ගර්භණී හෝ මව්කිරි දෙන කාන්තාවන් ‘කෝවිඩ් එන්නත’ ලබා ගැනීම ගැන විශේෂඥ උපදෙස්

කොරෝනාවෛරසය ගර්භණී කාන්තාවන්ට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳ මූලික දත්ත ලබාදෙන්නේ මිශ්‍ර අදහසකි.

“ගර්භණී කාන්තාවක් විදිහට මගේ ලොකුම කනස්සල්ල වුණේ ආරක්ෂාවයි,” අයරීන් මැතිව් පවසන්නීය.

කොරෝනාවෛරස එන්නත ලබා ගත යුතුද නැද්ද කියා තීරණය කිරීමට සිදුවන විට ඇය දෙවෙනි අදියරේ ගර්භණී තත්වයේ පසුවූවාය.

එක්සත් ජනපදය වර්ජිනියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවිකාවක වන ඇය එන්නත ලබා ගැනීමට සුදුසුකම් ලැබුවාය. නමුත් වෛද්‍ය අයරීන් මැතිව් ඉදිරියේ ප්‍රශ්න රාශියක් තිබුණි.

“එක් අතකින්, මම ප්‍රාථමික සත්කාර වෛද්‍යවරියක් නිසා මට කෝවිඩ් -19 ආසාදනය වීමේ වැඩි අවදානමකුත් තිබෙනවා,” ඇය පවසයි.

“එන්නත අළුත් වුණත් එය සජීවී වෛරසයෙන් නිපදවා නැහැ. ගර්භනී කාන්තාවන්ට සජීවී නොවන එන්නත් ආරක්ෂිතව ලබා දීමේ දීර්ඝ වාර්තාවක් අප සතුව තිබෙනවා.”

“නමුත් අනෙක් අතට, ගර්භණී සමයේදී කෝවිඩ් -19 එන්නතෙහි ආරක්ෂාව පිළිබඳ දත්ත අප සතුව නැහැ.”

ගර්භණී කාන්තාවන් එන්නත ලබාගැනීම පිළිබඳ උපදෙස් මොනවාද?

ලෝක සෞඛ්‍ය සංවිධානය ෆයිසර්-බයෝ එන්ටෙක් සහ මොඩර්නා එන්නත් පිළිබඳ උපදෙස් ප්‍රකාශයට පත් කර ඇති නමුත් තවමත් ගර්භනී කාන්තාවන්ට එන්නත ලබා දීම නිර්දේශ නොකරයි.

එන්නත් හානිකර බවට තවමත් සාක්ෂි නොමැති අතර, මේ තීරණයට හේතුව දත්ත හිඟකමය.

එහෙත්, ගර්භණී කාන්තාවක් සෞඛ්‍ය සේවිකාවක ලෙස වෛරසයට නිරාවරණය වීමේ අවදානම ඉහළ මට්ටමක පවතින විට හෝ විවිධ රෝගාබාධ ඇති කෙනෙකු නම්, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ “ඔවුන්ගේ සෞඛ්‍ය සේවා සමඟ සාකච්ඡා කර එන්නත ලබා ගැනීම සලකා බැලිය හැකි” බවය.

ගර්භණී සමයේදී කෝවිඩ් -19 අවදානම ගැන ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

“ගර්භණී කාන්තාවන්ට එසේ නොවන කාන්තාවන්ට වඩා කෝවිඩ් -19 වැළඳීමේ දැඩි අවදානමක් තිබෙනවා. ඒ වගේම කෝවිඩ් -19 නොමේරූ උපත්වලට හේතුවක් වීමේ අවදානමක් ද තිබෙනවා” යනුවෙන් එම උපදෙස් මාලාවේ සඳහන් වේ.

වෛද්‍ය අයරීන් මැතිව් සිය වෛද්‍යවරයා සමඟ මෙන්ම සෞඛ්‍ය සේවයේ නිරත අනෙකුත් ගැබිණි මවුවරුන් සමඟද මේ පිළිබඳ සාකච්ඡා කළාය.

“නව එන්නතක න්‍යායාත්මක නමුත් නොදන්නා අවදානම සහ ගර්භණී අවධියේදී කෝවිඩ් -19 වැළඳීමේ සැබෑ අවදානම සලකා බැලූ විට, මට නම් තීරණය පැහැදිලිය,” වෛද්‍ය අයරීන් මැතිව් පවසයි.

ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නතෙහි පළමු මාත්‍රාව ජනවාරි මාසයේදී ඇයට ලැබුණු අතර, දෙවෙනි මාත්‍රාව පෙබරවාරි මාසයේදී ලබා ගැනීමට නියමිතය.

මේ අතර අනෙක් කාන්තාවන් වෙනස් තීරණවලට එළැඹ තිබිණ.

එක්සත් ජනපදයේ ඔහයෝ ප්‍රාන්තයේ ජොආනා සුලිවන් ජුනි මසදී සිය පළමු දරුවා අපේක්ෂාවෙන් සිටියි. නමුත් ඇය දරු ප්‍රසූතිය සිදුවන තෙක් එන්නත ලබා ගැනීමට සැලසුම් නොකරයි.

අනෙක් ගර්භණී කාන්තාවන් ප්‍රතිචාර දක්වන ආකාරය දැකීම “ප්‍රයෝජනවත්” වන නමුත්, ජොආනා සුලිවන් පවසන්නේ ඇය එන්නත දැනට ලබා නොගන්නා බවය.

දත්ත පවසන්නේ කුමක්ද?

තවමත් බොහෝ දත්ත නොමැත.

“ආරක්ෂාව ගැන දත්ත සහ ඉතා ඉහළ කාර්යක්ෂමතාවයක් තිබුණත්, භාවිතයට අවසර දී ඇති එන්නත් තවමත් ගර්භණී අය මත සායනික පරීක්ෂණ සිදු කිරීම ආරම්භ කර නැහැ,”ජෝන්ස් හොප්කින්ස් බර්මන් විශ්ව විද්‍යාලය ජෛව ආචාර්ධර්ම පීඨයේ සාමාජිකයෙකු වන කාලී කෘබිනර් පැවසීය.

ගර්භණී හා මව්කිරි ලබා දෙන කාන්තාවන්ට මෙම එන්නත්වලින් අවදානමක් ඇති බවට කිසිදු ඉඟි කිරීමක් නොමැති අතර, මෙහි ගැටලුව වන්නේ තවමත් අධ්‍යයන සිදු කර නොමැති වීමය.

Close-up Of Doctor Wearing Blue Gloves Vaccinating Young Pregnant Woman In Clinic
කෝවිඩ් -19 ඇති වැළඳුණු ගර්භණී රෝගීන්ට වැඩි අවදානමක් තිබෙන බව අපි දන්නවා. ඒ වගේම පොදුවේ ගත් කල, එන්නත් ආරක්ෂිත බවත් අපි දන්නවා”

ෆයිසර් එන්නත එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලන නීති රීති අනුගමනය කර ඇති නමුත්, ගර්භණී හා මව්කිරි දෙන කාන්තාවන් සායනික අත්හදා බැලීම්වලින් දැනට ඉවත් කර තිබේ.

බොහෝ විට සතුන් මත සිදු කරනු ලබන ‘ඩාර්ට් අධ්‍යයන’ (වැඩීම හා ප්‍රජනනයේ දී විෂ වීම්) අවසන් කිරීමෙන් පසුව ගර්භනී කාන්තාවන් පරීක්ෂාවට ලක් කරනු ඇතැයි ඔවුහු පවසති.

කොරෝනාවෛරස දත්තවලට ගර්භනී කාන්තාවන් ඇතුළත් නොවන්නේ ඇයි?

විශේෂඥයන් පවසන්නේ මෙය සාමාන්‍ය දෙයක් බවය.

“වසංගත නොවන කාලවලදී, ඔබ අළුත් එන්නතක් ගැන කතා කරන්නේ නම්, ගර්භණී කාන්තාවන්ගේ සහ ඔවුන්ගේ දරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා කැපවී සිටින වඩාත් සාධාරණ පුද්ගලයින් පවසන්නේ, ගර්භණී කාන්තාවන් මුල් සායනික අත්හදා බැලීම්වලට සම්බන්ධ කර නොගත යුතු බවයි,” ගර්භණී කාන්තාවන්ගේ අයිතිවාසිකම් සහ සෞඛ්‍යය පිළිබඳ විශේෂඥයෙකු වන ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ රූත් ෆේඩන් පැවසීය.

ජෛව ආචාර්ධර්ම විෂයේ දී ගර්භණී කාන්තාවන් විස්තර කරන්නේ “සංකීර්ණ ජනගහනයක්” ලෙස බව වෛද්‍ය රූත් ෆේඩන් පැවසීය.

“වෙනත් අවස්ථාවක ඔබට එකම තැන දෙදෙනෙක් (මව සහ කලලය) දකින්න නැහැ. මේ දෙදෙනා ගැනම සදාචාරාත්මක සැලකිල්ලක් දක්වන්න වෙනවා.”

මින් පෙර සිද්ධීන්වලදීත් දත්ත නොමැතිකම නිසා විශාල ප්‍රමාදයන් මෙන්ම ජීවිතාරක්ෂක එන්නත් ලබාගැනීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප වීම් පවා සිදු වූ බව ඇතැම් විශේෂඥයෝ සඳහන් කරති.

“ඉබෝලා රෝගය පැතිරී ගිය කාලයේ එන්නත් ලබා ගැනීමේ පළමු වටයේ දී කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ සිටි ගැබිණි සහ මව්කිරි දෙන කාන්තාවන්ට එන්නත් ලබා ගැනීමට ඉඩ දුන්නේ නැහැ,” කාලී කෘබිනර් පැවසීය.

“රෝගයෙන් පීඩාවට පත් ප්‍රජාවන්හි කාන්තාවන් ඔවුන් මරණයට යවන බවට හඬ නැගුවා. මරණීය මෙන්ම තමන්ගේ කළලය විනාශ වීමේ 100%ක් ඉඩ ඇති රෝගයකින් ඔවුන්ට ආරක්ෂාව නොලැබීම එයට හේතු වුණා.”

ඇය පවසන්නේ මව්කිරි දෙන සමහර කාන්තාවන් එන්නත් ලබා ගැනීමේ අටියෙන් අනවශ්‍ය ලෙස “මව්කිරි දීමේ නිවාඩු” ගැනීමට තීරණය කළ බවය.

වර්තමාන වසංගතය ගැන ඇය සඳහන් කරන්නේ, “දත්ත නොමැතිකම නිසා බොහෝ වාසි ඇති ආරක්ෂිත එන්නත් භාවිත කිරීමට පසුබට වෙන්න පුළුවන්. ඒ නිසා මවගේ හා අලුත උපන් බිලිඳාගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීමට තිබුණු එන්නත ලබා දීම නතර වෙන්නත් පුළුවන්. “

විවිධ රටවල් මෙයට ප්‍රවේශ වන්නේ කෙසේද?

ගර්භණී සමයේදී කාන්තාවන්ට එන්නත් ලබා දීමේදී විවිධ රටවල් විවිධ ප්‍රවේශයන් අනුගමනය කරති.

එක්සත් රාජධානිය ඇතුළු සමහර රටවල් ලෝක සෞඛ්‍ය සංවිධානයට සමාන උපදෙස් ලබා දෙති.

“දැනට ඇති දත්ත මත, ගර්භණීභාවයට හානියක් හෝ ආරක්ෂාව ගැන සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් නොකලද, ගර්භණී සමයේදී කෝවිඩ් -19 එන්නත් නිතිපතා භාවිතා කිරීම නිර්දේශ කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නැහැ” යැයි රාජකීය ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විද්‍යාලය (RCOG) පැවසීය.

AFemale doctor visiting her patient at her home for the routine medical exam during coronavirus pandemic lockdown.

“ගර්භණී කාන්තාවක් අතිශයින්ම අවදානමට ලක්විය හැකි යැයි අර්ථ දැක්වීමට අයත් පිරිස අතර සිටින්නේ නම්, ඇය කොවිඩ් -19 එන්නත ලබා ගැනීම ගැන ඇගේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයා හා / හෝ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කළ යුතුයි. මෙයට හේතු වන්නේ ඔවුන්ගේ නිධන්ගත රෝග තත්වය නිසා කොවිඩ් 19 වැළඳුනොහොත් බරපතල සංකූලතා ඇතිවීමේ අවදානමක් ඇති නිසයි.”

මව්කිරි දෙන කාන්තාවන් සම්බන්ධයෙන්, රාජකීය ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විද්‍යාලය පවසන්නේ “අවදානමක් ගැන මෙතෙක් දැනුවත් නොමැති” බවය. නමුත් මේ සම්බන්ධයෙන් තවමත් දත්ත නොමැතිකම ගැන ද සඳහන් කර ඇත.

මවට හෝ කලලයට හානි සිදු නොවන බව පෙනෙන්නට ඇති නිසා ඊශ්‍රායලය ඇතුළු තවත් රටවල්, කෝවිඩ් -19 එන්නත සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන අය අතරට රෝගාබාධ අවදානම ඉහළ ගර්භනී කාන්තාවන් ද ඇතුළත් කර තිබේ.

නමුත්, ඉන්දියාව පැහැදිලිවම ප්‍රකාශ කර ඇත්තේ ගර්භණී සහ මව්කිරි දෙන කාන්තාවන්ට වැඩිදුර අධ්‍යයනය සිදු කරන තුරු එන්නත් ලබා දීම සිදු නොකළ යුතු බවය.

දත්ත ලබා ගත හැකි වන්නේ කවදාද?

ගර්භණී කාන්තාවන් සම්බන්ධයෙන් සායනික අත්හදා බැලීම්වල දත්ත ලැබීමට “මාස ගණනක් හෝ අවුරුදු ගණනක් ගත වෙන්න පුළුවන්” යැයි බෙත් ඊශ්‍රායල උපස්ථායන වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රසව හා නාරිවේද විශේෂඥවරියක් සහ හාවඩ් වෛද්‍ය විද්‍යාලයේ උපදේශකවරියක් වන හුමා ෆරීඩ් පැවසුවාය.

එන්නත් සායනික අත්හදාබැලීම් අතරතුර ගැබ් ගත් කාන්තාවන් අතළොස්සක් ද සිටින අතර ඔවුන් ගර්භණී කාලය තුළ නිරීක්ෂණය කරනු ලැබේ.

කෙසේවෙතත්, කොරෝනාවෛරසය ගර්භණී කාන්තාවන්ට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳ මූලික දත්ත ලබාදෙන්නේ මිශ්‍ර අදහසකි.

එක්සත් ජනපදයේ රෝග පාලන මධ්‍යස්ථාන පවසන්නේ ගර්භනී කාන්තාවන්ට කෝවිඩ් -19 ආසාදනය වුවහොත් දරුණු ලෙස රෝගාතුර වීම හා මරණයට පත්වීමේ අවදානම වැඩි බවය.

“ගර්භණී කාලයේ දී ආසාදනය වීමෙන් නොමේරූ උපත් සඳහා වැඩි සම්භාවිතාවක් ඇති බවට ලැබී ඇති දත්ත වලින් පෙනී යනවා” යැයි කාලී කෘබිනර් පැවසීය.

මීට හාත්පසින්ම වෙනස් අදහසක් දක්වන එක්සත් රාජධානිය පවසන්නේ වර්තමාන සාක්ෂිවලට අනුව, ගර්භණී කාන්තාවන්ට කොරෝනාවෛරසය වැළඳුනහොත් අනෙකුත් සෞඛ්‍ය සම්පන්න වැඩිහිටියන්ට වඩා බරපතල ලෙස අසනීප වීමේ අවදානමක් නොමැති බවය. ගර්භණී කාන්තාවන්ගෙන් බහුතරයක් අත්විඳින්නේ අවම හෝ මධ්‍යස්ථ රෝග ලක්ෂණ පමණි.

ගර්භණී කාන්තාවන්ට ලැබෙන පණිවිඩය කුමක් ද?

බොහෝ වෛද්‍ය වෘත්තිකයින් දරුණු ආසාදනයක් පිළිබඳ සුළු යෝජනාවක් පවා සැලකිල්ලට ගනිති.

“කෝවිඩ් -19 ඇති වැළඳුණු ගර්භණී රෝගීන්ට වැඩි අවදානමක් තිබෙන බව අපි දන්නවා. ඒ වගේම පොදුවේ ගත් කල, එන්නත් ආරක්ෂිත බවත් අපි දන්නවා” යැයි වෛද්‍ය හුමා ෆරීඩ් පැවසීය.

ඇය විශේෂයෙන් සඳහන් කරන්නේ වෛරසයේ ජාන කේතයේ ඉතා කුඩා කොටසක් භාවිත කරන මොඩර්නා සහ ෆයිසර් එම් ආර් එන් ඒ එන්නත් ගැනය.

මෙමගින් ශරීරය තුළ වෛරසයේ කොටසක් නිර්මාණය කිරීමට පටන් ගන්නා අතර, එය ආගන්තුයෙක් ලෙස හඳුනා ගන්නා ප්‍රතිශක්තිකරණ පද්ධතිය එයට පහර දීම ආරම්භ කරයි.

“සාර්ස් Co-V-2 වලට එරෙහි එන්නත සජීවී එන්නතක් නොවෙයි. ගර්භණී සමයේදී හානිකර බව පෙන්වූ එකම එන්නත මෙයයි. එයට හේතුව වන්නේ පෝලියෝ හෝ පැපොල රෝගය සඳහා එන්නත් වගේම මේ එන්නතෙත් දුර්වල කළ වෛරසයේ සජීවී කොටසක් තිබීමයි.”

Young pregnant woman with protective face mask reading book sitting on a bench in city park in autumn.

වෛරසය වැළඳීමේ උපරිම අවදානමක සිටින එක්සත් ජනපදයේ සෞඛ්‍ය සේවයේ යෙදෙන ගර්භණී කාන්තාවන් එන්නත ලබා ගැනීමට උනන්දු විය යුතු යැයි ඇය පැවසීය.

“මෙය එක් එක් රෝගියාගේ තනි තීරණයක්. නමුත් මම ඔවුන් සමඟ වෛරසය ගැන මෙන්ම එන්නත ගැනත් සාකච්ඡා කරන්න උත්සාහ කරනවා. මෙහි ඇති අවදානම සහ ප්‍රතිලාභ ගැන මගේ සෑම රෝගියෙකු සමඟම එකතු වී විශ්ලේෂණය කරනවා.”

සෑම ගර්භණී කාන්තාවක්ම තම වෛද්‍යවරයා සමඟ මෙම කරුණු සාකච්ඡා කළ යුතු යයි ඇය නිර්දේශ කරන අතර, ප්‍රතිඵලය කුමක් වුවත්, දෑත් පිරිසිදු කිරීම, මුහුණු ආවරණ පැළඳීම, ශාරීරික දුරස්ථබාවය ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙස ඇය ඉල්ලා සිටියාය.

තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී තම රෝග තත්වයන් සැලකිල්ලට ගත යුතු බව කාලී කෘබිනර් අවධාරණය කරයි.

“තමන්ට පවතින රෝගී තත්වයන් නිසා කෝවිඩ් -19 වැළඳීමේ දැඩි අවදානමක් ඇති අය මේ තීරණය මැන බැලිය යුත්තේ වෙනස්ම විදිහකට. ඔවුන් එන්නත ලබා නොගෙන අනාරක්ෂිතව සිටියහොත්, ඔවුන්ට සහ ඔවුන්ගේ ළදරුවන්ට වෛරසය ආසාදනය වීමෙන් බරපතල ප්‍රතිවිපාක ඇතිවිය හැකියි.”

අවම වශයෙන් ප්‍රධාන අංශ තුනක් සලකා බලන මෙන් වෛද්‍ය හුමා ෆරීඩ් මෙන්ම කාලී කෘබිනර් ද නිර්දේශ කරති:

  • නිරාවරණය වීමේ අවදානම
  • දරුණු රෝග ඇතිවීමේ අවදානම සහ
  • වෙනත් වැළැක්වීමේ පියවරයන්ට සාපේක්ෂව එන්නතෙහි ප්‍රතිලාභ

මව්කිරි දෙන කාන්තාවන් ගැන කුමක් කිව හැකිද?

මව්කිරි දෙන කාන්තාවන්ට කෝවිඩ් -19 එන්නත ලබා ගැනීමට සුදුසුකම් තිබේ නම්, එය අත්හැර දැමීමට කිසිදු හේතුවක් නොමැති බව විශේෂඥයන් අතර පොදු එකඟතාවක් පවතී.

“මව්කිරි දෙන කාන්තාවන්ට එන්නත ලබා ගැනීමට මම උනන්දු කරනවා. මොකද ඔවුන් එන්නත ලබා ගැනීමෙන් පසු වෛරසයට එරෙහිව නිපදවන ඕනෑම ප්‍රතිදේහයක් ඔවුන්ගේ මව්කිරි තුළට ඇතුළු වී, ඒවා ඔවුන්ගේ ළදරුවන්ට කොරෝනාවෛරසයෙන් යම් ආරක්ෂාවක් ලබා දීමට උපකාරී වෙන්න පුළුවන්,” වෛද්‍ය හුමා ෆරීඩ් පැවසුවාය.

Two people, mother with protective mask breastfeeding her baby son at home

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, මව්කිරි දෙන කාන්තාවන් හෝ ඔවුන්ගේ ළදරුවන්ට කෝවිඩ් -19 වැළඳීමේ දැඩි අවදානමක් ඇති බවට තවමත් කිසිදු සාක්ෂියක් නොමැත.

මව්කිරි දෙන කාන්තාවක් එන්නත සඳහා නිර්දේශ කරනු ලබන කණ්ඩායමක කොටසක් නම්, “එන්නත ලබා ගත හැකියි” යනුවෙන් නිර්දේශවල සඳහන් වේ.

එන්නත සරුබවට බලපාන්නේද?

ගැබ් ගැනීමට උත්සාහ කරන කාන්තාවන් සම්බන්ධයෙන් විශේෂඥයන් මූලික සාක්ෂි සොයා බලා ඇති අතර, එන්නත ලබා ගැනීමෙන් පසු ගැබ් ගැනීම වළක්වා ගත යුතු නැත.

“කෝවිඩ් -19 එන්නත් සරුබව කෙරෙහි බලපාන බවට කිසිදු සාක්ෂියක් නැහැ. මෙම එන්නත් සරුබව කෙරෙහි බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව ජීව විද්‍යාත්මකව පිළිගත හැකි යාන්ත්‍රණයක් නැහැ” යැයි කාලී කෘබිනර් පැවසුවාය.

“ඇත්ත වශයෙන්ම, දැනට බලයලත් එන්නත් සඳහා වන සායනික අත්හදා බැලීම්වලට ගර්භණී කාන්තාවන් ඇතුළත් කර නැතත්, අධ්‍යයන කාලය තුළ කාන්තාවන් ගණනාවක් ගැබ්ගෙන තිබෙනවා. ප්‍රජනක හැකියාවන්ගෙන් යුත් කාන්තාවන් ඇතුළත් කර ගැනීම මහා පරිමාණ එන්නත් අත්හදා බැලීම්වල අසාමාන්‍ය දෙයක් නොවෙයි.”

“මෙම එන්නත් මඟින් දරුවෙකු පිළිසිඳ ගැනීම සම්බන්ධයෙන් කිසිදු අවදානමක් නොමැති බවට කාන්තාවන්ට සහතික විය යුතුයි.”

විශේෂඥයන් බලාපොරොත්තු වන්නේ කාලයත් සමඟ මෙම තත්වය වඩාත් පැහැදිලි වනු ඇති බවය.

“ගර්භණී අධ්‍යයනයන් ආරම්භ කිරීමෙන් පසු හා සෞඛ්‍ය සේවක ගර්භණී කාන්තාවන්ට එන්නත ලැබීමත් සමඟ අපට වඩා හොඳ සාක්ෂි ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා” යැයි කාලී කෘබිනර් පැවසුවාය.

“ඒ නිසා, ඉදිරියට යන විට, කෝවිඩ් -19 එන්නත ලබා දීමට නියමිත සියලුම ගර්භණී කාන්තාවන්ට වඩාත් සවිබලව සහ දැනුවත්ව තේරීම් සිදු කිරීමට හැකි වේවි.”

Text by – bbc sandesaya

Recommended For You

About the Author: Editor