සෞභාග්‍යයේ සශ්‍රීක අස්වැන්න ‘උතුරු මැද මහ ඇළ’

උතුරුමැද පළාත් මහ ඇළ ව්‍යාපෘතියේ වැඩ කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර, පළුගස්වැව ප්‍රදේශයේදි හෙට (05) ආරම්භ කෙරේ.

මහවැලි සැලැස්මේ අවසන් අදියර ලෙසින් ආරම්භ වන මේ ව්‍යාපෘතිය මඟින් උතුරු මැද, උතුර සහ නැඟෙනහිර පළාත් ජනතාවගේ ජල අවශ්‍යතාවන් ඉටු කරයි. උතුරු මැද පළාත් මහ ඇළෙහි සංවර්ධන කටයුතු සියල්ලම පරිසර හිතකාමී ක්‍රියාවලියක් යටතේ ක්‍රියාත්මක වේ. ඒ කිලෝ මීටර් 28ක් දිග වාරි උමඟක් මඟිනි. මෙමඟින් ප්‍රධාන වශයෙන් ප්‍රදේශීය ලේකම් කොට්ඨාස දහතුනක (13) ජනතාවට ප්‍රතිලාභ සැලසේ. කුඩා වැව් 1,200 කින් යුත් එල්ලංගා පද්ධති 130කට ජලය සැපයීම තුළින් හෙක්ටයාර හතළිස් තුන්දහසක් (43,000) පෝෂණය කිරීමට නියමිතයි.

මීට අමතරව ප්‍රදේශයේ මිලියන 1. 5ක් පමණ ජනතාවගේ පානීය හා කර්මාන්ත සංවර්ධන කටයුතු සඳහා ජල අවශ්‍යතා ඉටු කිරීමට යෝජිතය. මේ ව්‍යාපෘතිය අවුරුදු 10ක් තුළ පියවර 3කින් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 200කට අධිකය. මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ පී මහලියනආරච්චි (කෘෂි විද්‍යා පීඨය, සබරගමුව විශ්වවිද්‍යාලය) මහතා විසින් සම්පාදිත මෙම ලිපිය මගින් අදාළ ව්‍යාපෘතියේ ප‍්‍රතිලාභ පිළිබද සාකච්ඡාවේ.

න‍ැගෙනහිර ‍යුරෝපීය රටක් වන බල්ගේරියාවේ ප්ලොවීදිය නගරයේ ඇති කෘෂිකර්ම විශ්වවිද්‍යාලයේ, කෘෂි වාරි ඉංජිනේරු අධ්‍යයනාංශයේ උද්ධෘත පාඨය වී ඇත්තේ අපේ කුඩා දිවයිනේ සිටි කීර්තිමත් රජ කෙනකු වූ මහා පරාක්‍රමබාහු රජතුමා සඳහන් කළ “අහසින් වැටෙන එක දිය බිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයවන්න” යන්නයි. එහි කෘෂි වාරි ඉංජිනේරුවකු වීමට මා පුහුණුව ලැබූ මගේ අධ්‍යයනාංශයත් මා එහි ගත කළ වසර හයක කාලයක් පුරා එම පාඨය එසේ තිබීමත් මගේ අතිශය ගෞරවනීය ආඩම්බරයකට හේතු විය.

ශ්‍රී ලාංකේය ජනතාවට වාරි තාක්ෂණය අමුතුවෙන් කියා දිය යුතු දෙයක් නොවේ. ලෝකයේ කොතරම් ලොකු, කුඩා රටවල් තිබුණත් අතීත ලාංකේය ජනතාව වාරි තාක්ෂණය අතින් ඒ සියල්ලන්ම අබිබවා සිටි බව ඓතිහාසික සාක්ෂි මඟින් සනාථ කර තිබේ.

කුඹුර සමඟ බද්ධ වූ ජීවන රටාවක් තිබූ ලාංකේය ජනතාව වාරි කර්මාන්තය සිය පාරම්පරික උරුමයක් කරගෙන තිබේ. ක්‍රි. පූ. තුන්වැනි සියවසේදී අනුරාධපුරයේ රජකම් කළ පණ්ඩුකාභය රජතුමා ලංකාවේ ඉදිකළ ප්‍රථම මහා පරිමාණයේ වැව වන අභය වැව ඉදිකිරීමත් සමඟ හෝමෝ සේපියන්ස් මානව ඉතිහාසයේ වාරි කර්මාන්තයේ මහා පියවරක් තැබීය.

අතීත ලාංකේය ජනතාව සිය වාසභූමි පිහිටුවා ගෙන තිබුණේ වාර්ෂික වර්ෂාපතනය අඟල් 75ක් පමණ වූ වර්ෂයෙන් වැඩි කාලයක් ස්වභාවිකව වර්ෂාව නොලැබෙන වියළි කාලගුණයක් තිබූ වර්තමාන උතුර, උතුරුමැද, නැ‍ඟෙනහිර පළාත්වලය. ඒ නිසාම වර්ෂා ජලය එකතු කරගෙන පසුකාලීනව කෘෂිකර්මයටත්, තම දෛනික අවශ්‍යතාවන් සඳහාත් භාවිත කිරීමට ඔවුන් තමන්ටම ආවේණික වූ වාරි තාක්ෂණයක් බිහි කරගෙන තිබුණි. එනම් තැනිතලා ප්‍ර‍දේශවල ජලය රැස්කර තබා ගන්නා එල්ලංගා පද්ධතීන්ගෙන් සමන්විත වැව් විශාල සංඛ්‍යාවක් ගොඩ නැඟීමයි. වැව් බැඳි රාජ්‍යය ලෙස හැඳින්වෙන රජරට ප්‍රදේශයේ ග්‍රාමීය වැව් පන්දහසක් පමණ තිබුණි.

වාරි ඉංජිනේරුවන්

ලක් ඉතිහාසයේ වැව් බැඳීමේ කාර්යයේ ප්‍රමුඛතමයා වූයේ ක්‍රි. පූ. පළමුවැනි සියවසේ රාජ්‍ය පාලනය කළ වසභ රජතුමාය. එතුමා විශාල ප්‍රමාණයේ වැව් 11ක් සහ වාරි ඇළ මාර්ග දෙකක් ඉදිකර තිබේ. අද ලෝකය නව තාක්ෂණය, නවීන උපකරණ, යන්ත්‍ර සූත්‍ර, පරිගණක ආදියෙන් පිරිපුන්ය. මහා පරිමා‍ණයේ විශාල ජලාශ ඉදිකිරීම මානවයාට එතරම් අපහසුවක් නොවේ. එහෙත් අතීතයේ එවන් තාක්ෂණික පහසුකම් නොතිබූ සමයේ දී ලෝකයේ පළමු විශාලතම වැව වන පණ්ඩු වැව හෙවත් පණ්ඩා වැව නිර්මාණය කළේ ක්‍රි. ව. 807 – 812 දක්වා රජ කළ දෙවැනි දප්පුල රජතුමාය. එය අක්කර 1360ක් විශාල මහා ජලාශයකි.

එමෙන්ම ලංකාවේ අතීත ලොකු, කුඩා සෑම වැවකම ඇති බිසෝ කොටුව වැවේ සොරොව්ව හරහා පිටතට ගලා යන ජලය පාලනය කරන සුවිශේෂී කරාමයක් ලෙස නිර්මාණය කර තිබීම, වර්තමාන වාරි ඉංජිනේරුවන් මවිතයට පත් කරන විශිෂ්ට නිර්මාණයකි. එය දේශීය වාරි ඉංජිනේරුවරුන් මීට වසර 2500 කට පෙරදී හඳුන්වා දුන් මහාර්ඝ තාක්ෂණයක් ලෙස පිළිගනී.

අතීත රජදරුවන් රට සංවර්ධනයේදී කෘෂිකාර්මික සංවර්ධනයට දුන්නේ ඉතා ඉහළ ස්ථානයකි. ඒ මඟ යමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයත් කෘෂිකාර්මික සංවර්ධනයට ප්‍රමුඛස්ථානයක් ලබා දී ඇත. එසේ කෘෂිකාර්මික සංවර්ධනයක් කරා යෑමේදී නිසි කලට, නිසි ප්‍රමාණවලින් වගාවට අවශ්‍ය ජලය ලබාදීම ඉතාම අවශ්‍ය කාරණාවකි. ඒ අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයේ අවසන් අදියර ලෙස ගැනෙන උතුරු මැද පළාත් මහ ඇළ යෝජනා ක්‍රමය සම්පූර්ණ කිරීමේ කාර්යය 2021 පෙබරවාරි පස්වැනි දින ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනු ලැබේ.

එහිදී වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ ආරම්භ වන “වාරි සෞභාග්‍යා” වැඩසටහන දිවයින පුරා ලොකු, කුඩා වැව් පන්දහසක් ප්‍රතිසංස්කරණය කර ග්‍රාමීය ජිවිත නගා සිටුවීමට අවශ්‍ය වාරි සංස්කෘතිය යළි පුබුදු කෙරේ.

1958 වර්ෂයේදී ශ්‍රී ලංකා රජය විසින් මහවැලි ගඟ සහ එහි අතු ගංගාවල ජල සම්පත කෘෂිකාර්මික සහ විදුලිය නිෂ්පාදනය සඳහා විධිමත් ලෙස ප්‍රයෝජනයට ගැනීම පිණිස යෝජනා කරන ලද මහවැලි සංවර්ධන සැලැස්ම 1968 වර්ෂයේදී ආරම්භ කරන ලදී. මේ අනුව උතුර, උතුරුමැද සහ නැ‍ඟෙනහිර පළාත්වල ගොවි බිම් හෙක්ටයාර් 365,000 කට වාරි ජලය සැපයීමටත්, ඒ ආශ්‍රිත ජලාශ මාර්ගයෙන් වර්ෂයකට ගිගාවොට් පැය 1900ක ජල විදුලි බලයක් නිෂ්පාදනය කිරීමටත් සැලසුම් කෙරිණි.

1978 වර්ෂයේදී මේ මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය ‘කඩිනම් මහවැලිය’ ලෙස නම් කරමින් එහි ඉදිකිරීම් සහ ප්‍රතිලාභ ජනතාවට දීම කඩිනම් කෙරිණි. එහෙත් උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතිය ඊට ඇතුළත් නොවූ අතර, මේ වන විට මහවැලි යෝජනා ක්‍රමය යටතේ වාරි ජලය සපයා ඇත්තේ ගොවිබිම් හෙක්ටයාර 154,000 ප්‍රමාණයකට පමණි. එනම් යෝජිත ගොවිබිම් ප්‍රමාණයෙන් 42%ක් පමණි. ජල විදුලිය සම්පාදනය නම් මූලික සැලැස්ම ඉක්මවා ගොස් ඇත. මෙසේ ගොවි බිම් සඳහා වාරි සැපයීම අඩු වූයේ උතුරු පළාතේ මහ ඇළ යෝජනා ක්‍රමය ය‍‍ටතේ වාරි ජලය ලබා දීමට අදහස් කළ හෙක්ටයාර් 150,000 සහ මාදුරුඔය දකුණු ඉවුර සහ මහවැලි ‘ඒ’ කලාපයේ ගොවි බිම් හෙක්ටයාර් 150,000කට වාරි ජලය සැපයීමට තවමත් නොහැකි වී තිබීමය.

ඒ නිසා මෙම උතුරු මැද මහ ඇළ ජල ව්‍යාපෘතියෙන් බලාපොරොත්තු වන ගොවි බිම් හෙක්ටයාර් 150,000ක් සංවර්ධනය වීමත් සමඟම එයින් ප්‍රතිලාභ ලැබීමට නියමිත උතුර, උතුරු මැද සහ නැ‍ඟෙනහිර විශාල ජනතාවකගේ දරිද්‍රතාවය නැති කිරීමට මනා පිටිවහලක් වනු ඇත.

එමෙන්ම මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ නිම කිරීමට තිබූ ප්‍රධාන ජලාශ වන මොරගහකන්ද සහ කළු ගඟ ජලාශවල ඉදිකිරීම් සහ ජලය පිරවීම් මේ වන විට සාර්ථකව අවසන් කර ඇති බැවින් පොලොන්නරුවේ වාරි පද්ධතිවල ජල හිඟය මේ වන විට සාර්ථකව නිමා කොට ඇත. ඒ යටතේ ඉලක්ක ගත කර තිබූ උතුරු මැද පළාත් මහ ඇළ ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දැනට පවතින වාරි පද්ධතිවල ජල හිඟය මඟහරවා ගැනීමට අවශ්‍ය කරන ජලය ලබා දීම සිදු කෙරේ.

ජල හිඟය

කළු ගඟ සහ මොරගහකන්ද ජලාශ දෙකකි. මී. 9ක උමං මාර්ගයකින් සම්බන්ධ කළ පසු ලබා ගත හැකි අතිරික්ත ජලය මොරගහකන්ද ජලාශයේ සිට කි. මී. 65ක් දුරින් පිහිටි යකල්ල දක්වා ඉදිවන උතුරු මැද පළාත් මහ ඇළ ඔස්සේ හුරුළු වැවටත්, මානන්කට්ටිය වැව සහ ඒරු වැව හරහා දැනට කලා වැවේ දකුණු ඉවුර ඔස්සේ ජලය ලබා ගන්නා නාච්චදූව, නුවර වැව සහ තිසා වැවටත් අවසානයේ මහකනදරා වැවටත් ජලය සැපයේ. එවිට අනුරාධපුර නගරයේත්, ඒ අවට ඇති ජලාශවලත් දැනට පවතින ජල හිඟය සම්පූර්ණයෙන් මඟ හැරී යනු ඇත.

වාරි පද්ධතිය

මේ ව්‍යාපෘතියේ අමතර ප්‍රතිලාභ ලෙස බෝවතැන්න ජලාශයේ සිට වෑමැඩිල්ල ජලාශය හරහා කුරුණෑගල දිස්ත්‍රික්කයත්, ඉහළ මී ඔය නිම්නයේ ඇති කුඩා වැව් 350ක් සහ මධ්‍යම ප්‍රමාණ වැව් හරහා හෙක්ටයාර 13,000 කට පමණ ජලය සැපයේ. උතුරු මැද පළාත් මහ ඇළ ව්‍යාපෘතිය වර්තමානයේ දී ක්‍රියාත්මක කිරීමේදී පසු ගිය අඩ සියවසක කාලය තුළදී ඇති වූ සාමාජීය, පාරිසරික සහ වෙනත් භෞතික වෙනස්කම් නිසා නව ක්‍රමෝපායන් ක්‍රියාත්මක කිරීමට සිදු වී ඇත. ඒ අනුව රන්දෙණිගල ජලාශයේ සිට කි. මී. 38ක් දිග උමං මාර්ග තුනක් ඔස්සේ (රන්දෙණිගල – හසලක ජලාශය, හසලක – හීන්ගඟ ජලාශය සහ හීන්ගඟ – කළු ගඟ ජලාශය) කළු ගඟ ජලාශයටත්, එතැන් සිට දැනට ඉදිවෙමින් පවත්නා උමං මාර්ගය ඔස්සේ මොරගහකන්ද ජලාශයටත් වාර්ෂිකව ජලය මීටර් මිලියන 750ක් පමණ ලබාදීමට අපේක්ෂා කෙරේ.

එමෙන්ම මිනිපේ ඇළට පහළින් මහවැලි ගඟ දිගේ මුහුදට ගලා යන ජල ප්‍රමාණයෙන් විශාල ‍කොටසක් ජන රංජන වැව අසල ඉදිකරනු ලබන පොම්පාගාරයක් මගින් කවුඩුල්ල සහ කන්තලේ සහ කන්තලේ වගා බිම්වලට අවශ්‍ය ජලය ලබා දීමට ක්‍රියා කෙරේ. එම ප්‍රමාණය වර්ෂයකට ජලය ඝන මීටර් මිලියන 270ක් පමණ වේ. මේ අනුව මොරගහකන්ද ජලාශයෙන් මෙතෙක් කවුඩුල්ල සහ කන්තලේට දුන් ජලය ප්‍රමාණයක් ඉතිරි කර ගෙන ඒ ජලය උතුරු මැද මහ ඇළ මාර්ගය හරහා උතුරු මැදට සහ උතුරට ලබා දීමට හැකි වේ.

මේ සියලු වාරි පද්ධති ඉදිකිරීමෙන් පසු උතුරු මැද මහ ඇළෙන් බෙදෙන උතුරු ඇළ මාර්ග 13ක් හරහා උතුරු මැද සහ උතුරු ප්‍රදේශයේ පිහිටා ඇති එල්ලංගා පද්ධති 130කට අයත් ‍වැව් 1200ක ප්‍රමාණයකට වාරි ජලය ලබා දීමට හැකිවේ.

කෘෂිකාර්මික සංවර්ධනයට අවශ්‍ය ජලය සැපයීමකට අමතරව, උතුරු මැද සහ උතුරු පළාත්වල වර්ෂයකට අවශ්‍ය පානීය ජල අවශ්‍යතාව වන ජලය ඝන මීටර් 70ක් පමණ සපයා ගත හැකි වන අතර, එමඟින් වකුගඩු රෝගය පාලනය කිරීමට ද හැකි වේ. මක් නිසාද යත් මේ ජලය ලබා දෙන්නේ ගලා යන ජල ධාරාවන් මඟින් වීම නිසාය.

අපේක්ෂිත වෙනත් ප්‍රතිලාභ අතර භූගත ජල මට්ටම ඉතා උසට හා එමගින් ගෙවතු වගාවට අවශ්‍ය ජලය ලබා ගැනීමට ද හැකි වනු ඇත. 

වාරිමාර්ග අමාත්‍යාංශයේ දත්තවලට අනුව මෙම ව්‍යාපෘති නිම වීමෙන් පසු උතුරුමැද, උතුර, වයඹ සහ නැගෙනහිර පළාත්වල ගොවි බිම් හෙක්ටයාර 7500කට පමණ වාරි ජලය ලැබෙනු ඇත. ඊට අමතරව මෙම ප්‍රදේශයේ මිලියන 1.5 පමණ ජනතාවට බීමට, නෑමට, රෙදි සෝදා ගැනීම ආදියටත්, කර්මාන්ත සංවර්ධන කටයුතු සඳහාත් ජලය දීමට හැකිවේ. එමෙන්ම ව්‍යාපෘතිය යටතේ කුඩා වැව් 1500කට වාරි ජලය සැපයෙන එල්ලංගා පද්ධති 150ක් පමණ ආර්ථික ඒකක ලෙස වැඩි දියුණු කෙරේ.

මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් නිම කිරීමට වසර දහයක කාලයක් ගත වන අතර පියවර තුනක් යටතේ ක්‍රියාත්මක කෙරේ. ඇස්තමේන්තු ගත සමස්ත පිරිවැය රුපියල් මිලියන 280කි. ඒ සමඟම කන්තලේ වැවට ප්‍රමාණවත් ජලය ලබා දීමෙන් එහි අක්කර 6500ක උක් වගා කර සීනි නිෂ්පාදන කර්මාන්තය සහ අතුරු කර්මාන්ත වැඩිදියුණු කරනු ඇත.

විශේෂයෙන්ම උතුරු, උතුරු මැද, වයඹ සහ නැ‍ගෙනහිර පළාත්වල කෘෂිකර්මික, කාර්මික, ආර්ථික සහ සමාජමය සංවර්ධනයක් මේ ව්‍යාපෘතිය මගින් සිදු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම යටතේ ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩ නැංවීමේ වැඩපිළිවෙළේ දැවැන්ත සංවර්ධන ක්‍රියාවලියක් මෙම උතුරු මැද මහ ඇළ සංවර්ධන වැඩපිළිවෙළ තුළින් ආරම්භ වනු ඇත.

දිනමිණ පුවත්පතින් කළ උපුටා ගැනීමකි.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ පී මහලියනආරච්චි – කෘෂි විද්‍යා පීඨය, සබරගමුව විශ්වවිද්‍යාලය

Recommended For You

About the Author: Editor