බටහිර ජටිය ‘නැගෙනහිර ජටිය’ ගළවා ගැනීමේ සතුට

කොහොම වුණත්, අපි නැගෙනහිර ජැටිය බේරාගත් අරගලයේ “සතුටට” ගුණමකුවන් නොවිය යුත්තේද, බටහිර ගලවා ගැනීමේ අරගලයට, ඒ “සතුට” අත්‍යාවශ්‍යයෙන්ම පාර කපනු ඇතැයි විශ්වාස කරන නිසා මිස, ආණ්ඩුවේ අභිලාශය විස්වාශ කිරීම නිසා නොවන බව කවුරු කවුරුත් සිහි තබා ගත යුතුය.

නැගෙනහිර ජටිය බේරා ගත්තේය. නැගෙනහිර ජැටිය බේරා ගැනීමේ අරගලය එතනින් නිමා විය. එය සාධාරණය. ශ්‍යාමාල්ගේ වචනයෙන් කියනවානම්, එහි සතුට උන්ට භුක්ති විදින්නට දිය යුතුය. එයට බටහිර කලවං කරගත යුතු නැත. 

වරාය රැක ගැනීම සදහා එදා මෙදා තුර විශාල අරගල තිබුණි. ඒ අරගලවලට නායකත්වය දෙන වරායේ වෘත්තීය සමිති අතර ආණ්ඩුවේ වෘත්තී සමිතියක් හැමදාම තිබුණේය. ආණ්ඩු වෙනස් වුණත්, ආණ්ඩුවේ වෘත්තීය සමිතියේ කාර්ය වුණේ, ආණ්ඩුවේ බලතල භාවිත කර සේවකයින්ට සලකා සාමාජිකයින් වැඩි කර ගැනීමය. ඒ නිසා වරායේ වැඩි ඉඩක් හැම දාම ආණ්ඩුවේ වෘත්තීය සමිතියට තිබුණු අතර, ආණ්ඩුව කියන ඕනෑම එකකට කඩේ යෑම ඔවුනගේ වගකීම විය. නමුත් නැගෙනහිර ජැටිය බේරා ගැනීමේ මෙවර සටනේදී එය වෙනස් විය. ඒ නිසා ඒ සතුට ඔවුනට අයිතිය. ඊට භාධා නොකල යුතුය.

නමුත්, ඒ සතුටට භාධා කරමින් මේකට “බටහිර ජැටිය” කලවං කරන්නෝ කවරහුද? එසේ කරන්නේ අරගලයේ සතුට දියාරු කිරීම සදහාමද? මේ සටන ආරම්භ කිරීමේදී අප එහි නම ගැන එතරම් සැලකිලිමත් නොවුණද, එය “නැගෙනහිර ජැටිය බේරා ගැනීමේ අරගලය” ලෙසම නම් වූයේ කිනම් හේතුවක් නිසාද? 

එම ප්‍රශ්ණ සදහා විවිධ අයට, විවිධ පිළිතුරු තිබිය හැකි වුවත්, මෙතෙක් සිදුකල සටන එයින් අව තක්සේරු නොවිය යුතුය. කවුරුන් හෝ එය හිතාමතා සැලසුම් කල, ව්‍යාජ අරගලයක් ලෙස නම් කරන්නට උත්සාහ දරන්නේනම්, ඔවුනට ඇත්තේ වෘත්තීය සමිති අරගල පිළිබද නොදැනුවත් කමය.

කොහොම වුණත් නැගෙනහිර ජැටිය බේරා ගැනීමේදී ඊට බටහිර ජැටියෙන් දමා ගසන්නේ ආණ්ඩුව මිස,  අන් කවරෙකු හෝ නොවන බවත්, එය අහම්බයක් නොවන බවත් අපි වටහා ගත යුතුය. බටහිර ජැටිය පිළිබද කථා කරන සෑමදෙයක්ම අරගලයේ සතුටට භාධාවක් නොකර ගත යුතුය. ඒ පිළිබද විවෘතව සලකා බලන්නට වැඩි හැකියාවක් ඇත්තේද, නැගෙනහිර බේරාදුන් විරුවන්ටමය.

බටහිර ජැටිය යණු මහ මුහුදය. එය සැබෑය.  ඊට සාපේක්ෂව නැගෙනහිර බොහෝ දේ සාදා නිමැ කර ඇත. ඒ ගානට බටහිර ගොඩ නගන්නට අපට ප්‍රාග්ධනය නැත. ඒ නිසා බටහිරට වඩා අපට නැගෙනහිර සිය දහස් වාරයකින් වටින්නේය. එය ඉතා නිර්ව්‍යාජ සත්‍ය කථාවකි.

නමුත් ඕනෑ තරම් ප්‍රාග්ධනය ඇති “අදානි” වගේ අයෙකුට, එය අපට තරම් වූ විශාල අභියෝගයක්ද ?. 49-51ට වඩා, අසූ පහේ එකකට යා හැකිනම්, වඩා හොද ප්‍රතිඵළ ලැබිය හැකි අභියෝගයක් නොවන්නේද? “බටහිර පර්‍යන්තය” අපට සිහිනයක් වුවද, පසෙකින් ඇති “චීන වරායේ” චීන තේජස දෙස බැලීමේදී,  “ඉන්දියානු වරායක්” ගැන සිහින දැකීමට, අදානි හෝ ඉන්දියාව පසුබට නොවේ යැයි අපට සිතිය හැකිද? 

බටහිර කෙසේ වෙතත්, නැගෙනහිර ගලවා ගත්තේ ආණ්ඩුවේ සහ ආණ්ඩුවේ නොවන සියළු වෘත්තීය සමිති වරාය සේවකයින් සමගි කරවූ නිසාය. ඉතිහසය තුල හැම විටම එය කඩාකප්පල් කරන ලද්දේ ආණ්ඩුවේ වෘත්තීය සමිතිය නිසා, සමගියේ වැඩි ගෞරවය ආණ්ඩුවේ වෘත්තීය සමිතියට හිමි විය යුතුය. ජයග්‍රහණයේ සතුට සමගියෙන් අරගලය කල වෘත්තීය සමිති සියල්ලට හිමිය. ජනාධිපතිතුමාගේ තීන්දුව චුට්ටක් එහාට-මෙහාට වුවද,  සෞභාග්‍යයේ දැක්මට අනූව වැඩ සිදුවූ නිසා ආණ්ඩුවටද සතුටු විය හැකිය. 

ඒ සතුටට කිසිදු භාධාවක් නොවන පරිදි, චීන වරායට එහා පැත්තෙන් “ඉන්දියන් වරායක්” හදා ගන්නා සතුට පිළිබදවත් අපි අවධියෙන් සිටිමු! 

මැතිවරණ සටන් සදහා  ප්‍රතිපත්ති සෑදීමේදී කෙසේ වුවත්, ආණ්ඩුවකට වරාය පෙනෙන හැටියේ වෙනසක් නැත. ආණ්ඩු මාරු වුණාට, ආණ්ඩුවේ වෘත්තීය සමිති වෙනස් වුණාට, වරාය විකුණන්නට ආණ්ඩුවට ඇති අභිලාෂය වෙනස් නැත. ආණ්ඩු කෙරෙහි අපිට ඇති “ආලවන්ත කමට” අනූව, අපි ඒවාට විවිධ අර්ථ දෙන්නට උත්සාහ කලද, චන්ද්‍රිකාවත් හෝ මහින්දවත්, මෛත්‍රීවත් හී රනිල්වත් වෙනස් ආකාරයකට කටයුතු කොට නැත.

නැගෙනහිර බේරා ගත් අරගලය උඩ කැත කරමින්, ඊට බටහිර කලවං කිරීමේ තැත විසින් අපට තහවුරු කරණු ලබන්නේ, වෙනස්මැයි කියපු ගෝඨාභය ආණ්ඩුවේ අභිලාෂයද “වරාය විකිනීමේ අභිලාෂයට” අදාලව කිසිදු වෙනසක් නොමැති බවය.

කොහොම වුණත්, අපි නැගෙනහිර ජැටිය බේරාගත් අරගලයේ “සතුටට” ගුණමකුවන් නොවිය යුත්තේද, බටහිර ගලවා ගැනීමේ අරගලයට, ඒ “සතුට” අත්‍යාවශ්‍යයෙන්ම පාර කපනු ඇතැයි විශ්වාස කරන නිසා මිස, ආණ්ඩුවේ අභිලාශය විස්වාශ කිරීම නිසා නොවන බව කවුරු කවුරුත් සිහි තබා ගත යුතුය.

රවී කුමුදේශ් – කැදවුම්කරු, වැඩකරන ජන බලය වෘත්තීය සමිති මධ්‍යස්ථානය 

Recommended For You

About the Author: Editor