Covid-19: ඔබ එන්නත් ගැන භීතියෙන්ද ? එසේ නම් ‘ඇත්ත කතාව නිවැරදිව’ දැන ගන්න

කෝවිඩ් 19 ට එරෙහිව තනා ඇති එන්නත් කිහිපයක් මේ වන විට ලොව පුරා භාවිත කෙරෙමින් පවතී. මේ පිළිබඳව මාධ්‍ය ඔස්සේ විවිධ තොරතුරු සහ උපදෙස් පළ වෙමින් පවතින අතර ඇතැම් විට ඒවා නිරවුල් නැත. එන්නතක් පිළිබඳව මූලික දැනුමක් ලබා ගැනීමෙන් එම ව්‍යාකූලතා අවම කර ගත හැකි වනු ඇත.

එන්නතක් යනු කුමක්ද?

එන්නතකින් සිදු කෙරෙන්නේ වෛරසයකට, ආසාදනයකට හෝ රෝගයකට එරෙහිව සටන් කිරීම සඳහා ඔබේ ශරීරය සූදානම් කිරීමයි.

එන්නතක අඩංගු වන්නේ රෝගය ඇතිකරවන ජීවියාගේ අක්‍රිය හෝ දුර්වල කරන ලද කොටසකි. නැතහොත් එම ජීවියා ශරීරගත වූ විට ඇතිකරවන බලපෑමට සමාන බලපෑමක් ඇතිකරවන ලෙස සැලසුම් කරන ලද, එකී ජීවියාගේ අනු පිටපතකි.

එය ශරීරගත කළ විට ආක්‍රමණිකයෙකු ඇතුළු වී ඇති බව සිරුර හඳුනා ගෙන ඊට එරෙහිව සටන් වැදීම සඳහා ප්‍රතිශක්ති පද්ධතිය ක්‍රියාත්මක වේ. එහිදී ඊට අදාළ ප්‍රතිදේහ ශරීරය තුළ නිපදවේ.

එම ක්‍රියාවලිය සිදු වීමෙන් පසුව එකී ජීවියා නැවත ශරීරගත වුවහොත් එම ආක්‍රමණිකයා පහසුවෙන් හඳුනාගෙන ඊට එරෙහිව සටන් කිරීම සඳහා සිරුර සූදානම් ය. ඊට අවශ්‍ය සෙබළුන් ලෙස ක්‍රියා කරන ප්‍රතිදේහ ද සිරුරේ පවතී.

එහිදී ඔබට සම්පූර්ණයෙන් ම රෝගය වැළඳීම වලක්වන අතර එම ආගන්තුක ජීවියාගෙන් දරුණු බලපෑමක් සිදුවීමට පෙර එය විනාශ කර දැමීමට ඔබේ ශරීරයේ පවතින ප්‍රතිශක්තිකරණ පද්ධතියට හැකියාවක් ලැබෙනු ඇත.

African-American woman getting a Covid vaccine

එවැනි එන්නතක් ගැනීම මගින් ඇතැම් උදවියට පමණක් සුළු අතුරු ආබාධ ඇතිවිය හැකිය. එය තාවකාලික උන ගතියක් හෝ එන්නත ලබා දුන් ස්ථානයේ සුළු තඩිස්සියක් වැනි දෙයකි.

දැන් එම රෝගය සඳහා අවශ්‍ය කරන ප්‍රතිදේහ ඔබේ ශරීරයේ වර්ධනය වී පවතී. එන්නත් යනු ඉතා ශක්තිමත් දෙයක් බව එක්සත් ජනපදයේ රෝග වැළක්වීමේ සහ පාලනය කිරීමේ මධ්‍යස්ථානය (CDC) පවසන්නේ එබැවිනි. රෝගයක් සුව කිරීමට පවතින ඔසුවක් මෙන් නොව; එන්නතකින් එම රෝගය වැළඳීම වලක්වයි.

එන්නත් ආරක්‍ෂාකාරී ද?

මුලින් ම එන්නත් භාවිතා කර ඇත්තේ චීනයේය. ඒ දසවන ශතවර්ෂයේදී ය. නමුත් මේ පිළිබඳව ලොව පුරා කාගේත් අවධානයට ලක් වූයේ, සුළු බලපෑමක් ඇතිකරවන ‘ගව වසූරිය’ රෝගය මගින්, වසූරිය රෝගයට එරෙහිව මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණයක් ඇතිකරවිය හැකි බව එඩ්වර්ඩ් ජෙනර් විසින් 1796 වසරේ දී සොයා ගනු ලැබීමෙන් අනතුරුවය.

ඔහු එම සිද්ධාන්තය පරීක්ෂාවට ලක් කළේය. වසර දෙකකට පසුව එම පර්යේෂණයේ තොරතුරු ප්‍රකාශයට පත් කෙරුණි.

ඉංග්‍රීසි භාෂාවෙන් එය වැක්සින් (vaccine) ලෙසින් නම් කෙරුණේ එතැන් පටන් ය. එය ලතින් භාෂාවෙන් ගවයා හැඳින්වීමට යෙදෙන “vacca” යන වදන අනුසාරයෙන් බිහි වූ නාමයකි.

එන්නත සොයා ගැනීම නවීන වෛද්‍ය විද්‍යාවේ ඉහළම ජයග්‍රහණයක් ලෙස පිළිගැනීමට ලක්වේ. එමගින් රෝග 20කට ගොදුරු වී සෑම වසරකම මියයමින් පැවතුණු ජීවිත මිලියන දෙක තුනක් බේරා ගැනීමට හැකිවූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Generic crowd

මෙම එන්නත් වෙළඳපොළට මුදා හැරීමට පෙර දැඩි පරීක්ෂාවට ලක් කෙරෙන බව එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය පවසයි. පළමුව ඒවා රසායනාගාරය තුළ පරීක්ෂාවට ලක් කෙරේ. දෙවනුව සත්ව දේහ මත පර්යේෂණයට භාජනය වේ. මිනිස් දේහ මත සායනික පරීක්ෂාවට ලක් වන්නේ ඉන් අනතුරුවය.

ඖෂධ නියාමන අධිකාරීන් මගින් අනුමැතිය ලැබෙන්නේ සායනික පරීක්ෂාවෙන් ලැබෙන ප්‍රතිඵල මතය.

සෑම ඖෂධයකම පවතින්නාක් සේ එන්නතක ද අවදානමක් පවතී. නමුත් ඉන් ලැබෙන වාසිය හා සලකා බලන විට එම අවදානම නොගිනිය හැකි තරම් අවමය.

උදාහරණයක් ලෙස දක්වතොත්, මීට පෙර පරම්පරාවට ළමා කාලයේ දී වැළඳුණු බොහොමයක් රෝග වත්මන් ළමා පරපුරට වැළඳෙන්නේ ඉතා අඩු මට්ටමකිනි. ඒ එන්නත් ලබා දීම නිසාය. අතීතයේ මිනිස් ජීවිත මිලියන සිය ගණනක් බිලිගත් වසූරිය රෝගය ලෝකයෙන් තුරන් කිරීමට හැකි වූයේ ද එන්නත් ලබා දීම නිසාය.

නමුත් සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා බොහෝ විට දශක ගණනක් ගතවනු ඇත. පෝලියෝ රෝගය අප්‍රිකාවෙන් සදහටම තුරන් වූ බව නිවේදනය වූයේ පසුගිය අගෝස්තු මාසයේදී ය. ඒ වන විට පෝලියෝ එන්නත ලොව පුරා භාවිත කිරීමට පටන් ගෙන වසර 30කට වැඩි කාලයක් ගතවී හමාරය.

කෝවිඩ් 19 හමුවේ අපගේ ජීවිත නැවත සාමාන්‍ය තත්වයට පත්කර ගැනීම සඳහා සෑහෙන පරිදි ලෝක ජනගහනයට කොරෝනා එන්නත ලබාදීමට මාස ගණනක් හෝ වසර කීපයක් ගත විය හැකි බවට විශේෂඥයෝ අනතුරු අඟවති.

Smallpox vaccinations, 1962

එන්නතක් සාදන්නේ කෙසේද?

බැක්ටීරියාවක්, වෛරසයක්, පරපෝෂිතයෙක් හෝ දිලීරයක් වැනි රෝග කාරක බීජයක් ශරීරගත වූ විට ඊට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රතිදේහ තැනීම ආරම්භ කරනු ලබන්නේ ඇන්ටිජන් හෙවත් ප්‍රතිදේහජනක නමැති අනුඛණ්ඩයක් මගිනි.

රෝග කාරක බීජය ශරීරගත වීමට පෙර එන්නතක් ලබා දීම මගින් සිදු කෙරෙන්නේ දුර්වලකරන ලද හෝ අක්‍රිය කරන ලද එහි අනුඛණ්ඩයක් සිරුරට ඇතුළු කිරීමය. එවිට ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියා කරන්නේ සැබෑ රෝගකාරක බීජයට එරෙහිව ක්‍රියාත්මක වන ආකාරයටම ය.

කෙසේ නමුත් කොරෝනා එන්නත් කීපයක් තැනීමට භාවිත කර ඇත්තේ ඊට වෙනස් වූ නව ක්‍රමවේදයකි.

කොරෝනා එන්නත් සංසන්දනය කරන්නේ කෙසේද?

ෆයිසර් සහ මොඩර්නා යන එන්නත් දෙකම හැඳින්වෙන්නේ mRNA (Messenger RNA) එන්නත් ලෙසිනි. ඒවා තනා ඇත්තේ දුර්වලකරන ලද හෝ අක්‍රිය කරන ලද වෛරසයේ අනුඛණ්ඩයක් යොදා ගෙන නොවේ. ඒ වෙනුවට වෛරසයේ ජාන කේතයේ (genetic code) කොටසක් භාවිතා කර තිබේ.

එමගින් සිදු කෙරෙන්නේ, කෝවිඩ් 19 ඇතිකරවන වෛරසයේ මතුපිට පවතින ‘ස්පයික් ප්‍රෝටීනය’ තැනීමට ඔබේ සිරුරේ සෛල පෙළැඹවීමයි. එම ප්‍රෝටීනයට ප්‍රතිචාර දක්වමින් ඊට එරෙහිව සටන් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිදේහ තැනීමට ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාත්මකවේ.

කෝවිඩ් 19ට එරෙහි ඔක්ස්ෆර්ඩ් එන්නත තනා ඇත්තේ තවත් වෙනස් ක්‍රමවේදයක් භාවිතා කරමිනි.

මෙහිදී සිදු කෙරුණේ, චිම්පන්සියන්ට ලබා දෙන සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා වෛරසයකට, කෝවිඩ් 19 ඇතිකරවන වෛරසයේ ජාන කේතයෙන් කොටසක් එකතු කිරීමය.

Coronavirus bacteria

කෝවිඩ් 19ට එරෙහිව තනා ඇති ඉහත කී එන්නත් වර්ග තුන ම මහජනතාවට ලබා දීම සඳහා එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය අනුමත කළහ.

ෆයිසර් එන්නතට මෙක්සිකෝ, චිලි සහ කොස්ට රිකා යන රටවල් අනුමැතිය දුන්හ. බ්‍රසීල ආණ්ඩුවේ අනුමැතිය හිමි වුණේ ඔක්ස්ෆර්ඩ් සහ සිනොවැක් යන එන්නත් දෙකට ය.

ඒ එන්නත් හැර තවත් එන්නත් තිබේ ද?

චීනයේ නිෂ්පාදිත ‘කොරෝනාවැක්’ (CoronaVac) එන්නත චීනය, සිංගප්පුරුව, මැලේසියාව, ඉන්දුනීසියාව සහ පිලිපීනය භාවිතා කරති. එය තනා ඇත්තේ එන්නත් නිෂ්පාදනයේ වඩා සාම්ප්‍රදායික ක්‍රමයක් වූ මියගිය වෛරස් අණු භාවිතා කරමිනි.

කෙසේ නමුත් එහි ඵලදායී බව පිළිබඳව ප්‍රශ්න මතු වී තිබේ. ඊට හේතුව, එහි අවසන් අදියරේ සායනික අත්හදාබැලීම් වලින් ලද දත්ත එතරම් සතුටුදායක නොවීම ය. එය අත්හදා බැලුණේ තුර්කිය, ඉන්දුනීසියාව සහ බ්‍රසීලයේ ය. බ්‍රසීලයේ පර්යේෂකයන් පැවසුවේ එය 50.4%ක් ඵලදායී වූ බවය.

ඉන්දියාව එන්නත් වර්ග දෙකකට අනුමැතිය ලබා දුන්නේය. ඉන් එකක් Covishield ය. එය සංවර්ධනය කරනු ලැබුවේ ඔක්ස්ෆර්ඩ් සරසවිය සහ AstraZeneca ඖෂධ සමාගම විසිනි. අනෙක Covaxin එන්නතයි. එය ඉන්දියානු ඖෂධ සමාගමක් වන භාරත් බයෝටෙක් විසින් නිෂ්පාදනය කරනු ලැබූවකි.

රුසියාව භාවිතා කරන්නේ තමන්ගේම රටේ නිපදවූ එන්නතකි. එය ‘ස්පුට්නික් වී’ (Sputnik V) නමින් හැඳින්වේ. එය වෛරසයක් වෙනස්කොට තනන ලද එන්නතකි. ඉන් මාත්‍රා 300,000ක් ආජෙන්ටිනාව විසින් ඇනවුම් කරන ලදී.

අප්‍රිකානු හවුල ද වර්ග කීපයකින් එන්නත් මාත්‍රා මිලියන 270ක් ඇනවුම් කර තිබේ.

මීට අමතරව Covax ගෝලීය සංවිධානය ද එන්නත් මාත්‍රා මිලියන 600ක් ලබා ගැනීම සඳහා ගිවිසුම් ගත වී ඇත. Covax යනු අඩු ආදායම් සහිත රටවල් සඳහා කොරෝනා එන්නත සැපයීමට කැප වී සිටින සංවිධානයකි. ඊට නායකත්වය සපයන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ Gavi නමැති සංවිධානයයි.

මම කෝවිඩ් එන්නත ලබා ගත යුතුද?

එය අනිවාර්ය නොවේ. නමුත්, වෙනත් සෞඛ්‍ය හේතුන් මත හැරෙන්නට අන් සියලු දෙනා මෙම එන්නත ලබා ගන්නා ලෙස උපදෙස් ලබා දී ඇත.

එක්සත් ජනපදයේ රෝග නිවාරණ හා පාලන මධ්‍යස්ථානය පවසන්නේ මෙම එන්නත ලබා ගැනීමෙන් කෝවිඩ් 19ට එරෙහිව තමන්ට ආරක්ෂාවක් සැපයෙන අතරම අනෙක් පුද්ගලයන් ආරක්ෂා කරගැනීමට ද හැකිවන බවය. එමෙන්ම, කොරෝනා වසංගතය තත්වය නිමා කරවීම සඳහා පවතින අතිශය වැදගත් මෙවලම මෙම එන්නත බව ද ඔවුහු පවසති.

කෝවිඩ් ව්‍යාප්තවීම නතර කර ගැනීමට නම් ලෝක ජනගහනයෙන් 65%ත් 70%ත් අතර ප්‍රමාණයකට ප්‍රතිශක්තිය ඇතිවිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

කොරෝනා වෛරසයට එරෙහිව මෙම එන්නත් ඉතා කෙටි කාලයකින් සංවර්ධනය කරනු ලැබීම නිසා ඇතැමෙක් ඒ පිළිබඳව ප්‍රශ්න නගති.

ගතවූ කාලය කෙටි බව සත්‍යයකි. සාමාන්‍යයෙන් එන්නතක් නිපදවීම සඳහා විද්‍යාඥයෝ දිගු කාලයක් වැය කරති. නමුත් කොරෝනා වසංගතය හමුවේ සියල්ල වේගවත් කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත් වීමෙන් විද්‍යාඥයන්, ව්‍යාපාරිකයන් සහ සෞඛ්‍ය සංවිධාන එක්ව කටයුතු කළහ.

කෙටියෙන් කියතොත්, කොවිඩ් 19 ව්‍යාප්තිය නතර කර ගැනීමට නම් බිලියන ගණනක් මිනිසුන්ට එන්නත් ලබා දිය යුතුමය. එම ඉලක්කය සපුරා ගැනීම වේගවත් වන තරමට අප සාමාන්‍ය ජන ජීවිතයකට යළි ඇතුල්වීම ඉක්මන් වනු ඇත.

බී.බී.සී සන්දේශය ඇසුරිණි – ශීර්ෂපාඨය වෙනස්කර ඇත.

Recommended For You

About the Author: Editor