යුරෝපා සංගමය AstraZeneca එන්නත අනුමත කරයි

වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයින් සඳහා AstraZeneca එන්නත භාවිතා කිරීම යුරෝපා සංගමයේ ඖෂධ නියාමකයා (EU’s drugs regulator) විසින් අනුමත කර කර තිබේ.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින් සම-සංවර්ධනය කරන ලද මෙම එන්නත යුරෝපා සංගමය විසින් අනුමත කරන ලද තුන්වැනි එන්නතයි.

යුරෝපා සංගමයේ ඖෂධ නියාමකයා විසින් මෙම එන්නත අනුමත කළ පසු එන්නත් ලබා දිය යුත්තේ කාටද යන්න යුරෝපා සංගමයට අයත් රටවලට තනි තනිව තීරණය කළ හැකිය.

මේ සතිය මුලදී ජර්මනියේ එන්නත් කොමිසම (Germany’s vaccine commission) කියා සිටියේ වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින් සඳහා එන්නත භාවිතා කිරීම නිර්දේශ කළ නොහැකි බවයි. ඊට හේතුව වශයෙන ඔවුන් දක්වා සිටියේ AstraZeneca එන්නත මෙම වයස් කාණ්ඩයට බලපෑ ආකාරය පිළිබඳ දත්ත හිඟ බවයි.

එක්සත් රාජධානිය මේ වන විට සති ගණනාවක් තිස්සේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත සිය ප්‍රතිශක්තිකරණ වැඩසටහන සදහා භාවිතා කර ඇති අතර මහජන සෞඛ්‍ය නිලධාරීන් පවසන්නේ එය ආරක්ෂිත බවත් “ඉහළ මට්ටමේ ආරක්ෂාවක් – high levels of protection” සපයන බවත්ය.

එන්නත අනුමත කර ඇති බව සනාථ කරමින් යුරෝපීය ඖෂධ ඒජන්සිය (European Medicines Agency EMA) පැවසුවේ ‘‘පරීක්ෂණ අධ්‍යයනයන් සඳහා සහභාගී වූ බොහෝ දෙනා වයස අවුරුදු 18 ත් 55 ත් අතර අය බව‘‘යි. 

වයස්ගත පුද්ගලයින් තුළ එන්නත ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පෙන්වීමට තවමත් ප්‍රමාණවත් ප්‍රතිඵල නොලැබුණද, “මෙම වයස් කාණ්ඩය තුළ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් දක්නට ලැබෙන අතර අනෙකුත් එන්නත් සමඟ ඇති අත්දැකීම් මත පදනම්ව ආරක්ෂාව අපේක්ෂා කෙරේ.”යුරෝපීය ඖෂධ ඒජන්සිය පැවසීය.

ඇස්ට්‍රා-සෙනෙකා යුරෝපා සංගමයට එන්නත් ලබා දීමේ බැඳීම් කඩ කරන්නේද යන්න පිළිබඳ අඛණ්ඩ ආරවුලක් මධ්‍යයේ යුරෝපීය ඖෂධ ඒජන්සිය මෙම පියවර ගෙන තිබේ.

පසුගිය සතියේ ඇස්ට්‍රාසෙනෙකා කියා සිටියේ එහි යුරෝපා සංගම් කර්මාන්ත ශාලාවක ඇති ගැටළු හේතුවෙන් එන්නත් සැපයීම අඩු කරන බවයි.

එහෙත් යුරෝපා සංගමය කියා සිටියේ සමාගම සිය කැපවීම්වලට ගරු කළ යුතු අතර එක්සත් රාජධානියේ නිෂ්පාදිත මාත්‍රාවන් හරවා යැවීමෙන් එන්නත් ලබා දිය යුතු බවයි. ඊට ප්‍රතිචාර ලෙස සමාගම පවසා ඇත්තේ එක්සත් රාජධානියේ සැපයුම් සඳහා වන කොන්ත්‍රාත්තුව මෙය වළක්වන බවයි.

යුරෝපීය කොමිසමේ ප්‍රධානී උර්සුලා වොන් ඩර් ලේන් අද (29) ජර්මානු ගුවන් විදුලියට පැවසුවේ අගෝස්තු මාසයේදී අත්සන් කරන ලද යුරෝපා සංගම් කොන්ත්‍රාත්තුවේ “බැඳුම්කර නියෝග” අඩංගු වන අතර පැහැදිලි කිරීමක් ඉල්ලා සිටින බවයි.

බී.බී.සී වාර්තාවකි – තීක්ෂණ වෙළෙන්එගොඩ

Recommended For You

About the Author: Editor