‘මම සිංහල බෞද්ධ නායකයකු බව කියන්නට’ කිසිවිටක පැකිළෙන්නෑ – ජනපති

ඔබ ඉල්ලා සිටි නායකයා වශයෙන් භාරදුන් වගකීම නොපිරිහෙළා ඉටු කරනවා

පාස්කු ප්‍රහාරය සැලසුම් කළ, අනුබල දුන් කිසිවෙකුට නීතියෙන් ගැලවීමට ඉඩ දෙන්නේ නැහැ

රටේ ආර්ථික මර්මස්ථාන විදේශයන්ට විකුණන්නෙත් නැහැ

පාලනය  බෞද්ධ ඉගැන්වීම් අනුව

“ඔබ ඉල්ලා සිටි නායකයා මමයි. ඔබ මට භාරදුන් වගකීම මම නොපිරිහෙළා ඉටු කරනවා” ජාතික නිදහස් දින සැමරුමේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය හමුවේ ප්‍රතිඥා දෙයි.

“ඉතිහාසය පුරා ශක්තිමත් ශිෂ්ඨාචාර ගොඩනැගුවේත්, රටවල් සංවර්ධනය කළෙත් ඉලක්ක හඹා ගිය මිනිසුන්. වර්තමානයට අවශ්‍ය වන්නෙත් එවැනි චින්තනයක්” රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

තමා සිංහල බෞද්ධ නායකයකු බව කියන්නට කිසිවිටක නොපැකිලෙන බවත්, තමා රට පාලනය කරන්නේ බෞද්ධ ඉගැන්වීම් අනුව බවත් ජනාධිපතිවරයා කියා සිටී. බෞද්ධ දර්ශනය සෑම ආගමිකයෙකුටම සහ ජාතිකයෙකුටම පවතින නීති රාමුව තුළ සමානව නිදහස භුක්ති විදීමේ අයිතිය සහතික කරයි.

පාස්කු ප්‍රහාරය විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිෂමේ සහ පසුගිය පාර්ලිමේන්තුව පත් කළ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන අපරාධකරුවන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති පවසයි. අපරාධය සැලසුම් කළ, අනුබල දුන් කිසිවෙකුට නීතියෙන් ගැලවී යන්නට ඉඩ නොදෙන බව ජනාධිපති අවධාරණය කරයි.

අද (04) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ  පැවති 73 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙලේ දී ජාතිය අමතමින්  ජනපතිවරයා මේ  ප්‍රකාශය කළේය.

රටේ ආර්ථික මර්මස්ථාන විදේශිකයන්ට විකුණන්නේ නැත යන ප්‍රතිපත්තියෙහි කිසිදු වෙනසක් නැතැයි ජනාධිපතිතුමා අවධාරණයෙන් පැවසීය.

දේශීය හා විදේශීය ව්‍යාපාරවලට බලපාන යල් පැන ගිය නීති හා රෙගුලාසි සංශෝධනයට හා යාවත්කාලීන කිරීමට පියවර ගන්නා බව රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.

කෘෂිකර්ම, කර්මාන්ත සහ සේවා අංශවල වර්ධනය තුළින් ජාතික ආර්ථිකය ශක්තිමත් කරනු ලැබේ. ඊට සහය වීමට තාක්ෂණික නව්‍යකරණ සංස්කෘතියක් නිර්මාණය කරමින් පවතී. දුප්පත්කම තුරන් කිරීම, දේශීය ව්‍යාපාරිකයන් ගොඩනැගීම ඇතුළු  අරමුණු සපුරා ගැනීමට පිරිසිදු සහ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් අත්‍යාවශ්‍ය වේ. එසේ වුවත් රාජ්‍ය සේවයේ සෑම ස්ථරයකම තීන්දු තීරණ ගැනීමේ දුර්වලතාවක් දකින්නට ලැබේ. තීරණ ගැනීමට හැකි සීමාව තුළ වුවද ඇතැම්හු ඊට පැකිළෙති. නිවැරදි තීන්දු ගෙන රට වෙනුවෙන් වැඩ කරන රාජ්‍ය සේවකයන් ආරක්ෂා කිරීමට අවශ්‍ය නීති සැකසෙමින් ඇති බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

දූෂණය සහ නාස්තිය රටක සංවර්ධනයට දැඩි  බාධාවකි. ඊට වැරදිකරුවන් වන කිසිවෙකුට සමාවක් නොලැබේ. එබැවින් දුෂණය සහ නාස්තිය පිටුදැකීම සඳහා රට පුරා මතයක් නිර්මාණය කිරීමට එකතුවන්නැයි එතුමා සියලුදෙනාට ආරාධනා කළේය.

රට වෙනුවෙන් තමාගෙන් සේවයක් බලාපොරොත්තු වූ සියලුදෙනා එසේ කළේ පොදු අපේක්ෂා ඉටු කර ගැනීමටය. ඒ සඳහා සෑම විමට කැපවන අතර, පටු චේතනාවෙන් සහය දුන් අය සතුටු කිරීමට රටට අහිතකර තීන්දු නොගන්නා බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

73 වන ජාතික නිදහස් දින උළෙල කොවිඩ් මර්දන සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව අභිමානය ප්‍රදර්ශනය වන අයුරින් සංවිධාන කර තිබිණ.

යුධ, නාවික, ගුවන්, පොලිස්, සිවිල් ආරක්ෂක සහ ජාතික ශිෂ්‍ය භට බලකාය ආචාර පෙළපාලියට එක් වූහ.

ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස් නියෝජනය කළ දැකුම්කළු සංස්කෘතික සංදර්ශනයකින් නිදහස් සමරු උළෙල වර්ණවත් විය. මනාව පුහුණු කරන ලද අලංකාර ඇදුමින් සැරසුන යෞවන යෞවනියෝ විශාල පිරිසක් නර්තනයෙන් සහ වාදනයෙන් ඊට දායක වූහ.

මහා සංඝරත්නය සහ සෙසු ආගමික පූජකවරු, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස,  කථානායක මහින්ද යාපා අබේවර්ධන, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, තානාපතිවරු හා මහකොමසාරිස්වරු, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ආරාක්ෂක අංශ ප්‍රධානීහූ, රාජ්‍ය නිලධාරීහු සහ රණවිරුවෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.

Recommended For You

About the Author: Editor