‘තත්මදාව්’ මියන්මාරයේ බලය ගත් පසු ?

නොබෙල් සාම ත්‍යාගලාභි අවුන් සාන් සුචි ප්‍රධානකර ගනිමින් මියන්මාර හමුදා කුමන්තත්‍රණයට එරෙහිව ජාත්‍යන්තර විරෝධයක් වහා මතු විය. ජනාධිපති බයිඩන්ගේ නව පාලනයත් බිරතාන්‍යයත් යුරෝපා සංගමයත් දැඩි කණස්සල්ල පළ කරමින් අත්අඩංගුවට ගත් සුචී ඇුතුළු සැවොම වහා නිදහස් කරන මෙන් හමුදා පාලනයෙන් ඉල්ලා තිබිණ.

Image result for myanmar president MILITARY

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ද එවැනි ඉල්ලීමක් කර ඇත. ඉන්දියාව හා පාකිස්තානයත් හමුදා තීන්දුවට පටහැනිව සියලු පාර්ශව එක්ව වහා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තහවුරු කිරීමට පියවර ගත යුතු යැයි ප්‍රකාශකර තිබිණ. සාමාන්‍යයෙන් අභ්‍යන්තර ගැටළු යැයි එවැනි සිදුවීම් සම්බන්ධයෙන් නිහඬවන චීනය, සියලු පාර්ශව එක්ව ගැටළුව විසඳා ගත යුතු යැයි උපදෙස්දී තිබිණ.

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකාව ලෙස සැළකෙන අවුන්සාන් සුචි සහ ජනාධිපති වින් මියින්ට් මියන්මාර හමුදාව විසින් අත් අඩංගුවට ගනු ලැබුවේ පෙබරවාරි මස පළමුවන දින හරියාකාරව උදා වන්නටත් පෙර පාන්දර 2.40 ට පමණය. පාන්දර 04 වන විට “තත්මදාව්” යැයි මියන්මාර් බසින් හැඳින්වෙන එරට හමුදාව විසින් මුළු රටෙහිම බලය තහවුරු කරගෙන හමාර විය.

අන්තර්ජාල සහ දුරකතන පහසුකම් අත්හිටුවා, මියන්මාර ජාතික මාධ්‍ය ආයතන ඒ වනවිටත් හමුදා පාලනයට නතු කරගෙන තිබිණ. මේ අතර, අවුන් සාන් සුචි ඇයගේ පාක්ෂිකයින්ගෙන් සහ හිතවාදීන්ගෙන් හමුදා පාලනයට එරෙහිව විරෝධතා පවත්වන ලෙස ඉල්ලා ඇත.  

හමුදා කුමන්ත්‍රණය ස්ථිර කරමින් පෙබරවාරි 01 වන සඳුදා උදය වරුවේම හමුදා පාලනයේ නායකයා ලෙස හමුදාපති ජ්‍යෙෂ්ඨ ජෙනරාල් මින් අවුන් ලේන් නම් කර ඇමතිවරුන් ගණනාවක්ද පත් කරනු ලැබුවේය. ප්‍රාන්ත සහ ජාතික අධිකරණ පද්ධතියෙහි විනිසුරුවරුන් සියල්ලන්ද, මියන්මාර දූෂණ විරෝධී කොමිසමෙහි සහ මානව හිමිකම් කොමිසමෙහි සියලු සාමාජිකයින්ද නැවත පත් කළ බව ප්‍රකාශ කෙරින. ඉදිරියේදී මැතිවරණයක් පවත්වා නිත්‍යානුකූල ආණ්ඩුවක් තහවුරු කරන තෙක් අවුරුද්දක කාලයකට හදිසි නීතිය පනවනු ලැබිණ.

මේ ගැටුමට ඉතිහාසයක් ඇත

මෙලෙසින් හමුදාව නැවත මියන්මාරයේ බලය අල්ලා ගැනීම තේරුම් ගැනීමට මියන්මාරයේ දීර්ග හමුදාකරණ ඉතිහාසය විමසිය යුතුය. එය හැකි තරමින් කෙටි කළහොත් ඔවුන්ගේ සන්නද්ධ හමුදා ක්‍රියාකාරකම් ආරම්භ වන්නේ හ්ලා මියායිං, සුචි ගේ පියා අවුන් සාන්, අවුන් ගී, මාවුන් මාවුන් වැනි තරුණ නායකයින් බි‍රතාන්‍ය පාලනයට එරෙහිව සන්නද්ධ හමුදාවක් හැදීමට 1941 දී ජපාන හමුදා පුහුණුවක් ලැබීමත් සමගින්ය. ඔවුන් බිරතාන්‍ය පාලනයට එරෙහිව ජපන් හමුදා සහාය ඇතිව යුධ වැදින. එහෙත් බිරතාන්‍ය බලය තහවුරු කර ගැනීමත් සමග අවුන් සාන් සමග විවිධ කණ්ඩායම්, දේශපාලන හා සමාජ ක්‍රියාකාරීන්, බෞද්ධ භික්ෂුන් “ෆැසිස්ට් විරෝධී නිදහස් ජනතා ලීගය” නමින් සන්ධානගත වූහ.  

ඒ පසුබිමෙහි 1945 සැප්තැම්බරයේ දී බුරුමයේ බි‍රතාන්‍ය පාලකයින් වෙනුවෙන් ගිණිකොන ආසියානු හමුදා අණදෙන නිලධාරි මවුන්ට්බැට්න් සාමි “ෆැසිස්ට් විරෝධී නිදහස් ජනතා ලීගය” නියෝජනය කළ අවුන් සාන් සමග මෙරට කන්ද උඩරට මහනුවරදී ගිවිසුමක් අත්සන් කළේය (Donald M. Seekins – History Dictionary of Burma / p-240). එම ගිවිසුමට අනුව නිදහස සඳහා මැතිවරණය පවත්වන තෙක් තාවකාලික ආණ්ඩුවේ අගමැති ලෙස අවුන් සාන් පත් කිරීමටත් “දේශප්‍රේමී බුරුම බලවේගය” සහ “බි‍රතාන්‍ය බුරුම හමුදාව” ඒකාබද්ධ කීරිමටත් තීන්දු කෙරිණ. “තත්මදාව්” ලෙස හඳුන්වන්නට වූයේ මේ ඒකාබද්ධ ජාතික හමුදාවය.

නිදහසට ආසන්න කාලයේදීත් බුරුම දේශීය ව්‍යාපාර පොදු එකඟත්වයකට පැමිණ සිටියේ නැත. බුරුම ජාතික නායක්වය ලෙස පිළිගැනුමක් ලබා සිටි තාවකාලික ආණ්ඩුවේ අගමැති අවුන් සාන් නිදහස ලබන්නට ඔන්න මෙන්න කියා තිබියදී ඔහුගේ ඇමති මණ්ඩලය සමගින් 1947 ජූලියේදී ඝාතනය කරනු ලැබිණ. බුරුමය 1948 නිදහස ලබන්නේ එවැනි දේශපාලන ආරවුල් සමගින්ය. කොරියානු යුද්ධය අවසන් වූ පසු බුරුමයේ ප්‍රධාන අපනයනය වූ සහල් මිලද බරපතල ලෙස පහත වැටින. 50 දසකයේ බුරුමයේ දේශපාලන ස්ථාවරත්වය ආර්ථිකය බිඳ වැටීමත් සමගින් වැඩි තර්ජනයකට හසු විය.

ආර්ථික කටයුතු වෙනුවෙන් 1951 දී “තත්මදාව්” විසින් “ආරක්ෂක සේවා ආයතනය” පිහිටුවනු ලැබ තිබිණ. එහි වගකීම වූයේ හමුදා සුභසාධන නඩත්තුවය. ඒ වෙනුවෙන් එය ලාභ ලබන ව්‍යාපාර කිහිපයක් ආරම්භකර තිබිණ. ආර්ථික ගැටළු සමග අභ්‍යන්තර ගැටුම් වලට ගොදුරුව සිටි උ නූ ගේ  “ෆැසිස්ට් විරෝධී නිදහස් ජනතා ලීග” ආණ්ඩුවට “තත්මදාව්” සහායද අවශ්‍යව තිබූයෙන් හමුදාවේ ආර්ථික ව්‍යාපාර නියාමනය කිරීමේ ශක්තියක් ඔවුන්ට නොවුනි. “තත්මදාව්” ආණ්ඩු පාලනයට සෘජුව සම්බන්ධ වන්නේ 1958 දී ජෙනරාල් නී වින් අගමැති ලෙස තාවකාලික ආණ්ඩුවක් පිහිටුවීමත් සමගින්ය.

Image result for myanmar president MILITARY

නී වින්ගේ “හමුදා සමාජවාදය”

දිගු කතාවක් කෙටි කිරීමට, තාවකාලික “තත්මදාව්” ආණ්ඩුව අවසන් වන්නේ මැතිවරණයකින් පත් කෙරුනු පොරොන්දු වූ සිවිල් පාලනයකින් නොවේ. 1962 දී ජෙනරල් නී වින් හමුදා කුමන්ත්‍රණයකින් බලය සියතට ගැනීමෙනි. එතැන් සිට 1988 වන තෙක් ජෙනරාල් නී වින්ගේ අවුරුදු 26 ක පාලනය බුරුමයේ රාජ්‍යවාදී ආර්ථිකයක් තහවුරු කළේය. දේශප්‍රේමී සන්නද්ධ දේශපාලන ව්‍යාපාරයක ප්‍රමුඛයෙකු ලෙස හමුදා නායකයෙකුවීමේ සුදුසුකම් ලද ජෙනරාල් නී වින්, “සමාජවාදී පාලකයෙකු” ලෙසින් සෝවියට් – චීන පාර්ශවයන්හි සළකනු ලැබිණ. එයට වැඩි සුදුසුකමක් ලැබුණේ ඔහු 1965 දී “සමාජවාදී අර්ථ ක්‍රමයක් සඳහාවන නීතිය” සම්මත කළ පසුවය.

නී වින්ගේ බුරුම සමාජවාදයෙහි සුවිශේෂත්වය වූයේ එය හමුදා බලය සමගින් පවත්වා ගත් රාජ්‍ය ක්‍රියාකාරිත්වයක් වීමෙහිය. රාජ්‍ය හැසිරවීමේ දේශපාලන බලය නී වින්ගේ මූලිකත්වයෙන් පිහිටවූ “බුරුම සමාජවාදී ජනතා පක්ෂය” හරහා හමුදාව සතුවූ අතර, බුරුම සමාජවාදය(?) එහි දේශපාලනික ආර්ථිකය වීමෙහි ය. නී වින් යටතේ බුරුම රාජ්‍ය එක්තරා ආකාරයකට සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ රාජ්‍ය මෙන් විය.

ගෝලීය ආර්ථිකය 70 දසකයේ දෙවන භාගයෙහි සිට විවෘත වෙළඳපල ආර්ථිකයක් බවට පරිවර්තනයවීමත් සමග නී වින්ගේ හමුදා සමාජවාදී ආර්ථිකය තවදුරටත් නොගැලපෙන බව “තත්මදාව්” දෙවන පෙළ තරුණ හමුදා නායකත්වය 80 දසකය පළමු වසරවල කතා වූවකි. ආර්ථික හා සමාජ පීඩන හමුවේ 1988 දී දිග හැරුණු යෝධ ජනතා උද්ඝෝෂණ සමග බුරුමයේ දෙවන හමුදා කුමන්ත්‍රණයෙන් ජෙනරාල් නී වින් ඉවත්කර හමුදා ජුන්ටාවක් බලය ගත්හ. ඒ සමග බුරුමය 1989 දී “මියන්මාර් සමූහාණ්ඩුව” ලෙස නම් කෙරිණ.

Image result for myanmar president MILITARY

“තත්මදාව්” සහ මියන්මාරයේ විවෘත ආර්ථිකය

වෙළඳපල ආර්ථිකයකට මාරු වීමේදී මියන්මාරය මුහුණ දුන් ගැටළු දෙකක් විය. එකක්, නී වින් යුගයේ මියන්මාරයේ පෞද්ගලික ක්ෂේත්‍රයක් වර්ධනය නොවුනි. දෙවැන්න, එය හමුදා නිලධරය සමග පවත්වා ගත් හෙයින් උගත්, අත්දැකීම් බහුල සිවිල් පරිපාලනයක් බිහි නොවීමය. බි‍රතාන්‍ය යටත් විජිත පාලන සමයේ සිට බුරුම ව්‍යාපාර හා සිවිල් පරිපාලනය බහුතර ඉන්දියානු සහ චීන සහභාගිත්වයක් ඇතිව පැවතියකි. එකල වාර්තා අනුව, 1962 න් පසු ව්‍යාපාරික කටයුතුවල හා සිවිල් පරිපාලනයේ වූ ඉන්දියානුවන් ලක්ෂ 03 ක් පමණ සහ චීන ජාතිකයින් 01 ක් ලක්ෂයක් පමණ රටින් පිටව ගොස් ඇත.

අවුරුදු 26 ට පසු වසා තැබුණු ආර්ථිකය විවෘත කිරීමේදී, ශක්තිමත් හා ප්‍රමාණවත් පෞද්ගලික අංශයක් නොතිබුණු හෙයින් වෙළඳපල ගනුදෙනු සඳහා හවුල් වන්නට හමුදා නිලධාරීන්ට වාසිදායක ඉඩක් ලැබිණ. ඔවුන් අත තිබූ බලයත් තරග කළ හැකි පෞද්ගලික අංශයක් නොවීමත් ඔවුන්ට ලොකු වාසියක් විය.

එවැනි පසුබිමක 1988 න් පසු තවමත් පවතින මියන්මාරයේ සැබෑ හමුදා පාලනය යටතේ විවෘත වෙළඳපල ආර්ථිකය හැසිරවුනු ආකාරය පිළිබඳව කැලිෆෝනියාවේ “පශ්චාත් උපාධි නාවික පාසලෙහි” පශ්චාත් උපාධියක් වෙනුවෙන් 2016 දී පැමෙලා ටී. ස්ටෙයින් විසින් “මියන්මාර දේශපාලන ආර්ථිකයෙහි හමුදා ක්‍රියාකාරිත්වය” මැයෙන් කළ පර්යේෂණය පදනම්ව ඇය ලියූ නිබන්ධනයෙහි උපුටනයක් දෙකක් මෙවැනිය.

“සමාජවාදයේ අවසානය (1989 දී) ප්‍රකාශයට පත් කෙරුණද, මියන්මාරයේ ඛනිජ තෙල් හා ස්වාභාවික වායු ක්ෂේත්‍රය වැනි රාජ්‍ය ව්‍යාපාර ක්ෂේත්‍ර එළෙසින්ම පැවතුනි. රාජ්‍ය පාලනය යටතේ තෙල් හා ස්වාභාවික වායු ක්ෂේත්‍රයේ ආදායම් රටට ලැබුණු ආකාරය පිළිබඳව ජනතාවට කිසිත් හෙළි නොකෙරුණි. ඒ සම්බන්ධයෙන් ඇති ගණන් හැදීම්වලට අනුව, එම ආදායම් තෙවන පාර්ශවයක විදේශ බැංකු ගිණුම් වලට බැර කිරීමෙන් හමුදා උපකරණ මිලට ගැනීමටත් ‘තත්මදාව්’ ඉහළ හමුදා නායකයින්ගේ සුඛෝපභෝගී ජීවන පැවැත්ම සඳහාත් යොදා ගනු ලැබිණ.” (පිටුව/63)

“අපරාධ විනිශ්චය ක්‍රියාවලිය ආයතනගත වීමත් සමග, නීති ආයතන ක්‍රමානුකූලව රෙජීමයේ ආත්ම විශ්වාසය ප්‍රදර්ශනය කරන්නට විය. ‘90 දසකයේ අවසානය වනවිට, අහිංසකයෙකු නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන තම විරෝධය දැක්වීම සඳහා ඔහුව අධිකරණය හමුවට ගෙන ගොස් සිරගත කළ හැකි විය. ‘තත්මදාව්’ සතු ආණ්ඩු බලයේ ක්‍රියාකාරිත්වය සමග උසාවි අන්තර්ග්‍රහණයවී තිබූ ප්‍රමාණය අනුව, තවදුරටත් අනීතික ඝාතන හා අතුරුදහන් කිරීම් අවශ්‍ය නොවුනි.” (පිටු/92-93)    

“1988 මතුවූ ජනතා විරෝධය සමග අගනුවර ආරක්ෂාව සඳහා පිටස්තර ප්‍රදේශවල සිටි හමුදා කැඳවන්නට තත්මදාවට සිදු විය……..මේ තත්ත්වය තත්මදාව් නායකත්වය පිළිසකර කෙරුවේ හමුදාව නවීකරණය කරමින් සහ විශාල කරමින්ය. 1988 දී දෙලක්ෂයක්වත් නොවූ හමුදා බලය, 1995 වන විට 3,20,000 ට වඩා වැඩි විය. 2010 වනවිට හමුදාව සතුව නවීන යුධ ටැංකි, ප්‍රහාරක ගුවන් යානා, හෙලිකොප්ටර්ද තිබිණ. විශාල හමුදාවක් නඩත්තු කිරීමට සහ සන්නද්ධ කිරීමට අතිශය විශාල මුදලක් අවශ්‍යවන හෙයින් තත්මදාව ඔවුන්ගේ අයවැය රාජ්‍ය අවශ්‍යතාවක් ලෙස ආයතනගත කළේය.” (පිටුව/93)  

මියන්මාරයේ වත්මන් හමුදා නායකත්වය විසින් විවෘත වෙළඳපල ආර්ථිකයෙහි රඳවා ගෙන ඇති ව්‍යාපාරික හිමිකාරිත්වය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ 39 වන සැසි වාරය වෙත ඉදිරිපත් කළ “තොරතුරු සෙවීමේ ස්වාධීන ජාත්‍යන්තර කමිටුවේ” “2018 වාර්තාවට” අනුව, හමුදාව සතු මූලික රාජ්‍ය ව්‍යාපාර දෙකක් ඇත. එකක් “මියන්මාර් ඉකොනොමික් හෝල්ඩිංස් ලිමිටඩ්” (MEHL) ය. අනෙක, “මියන්මාර් ඉකොනොමික් කෝපරේෂන්” (MEC) ය. විවිධ ව්‍යාපාර කටයුතුවල නිරත උප සමාගම් 120 ක් පමණ මේවා සතුව ඇත. ඊට අමතරව ඔවුන්ට පෞද්ගලික ක්ෂේත්‍රයේ ජාවාරම්කාර ව්‍යාපාර සමගද සම්බන්ධකම් ඇත. මේවායෙන් ලබන්නාවූ ආදායම් පිළිබඳව සොයා බැලීමේ අයිතියක් හෝ බලයක් සිවිල් ආයතන සතුව නැත.

මෙම රාජ්‍ය ව්‍යාපාර දෙක පාලනය කරන හමුදා නිලධරයේ ප්‍රධානීන් වන්නේ වත්මන් හමුදා නායක ජ්‍යෙෂ්ඨ ජෙනරාල් මින් අවුන් ලේන් සහ නියෝජ්‍ය හමුදා නායක ජ්‍යෙෂ්ඨ ජෙනරාල් සෝ වින් ය. හමුදා නායක ජ්‍යෙෂ්ඨ ජෙනරාල් මින් අවුන් ලේන් මෙවර හමුදා කුමන්ත්‍රණයෙන් බලය ගත් “තත්මදාව්” පාලනයේ නායකයා වන්නේය.

Image result for myanmar president MILITARY

“බලය” තීන්දුවන වත්මන් ගැටුම        

“තත්මදාව්” කරන චෝදනාව වන්නේ, “මැතිවරණය දූෂිතය” යන්නය. මැතිවරණයට දින කිහිපයකට පෙර, හමුදා නායක ජ්‍යෙෂ්ඨ ජෙනරාල් මින් අවුන් ලේන් මාධ්‍යයට කියා තිබුණේ මේ මැතිවරණය පිළිබඳ ප්‍රශ්න ඇති බවත් ඇතැම් විට ප්‍රතිපල ප්‍රතික්ෂේප කිරීමට සිදු විය හැකි බවත් ය. මැතිවරණය පිළිබඳව හමුදාවේ දේශපාලන පක්ෂය ලෙස සැළකෙණ “යුනියන් සොලිඩැරිටි ඩිවලප්මන්ට් පාටි” නැතිනම් කෙටියෙන් “යූඑස්ඩීපි”ය මැතිවරණ දූෂණ සම්බන්ධ පැමිණිලි 1,200 ට වැඩි සංඛ්‍යාවක් මැතිවරණ කමිටුවට බාර දුන් බවද මාධ්‍යයට කියා තිබුණි. හමුදාව යළි “බලය” ගැනීම සාධාරණය කරන්නේ එවැනි චෝදනා සමගින්ය.

ඇත්ත ගැටුම එනමුත් ඇත්තේ හමුදාව විසින් ලියා 2008 දී ක්‍රියාත්මක කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ඔවුන්ට බලය තබා ගැනීම සඳහා ඇතුළත් කෙරණු ප්‍රතිපාදන ඔවුන් ගණන් හැදූ අයුරු ප්‍රමාණවත් නොවීමෙහිය. එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මන්ත්‍රීවරුන්ගෙන් සියයට 25 ක් එනම් 166 ක් හමුදාව විසින් නම් කරනු ලැබේ. ඔවුන්ගේ අභිමතයට ජනාධිපති පත්කර ගැනීමට “යූඑස්ඩීපි”ය තවත් මන්ත්‍රීවරුන් 167 ක් දිනා ගත යුතුය. එහෙත් ඔවුන්ට පසුගි නොවැම්බර මැතිවරණයෙන් දිනා ගත හැකි වූයේ මන්ත්‍රී ආසන 33 ක් පමණි. අවුන් සාන්සුචිගේ නායකත්වයෙන් යුත් “එන්.එල්.ඩී”ය ආසන 396 ක් දිනා ගත්තේය.

බරපතලම ගැටළුව ඇත්තේ පාර්ලිමේන්තුවෙන් පත් කෙරෙන ජනාධිපති පූර්ණ විධායක බලය සතු ජනාධිපතිවරයෙකු වීමය. ඔහුට ඔහුගේ අභිමතය පරිදි ඇමතිවරු පත් කිරීමටත් ඉවත් කිරීමටත් බලය ඇත. ඉන් බැහැරව ඇත්තේ අනිවාර්යෙන් හමුදාවට අයත්වන ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ දේශසීමා යන අමාත්‍යාංශ 03 පමණි. හමුදාවට ජනාධිපති ධූරය තමන්ගේ තේරීමක් අනුව තබා ගැනීමේ අවශ්‍යතාව ඇත්තේ, ජනාධිපතිගේ සභාපතිත්වයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු කමිටු අතුරින් ජාතික ආරක්ෂක සහ ජාතික මුදල් කමිටු පාලනය කර ගැනීමටය. ඒවායේ තීන්දු මත සියලු මූල්‍ය කටයුතු හැසිරවෙන අතර, ජාතික ආරක්ෂාවද ඉන් තීන්දු කෙරෙන්නේය.   

හමුදාව මුහුණ දුන් හෙයියම්මාරුව වූයේ එවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදන සමග මෙවර තේරී පත්වූ පාර්ලිමේන්තුවෙන් හමුදාවට අවශ්‍ය ජනාධිපතිවරයකු පත්කර ගැනීමට නොහැකිවීම පමණක් නොව, එසේ පත් කෙරෙන ජනාධිපති අවුන් සාන්සුචිගේ නායකත්වයෙන් වන ආණ්ඩුවට අවශ්‍ය ජනාධිපතිවරයෙකුද වීමෙහිය.  

පසුගිය 2015 මැතිවරණයෙන් පසු හමුදාව මියන්මාර් බෞද්ධ බලය මත ඔවුන්ගේ පැවැත්ම සහතික කර ගැනීමට පියවර ගත්තේ රොයිංගියා මුස්ලිම්වරුන්ට එරෙහි සංහාරය සමගින්ය. එය වාර්ගික සංහාරයක් යැයි ජාත්‍යන්තර විරෝධයට ලක් වූ අතර, 73,000 ට වැඩි රොයිංගියා අනාථයින් අසල්වැසි බංගලාදේශයට පලා ගියහ. මේ රොයිංගියා සංහාරයට සහායදීම හේතුවෙන් අවුන් සාන්සුචිද ලෝක අපවාදයට හා හෑල්ලුවට ලක් වූවා ය. එහෙත් පසුගිය නොවැම්බර මැතිවරණයෙහි ඇයට එහි වාසියක් තිබිණ. රොයිංගියා සංහාරය සඳහා ප්‍රාදේශීයව සහාය දැක්වූ භික්ෂුන් හා අන්තවාදී පිරිස් ආණ්ඩුවක් හැදිය හැක්කේ ඇයගේ “එන්.එල්.ඩී” පක්ෂයට යැයි විශ්වාස කළ හෙයින්ය.  

Image result for myanmar president MILITARY

ජාත්‍යන්තරයට කළ හැක්ක

මේ වන විට ජනාධිපති බයිඩන් නැවත වරක් මියන්මාරයට එරෙහිව බරපතල සම්භාධක පැනවීමට තීන්දුකර හමාරය. යුරෝපා සංගමය සහ බිරතාන්‍ය මියන්මාරයට එරෙහිව කලින් පැනවූ සම්බාධක ගණනාවක් දැනටත් ඇත. වැදගත් වන්නේ බටහිර බලවතුන්ට එවැනි පියවර මගින් කළ හැක්කේ කුමක්ද යන්නය.

අවුන් සාන්සුචි නිවාස අඩස්සියේ සිටියදී සහ මියන්මාර ආර්ථිකය මීටත් වඩා දුර්වලව තිබියදීද බටහිර බලවතුන්  හමුදා ජුන්ටාවට එරෙහිව යැයි මියන්මාරයට වෙළඳ හා ආර්ථික සම්භාධක පැනවූහ. නැවතත් 2018 ඔක්තෝම්බරයේද මානවහිමිකම් කොමිසම හමුවට ඉදිරිපත් කළ 2018 වාර්තාව මත සම්භාධක ගණනාවක් පනවනු ලැබිණ. එහෙත් ඒ හැම විටම චීන සහාය ඇතිව ආසියානු වෙළඳපල හා ගනුදෙනු කිරීමට ඇති අවකාශය මත මියන්මාර හමුදා ජුන්ටාව බටහිර බලවතුන්ගේ විරෝධතා කිසිවක් ගණන් ගත්තේ නැත.

එක්සත් ජාතීන් සම්භාධක පැනවූ රටවල් 08 ක් ඇත. ඇමෙරිකාව විවිධ සම්භාධක පැනවූ රටවල් 21 ක් සහ යුරෝපා සංගමය විසින් විවිධ සම්භාධක පැනවූ රටවල් 19 ට වඩා ඇත. එහෙත් ඒ රටවල් ඒවාට අවනත වී නැත. එක දෙයක් පැහැදිලිය. බටහිර බලවතුන්ගේ හා එක්සත් ජාතීන්ගේ සහාය ඇතිව සාර්ථකව හා සාධාරණ ලෙස විසඳා ගනු ලැබූ කිසිදු ගැටුමක් දෙවන ලෝක යුද්ධයෙන් පසු මෙතෙක් ඉතිහාසයෙහි හමුවන්නේ නැත.

කුසල් පෙරේරා

Recommended For You

About the Author: Editor