අධිකරණයට අපහාස කිරීම ගැන ‘පරිපූර්ණ නීතියක්’ සැකසිය යුතුද?

මෙම දණ්ඩනය හුදෙක්ම අධිකරණයේ අධිකාරී බලය ප්‍රදර්ශනය සඳහා හා සමාජයට පණිවුඩයක් දීම සඳහා සුදුසු බැව් පෙනේ. වගඋත්තරකරුට අභියාචනා කිරීමේ අයිතියක් නොමැති වීමදදඬුවම් නියම කිරීමේදී සැලකිල්ලට ගත යුතුව තිබුණි.

ජනාධිපති නීතිඥ තාරපති ජයනාග

පසුගිය දින කිහිපය තුළ අධිකරණයට අපහාස කිරීම පිළිබඳව මහජනතාව අවදි වූ අවස්ථාවක් උදාවුණි. මෙය නීති ප්‍රජාව අතර පමණක් නොව දේශපාලනඥයන්, මාධ්‍යකරුවන්, සමාජවිද්‍යාඥයන් හා සාමාන්‍ය මහජනයා අතරද උනන්දුවක් ඇති කළ බව පෙනුණි. ඊට හේතු වූයේ රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වැරදිකරු කොට පසුගිය 12 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර 04ක බරපතළ වැඩ සහිත සිරදඬුවමකට යටත් කිරීමයි.

ඔහුට දූෂණ චෝදනා කිසිවක් නොතිබුණි. ඔහුගේ හැසිරීමෙන් පෙනෙන්නේ ඔහු ඉච්ඡාකාරයෙකුද (Hyopocrite) නොවන බවයි. ඔහුගේ චර්යාවෙන් එක් දෙයක් පැහැදිලි වන්නේය. එනම්, කතා කළ යුත්තේ කුමක්ද, කුමන වේලාවකද, කුමන කරුණක් සම්බන්ධයෙන්ද, කුමන ස්ථානයකද, ඉන් ඇති විය හැකි ප්‍රතිඵල කවර ආකාරද, යන්න පිළිබඳ ඔහුට කිසිදු අවබෝධයක් නොතිබුණ බවයි.

21. 08. 2017 වන දින අරලියගහ මන්දිරයේ තිබූ රැස්වීමකින් පිටතට පැමිණ ඔහු මාධ්‍ය අමතා කළ ප්‍රකාශය මහත් ආන්දෝලනයට ලක්වුණි. කිසියම් පුද්ගලයෙකු මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමෙන් පසු අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඔහුට දඬුවම් නොකිරීමට හේතු ඇත්නම් ඒ බව අධිකරණයට පැමිණ දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට දැනුම් දුන්නේය. ඒ අනුව ඔහුට එරෙහිව රීතියක් නිකුත් කොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) වන වගන්තිය යටතේ නඩු විභාගයක් ආරම්භ වුණි. අධිකරණය විසින් නිකුත් කළ රීතියට පදනම් වූ ප්‍රකාශය නම්,

‘‘මම කියන්නේ නීතීඥයො තමයි කිවුවට නීතීඥයෝ බහුතරයක් තමයි ලංකාව විනාශ කරේ. ඒ තමයි තිත්ත ඇත්ත. මේ ක`ඵ කෝට්කාරයෝ. බහුතරයක්. හැමෝම නෙවෙයි. ලංකාවේ බහුතරයක් ඉන්නේ අ….ආ…. Corrupted විනිසුරුවරු. Corrupted මේ… මේ… ලෝයස්ලා ඔවුන් සල්ලිවලට වැඩ කරන්නේ.” යන්නයි.

සිරස සහ හිරු ආයතනවල නිළධාරීන් කැඳවා ඩීවීඩී තැටිද, ඒවායේ අන්තර්ගතයන් ප්‍රතිලේඛන කොට එම ලේඛනද පැ.01 සිට පැ. 07 දක්වා රජය විසින් ඉදිරිපත් කොට තිබුණි. එක් ඩීවීඩී තැටියක අඩංගු වූයේ 21.08. 2017 දින කළ ප්‍රකාශයයි. නඩුව ඇසුණු සෑම දිනකම ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පිටතට පැමිණ එම පරිශ්‍රයේදී මාධ්‍ය අමතා කෙටි ප්‍රකාශ ගණනාවක් කර ඇත. පොදුවේ ගත් කල ඉන් කියැවෙන්නේ ඔහු කිවූ කිසිවක් ඉවත් කර නොගන්නා බවයි. මින් එක් අවස්ථාවකදී පමණක් විනිසුරුවරුන් ගැන සඳහනක් තිබුණි.

21.08.2017 වන දින පටිගත කළ හිරු ඩීවීඩී තැටියේ යම් යම් වචන නොතිබුණ බව අධිකරණය නිරීක්ෂණය කළේ වුවද, එය අහඹුවක්ද හිතාමතා කරන ලද්දක්ද යන්න පිළිබඳව අධිකරණය විනිශ්චයක් කළ බවක් ගම්‍ය නොවේ.

වගඋත්තකාර රන්ජන් රාමනායක සාක්ෂි දුන්නේය. ඔහු කියාසිටියේ තමා දේශපාලනයට ඇතුල් වූ එකම පරමාර්ථය දූෂිත දේශපාලනඥයන් සිරගත කිරීම බවයි. තමාට කිසිම දූෂණ චෝදනාවක් නැති බවද; රජයෙන් අමාත්‍යවරයෙකුට දෙන්නා වූ වාහන දෙකද තමා ප්‍රතික්ෂේප කළ බවද; පාර්ලිමේන්තු සැසියකට සහභාගි වූ විට දිනකට ලැබෙන්නා වූ දෛනික දීමනාව හෝ ලබා නොගන්නා බවද; මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ විට එම වැඩි කළ වැටුප් තමන් නොගන්නා බවද; මන්ත්‍රීවරුන්ට හිමි විවිධාකාර වරප්‍රසාද තමා භුක්ති නොවිදින බවද; ඔහු අවධාරණය කළේය.

ඔහු කියාසිටියේ 21 වන දින මාධ්‍ය ඇමතූ අවස්ථාවේ නීතිඥවරුන් සහ විනිසුරුවරුන් 95%ක් පමණ දූෂිත බව ප්‍රකාශ කළ බවද; එසේ වුවද විනිසුරන්’ යන වචනය වැරදීමකින් මුවින් පිටවූ බවද; ඒ සමඟම ඔහුමෙ…මේ…ලොයස්ලා….’ යැයි ප්‍රකාශ කළේ ඒ වරද නිසා බවද; අවධාරණය කළේය.

කිසිවිටකත් විනිසුරුවරුන් දූෂිත බැව් ප්‍රකාශ කිරීමේ චේතනාවක් නොතිබුණ බැව් කියා සිටියේය. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පිටත මාධ්‍යයට දුන් ප්‍රකාශවලදී තමා යහපත් විනිශ්චයකාරවරුන් සිටි බැව් ප්‍රකාශ කළේ වුවද, හිරු ආයතනය එම කොටස් ඉවත්කොට ඇති බවද කියා සිටියේය. මේ අනුව ඔහුගේ විත්තිවාචකය වූයේ සිද්ධිය පිළිබඳ වූ වැරදීමක් බවයි.

අධිකරණය ඔහුගේ විත්තිවාචකය ප්‍රතික්ෂේප කළේය. අධිකරණය විශේෂ වශයෙන් අවධාරණය කළේ ඔහු අතින් සිදුවූයේ එවැනි වැරදීමක් නම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පිටත විවිධ අවස්ථාවන්හිදී මාධ්‍යට දුන් ප්‍රකාශ මගින් ඔහුට එම වරද නිවැරදි කිරීමේ හැකියාවක් තිබුණ බවත්, ඒ සම්බන්ධයෙන් සමාව අයැදීමට අවස්ථාවක් තිබුණ බවත්ය.

අධිකරණයට අපහාස කිරීම යනු කුමක්ද?

කිසියම් ක්‍රියාවකින් අධිකරණයේ නමට, ගරුත්වයට, ප්‍රතාපවත්භාවයට හා අධිකාරී බලයට හානිවන යමක්, යම් ක්‍රියාවක් හෝ ප්‍රකාශයක් මගින් යුක්තිය පසඳලීම හෑල්ලුවට ලක්වන්නේද එවැනි ක්‍රියාවක් හෝ ප්‍රකාශයක් අධිකරණයට අපහාස කිරීමක් ලෙස සැලකේ. “සාමාන්‍ය වශයෙන් සලකන විට අධිකරණයේ අධිකාරී බලය හා යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය අගෞරවයට හා හෑල්ලුවට ලක්කරන්නාවූ ද කිසියම් ක්‍රියාවක් අධිකරණයට අපහාස කරන්නක් ලෙස සැලකේ.”

ඕනෑම කෙනෙකුට අධිකරණය විසින් දෙන ලද තීන්දුවක් සම්බන්ධයෙන් හෝ විනිසුරුවරයෙකුගේ චර්යාව සම්බන්ධයෙන් හෝ සාධාරණ ලෙස හා සත්භාවයෙන් විවේචනයක් කිරීමේ අයිතියක් තිබේ.

“යුක්තිය යනු ආරාමයක හුදෙකලා වූ ගුණාංගයක් නොවේ. එය සෘජුව හා ගෞරවනීය ලෙස ප්‍රකාශ කරන සාමාන්‍ය මිනිසුන්ගේ නිරීක්ෂණයට යටත් වන්නේය.”

කොටින්ම කිවහොත් භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය අධිකරණය හෙළාදැකීමට හෝ එය කෙරෙහි මහජන විශ්වාසය බිඳවීමට හෝ එහි අධිකාරී බලයට අභියෝග කිරීමට හෝ එයට අවමන් කිරීමට හෝ යොදා නොගත යුතුය. මෙම සීමාවන්ට යටත්ව අධිකරණ තීන්දු විවේචනය කළ හැකිවා පමණක් නොව එවන් විවේචනයන් සඳහා ජනතාව දිරිගැන්විය යුතුය. ඕනෑම ආයතනයක ක්‍රියාකාරීත්වය ප්‍රගමනය වන්නේ කලින් කලට එය ඇගයීමට ලක්වීම අනුවයි.

එබැවින් යුගයේ අවශ්‍යතාවට අනුව එම ආයතනවල ක්‍රියාකාරීත්වය ප්‍රවර්ධනය වීම සඳහා මහජන මතය බෙහෙවින් උපකාරී වන්නේය. අධිකරණය, විනිසුරුවරුන් හා යුක්තිය පසිඳලීමේ ආයතන හා ක්‍රියාවලිය සහමුලින්ම විවේචනයෙන් විනිර්මුක්ත (Immune) වන්නේ නම් එය ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට හානිකර වන්නේය.

අධිකරණයට අපහාස කිරීමට දඬුවම

මහේස්ත්‍රාත් අධිකරණය, දිසා අධිකරණය හා මහාධිකරණය අබිමුව කරන ලද්දා වූ අපහාස සම්බන්ධයෙන් දඬුවම අධිකරණ සංවිධාන පනතේ 55 වන සහ 18 වන වගන්තිවල සඳහන් වේ. ඕනෑම අධිකරණයක අධිකරණය අභිමුඛව (In facie curiae)හෝ ඉන් පිටතදී (Exfacie curiae) හෝ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් කිරීමේ අසීමිත බලයක් ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) ව්‍යවස්ථාව යටතේ ලැබෙන්නේය. එය මෙසේය.

“…අධිකරණයේ දී ම නැතහොත් අන් ස්ථානයක දී ඒ අධිකරණයකට අපහාස කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හෝ අභියාචනාධිකරණය සුදුසු යැයි සලකන පරිදි බන්ධනාගාරගත කිරීමෙන් හෝ දඩයකින් හෝ බන්ධනාගාරගත කිරීම සහ දඩය යන දඬුවම් දෙකින්ම හෝ දඬුවම් කිරීමේ බලයද ඇතු`ඵව එබඳු අධිකරණයක සියලු බලතල ඒ අධිකරණයන්ට ඇත්තේය..”

මෙහි විශේෂත්වය නම් දණ්ඩනයේ අවමයක් හෝ උපරිමයක් සඳහන් නොවීමයි. එවන් අවස්ථාවලදී අධිකරණය විසින් සැලකිල්ලට ගතයුතු බොහෝ කාරණා තිබේ. ඒවා සමහරක් නම්, අපහාසයේ ප්‍රමාණය, එය හිතාමතා කරන ලද්දක්ද?, එය ප්‍රකාශයක්ද ක්‍රියාවක්ද?, පාවිච්චි කළාවූ වචන, විනිසුරුවරයෙකුට හෝ අධිකරණ ක්‍රියාවලියට නිර්දය ලෙස හා අපහාසාත්මක ලෙස පරුෂ වචනයෙන් බැණ වැදීමක්ද?, විනිසුරුවරයාට කිසියම් දෙයකින් දමා ගැසීම වැනි ක්‍රියාවකින් අපහාස සිදු කළේද?, පුද්ගලයාගේ චරිතය, ප්‍රකාශයක් හෝ ප්‍රකාශනයක් නම් ඒ දෙය කර ඇත්තේ කුමන පරමාර්ථයකින්ද?, එය පොදු ජනයාගේ උන්නතිය සඳහාද?, චුදිතගේ ක්‍රියාවෙන් කොපමණ දුරකට අධිකරණය හෑල්ලුවට ලක් වූයේද?, චුදිත අධිකරණ නියෝගයක් කඩ කළ තැනැත්තෙක්ද, එසේ නැතහොත් හුදු ප්‍රකාශනයක් පමණක් කළ කෙනෙක්ද?, පවරනු ලබන දඬුවම නිසා ඔහු යළිත් වැරදි කිරීමෙන් වැළකී සිටීද?, දඬුවම හේතු කොටගෙන ඔහු පුනරුත්ථාපනය වෙයිද?, අධිකරණය සතු බලය දඬුවම මගින් ප්‍රමාණවත් අන්දමින් ප්‍රදර්ශනය වන්නේද?, එකී දඬුවමින් වෙනත් පුද්ගලයන් අධිකරණයට අපහාස කිරීම වැළැක්වීමට උපකාරී වන්නේද?, එකී දඬුවම නිසා මහජනයාගේ හඬ මු`ඵමනින්ම නිහඬ වන්නේද?, එකී දඬුවම හේතු කොටගෙන සත්භාවයෙන් අධිකරණ ක්‍රියාවලිය පිළිබඳ ඉදිරිපත් කළ යුතු හා ඉදිරිපත් කළ හැකි විවේචනයන් ඉදිරියට පැමිණීම වළකින්නේද? ආදි ලෙස වෙයි.

“යුක්තිය පසිඳලීමේ අධිකරණ ක්‍රියාවලිය යහපත් ලෙස පවත්වාගෙන යාමේ වැදගත්කම කවුරුත් පිළිගනු ලැබේ. එහෙත් අධිකරණයේ නියෝගයකට අකීකරු වීම හිතාමතා කළ පැහැර හැරීමක් විය යුතුය. එබැවින් කෙනෙකු සිරගත කිරීමට පෙර අධිකරණයේ බලය ඉතා ප්‍රවේශමෙන් භාවිත කළ යුතුය.  King v. Dunblain ex parte Williams 53 Common wealth L R 434 නඩුවේදී තීරණය වුණේ මෙම අධිකරණ බලය අධිකරණය වෙත පවරා ඇත්තේ අධිකරණ ක්‍රියාවලීන් සම්බන්ධයෙන් කරනු ලබන්නා වූ විවේචන අකාමකා දැමීමට නොවන බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ සංගමය එ. ඉන්දියානු රජය AIR 1998 SC 1895 නඩුවේ අලංකාර ප්‍රකාශයක් තිබේ. “අධිකරණයට අපහාස කිරීමේ අධිකරණ බලය සුවිශේෂ වූ අධිකරණ බලයකි. ඒ මක් නිසාද ජූරියද, විනිසුරුද, අලුගෝසුවාද වන්නේ අධිකරණයම බැවිනි. මෙහිදී අධිකරණය විනිශ්චය කරනු ලබන්නේ නඩුවක පාර්ශ්වකරුවන් අතර ආරාවුලක් නොවේ.

ඉන්දියානු නඩු තීන්දුවක් වන ආදිත්‍ය බික්ක්‍රම් බිර්ලා නඩුවේදී, “අපහාසකරු ඔහුගේ ක්‍රියාව යුක්තියුක්ත කිරීම සඳහා ඔහු අශිෂ්ට වූද, අවලාද සහ නින්දා සහගත වූද, චෝදනා එල්ල කරමින් විනිසුරුතුමාට දෝෂාරෝපණය කරන්නට විය. කිසිවිටකත් ඔහු කම්පා වූ බවක් හෝ සිය ප්‍රකාශ ඉවත් කරගැනීමක් හෝ සමාව අයැදීමක් නොකළේය. මෙම නඩුවේදී චුදිතට බරපතළ දඬුවමක් නියම විය යුතු බවට සැකයක් නැත. එහෙත් අධිකරණයේ උදාර ගුණය ආරක්ෂා කරගන්නා අන්දමේ දඬුවමක් මිස චුදිතට දඬුවම් කිරීමේ අභිලාෂයක් අප තුළ නොමැති බැවින් අපි ඔහුට මසක සිරදඬුවමක් සහ රු.200ක දඩයක් නියම කරමු.”

රාමනායක නඩුවේදී වගඋත්තරකරුට දෙන ලද වසර 04ක සිරදඬුවම අසමානුපාතික, අපරාධයට අනුරූප නොවන්නා වූ දඬුවමක් නොවන්නේද?

ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඇන්තනී ටෝනී ප්‍රනාන්දු, පදනම් විරහිතව අධිකරණයේ ඉල්ලීම් කළ බැව් සඳහන් කරමින් අධිකරණයට අපහාස කිරීමට වැරදිකරු කර ඒ අවස්ථාවේම බරපතළ වැඩ සහිතව වසරක සිර දඬුවමකට යටත් කළේය. ප්‍රනාන්දු එක්සත් ජාතීන්ගේ මණ්ඩලය මගින් සම්මත කළ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් අඩංගු ජාත්‍යන්තර ප්‍රඥප්තියේ 28 වගන්තිය යටතේ පිහිටුවන ලද මිනිස් අයිකිවාසිකම් පිළිබඳ කමිටුවට පැමිණිලි කළේය.

එම කමිටුව දෙපාර්ශ්වයටම සවන් දීමෙන් හා ඔවුන්ගේ නීතිඥවරුන්ගේ දේශනා සැලකිල්ලට ගැනීමෙන් පසු මෙතරම් උග්‍ර දඬුවමක් නියම කිරීමට හේතු අධිකරණය විසින් දක්වා නොමැති බැව් නිරීක්ෂණය කළේය. තවද පෙත්සම්කරු සිරගත කිරීම අත්තනෝමතික ක්‍රියාවක් බැව් අවධාරණය කළේය. ඒ අනුව ඉහත ප්‍රඥප්තියේ 9 (1) වගන්තිය ඉන් උල්ලංඝනය වී ඇති බැව් කමිටුව පෙන්වා දුන්නේය. 9 (1) මෙසේය. ‘සෑම දෙනෙකුටම පෞද්ගලික ආරක්ෂාවේ සහ නිදහසේ අයිතියක් ඇත. කිසිවෙකු අත්නෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තැබීම නොකළ යුතුය. නීතියෙන් සකසා ඇති විධිවිධානවලට අනුකූලව මිස කිසිවෙකුගේ නිදහස ඔහුට අහිමි නොකළ යුත්තේය.’

මෑතකදී ඉන්දියාවේ තීන්දු වූ නඩුවකි. ප්‍රෂාන්ට් භූෂාන් මහතා ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනීසිටින අධිනීතීඥවරයෙකි. ඔහු සිය Twitter ගිණුමේ පහත පණිවුඩය පළ කරන ලදි.

“කොවිඩ් නිසා යැයි පවසමින් අගවිනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණය වසා දමා බීජේපී පක්ෂයේ නායකයෙකු වන රාජ් භවාන් සමඟ, මුහුණු ආවරණයක් හා හෙල්මටයක් හෝ නොමැතිව ලක්ෂ 50ක් වටිනා මෝටර් සයිකලයක රවුම් ගසන්නේය.” තවත් ප්‍රකාශනයක ඔහු පහත සඳහන් දෑ පළ කළේය.

“ඉන්දියාවේ ඉතිහාසය ලියන්නන්, පසුගිය වසර හය තුළ ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයද, පෙර සිටි අගවිනිසුරුවරුන් හතර දෙනෙකුද වගකිව යුතු බවට ලියනු ඇතැයි සඳහන් කළේය.”

මෙම Twitter පණිවිඩ දෙකට අනුව භූෂාන් මහතාට එරෙහිව රීතියක් නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එය විමර්ශනය කර ඔහු අධිකරණයට අපහාස කළ බවට වැරදිකරු කළේය. එසේ වැරදිකරු කර ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට පැනවූ දණ්ඩනය වන්නේ ඉන්දියානු රුපියල් 1 කි.
අරුන්දතී රෝයි ප්‍රසිද්ධ සම්මානනීය ලේඛිකාවකි. වේල්ලක් ඉදිකිරීම සම්බන්ධයෙන් ඇය විරෝධතාව ප්‍රකාශ කළාය. මේ සම්බන්ධයෙන් පැවැත් වූ අධිකරණ ක්‍රියාවලියෙන් වේල්ල ඉදිකිරීමට අධිකරණයෙන් අවසර ලැබුණි.

අරුන්දතී මෙම තීන්දුව විවේචනයට ලක් කළාය. පසුව අධිකරණය අබියස උද්ඝෝෂණයකටද සහභාගි වූවාය. මේ හේතුව නිසා අධිකරණය විසින්ම ඇයට එරෙහිව අධිකරණයට අපහාස කළ බවට පරීක්ෂණයක් ආරම්භ කළේය. අධිකරණයට අපහාස කිරීමේ පනතට අනුව, භාෂණයේ නිදහස පරම නිදහසක් නොවන බවත්, එය නීතියෙන් පනවා ඇති සීමාවන්ට යටත් වන බවත් අධිකරණය නිරීක්ෂණය කළේය. ඉහත කී පනතින් අධිකරණයේ සෘජු බව, උදාරත්වය හා අවංකභාවය රැකගැනීමට උත්සාහ දරා ඇති බැව්ද අවධාරණය කළේය.

තවද අරුන්දතීගේ ප්‍රකාශයන් සත්භාවයෙන්, ජන සුබසිද්ධිය සඳහා කළ දේ නොවන බවට තීරණය කළ අධිකරණය පවසා සිටියේ එය සාධාරණ විවේචනයක් නොවන බවයි. අධිකරණයට අපහාස කිරීමට වැරදිකාරිය වූ අරුන්දතීට එක් දිනක සිරදඬුවමක් පමණක් නියම කෙරුණි.

අවසානය

රාමනායක නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුට පනවනු ලැබූ වසර 04ක බරපතළ වැඩ සහිත සිරදඬුවම පැනවීමේ හේතු නඩු තීන්දුවේ ප්‍රකාශ වී නොමැත. මුලින් සඳහන් කළ 105 (3) ව්‍යවස්ථාවට අනුව, “..ශ්‍රේෂ්ඨාධිකරණය හෝ අභියාචනාධිකරණයට සුදුසු යැයි සැලකෙන පරිදි බන්ධනාගාරගත කිරීමෙන් හෝ…” යන යෙදුම ඇති බැවින් හේතු දැක්වීමේ අවශ්‍යතාවක් නොමැති බැව් කෙනෙකුට තර්ක කළ හැක.

එහෙත් අධිකරණමය තීන්දුවක් හැමවිටම පදනම් සහිත විය යුතුය. හේතු මත පදනම් විය යුතුය. ඉහත පු`ඵල් වූ බලයක් පැවරී ඇති නිසාම වසර 04ක කාලයකට දණ්ඩනය ගණනය වූ ආකාරයට පාදක වූ හේතු දැක්විය යුතුය. මා මුලින් සඳහන් කළ පරිදි ජූරියද, විනිසුරුද, අලුගෝසුවාද වන්නේ අධිකරණය වන විට හේතු දැක්වීමද අනිවාර්ය වන්නේය. දඬුවම් කිරීමේ පරාසය සුවිශාල වන විට එය ප්‍රවේසමෙන්ද, ප්‍රඥාවන්තවද දැඩි පරීක්ෂණයකින්ද යුතුව භාවිත කළ යුතුය.

වත්මන් ලෝකයේ දඬුවම ප්‍රධාන වශයෙන් පරමාර්ථ දෙකක් සපුරා ගැනීම අරභයා පනවනු ලබයි. වැරදි කිරීමෙන් වැළැක්වීම හා පුනරුත්ථාපනය මෙම පරමාර්ථ දෙකයි. වගඋත්තරකරුට පනවා ඇති දණ්ඩනයෙන් මෙම කරුණු දෙකෙන් එකක් හෝ ඉටුවේ දැයි යන්න සැක සහිතය. මෙම දණ්ඩනය හුදෙක්ම අධිකරණයේ අධිකාරී බලය ප්‍රදර්ශනය සඳහා හා සමාජයට පණිවුඩයක් දීම සඳහා සුදුසු බැව් පෙනේ. වගඋත්තරකරුට අභියාචනා කිරීමේ අයිතියක් නොමැති වීමද දඩුවම් නියම කිරීමේදී සැලකිල්ලට ගත යුතුව තිබුණි.

අපි එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR)කොටස්කරුවන් වෙමු.ඒ අනුව 2007 අංක 56 දරන පනත අපේ පාර්ලිමේන්තුව සම්මත කළේය. ඉහත කී ප්‍රඥප්තියේ අඩංගු බොහෝ අයිතිවාසිකම් අපේ ව්‍යවස්ථාවේද සෙසු අයිතිවාසිකම් මෙම පනතින්ද ස්ථාපිත කෙරුණි. එහි පනතේ 4 (2) වගන්තියට අනුව, “ඕනෑම ලිඛිත නීතියක් යටතේ අපරාධයකට වැරදිකරු වන සෑම පුද්ගලයෙකුටම ඔහුගේ වැරදිකාරීත්වයට හා දඬුවමට එරෙහිව ඉහළ අධිකරණයකට අභියාචනා කිරීමේ අයිතියක් ඇත්තේය.”

වගඋත්තරකරුට මෙම අයිතිය අහිමි ය. ඉහත කී ප්‍රඥප්තියේ 9 (1) වගන්තියට අනුව කෙනෙකුගේ නිදහස නීතීයෙන් ස්ථාපිත කළාවූ පටිපාටියක් අනුව මිස අන් අයුරකින් අහිමි නොකළ යුත්තේය. තවද එම වගන්තියෙන්ම කෙනෙකු අත්තනෝමතික ලෙස සිරකර තැබීමද වළක්වා ඇත.

මින් ගම්‍ය වන එක් කරුණක් ඇත. සිරදඬුවමක් නියම කර ඇති අවස්ථාවක එය අවැසි ප්‍රමාණය ඉක්මවන දීර්ඝ කාලයකට පනවා ඇත්නම් එම කාලය අත්තනෝමතික රැඳවීමක් ලෙස සලකනු ලැබේ. මෙම දඬුවම නියම කිරීමේදී වගඋත්තරකරුගේ චරිතය සහ ඔහුගේ වරදේ ස්වභාවය සහ පර්යේෂණයන් සියල්ලද දඬුවමක් නියම කිරීමේ දී අපේක්ෂා කරනු ලබන අභිමතාර්ථයන්ද මේ සියල්ලටම වඩා මෙවන් නඩු සම්බන්ධයෙන් විදේශීය අධිකරණ මගින් පැනවූ දඬුවම්වල ස්වභාවයද සැලකිල්ලට ගත හැකිව තිබුණි. ඉහත මා සඳහන් කළ නඩු සැලකිල්ලට ගත් විට අධිකරණයට අපහාස කිරීමේ නඩුවල චුදිතයන් සිරගත කිරීමට බොහෝ රටවල අධිකරණ අකමැත්තක් දක්වා ඇති බව පෙනේ.

ඉහත සඳහන් කළ ඉන්දියානු නඩුවේදී, විනිසුරුතුමාට ප්‍රසිද්ධියේ දෝෂාරෝපණය කළ පුද්ගලයෙකුට මසක සිරදඬුවමක් සහ රු. 200 ක දඩයක් නියම කෙරුණි. ප්‍රෂාන්ට් භූෂාන් ඉන්දියානු අධිනීතීඥවරයාට රුපියලක දණ්ඩනයක් නියම කෙරුණි. අරුන්දතී රෝයිට එක් දිනක සිරදඬුවමක් නියම කෙරුණි.

අපේ අධිකරණය විසින් සිරගත කළ ඇන්තනී ටෝනී ප්‍රනාන්දු වසරකට සිරගත කිරීම එක්සත් ජාතීන්ගේ මිනිස් අයිතිවාසිකම් පිළිබඳ කමිටුවේ (ICCPR) බලවත් දෝෂ දර්ශනයට ලක්වුණි. තවද එතරම් උග්‍ර දඬුවමක් නියම කිරීමට අධිකරණය හේතු දක්වා නොමැති බවද කමිටුව නිරීක්ෂණය කරමින් එම සිරගත කිරීම අත්තනෝමතික ක්‍රියාවක් බැව් අවධාරණය කළේය.

එපමණක්ද නොව මෙවන් දඬුවම්වලින් භාෂණයේ නිදහස සීමා වන බවද, එය අසමානුපාතික හා අපරාධයට අනුරූප නොවන්නා වූ දඬුවමක් බැව් අවධාරණය කළේය. මින් ගම්‍ය වන්නේ අධික වූ දණ්ඩනයකින් වැරදි පණිවුඩයක් සමාජගත වන බැවින් එය සමාජයේ උන්නතියට හානිදායක බවයි. මීට අමතරව 2008 ජූලි මාසයේදී මෙම කමිටුව විසින්ම එස්බී දිසානායක (1373/2005) සිරගත කිරීමද අත්නෝමතික බැව් නිරීක්ෂණය කළේය.

රාමනායක නඩුව අධිකරණයට අපහාස කීරීම නීතිය සම්බන්ධයෙන් විවිධ ප්‍රශ්න රැසක් මතු කරයි. බොහෝ කලක සිට ඉන්දියාවේ මෙන් අධිකරණයට අපහාස කිරීම පිළිබඳ සුවිශේෂ වූ පනතක අවශ්‍යතාව අපට දැනෙන්නට විය. අපේ අධිකරණයන් පුරුද්දක් ලෙස අපහාසකරුවන්ට දීර්ඝ සිරදඬුවම් ලබා දීම දේශීය වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් විවේචනයට ලක්වුණි.

අභියාචනයක් කිරීමට ඇති අයිතිය අහිමි කරමින් දෙනු ලබන එවැනි දඬුවම් මගින් අපද පාර්ශ්වකරුවන් වූ ICCPR සම්මුතිය පැහැදිලි ලෙසම උල්ලංඝනය වී ඇත. ඉහත කී කරුණු කාරණා සියල්ල සැලකිල්ලට ගත් විට අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පරිපූර්ණ වූද, සංයුක්ත වූද, අභියාචනා කිරීමේ අයිතිය ඇත්තා වූද, පටිපාටිය පැහැදිලිව සඳහන් කර ඇත්තාවූද, ජාත්‍යන්තර ප්‍රඥප්තීන්වලට ගැළපෙන්නා වූද නීතියක අවශ්‍යතාව දැනෙන්ට වී තිබේ. මෙය නීතිඥ ප්‍රජාවගේද විශේෂයෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේද අවධානයට ලක්වනු ඇතැයි මම විශ්වාස කරමි.■

අධිකරණයට අපහාස කිරීමේ නීතිය සම්බන්ධ සමාජ අවබෝධය පුළුල් කිරීමේ අරමුණින් මෙම ලිපිය අනින්දා වෙබ්අඩවියෙන් (ජනවාරි 27 දින) උපුටා ගන්නා ලදි.

Recommended For You

About the Author: Editor