ශ‍්‍රී ලංකාවේ ‘දික්කසාදය සම්බන්ධ නෛතික තත්ත්වය’ ගැන විමසුමක්

ශ්‍රී ලංකාවේ ‘දික්කසාදවීම්’ වේගයෙන් වර්ධනය වෙන බව පැහැදිලිව පෙනී යනවා. මේක ලංකාවට පමණක් නොවෙයි ලෝකයටම පොදු තත්ත්වයක් වුණත් ලංකාවේ සමාජ-ආර්ථික හා සංස්කෘති පසුබිම තුළ ‘දික්කසාදය’ කියන්නේ තව දුරටත් සංකීර්ණ කතාවක්.

මේ අතර දික්කසාදය ගැන සිදුවන සාකච්ඡාවලදී පැහැදිලිව පෙනී යන කරුණක් තමයි බහුතරයකට මේ හා සම්බන්ධ (දික්කසාදය) නීතිමය පසුබිම ගැන නිරවුල් අවබෝධයක් තබා අවම අවබෝධයක්වත් නැහැ. ඒ නිසා ඔවුන් මුහුණ දෙන ගැටලු සහ දුෂ්කරතාවල ද නිමක් නැහැ. අපි මේ ලිපිය ඔබ වෙත ගෙන එන්නේ ඒ අඩුවට පිළියමක් ලෙසයි.

ස්ත‍්‍රියක් හා පුරුෂයෙකු අතර නෛතික සබදතාවක් ඇති කරන බැදීමක් විවාහයක් ලෙස හදුන්වයි. එම දෙපාර්ශවයට තවදුරටත් පොදු ගෘහයක් තුළ එක්ව ජීවත් විය නොහැකි බව හැගී යන්නේ නම් එහිදී ගනු ලබන වෛවාහක සහනය ප‍්‍රධාන වශයෙන් තුනක් හඳුනාගත හැකිය. එනම්

  1. අධිකරණමය වෙන්වීම
  2. දික්කසාදය
  3. විවාහය ශූන්‍ය බවට පත්කිරීම

මෙහිදී සාකච්ඡා කිරීමට අදහස් කරන්නේ දික්කසාදය සම්බන්ධවය.

බහුවිධ නීති පද්ධතියක් පවතින ශ‍්‍රීලංකාව තුල සාමාන්‍ය නීතිය උඩරට නීතිය මුස්ලිම් නීතිය මගින් දික්කසාදය ලබාදෙන පදනම් එකිනෙකට වෙනස්ය. මේ තත්වය එක් එක් නීති යටතේ වෙන වෙනම විග‍්‍රහ කිරීමට අපේක්ෂා කරනු ලැබේ.

Marriages are not made in heaven | Sunday Observer

සාමාන්‍ය නීතිය

සාමාන්‍ය නීතිය යටතේ දික්කසාදය සම්බන්ධ නෛතික ප‍්‍රතිපාදන 1907 අංක 19 දරණ සාමාන්‍ය විවාහ ආඥ පනතේ හා සිවිල් නඩු විධාන සංග‍්‍රහයේ දක්වා ඇත. සාමාන්‍ය විවාහ ආඥ පනතේ 19 (2) වගන්ති ප‍්‍රකාරව දික්කසාදය ලබා ගත හැකි පදනම් 3කි
1. විවහයට පසු සිදු කරන අනාචාරය
2. ද්වේශ සහගත හැරයාම
3. විවාහ වන අවස්ථාවේ පැවති සුවකල නොහැකි ලිංගික බෙලහීනතාවය

දික්කසාදය ලබාදෙන පදනමක් ලෙස විවාහයට පසුව සිදුකරන ‘අනාචාරය’ සලකා බැලීමේදී පළමුව අනාචාරය යනු කුමක්ද යන්න විමසා බැලිය යුතුය.

Rayden, practice and law of divorce ග‍්‍රන්ථයේ 172 පිටුවෙහි අනාචාරය යන්න අර්ථ නිරූපණය කරනුයේ “ Consensual sexual intercourse between a married person and a person of the opposite sex,who is not the other spouse,during the subsistence of the marriage” ලෙසය.

මේ අනුව අනාචාරය යන වරද සංස්ථාපනය වීමට නම් විවාහක පාර්ශවයක් විසින් තම විවාහක කලත‍්‍රයා නොවන වෙනත් විරුද්ධ ලිංගිකයෙකු සමග චේතනාන්විතව විවාහය පවතින අතරතුර කාලය අතරතුරදී ලිංගික සන්සර්ගයක් පවත්වා තිබිය යුතුය.

සිවිල් නඩු විධාන සන්ග‍්‍රහයේ 598 වගන්තියට අනව කලත‍්‍රයෙකු විසින් තම අනෙක් කලත‍්‍රයා අනාචාරය නම් වරද සිදු කළ බවට චෝදනා කරමින් දික්කසාදය ඉල්ලා සිටින විටෙකදී සම වග උත්තරකරුවන්ද නම් කළ යුතුය.

එසේ වුවද ඊට ව්‍යතිරේඛී අවස්ථා තුනක් ද එම වගන්තිය තුළ හදුනාගත හැක.

1. බිරිඳ ගණිකා වෘතියේ නියැලේ නම් සහ කවුරුන් සමගද යන්න පැමිණිලිකරු නොදන්නේ නම්

2. සම වගඋත්තරකරු මිය ගොස් ඇත්නම්

3. අනාචාරයේ යෙදුනේ ගණිකාවක් සමග නම් සම වගඋත්තරකරුවන් නම් කිරීම අනිවාර්ය නොවේ.

අනාචාරී වරද ඔප්පු කිරීමේ ප‍්‍රමාණය සලකා බැලීමේදී ජයසිංහ එදිරිව ජයසිංහ (1954) සහ ධර්මසේන එදිරිව නවරත්න (1967) යන නඩු තීන්දුවලදී අධිකරණය ප‍්‍රකාශ කරන ලද්දේ එය සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කළ යුතු බවයි. නමුත් Alamalammal Nadraja(1972) නඩුවෙදී එය සාක්ෂි වැඩි බර මත ඔප්පු කිරීම ප‍්‍රමාණවත් බව පිළිගන්නා ලදී.

දෙවනුව ද්වේශ සහගත හැරයාම සම්බන්ධව “A desertion of one party by another for a length of time without any course of intention of returning.” ප‍්‍රකාශය අනුව එක් පාර්ශවයක් විසින් අනෙක් පාර්ශවය නැවත ආපසු පැම්ණවීමේ චේතනාවකින් තොරව අත්හැරදමා යාම ද්වේශ සහගත අතහැරයාම ලෙස හඳුන්වයි.

මෙය පොදු ගෘහය තුළදීද සිදුවිය හැකිය. එනම් පොදු ගෘහයක් තුල ජීවත්වුවද එක් පාර්ශවයක් විසින් ලිංගික ජීවිතය ප‍්‍රතිකේෂ්ප කරන්නේ නම් එයද ද්වේශ සහගත හැරයාමක් ලෙස සැලකිය හැකිවේ.

එක් පාර්ශවයකින් සිදුවන පීඩාව ඉවසාගත නොහැකිව අනෙක් පාර්ශවය විසින් වෛවාහක නිවස අත්හැර යන්නේ නම් භෞතිකව අත්හැර නොගිය පාර්ශවයේ ක‍්‍රියා කලාපය අත්හැර ගිය පාර්ශවයට එසේ අත්හැරයාම සඳහා චේතනාව ඇතිකල බවට පූර්ව නිගමනයක් පවතී. මෙය ‘අනුමිත ද්වේශසහගත හැරයාම’ නම් වේ.

තෙවනුව විවාහ වන අවස්ථාවේ පැවති සුවකල නොහැකි ලිංගික බෙලහීනතාවය යන පදනම යටතේ දික්කසාදයක් ලබාගැනීමට නම් ලිංගික බෙලහීනතාවයක් පැවතිය යුතු අතර එය විවාහා වන අවස්ථාවේ සිට පැවති සුව කල නොහැක්කක් විය යුතුය.

ලිංගික බෙල හීනතාවය කායික වශයෙන් මෙන්ම මානසික වශයෙන්ද ඇතිවිය හැකිය. මානසික බෙලහීනතාවය සුවකල හැකි හෙයින් කායික බෙලහීනතා පමණක් මෙම පදනම යටතට ගත හැකිබව ගුණතිලක එදිරිව මිලිනෝනා (1936) නඩුවේදී අධිකරණය ප‍්‍රකාශ කරයි.

උඩරට නීතිය යටතේ දික්කසාදය

උඩරට නීතියේ දික්කසාදය සම්බන්ධ නෛතික තත්වය 1952 අංක 44 දරණ උඩරට විවාහ හා දික්කසාද පනත තුළ දැක්වේ.

මෙහි 32 වගන්තිය යටතේ දික්කසාදය ලබාදීමට පදනම් 6ක් දක්වයි.
1 විවාහයෙන් පසු කාන්තාවගේ අනාචාරය
2 විවාහයෙන් පසු පුරුෂයාගේ ව්‍යභිචාරය හෝ කෲරත්වය මුසුවූ අනාචාරය
3 වසර දෙකක් පුරාවට භාර්යාවගේ සම්පූර්ණ හා අඛන්ඩ හැරයාම
4 වසර දෙකක් පුරාවට පුරුෂයාගේ සම්පූර්ණ හා අඛන්ඩ හැරයාම
5 වසරක් පුරාවට වාසයෙන් හා සංවාසයෙන් එක්ව වාසය නොකල බවත් ඔවුන්ට සතුටින් ජීවත්විය නොහැකි බවත් ඔප්පුකර පෙන්වීම
6 අන්නෝන්‍ය කැමැත්ත

මෙම පනතේ 33 වගන්ති ප‍්‍රකාරව උඩරට නීතිය යටතේ දික්කාසදය ලබාදීමට නෛතික බලය පවතින්නේ විවාහ රෙජිස්ට‍්‍රාර් වරයාටය.

Ajmer: 60-year-old man booked for giving triple talaq to 26-year-old wife

මුස්ලිම් නීතිය යටතේ දික්කසාදය

මුස්ලිම් නීතිය යටතේ දික්කසාදය සිදු කරනු ලබන්නේ 1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත මගිනි ව්‍යවස්ථාපිත නීතියක් පැවතුනද පනතේ 98(2) වගන්තියෙන් දක්වනුයේ මුස්ලිම් විවාහ හා දික්කසාදවලට අදාළ පාර්ශවයන්ගේ අන්යෝන්‍ය අයිතිවාසිකම් හා වගකීම සම්බන්ධ තත්වය අදාළ පාර්ශවයන් යටත් වන මුස්ලිම් නිකායේ නීති ප‍්‍රකාරව තීන්දු කළයුතු බවයි.

මුස්ලිම් නීතිය යටතේ පාර්ශවයන්ට ආකාර කීපයකින් දික්කසාදය ලබාගත හැකිය
1 මුබාරත්
2 තලාක්
3 කුලා
4 ෆසා

මුබාරත්නී – තිවේදියෙකු වන අමීර් අලී පවසන ආකාරයට විවාහය අන්‍යොන්‍ය කැමැත්තෙන් විසුරුවා හැරීම මුබාරත් ලෙස හදුන්වයි. මෙම ක‍්‍රමවේදය මගින් දික්කසාදය වුවහොත් එම පාර්ශවයන්ටම නැවත විවාහ වීමේ හැකියාව නොලැබේ.

නැවත එම යුවළටම විවාහ වීමට අවශය නම් දෙදෙනාම වෙනත් පාර්ශවයන් දෙකක් සමග විවාහ වී ඔවුන්ගෙන් දික්කසාද වී පැමිණ නැවත විවාහ විය යුතුය. 28(2) වගන්තිය අනුව මේ සම්බන්ධව තීරණ ගැනීමේ බලය ක්වාසිවරයා සතුය.

තලාක් – මෙය පුරුෂයා විසින් කාන්තාව දික්කසාද කිරීමට ඇති ක‍්‍රමයකි. මෙහිදී හේතු දැක්වීමකින් තොරව පුරුෂයාට දික්කසාදය සිදු කල හැකිය. ඉස්ලාමීය නීතිය තුළ අවලංගු කළ හැකි තලාක් සහ අවලංගු කල නොහැකි තලාක් ලෙස ආකාර දෙකක් හඳුනාගත නොහැකි වුවද වැඩි වශයෙන් පිලිගනු ලබන්නේ අවලංගු කල හැකි තලාක් පමණි. අවලංගු කල හැකි තලාක් ක‍්‍රම දෙකකින් සිදු කල හැකිය.

තලාක් අහසන්හිදී එක් වරක් තලාක් කියා දික්කසාද වීමට සිදුවේ. එය අවලංගු කල හැකි අතර පාර්ශවයන්ට නැවත් විවාහ විය හැකිය.

තලාක් හසන්හිදී යම් කාලසීමාවක් අතර තුරදී තුන්වරක් තලාක් කියා දික්කසාදවීම සිදුවේ.

ශ‍්‍රීලංකාවේ මුස්ලිම් නීතිය තුල සැමියා විසින් බිරිඳව දික්කසාද කිරීමේදී අනුගමනය කලයුතු ක‍්‍රියා පටිපාටිය 1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ දැක්වේ. එහි 27 වගන්ති ප‍්‍රකාරව සැමියා විසින් දික්කසාදය ඉල්ලා සිටින අවස්ථාවකදී පනතෙහි 2 වන උපලේකනයේ දැක්වෙන රීතීන් අනුගමනය කල යුතුය.

දෙවන උපලේකනයට අනුව තලාක් ක‍්‍රමය මගින් දික්කසාදය ලබා ගැනීමට අදහස් කරන ස්වාමිපුරුෂයෙකු පළමුව බිරිඳ ජීවත් වන ප‍්‍රදේශයේ ක්වාසිවරයාට දැනුම් දිය යුතුය. මේ අවස්ථාවේදී කලත‍්‍රයන් දෙදෙනා අතර සාමදානයක් ඇති කිරීමට උත්සහ කිරීම ක්වාසිවරයා සතු වගකීමකි. දින 30ක් ඇතුලත සාමදානයක් සිදු වූයේ නැතිනම් ස්වාමිපුරුෂයා ක්වාසිවරයා හා සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරියේ මේ සඳහා බිරිඳ සහභාගී නොවීම අත්‍යවශ්‍ය වේ. බිරිඳ සහභාගී නොවූයේ නම් ක්වාසිවරයා විසින් බිරිඳට ඒ බව දැනුම් දිය යුතුය.

දික්කසාදය ලබාගැනීමේදී තලාක් ප‍්‍රකාශ කරන්නේ එක්වරක් වන බැවින් ශ‍්‍රීලංකාව තුල පවතිනුයේ තලාක් හසන් ක‍්‍රමය නොව තලාක් අහසන් ක‍්‍රමය බව අධිකරණය පිළිගන්නා ලදී.

කුලා- මුස්ලිම් නීතිය අනුව බිරිඳකට සැමියාගෙන් දික්කසාදය ලබා ගැනීමට අවශ්‍ය නම් එය පාලනය වනු ලබන නිකායේ නීති ප‍්‍රකාරව එය ලබාගත හැකි බව 1951 අංක 13 දරන මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ 28(2) වගන්තියෙන් දක්වයි. පනතේ 28(2) වගන්තිය අනුව මුස්ලිම් බිරිඳක් දික්කසාදයක් ඉල්ලූම් කලවිට එය 3වන උපලේකනයේ රීතීන් හරහා ලබාදිය හැකිය.

කාන්තාවට දික්කසාදය ඉල්ලීමට පවතින එක් ක‍්‍රමයක් වන කුලාහිදී සිදුවනුයේ බිරිඳ විසින් සැමියාට ප‍්‍රතිෂ්ඨාවක් ලබාදී තමා විවාහයෙන් නිදහස් කරන ලෙස ක්වාසිවරයා හරහා ඉල්ලා සිටීමය. මෙහිදී කාන්තාව ගෙවිය යුතු ප‍්‍රතිෂ්ඨාවේ ප‍්‍රමාණය සම්බන්ධව නීති වේදීන්ගේ මතය වන්නේ තමන්ට ලබාදුන් මහර් වලට වඩා වැඩියෙන් ගෙවීමට කාන්තාව බැඳී නැති බවයි. රජ එදිරිව මිස්කින් උම්මා (1925) නඩුවේදී ජයවර්ධන විනිශ්චකාරතුමා ප‍්‍රකාශ කරන ලද්දේ කුලා දික්කසාදය ආරම්භ කරනුයේ කාන්තාව වුවද එහි අවසාන තීන්දුව රඳා පවතිනුයේ සැමියාගේ කැමැත්ත මත බවයි.

ෆසා – මුස්ලිම් විවාහක බිරිඳකට සැමියාගේ වරදක් පදනම් කරගනිමින් ඔහුගේ කැමැත්ත රහිතව ෆසා දික්කසාදය ලබාගත හැකිය. 1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ 3 වන උපලේඛනය ප‍්‍රකාරව මෙම දික්කසාදය ඉල්ලිය හැකිය. ඒ අනුව මුස්ලිම් නීතියෙහි සැමියා අයත්වන නිකාය යටතේ වරදක් වන යම් ක‍්‍රියාවක් හෝ නොකර හැරීමක් සැමියා විසින් සිදුකරයි. නම් එය පදනම් කරගනිමින් මෙම දික්කසාදය ඉල්ලා සිටිය හැකිය සැමියාගේ වරදක් ලෙස සැලකිය හැකි ක‍්‍රියා හෝ නොකර හැරීම පිළිබඳව පනතේ 28වන වගන්තියේ පැහැදිලි කිරීමක් නොදක්වන බැවින් ඉස්ලාමීය නීති මූලධර්මවලට අනුගතව ඒ සම්බන්ධව තීරණ වලට එලඹිය යුතුය.

සැමියා විසින් බිරිදව නඩත්තු නොකිරීම, කෲර හා අමානුෂික ලෙස සැලකීම, සැමියා විසින් සිදු කරනු ලබන ද්වේශ සහගත හැරයාම, සැමියාගේ අනාචාරය, ලාදුරු රෝගය වැළදීම, විවාහයට බාධාවක් වන මිනීමැරුමක් වැනි අපරාධමය වරදක් සිදු කිරීම යන පදනම් ඔප්පු කිරීමෙන් කාන්තාවට ෆසා දික්කසාදය ලබාගත හැකි බව පිළිගනී.

සමස්ත නීතිය තුළ විවාහය නතර කිරීමේ මූලික පදනම් දෙකක් හදුනාගත හැකිය. විවාහය අවසන් කිරීමේ චේතනාවෙන් යුතුව සිදු කරනු ලබන විවාහයේ ප‍්‍රකාශිත හෝ ව්‍යංග කොන්දේසි කඩකිරීම නැතහොත් වෛවාහක වරද ඉන් එක් පදනමකි. ඉතාමත් පැහැදිලි ලෙස දෙපාර්ශවයට අඹුසැමියන් ලෙස එක්ව ජීවත් වීම කළ නොහැකිය යන තීරණය මත දික්කසාදය ලබාගනු ලබන විවාහය කඩාකප්පල් වීම යන්න අනෙක් පදනම වේ.

ශ‍්‍රී ලංකාවේ නීති පද්ධතිය සම්බන්ධව සලකා බලන කල පෙනී යනුයේ සාමාන්‍ය නීතිය යටතේ වෛවාහක වරද මත පමණක් පදනම්ව දික්කසාදය ලබාදෙන නමුත් අනෙකුත් විශේෂ නීතීන් ඉන් ඉදිරියට ගොස් විවාහය කඩාකප්පල් වීම යන පදනමටද අවධානය යොමු කර ඇති බවයි.

උඩරට නීතිය තුළ අනෙයොන්‍ය කැමැත්ත මත දික්කසාදය ලබාගැනීමට අවකාශය ලබාදීමත් මුස්ලිම් නීතිය තුළ කලත‍්‍රයන් දෙදෙනාගෙම කැමැත්ත මත දික්කසාදය ලබාගැනීමට අවකාශය ලබාදෙන මුබාරත් ක‍්‍රමයත් ඊට නිදසුන් සපයයි.එසේ නමුත් සාමාන්‍ය නීතියේ දික්කසාදය ලබාදීමෙදී ස්ත‍්‍රී පුරුෂ දෙපාර්ශවයට පවතින සමානාත්මතාවය අනෙකුත් විශේෂ නීති තුළද ඒ ආකාරයෙන්ම පවතිනවාද යන්න ගැටලූ සහගතය.

උඩරට නීතියේ 1952 අංක 44 දරණ උඩරට විවාහ හා දික්කසාද පනතේ 32 වගන්ති ප‍්‍රකාරව විවාහයෙන් පසු කාන්තාවගේ අනාචාරය පමණක් පදනම් කරගනිමින් දික්කසාදය ලබාදුන්නද පුරුෂයාගේ අනාචාරය සදහා දික්කසාදය ලබාදෙනුයේ එය කෲරත්වය සමග මුසු වු අනාචාරය වන්නේ නම් පමණි.

මුස්ලිම් නීතිය සලකා බැලීමෙදී තලාක් ක‍්‍රමය තුළින් ස්වාමිපුරුෂයාට කිසිදු හේතුවක් ඉදිරිපත් නොකර තම බිරිදව දික්කසාද කළ හැකි අතර කාන්තාවට සැමියාගෙ වරදක් නොපෙන්වා දික්කසාදය ලබාගැනීමට පවතින කුලා ක‍්‍රමයෙදී වුවද සැමියාගෙ කැමැත්තෙන් තොරව දික්කසාදය ලබාගත නොහැක.

මේ අනුව පැහැදිලි වනුයේ ශ‍්‍රී ලංකාවේ නීති පද්ධතියේ දික්කසාදය ලබාදෙන ප‍්‍රධාන නීති තුනෙහිම යම් මට්ටමකට ලූහුඩුතා පවතින බවයි.

Y A උදානි දයාරත්න – AC උමන්දි ජයන්ත
නීති පීඨය, කොළඹ විශ්වවිද්‍යාලය

Recommended For You

About the Author: Editor