කොවිඩ් එන්නත්කරණය තවත් ‘ධම්මික පැණියක්’ නොවිය යුතුයි – රවී කුමුදේශ්

ලක්ෂ තුනකට එන්නත් ලබාදීම මගින්, කොවිඩ් එකවර පාලනය වන්නේ නැහැ. එන්නත් ලබාදීම හෙට ආරම්භ කරන කළ ද, එය අවසන් කිරීමට වසර දෙකක් පමණ ගත විය හැකියි. එන්නත මගින් වුවද, “ව්‍යාජ ආරක්ෂාවක්” මවා ගනිමින් කටයුතු කිරීම මගින් සිදු වන්නේ ධම්මික පැණියෙන් සිදුවූ දෙයමයි. 

අද එන්නත් ගෙනල්ලා, හෙට විදගෙන විදගෙන යනවා වගේ මතයක් සෞඛ්‍ය සේවාව පැත්තෙන් නිකුත් වෙමින් තියෙනවා. එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය ඒ තරම්ම සරල වුණේ කොහොමද කියන එක බරපතළ ගැටලුවක්. අත් හෝදන්න ඕනේ නැහැ, මුව ආවරණ ඕනෙ නැහැ, දූරස්ථභාවය ඕනෙ නෑ, වගේ අදහසක් මේකෙන් මහජනතාවට ඇති වෙන එක වළක්වන්න බැහැ. 

එන්නත් ලක්ෂ හයක් හෙට ආවට විදින්න පුලුවන් වෙන්නෙත් ලක්ෂ තුනකට විතරයි. ඒ අයටත් එන්නත විද්දට පස්සේ සංකූලතා ඇති වෙනවද, එන්නත ශරීරයේ වැඩ කරනවද, රුධිරයේ වර්ධනය වන ප්‍රතිදේහ මොනවද, ප්‍රතිදේහ වර්ධනය වීමට කොච්චර කල් ගත වෙනවද, එක එක ප්‍රභේද වලට මොන වගේද හැසිරීමක්ද වැනි කරුණු පිළිබඳව අපි කවම මොකුත් දන්නේ නැහැ.

අවම වශයෙන්, ලංකාවේ මූලික රෝහල් දක්වා ජීව රසායන විද්‍යා රසායනාගාරවල ස්ථාපිත කරලා තියෙන උපකරණවලින් ඉතා පහසුවෙන් ප්‍රතිදේහ පරීක්ෂණ ටික කරගත හැකිව තිබියදී, ප්‍රතික්‍රියක ලබාදීමේ වැඩපිළිවෙළ පිළිබඳව වත් සෞඛ්‍ය අමාත්‍යාංශය සැලකිල්ලක් දක්වලා නෑ. 

ප්‍රතිදේහ පරීක්ෂණ කරන එක තමන්ගේ වැඩක් කරගන්න සහ ක්ෂුද්‍රජීවී රසායනාගාරවල වලට වෙනම උපකරණ ගෙන්වමින් සමහර සුද්‍රජීවීන් විශේෂඥයන් ඒකාධිකාරයක් ගොඩ නංවමින් සිටියදී, ජීව රසායන විද්‍යා විශේෂඥයින් තමන්ගේ වැඩක් බලාගෙන කර ඇරලා ඉන්නවා. සෞඛ්‍ය අමාත්‍යාංශය, අසමබර තාක්ෂණික කමිටුවල ඉන්න විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඒකාධිකාරයට යටවෙලා තීරණ ක්‍රියාත්මක කිරීම හේතුවෙන්, ප්‍රතිදේහ පරීක්ෂණ තවම ලංකාවේ “කසිප්පු පෙරනවා වගේ වැඩක්” බවට පත් වෙලා.

ජනාධිපතිවරයා කතා කළත්, සෞඛ්‍ය අමාත්‍යවරුන් කතා කළත්, හැමවිටම ප්‍රමුඛතාවය ගැන කතා කරනකොට කතා කරන්නේ ඉහළ සිට පහළට. සෞඛ්‍ය සේවාව තුළ ක්ෂේත්‍රයේත්, රසායනාගාර වලත්, බාහිර රෝගී අංශවලත්, සෞඛ්‍ය අමාත්‍යාංශය වැනි ඕනෑම තැනක, රෝගීන්ට මුලින්ම නිරාවරණය වෙන්නේ ඉහළ සිට පහළට නොවන වග බොහෝ අය දන්නේ නැහැ.

අද රෝහලකට රෝගීන් ආවහම අපි මුලින්ම බිල්ලට දෙන්නේ, සෞඛ්‍ය සහයක කාර්‍ය මණ්ඩලය. ඒ නිසා මේ ප්‍රමුඛතාවේදීත් ඔවුන්ව්ව අමතක කර දමාවි ද යන සැකයක් මතුවන්නේ, තමන්ගෙ අතේ තියෙන හැන්දෙන් තමන්ට බෙදාගැනීමේ සංස්කෘතිය සෞඛ්‍ය සේවාව තුළ හැඳි අතේ තියන අයගේ සාමාන්‍ය පුරුද්දක් බව දන්නා නිසාය.

ප්‍රතිශක්තිකරන එන්නතක් යනු කොයි මොහොතකදීවත්, සියයට සීයක් සාර්ථක  වන එකක් නෙවේ. සංකූලතා, විවිධ බලපෑම් සියල්ල ඇතිවිය හැකියි. එහිදී අපි ශරීරයටඇතුළු කරන්නේ රෝගය ඇති කරන විෂබීජය හෝ ඊට අදාල කොටසක්. එවන්නක් ශරීරයට ඇතුළු කිරීමේදී, ශරීරය හිමි පුද්ගලයාගේ එකඟතාවය අනිවාර්යෙන්ම ලබාගත යුතුයි.

එසේම එන්නත කොළඹින් බෑවට, එය රටේ අස්සක් මුල්ලක් නෑර බෙදා හැරිය යුතුයි. ගබඩා කළ යුතුයි. එන්නත් ලබාදීම සඳහා වෘත්තිකයන් යෙදවිය යුතුයි. විදීමෙන් පසු ප්‍රතිදේහ පරීක්ෂණ සිදුකළ යුතුයි. සංකූලතා ඇති වුවහොත් ඊට සූදානම් විය යුතුයි. විදීමේ අනු පිළිවෙළ සඳහා නිශ්චිතව ලේඛන සකස් කළ යුතුයි. මේ සියල්ල එක රැයෙන් කලහැකි දේවල් නෙවේ. එසේ කිරීමට ගොස් අනවශ්‍ය අර්බුද ඇති කර ගැනීමේ කලබලයක් හදා ගන්න ලොකු වුවමනාවකුත් අපට නැහැ. 

ලක්ෂ තුනකට එන්නත් ලබාදීම මගින්, කොවිඩ් එකවර පාලනය වන්නේ නැහැ. එන්නත් ලබාදීම හෙට ආරම්භ කරන කළ ද, එය අවසන් කිරීමට වසර දෙකක් පමණ ගත විය හැකියි. එන්නත මගින් වුවද, “ව්‍යාජ ආරක්ෂාවක්” මවා ගනිමින් කටයුතු කිරීම මගින් සිදු වන්නේ ධම්මික පැණියෙන් සිදුවූ දෙයමයි. 

වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා අප තවදුරටත් දැඩිව විශ්වාස කළ යුත්තේ අවට සිටින පුද්ගලයා ගෙන් තමන්ට රෝගය පැමිණීමත්, තමන්ගේ රෝගය අවට සිටින පුද්ගලයාට ලබාදීමත් වළක්වා ගැනීමට අවශ්‍ය සෞඛ්‍ය පුරුදු සාමාන්‍ය ජීවිතයේ කොටසක් ලෙස ක්‍රියාත්මක කරවීම ය., ව්‍යාජ ආරක්ෂාව පිළිබඳ සමාජ මානයන් නිර්මාණය කිරීම යනු, කොවිඩ් වෛරසයට කකුල් ලබාදීම බව අප අමතක නොකළ යුතුය.

Recommended For You

About the Author: Editor