණු වෙත පමණක් එරට ජන මනස යොමු කිරීමට ඔවුන් ක‍්‍රියා කළා.

වැඩිපුරම ට‍්‍රම්ප්ගේ දුස්තොරතුරු ග‍්‍රහණය කොට තොරතුරු මුලාවට පත්වූයේ සුදු සම ඇති අර්ධ නාගරික සහ ග‍්‍රාමීය ඇමරිකානුවන්. උගත්, නාගරික වෘත්තිකයන් ‘පොදුජන සතුරන්’ ලෙස හංවඩු ගැසූ ට‍්‍රම්ප්, ‘සාමාන්‍ය ජනයාගේ මිතුරා’ ලෙස පෙනී සිටිමින් එහෙත් ඔවුන්ව වංචනිකව රවටමින් රාජ්‍ය පාලනය ගෙන ගියා.

ට‍්‍රම්ප් අනුගාමිකයන් හුදෙක් දේශපාලන පක්ෂ සාමාජිකයන් ඉක්මවා ගිය පුද්ගලවාදී ඇදහිල්ලක (personality cult) හවුල්කරුවන් වුණා. ඔවුන් නින්දෙන් ඇවිදින මහජන සමූහයක් වගේ, ට‍්‍රම්ප්ගේ පච මෝලෙන් නිකුත් වන හැම බේගලයක්ම ගෙඩි පිටින් පිළිගැනීමට තරම් මොළ සේදීමකට ලක් සිටියා. මෙයට හොඳ උදාහරණයක් වන්නේ QAnon නමින් හැඳින්වෙන කුමන්ත‍්‍රණවාදී ප‍්‍රබන්ධ මාලාවයි. 2017 ඇරඹී QAnon ඇමෙරිකානු සමාජය පුරාම පැතිර ගොස් තිබෙනවා. එහි විවිධ මුහුණුවර ඇතත් මූලික හරය වන්නේ මතුපිටින් නොපෙනෙන එහෙත් පුළුල්ව විහිදුණු බිහිසුණු අපරාධකරුවන්ගේ ජාලයක් ඇමරිකාවේ දේශපාලන, ව්‍යාපාරික සහ ජනමාධ්‍ය යන ක්ෂේත‍්‍ර තුනේම බලය අල්ලාගෙන සිටින බවයි.

ක‍්‍රිස්තියානි විශ්වාසයට අනුව ‘සාතන්ගේ සහායකයන්’ ලෙස ක‍්‍රියා කරන මේ රහසිගත කල්ලිය එරට සිදුවන බොහෝ දේ තීරණය කරන හා හසුරුවන බවත්, ‘පොදු ජනයාගේ අවංක නියෝජිතයකු’ වන ඩොනල්ඞ් ට‍්‍රම්ප් මේ මහා කල්ලියට එරෙහිව සටන් වැද සිටින බවත් මේ කුමන්ත‍්‍රණවාදීන් විශ්වාස කරනවා. ඒ අනුව රට බේරා ගන්නට නම් ඕනෑම ආකාරයේ මැදිහත්වීමකින් ට‍්‍රම්ප් රැුක ගත යුතු බව මෙම කුමන්ත‍්‍රණ කල්පිතයේ නිර්දේශයයි!

හොඳ සහ නරක අතර මේ මහා ගැටුමෙන් ට‍්‍රම්ප් නියෝජනය කරන ‘යහපත්’ පාර්ශ්වය යම් දිනෙක ජය ගන්නා බවත්, එවිට ඔහුගේ 2016 ජනාධිපතිවරණ ප‍්‍රතිවාදියා වූ හිලරි ක්ලින්ටන් ඇතුළු වෙස් වෙලාගත් ‘දුෂ්ටයන්’ සමූහයම හෙළිදරව් වී ඔවුන් මරණ දණ්ඩනයට නියම වන බවත් QAnon මංමුලාවට පත් අය අදහනවා.

මේ ප‍්‍රබන්ධය මුලින්ම මතුව ආයේ 4chan නමැති වෙබ්ගත පණිවුඩ හුවමාරු පොළකින්. අන්ත දක්ෂිණාංශික පිරිස් නිතර ගැවසෙන එහි, කිසිදු විචාරයකින් තොරව එය සැබෑවක් ලෙස පිළිගෙන එකිනෙකා අතර බෙදා ගැනුණා. ටික කලෙකින්ම Facebook, Twitter, Reddit සහ YouTube වැනි ප‍්‍රකට සමාජ මාධ්‍ය වේදිකාවල ද මේ කතාන්තරය පැතිර ගියා.

මෙම සමස්ත ආඛ්‍යානය සඳහා කිසිදු සාක්ෂියක් නොමැති වුවත්, මෙවැනි යටිබිම්ගත මහා කුමන්ත‍්‍රණයක් වසර ගණනාවක් තිස්සේ ඇමරිකාවේ ක‍්‍රියාත්මක වන බව මිලියන ගණනක ඇමරිකානුවන් විශ්වාස කරනවා. QAnon ප‍්‍රවර්ධකයන් ගණනාවක් සමාජ මාධ්‍ය වේදිකාවලින් නෙරපනු ලැබූවත්, අන්ධ විශ්වාසය පහව ගොස් නැහැ.

2020 මුල පටන් COVID-19 වසංගතය ටිකෙන් ටික එරට පැතිරෙන විට ට‍්‍රම්ප් එහි බරපතළකම තේරුම් ගත්තේ නැහැ. 2020 මැදවන තුරුම වසංගත මර්දනය සඳහා අවශ්‍ය ප‍්‍රතිපත්තිමය සහ මූල්‍යමය කැපවීම ඔහු ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලයෙන් නොලැබුණු නිසා වසංගතය පුළුල්ව පැතිර ගියා. නිවසින් බැහැර හැම තැනකදීම මුඛ ආවරණ පැළඳීම වැනි මූලික ආරක්ෂිත උපක‍්‍රම පවා ට‍්‍රම්ප්ගේ අවඥාවට ලක්වුණා.

2020 ඇමරිකානු ජනාධිපතිවරණය පැවැත්වුණේ වසංගතය අතරමැද. ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 66.7% ඡන්දය ප‍්‍රකාශ කළා. ඡන්ද 81,281,891 (51.3%) ලබා ගත් බයිඩන්, ඡන්ද 74,223,254 (46.9%) පමණක් ලැබූ ට‍්‍රම්ප් පරදවා පැහැදිලි ජයක් ලබා ගත්තා. මැතිවරණ කොලීජි (electoral college) නමින් හැඳින්වෙන සංකීර්ණ ක‍්‍රමවේදයෙන් ද බයිඩන්, පැහැදිලි බහුතරයක් ලබා ගත්තා.

ට‍්‍රම්ප් මැතිවරණ ප‍්‍රතිඵලය පිළිගැනීම ප‍්‍රතික්ෂේප කළා. ජයග‍්‍රාහකයා සහ පරාජිතයා අතර ඡුන්ද වෙනස මිලියන 7ක් පමණ වුවත්, ට‍්‍රම්ප් දිගින් දිගටම කීවේ තමන් ජය ගත් බව සහ තමන්ගේ ‘නියත ජය’ වංචනික ලෙස පැහැරගෙන ඇති බවයි.

”මගේ මැතිවරණ රැුලිවලට අතිවිශාල ජනකායක් පැමිණියා. ඉතින් මට පරදින්නට හැටියක් නැහැ!” වැනි බොළඳ ප‍්‍රකාශ කරමින් ඔහු තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් සහ හිතවත් ජනමාධ්‍ය හරහා සිය අනුගාමිකයන් තොරතුරු මුලාවක රඳවා ගත්තා.

ජනාධිපතිවරණ ප‍්‍රතිඵල එරට පාර්ලිමේන්තුවේ සහතික කැරෙන 2021 ජනවාරි 6 වනදා වොෂින්ටන් අගනුවරට පැමිණ එයට බලපෑම් කරන්නට යයි ට‍්‍රම්ප් යළි යළිත් කළ ඉල්ලීම පිළිගත් දහස් ගණනක් අනුගාමිකයෝ ප‍්‍රචණ්ඩ ලෙස පාර්ලිමේන්තුවට කඩා වැදී ලොකු කලබගෑනියක් කළා. පස්දෙනෙකු ජීවිතක්ෂයට පත් කළ මේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාමාලාව දේශීය ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක් ලෙස එරට නීතිය හා සාමය පිළිබඳ ආයතන හඳුන්වනවා.

ප‍්‍රචණ්ඩත්වය සඳහා අනුගාමිකයන් පැහැදිලිවම උසිගැන්වීම නිසා ට්විටර් සහ ෆේස්බුක් හිමිකාර සමාගම් ට‍්‍රම්ප්ගේ සියලූ ගිණුම් අත්හිටුවනු ලැබුවා. විධායකයේ ප‍්‍රධානියා ලෙස සිටිමින් රාජ්‍යයේ ව්‍යවස්ථාදායකයට එරෙහිව කැරැුල්ලක් උසිගැන්වීමේ චෝදනා පිට ඔහුට දෝෂාභියෝගයක් ගොනු කෙරුණා. තනතුරෙන් නික්ම ගිය පසුවත් එම ක‍්‍රියාදාමය ඉදිරියට යා හැකියි.

නින්දාසහගත තත්ත්වයකට පත්වී ට‍්‍රම්ප් ධුර කාලය හමාර කළත්, ට‍්‍රම්ප්වාදය (Trumpism) එතැනින් නවතින එකක් නැහැ. තොරතුරු මුලාවෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් අයාලේ ගෙන යන්නට කෙටි කාලයක් තුළ හැකි වුවත්, එම මුලාවෙන් එකී සමාජය මුදවා ගන්නට ඊට වැඩි කලක් සහ දැඩි පරිශ‍්‍රමයක් අවශ්‍ය බව ඇමරිකානු විද්වතුන් සහ සිවිල් ක‍්‍රියාකාරිකයන් වටහාගෙන සිටිනවා.
අන්ත දක්ෂිණාංශික නැඹුරුවක් ඇති ජනමාධ්‍ය හරහා ට‍්‍රම්ප්ට තවමත් එරට ජනමතයට බලපෑම් කළ හැකියි. තමන් අලූතෙන් දේශපාලන පක්ෂයක් පිහිටුවා ගන්නා බවත්, සමහර විට තමන්ගේම ටෙලිවිෂන් ජාලයක් ඇරඹිය හැකි බවටත් ඔහු ඉඟි කොට තිබෙනවා.

නාලක ගුණවර්ධන විසින් 2020 ජනවාරී 24 රාවය ඊ පුවත්පතට සම්පාදිත ලිපියකි

Recommended For You

About the Author: Editor