නැගෙනහිර ජැටියට ගොඩවන ‘තනි පුද්ගල ප්‍රාග්ධනය’

නැගෙනහිර ජැටිය අරබයා මතු වී ඇති අර්බුදය හමුවේ ඇල්ලේ ගුණවංශ හිමියන් සහ හිටපු ඇමති මංගල සමරවීර විසින් මතුකළ අදහස් මුල් කරගෙන ලියවෙන මේ ලිපිය නැගෙනහිර ජැටියෙන් එහාට  යන සමාජ-දේශපාලන කතිකාවක් සඳහා අරමුණු කරගත් එකකි.

නැගෙනහිර ජැටිය “අදානි සමාගමට” විකුනනවා ද? බදු දෙනවා ද? යන දෙකෙන් කොයි එක සිදුවුවත් එය කෙටි කාලීනවත් දිගු කාලීනවත් ආණ්ඩුවට දේශපාලන වශයෙන් අවාසි දායක ය. එය මාධ්‍ය කාලීන සහ දිගු කාලීන වශයෙන් කොහොමත් ශ්‍රී ලංකාවට අවාසිදායක ය. ඊටත් වඩා එය ශ්‍රී ලංකා රාජ්‍යයේ පරමාධිපත්‍යයට හානිකර ය. තනි පුද්ගල ප්‍රාග්ධනය මේ වනවිට හුදු ආර්ථික ක්‍රියාවලියක් නොව ගෝලීය සහ කලාපීය දේශපාලන ජාලයක් වීම ඊට හේතුව ය. එවැනි විකිණීම් සහ බදු දීම මේ දක්වා මේ රටට, රාජ්‍යයට අත් කර දී ඇත්තේ අපේක්ෂා භංගත්වය සහ අභ්‍යන්තර මෙන් ම භාහිර පීඩන පමණි යන්නද අප සිහියේ තබා ගත යුතු ය.

ආණ්ඩුව පත්වන දේශපාලන අනතුර එක් පැත්තකින් දෘෂ්ටිවාදී එකකි. එනම් ජාතික රාජ්‍යවාදය, ඊට අනුබද්ධ ජාතික ආරක්ෂාව, ජාතික අභිමානය, සහ ජාතික සංවර්ධනය පිළිබඳව ආණ්ඩුවේ තීරක බලවේග විසින් ජනසමාජය මත කාලයක් තිස්සේ ස්ථාපිත කොට ඇති සහ නඩත්තු කරන දෘෂ්ටිවාදය අර්බුදයට යෑම එම දෘෂ්ටිවාදී අනතුර ය. අනිත් අනතුර දේශපාලන එකකි. එනම් ආණ්ඩුව කෙරෙහි, ජාතික රාජ්‍යවාදී ස්ථාවරයක සිටින බහුතර ජනතාවගේ ඇති පක්ෂපාතීබව  අඩුවිය හැකි වීම, ආණ්ඩුවට අදාළ ඒ දේශපාලන අනතුර ය. එහි තවත් අතුරු දේශපාලන අනතුරක් වන්නේ ආණ්ඩුව ඇතුලේ ම සිටින, බලය ආශ්වාදය කිරීම විනෝදාංශයක් හෝ ධනෝපායන මාර්ගයක් කර නො ගත්, ගෙවිඳු කුමාරතුංග සහ අනූප පැස්කුවෙල් වැනි මහජන නියෝජිතයින්ගේ හිත් බිදී යාම ට ත් ජන සමාජයට වගඋත්තර දී ගත නොහී අසරණ වීමටත් එය හේතුවක් වීම ය.

නැගෙනහිර ජැටිය විකිණීමට හෝ බදු දීමට විරුද්ධව සංවිධානය කර තිබු පුවත් සාකච්ඡාවක දී ඇල්ලේ ගුණවංශ හිමියන් ප්‍රකාශ කොට තිබුනේ “ආණ්ඩුව වෙන්දේසි සමාගමක් ලෙස කටයුතු කරමින් සිටිනවා” ය යන්න ය. මේ ප්‍රකාශය 1977 න් පසු බලයට පත් වූ සියලුම ආණ්ඩුවලට අදාළ ය. එපමණක් නොව ලෝකයේ පහළ මට්ටමේ ආර්ථිකයන් ඇති අපවැනි බොහෝ රටවල් වලටත් ආදාල ය. එනම් අප වැනි බොහෝ රටවල්වල ඉරණම එය ය. එය මේ ආණ්ඩුවට පමණක් චෝදනා කොට අත් පිහදා ගත හැක්කක් නොවේ ය.

රාජ්‍යය ගොඩනැගීම පිලිබඳ තිරසාර වැඩපිළිවෙලක් සහ මෙහෙයුමක් නැති, නිෂ්පාදන ආර්ථිකයක් නැති, නවෝත්පාදන නැති, විදේශීය නිෂ්පාදනවලට වෙළඳපොළ පහසුකම් සපයා දී යමක් උපයා ගන්නා ඒජන්සි පමණක් ඇති, සංවර්ධන අරමුණු මත නොව දේශපාලන පැවැත්ම සඳහා වැඩ නැති රැකියා ලබා දී ඒ සඳහා විශාල වැයක් දරන, දේශීය සහ විදේශීය ණය උගුල්වල පැටලී ඇති, ගෝලීය සහ කලාපීය බලවතුන්ගේ තරඟවල අතකොලු බවට පත් වී ඇති, සහ ස්වදේශික න්‍යාය පත්‍ර අනුව නොව ජාත්‍යන්තර බලවතුන්ගේ සහ වෙළෙන්දන්ගේ අරමුණු මත සැකසු න්‍යාය පත්‍රවලට අනුව, කැමැත්තෙන් මෙන් ම අකමැත්තෙන් වැඩ කිරීමට සිදුව ඇති සියලු රටවල්වලට අද සිදු වී ඇත්තේ ඇල්ලේ හාමුදුරුවෝ කියන ආකාරයේ වෙන්දේසි පොලවල් ලෙස ක්‍රියා කිරීමට ය. අප මේ ලෝක තත්ත්වය තේරුම් ගත යුතු ය. රටක් වෙන්දේසි පොලක් නොවී සිටීමට, රාජ්‍යයක් එවැනි වෙන්දේසි පොලක පහසුකාරකයින් නොවී සිටීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකසා ගත හැක්කේ එවිට ය.

හිටපු ඇමති මංගල සමරවීර මෑතක දී කළ ප්‍රකාශයක ට අනුව “ලංකාව වැනි රටක් දියුණු කළ හැක්කේ ද, තරුණයින් ට රැකී රක්ෂා පවා උත්පාදනය කළ හැක්කේ ද, විදේශ ආයෝජකයින් අප රට ට වැඩි වැඩියෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය පසුබිම සහ සැලසුම් සකස් කිරීමෙන් පමණයි. විදේශ ආයෝජකයින් ගෙන්වා ගැනීම රට විකිණීම හෝ පාවා දීමක් බව සිතන්නේ අපේ රටේ අනාගත පරම්පරාවේ සුබ සිද්ධියට වැට බඳින අතලොස්සක් පමණයි”. මේ ප්‍රකාශය අපගේ අවධානයට ලක්විය යුතු අපූරු එකකි. එහි ඇති කාරණා එකින් එක පරීක්ෂා කිරීම වැදගත් ය. ලංකාව දියුණු රටක් කිරීමේ වුවමනාව සමරවීරගේ මුඛ්‍ය අදහසකි. ඒ ගැන විරුද්ධත්වයක් අප කාටත් නැත. තරුණ තරුණියන්ට රැකී රක්ෂා ලබාදීමේ වුවමනාව සහ අරමුණ ද එවැන්නකි. නමුත් ඒ දෙකම ඉටු කර ගැනීමේ එකම මාධ්‍යය ලෙස ඔහු දකින්නේ විදේශ ආයෝජන මේ රට ට ගෙන්වා ගැනීම ය. එය සමාන වන්නේ වෙළඳපොළ විසින් ජන සමාජය සුඛිත මුදිත කරනු ඇත පන්නයේ විශ්වාසයකට ය.

සමරවීර ගේ යෝජනාව තුළ අන්තර්ගත වී ඇති මූලික ගැටළුවක් වන්නේ, එවිට දේශීය දේශපාලකයින්ට සහ තීරකයින්ට පැවරී ඇති කාර්යභාරය කුමක් ද යන්න ය. ඒ කාර්යභාරය වනාහි විදේශීය ආයෝජකයින්ට සහ වෙළෙන්දන්ට පහසුකම් සැපයීම සහ පසුබිම සැපයීම පමණක් ය යන්න නම් රටකට රාජ්‍යයකින් ඇති වැඩක් නැත. දේශපාලනයෙන් පරිපාලනයෙන් වැඩකුත් නැත. සමරවීර ගේ ප්‍රකාශයෙන් හෙළිදරව් වන්නේ දේශීය පාලකයින්ගේ සහ තීරකයින්ගේ වගකීම් විරහිතකම ය. එසේම ජාත්‍යන්තර පද්ධතිය තුළ විශේෂ අනන්‍යතාවයක් සහිත රාජ්‍යයක් බවට මේ රට පත්කිරීමට දේශීය පාලකයින්ට සහ තීරකයින් ට අවැසි විශේෂඥභාවය නැතිකම සහ නොහැකියාව ය. ඇල්ලේ ගුණවංශ හිමියන් එරෙහි වෙමින් කියා සිටින “වෙන්දේසි පොල” සංකල්පය සමරවීරගේ අරමුණු සමඟ ද සමපාත වීමෙන් පෙනී යන්නේ අවුරුදු අනූවක් තිස්සේ මේ රට පාලනය කළ තීරකයින් ණය ගැනීම සහ විකිණීම හැර සිදුකොට ඇති එකම දෙය වන්නේ විදේශීය ආයෝජකයින්ට සහ වෙළෙන්දන්ට අතරමැදියන් ලෙස සේවය කිරීමය. නැතහොත් තැරැව්කරුවන් ලෙස සේවය කිරීමට ය. එසේම විදේශීය භාණ්ඩ සහ වෙළෙඳ සේවාවල ට ‘පොල පහසුකම්’ සැපයීම ය. අප දේශපාලනය, පරිපාලනය, සහ වෙළෙඳාම කියා කියන්නේ ඒ අතරමැදි කාර්යභාරයට ය; තැරව්කාර ක්‍රියාවලියට ය.

සමරවීර ට සහ ඒ හා සමාන අදහස් ඇති අයට අමතක වී ඇති හෝ ඔවුන් නොදන්නා හෝ දෙයක් ඇත. එනම් ජාතික රාජ්‍යයක් යනු හුදු තාක්ෂණික ව්‍යුහයක් පමණක් නොවේ ය. ජාතික රාජ්‍යයක් යනු ජනතා පරමාධිපත්‍යය ජනයා සමඟ ගිවිසුම්ගතව ක්‍රියාවට නගන ජාතික දේශපාලන සංවිධානයකි, ජාතික ආර්ථික සංවිධානයකි, ජාතික සංස්කෘතික සංවිධානයකි, ජාතික සමාජ සංවිධානයකි, සමාජ සම්මුතියකි. ජාතික රාජ්‍යය ගොඩනැගිය යුත්තේ යුත්තේ ජාතික දේශපාලනය, ජාතික ආර්ථිකය, ජාතික සංස්කෘතිය, සහ ජාතික සමාජ පදනම් මත ය. එකී පදනම් ශක්තිමත් කරගත හැක්කේ ජාතික උත්සාහයකින් මිස  සමරවීර යෝජනා කරන ආකාරයෙන් විදේශීය ආයෝජනවලට පහසුකම් පමණක් සැපයීමෙන් නොවේ ය.

විදේශීය ආයෝජන පිලිබඳ පටු හෝ කටගැසුම් විරෝධයක් මා මතු කරන්නේ නැත. එහෙත් විදේශ ආයෝජන නියාමනය කිරීමට තරම් වූ ශක්තිමත් රාජ්‍යයක් නොවන අප අතිශයින්ම පරිස්සම් විය යුතු ය. විදේශ ආයෝජන පිටුපස නොව ඉදිරියෙන් ම ඇති දේශපාලන අරමුණු, සහ ගෝලීය-කලාපීය බල තරඟය ට අදාල අරමුණු අප වටහා ගත යුතු ය. ගෝලීය-කලාපීය බලවතුන්ගේ බල තරඟයට මැදිවන අප වැනි රටකට කිසිදු සංවර්ධන ඉලක්කයක් සාධනය කර ගැනීමට ඉඩක් ලැබෙන්නේ නැත. එසේම දේශපාලන, ආර්ථික, මුල්‍ය, සහ සමාජ ස්ථාවරත්වයක් පවත්වා ගෙන යාමට හැකිවන්නේ ද නැත. ගැති සහ යැපුම් මානසිකත්වයක් මිස ස්වාධීන ජාතික අභිමානයක් වර්ධනය වන්නේ ද නැත.

විදේශ ආයෝජන රටකට ගෙන්වා ගත යුත්තේ ඒ රටේ ජාතික න්‍යාය පත්‍රයකට, වැඩපිළිවෙලකට අනුව මූලොපායික ස්ථාවරයක හිදිමින් මිස විදේශ ආයෝජකයින්ගේ හෝ ඔවුන්ගේ රටේ න්‍යාය පත්‍රයකට හෝ අභිලාශයකට පාවිච්චි වෙමින් නොවේ ය. අපට සිදු වී ඇත්තේ අනිත් අයගේ අරමුණු සාධනයට පාඩු ලබමින් පාවිච්චි වන්නට ය. ගැටලුව ඇත්තේ එතැන ය. පළමු කාරණය වන්නේ ලෝක පද්ධතිය තුළ අප දුබල රාජ්‍යයක් ය යන්න පිළිගැනීමය. ඒ නිසාම ලෝකයේ ශක්තිමත් රාජ්‍යයන් වෙළෙන්දන් සමඟ කරන ගණුදෙණු සහ නියාමනය අපට කළ නොහැකි ය. අප කළ යුත්තේ පරිස්සම් වීම ය. අනිත් කරුණ වන්නේ වසර දශක ගණනාවක් තිස්සේ විදේශ ආයෝජන යැයි කියා සිදුකලේ දේශීය සම්පත් විකිණීමය. එහි අරමුණ වුයේ රට සංවර්ධනය කිරීමය. නමුත්, 1977 සිට බැලුවත් මේ වන විට ඒ ක්‍රියාවලියේ වයස අවුරුදු 44 කි. කාලය දීර්ඝ ය. විකුණා ඇති දේශීය සම්පත් ප්‍රමාණය ඉතාම තීරණාත්මක සහ වැඩි ගණනක් ය. එසේ වුවත් රට ගොස් ඇත්තේ ආපස්සට මිස සංවර්ධනයකට නොවේ ය. එය එසේ නම් ඒ විකිණීමේ ක්‍රියාවලිය රට මුහුණ දී ඇති ගැටළුවලට පිළිතුරක් නොවන බව තේරුම් ගෙන අප යා යුත්තේ විකල්ප උපායමාර්ගවලට ය.

නැගෙණහිර ජැටිය ඉන්දියානු රාජ්‍යයට නොදී, බහු ජාතික බහුව්‍යාපාරික සමාගමක් වන Adani Group හි හිමිකරු වන ගෞතම් අදානි ට දීම තුළ අපට ඔහුව නියාමනය කළ හැකි යැයි සිතන අය සිහියට නගා ගත යුත්තේ, සමකාලීන ගෝලීය ආර්ථිකය තුළ දැවැන්ත තනි පුද්ගල ප්‍රාග්ධනය රාජ්‍යයන්ටත් වඩා ප්‍රබල බව ය. ඊට උදාහරණයක් ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ‘කට වැසූ සහ අත කැඩූ’ මාර්ක් සකබර් ගේ ශක්තිය සහ බලය මෙනෙහි කරන්න. එවිට සමරවීර ලා ද අප ද ලිලිපුට්ටන් බව වැටහෙනු ඇත. අප ආ මඟ වැරදී ඇති බව ට තව උදාහරණ බොහෝ ය. ගෝලීය පර්යාය තුළ අප තනිවිය යුතු නැත. එහෙත් අප එහි ගැත්තන් හෝ පාවිච්චි වන්නන් නො විය යුතු ය.ලෝක පිළිවෙළ තුළ අප ක්‍රියා කළ යුත්තේ අපේ ආකාරයකට සහ පරිස්සම් සහගතව ය.

ධම්ම දිසානායක          

Recommended For You

About the Author: Editor