Covid-19 පාලනය කළ රටවල් අතර ලංකාවට ඉහළම ස්ථානයක්

කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමේදී ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කළ හොදම රට බවට නවසීලන්තයත් ‘නරකව‘ රට බවට එක්සත් ජනපදයත් පත්ව ඇති අතර ශ්‍රී ලංකාව 10 වැනි ස්ථනයට පත් වෙමින් මුල් පෙළ රටවල් දහය අතරට එක්ව ඇති බව වාර්තා වෙනවා.

මෙම රටවල් වන්නේ (පිළිවෙළින්) නවසීලන්තය, වියට්නාමය, තායිවානය, තායිලන්තය, සයිප්‍රසය, රුවන්ඩාව, අයිස්ලන්තය, ඔස්ට්‍රේලියාව, ලැට්වියාව සහ ශ්‍රී ලංකාවයි.

ඕස්ට්‍රේලියාවේ බුද්ධි මණ්ඩලයක් වන ‘ලෝවි ආයතනය‘ මෙම දර්ශකය සකස් කර තිබෙන අතර එම දර්ශකය අද (28) ප්‍රකාශයට පත් කෙරුණ බවයි රොයිටර් වාර්තාවල සදහන් වන්නේ.

වාර්තාව සම්පාදනයේ දී රටවල් 94ක දත්ත විමර්ශනය කර තිබෙනවා.

කොවිඩ් වසංගතයෙන් වැඩියෙන්ම බැට කමින් සිටින ඇමෙරිකාවට මෙම දර්ශකයේ 94 වැනි ස්ථානයත් ඉන්දියාවට 86 ස්ථානයත් මහා බ්‍රිතාන්‍යයට 66 වැනි ස්ථානයත් හිමිව තිබෙනවා. ප්‍රමාණවත් දත්ත නොමැතිවීම හේතුවෙන් චීනය මෙම දර්ශකයෙන් ඉවත් කර තිබෙනවා.

ඒක පුද්ගල පදනම මත වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයන්ගේ ගණන සහ කොවිඩ්-19 ආසාදිත මරණ ගණන අඩු වීම යන කරුණු එම රටවල් දහය මුල් ස්ථානවලට පැමිණීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන බවයි රොයිටර් පවසන්නේ.

මෙම දර්ශකය සැකසීමේදී රටවල් 98ක දත්ත අධ්‍යයනයට ලක් කර තිබෙන අතර සති 36ක් මුළුල්ලේ මෙම අධ්‍යයනය කර තිබෙන අතර ඉහත කරුණුවලට අමතරව අදාළ රටවල 100 වැනි ආසාදිතයා වාර්තා වූ දිනයේ සිට මේ වසරේ ජනවාරි 9 වැනිදා දක්වා තිබෙන දත්ත ද සැලකිල්ලට ගෙන තිබෙනවා.

ඒ අනුව,

දින 14කට වරක් දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ සාමාන්‍ය ගණන් බැලීම, මිලියනයකට වාර්තා වන ආසාදිතයන් ගණන, සමස්ත ආසාදිතයන් ගණන, තහවුරු කරන ලද ‘කොවිඩ්-19’ මරණ, මිලියනයකට වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන, කර තිබෙන පරීක්ෂණවලින් සමානුපාතයක් ලෙස වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන, පුද්ගලයන් 1000කට කරන ලද පරීක්ෂණ ගණන යනාදිය මෙහිදි සැලකිල්ලට ගත් බව ද ලෝවි ආයතනය සඳහන් කරයි.මෙම දර්ශකය සහ වාර්තාව නිකුත් වූයේ ගෝලීයව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 100 සහ ලොවපුරා කොවිඩ්-19 ආසාදිත මරණ ගණන මිලියන 2 ඉක්මවා ගිය මොහොතක යි.

මෙම දර්ශකයට අනුව ආසියා-ශාන්තිකර කලාපයේ රටවල් වසංගතය පාලනය කිරීමේදී සාර්ථක වී ඇති නමුත් යුරෝපයේ සහ ඇමෙරිකාවේ වයිරස ආසාදිතයන්ගේ ගණන ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

‘‘කොවිඩ්-19 පාලනය කිරීමේදී ඒ ඒ රටවල ආර්ථික සංවර්ධනය, ඒ ඒ රටවල දේශපාලන පද්ධති හෝ ඒවායේ වෙනස්කම් සිදු කර ඇත්තේ ඉතා අඩු බලපෑමක්. සාමාන්‍යයෙන් ගත් විට ඉතා කුඩා ජනගහනයක් සිටින, සාමූහික සමාජ සහ හැකියාව ඇති රටවලට වසංගතය පාලනය කිරීමේදී අන් රටවලට සාපේක්ෂව වාසියක් තිබෙනවා’’ යැයි සිඩ්නි පිහිටි ලෝවි ආයතනය සිය විශ්ලේෂණයේ සඳහන් කර තිබෙනවා.

රොයිටර් වාර්තාවක් ඇසුරිණි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

Recommended For You

About the Author: Editor