බුරුම හමුදාව මර්දනය දැඩි කරද්දී ‘ජාත්‍යන්තරයෙන් ද දැඩි පීඩනයක්’

රටේ ස්ථාවරභාවය’ වෙනුවෙන් හමුදාව ෆේස්බුක් අවහිර කරයි

ප්‍රජාතන්ත්‍රවාදී රජය පෙරලා දමා දින කිහිපයකට පසු මුහුණුපොත වෙත පිවිසීමට ඇති හැකියාවන් අවහිර කළ මියන්මාරයේ හමුදා පාලකයෝ අවුං සාන් සූ චී නායකත්වය දෙන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගයේ (NLD) තවත් නායකයෙකු ද අත්ඩංගුවට ගත්හ.

පක්ෂයේ ජ්‍යෙෂ්ට නායකයෙකු වන වින් හ්ටේන් (Win Htein) සිකුරාදා උදෑසන සිය නිවසේදී අත්අඩංගුවට ගනු ලැබිණ.

ෆේස්බුක් අවහිර කිරීම ගැන බලධාරීන් පැවසුවේ – මියන්මාරයේ බොහෝ දෙනෙකුට මාර්ගගත තොරතුරු සපයන ප්‍රධාන මූලාශ්‍රය වන මෙම සමාජ මාධ්‍ය වේදිකාව “රටේ ස්ථාවරභාවය” සඳහා අවහිර කරන බවයි.

මුහුණුපොත ඇතුළු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සඳුදා සිදුවූ කුමන්ත්‍රණයට ප්‍රබල විරෝධයක් පළවෙමින් තිබිණ.

මහජනතාව රටේ යම් යම් නීතින් නොපිළිපැදීම වැනි විරෝධතාවන්හි තවදුරටත් යෙදී සිටියදී නීති සම්පාදකයින් අගනුවර ඔවුන් රැඳී සිටින ස්ථානයන්ගෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කරන අතර, හමුදා පාලනයට එරෙහි විරෝධතාවයන්ගේ වැඩිවීමක් යන්ගොන්හි දක්නට ලැබුණි.

කෙටි කාලීන බහුතර සිවිල් පාලනය අවසන් කළ, ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානී මින් අවුන්ග් හේලින්ග්ගේ නායකත්වයෙන් ඇතිවූ, කුමන්ත්‍රණය 11 දෙනෙකුගෙන් යුත් ජුන්ටාවක් හෙවත් රාජ්‍ය යාන්ත්‍රණයක් ස්ථාපනය කළේය.

හමුදාව කියා සිටියේ නොවැම්බරයේ පැවති මැතිවරණයක් වංචනික බවය – එහෙත් එවැනි ප්‍රකාශයන්ට සහාය දැක්වීමට කිසිදු සාක්ෂියක් නොමැති බව එරට මැතිවරණ කොමිසම පැවසීය.

Yangon University Teachers Association protest
විශ්විද්‍යාල ආචාර්යවරු ද විරෝධතාවලට එක්ව සිටියහ

ජන්දයෙන් තේරී පත් වූ සිවිල් නායක අවුං සාන් සූ චී සහ ජනාධිපති වින් මයින්ට් යන දෙදෙනා රඳවාගෙන සිටි අතර බදාදා පොලිසිය ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කළේය.

නීති විරෝධී සන්නිවේදන උපකරණ – ඇගේ ආරක්ෂක කාර්ය මණ්ඩලය භාවිත කරන වෝකි ටෝකි යන්ත්‍ර- ළඟ තබා ගැනීම ඇයට එරෙහි චෝදනාවලට ඇතුළත් වේ.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය (එන්එල්ඩී) විසින් තීරණාත්මක ලෙස ජයග්‍රහණය කරන ලද පසුගිය නොවැම්බරයේ පැවති මැතිවරණය සඳහා මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටියදී කෝවිඩ් නීති උල්ලංඝනය කළ බවට ජනාධිපති මයින්ට්ට චෝදනා එල්ල වී ඇත.

මුහුණුපොතෙහි කාර්යභාරය කුමක්ද?

පෙබරවාරි 7 වනදා දක්වා මුහුණුපොත වෙත පිවිසීම අවහිර කරන බව සන්නිවේදන හා තොරතුරු අමාත්‍යාංශය පවසයි. කෙසේ වෙතත්, එයට වරින් වර ප්‍රවේශ විය හැකි බව වාර්තා විය.

යැන්ගොන් නුවර සංචාරක ඒජන්සියක් පවත්වාගෙන යන ඇන්තනි අවුං එක් අවස්ථාවක බීබීසීයට පැවසුවේ තමාට තවමත් වයිෆයි තාක්ෂනය හරහා වෙබ් අඩවියට පිවිසිය හැකි නමුත් ජංගම දුරකථන ඔස්සේ පිවිසිය නොහැකි බවය.

“මා අවට සිටින සියල්ලන්ම විකල්ප යෙදුම් සහ වීපීඑන් බාගත කිරීමට යුහුසුළු වෙමින් ඉන්නවා,” ඔහු පැවසීය. අතථ්‍ය පෞද්ගලික ජාල (virtual private networks), පරිශීලකයින්ට අන්තර්ජාල සීමාවන් මගහැර අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමට ඉඩ සලසයි.

පැය කිහිපයකට පසු අවුං සාන් සූ චී පැවසුවේ මුහුණුපොතට ඇති සම්බන්ධකතාව සම්පූර්ණයෙන්ම නතර කර ඇති බවයි.

යැන්ගොන් හි වෙසෙන සිසුවියක වන මින් හෙටෙට් පැවසුවේ කෝවිඩ් වසංගතය හේතුවෙන් ඇගේ අධ්‍යාපනය දැනටමත් අත්හිටුවා ඇති බවයි. “අද මුහුණුපොත අවහිර කිරීම කියන්නේ යෞවනයන්ගේ නිදහස මෙතැන් සිට සීමා කරල කියන එක,” ඇය රොයිටර් පුවත් සේවයට පැවසුවාය.

මියන්මාරයේ මිලියන 54 ක ජනතාවගෙන් අඩක් ෆේස්බුක් භාවිත කරන අතර ක්‍රියාකාරීන් හමුදා කුමන්ත්‍රණයට එරෙහි විරෝධය සම්බන්ධීකරණය කිරීම සඳහා මුහුණුපොතේ පිටුවක් සකසා ඇත.

බුරුමය ලෙසද හැඳින්වෙන මියන්මාරයේ මුහුණුපොත ජනප්‍රිය විය. සමාගම මුලින් සිය යෙදුම දත්ත පිරිවැයකින් තොරව භාවිත කිරීමට ඉඩ දුන් බැවින් පාරිභෝගිකයින්ට මිල අධික දුරකථන ගාස්තු ගෙවීමෙන් වැළකියා හැකි විය.

“මියන්මාරයේ ජනතාවට ඔවුන්ගේ පවුල් හා මිතුරන් සමඟ සන්නිවේදනය කිරීමට සහ වැදගත් තොරතුරු ලබා ගැනීමට හැකි වන පරිදි සම්බන්ධතාවය යථා තත්වයට පත් කරන ලෙස අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු,” යනුවෙන් ෆේස්බුක් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

නෝර්වීජියානු ටෙලිනර් සමූහයේ කොටසක් වන ටෙලිනෝර් මියන්මාර දුරකථන සමාගම මුහුණුපොත අවහිර කිරීමේ නියෝගයට අනුකූල වන බව ප්‍රකාශ කළ නමුත් ඔවුන්ගේ ප්‍රකාශයක් මගින් ඉඟි කරන්නේ මෙය මානව හිමිකම් නීතිය උල්ලංඝනය කිරීමක් බවයි.

වීථිවල සිදුවන්නේ කුමක්ද?

මියන්මාරයේ දෙවන නගරය වන මැන්ඩලේහි විශ්ව විද්‍යාලයක් ඉදිරිපිට කුඩා විරෝධතාවක් පවත්වා තිබේ. එහිදී සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

විරෝධතාකරුවන් යැන්ගොන්වල වීදි බැස
විරෝධතාකරුවන් යැන්ගොන් නුවර වීථි බැස

යැන්ගොන් නගරයේ වැසියන් භාජන වලට පහර දෙමින් දෙවන දිනයටත් රාත්‍රියේ විරෝධතාවයේ යෙදින.

නගරයේ කාන්තාවක් බීබීසීයට පැවසුවේ “මෙම මිලිටරි කුමන්ත්‍රණයට අප එකඟ නොවන බව හමුදා රජයට සහ ලෝකයට දැන ගැනීමට අවශ්‍ය වන නිසා අපි බෙර වාදනය කරන්නේමු … මට අපේ නායක අවුං සාන් සූ චී ට නැවත බලය ලබාදීමට අවශ්‍යයි.”

අවම වශයෙන් එන්එල්ඩී පක්ෂයේ නීති සම්පාදකයින් 70 දෙනෙකු වත් අගනුවර වන නයි පයි තව් හි රජයේ සංචාරක නිවාසයක් අතහැර යාම ප්‍රතික්ෂේප කරන අතර ඔවුන් නව පාර්ලිමේන්තු සැසිවාරයක් කැඳවන බව ප්‍රකාශ කර ඇති බව බීබීසී බුරුම සේවය වාර්තා කරයි.

ඔවුන්ට පිටව යාමට නිදහස ඇති බව හමුදාව විසින් පැවසීමට පෙර අමුත්තන්ගේ නිවාසවලට කොටු කරන ලද සිය ගණනක් දෙනා අතර නීති සම්පාදකයින් ද සිටියහ.

ප්‍රධාන විරෝධතාවයක කිසිදු සලකුණක් නොතිබීමත් රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවීමත් නිසා වීදි බොහෝ දුරට සන්සුන් ය.

කෙසේ වෙතත්, බොහෝ වෛද්‍යවරුන් එක්කෝ වැඩ නතර කර ඇත, නැතහොත් විරෝධතා සංකේත පැළඳ සේවය කිරීම නිසා රෝහල් වල විරෝධතා දැක ගත හැකිය.

එහෙත් ‘ටට්මඩෝ’ නමින් හැඳින්වෙන හමුදාවට සහාය දක්වමින් දහස් ගණනකගෙන් යුත් රැළියක් නයි පයි තව් හි දී සිදු විය. සමහරු “මිනිසුන්ට ආදරය කරන ටට්මඩෝ” යැයි කියමින් බැනර් ඉහලට වැනීය. (‘ටට්මඩෝ’ යනු මියන්මාරයේ ත්‍රිවිධ හමුදාවේ නිල නාමයයි)

අගනුවර හමුදා තන්ත්‍රයට සහාය දැක්වීම සඳහා රැළියක් පැවැත්විණි
හමුදා තන්ත්‍රයට සහාය දැක්වීම සඳහා අගනුවර රැළියක් පැවැත්විණි

‘නියත වශයෙන්ම පිළිගත නොහැකිය’

මේ අතර එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මියන්මාරයේ ව්‍යවස්ථාපිත පාලනය නැවත ස්ථාපිත කරන ලෙස ඉල්ලා තිබේ.

“මැතිවරණයේ ප්‍රථිපල සහ ජනතාවගේ කැමැත්ත ආපසු හැරවීම කිසිසේත්ම පිළිගත නොහැකිය,” යනුවෙන් ඔහු පැවසීය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඔවුන්ගේ “දැඩි අවධානය” ප්‍රකාශ කරමින් යෝජනාවක් සම්මත කළ අතර අවුං සාන් සූ චී වහාම නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේය.

“මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී සංක්‍රාන්තියට අඛණ්ඩව සහයෝගය දැක්වීමේ අවශ්‍යතාව ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් අවධාරණය කළහ,” කවුන්සිලයේ සාමාජිකයන් 15 දෙනා එකඟ වූ නිවේදනයක සඳහන් වේ.

කුමන්ත්‍රණය හෙළා දකිමින් ප්‍රකාශයක් කිරීමට බදාදා කවුන්සිලය අපොහොසත් විය. ඒ ස්ථිර සාමාජිකයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු වන චීනය නිෂේධ බලය භාවිතා කරමින් එය අවහිර කිරීම නිසාවෙනි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඊට විරෝධය පළ කරමින් රතු රිබන් පැළඳ සිටී
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවක, සේවිකාවෝ කුමන්ත්‍රණයට විරෝධය පළ කරමින් රතු රිබන් පැළඳ සිටියහ

චීනය දිගු කලක් තිස්සේ මියන්මාරයට ජාත්‍යන්තර අතපෙවීමෙන් ආරක්ෂා කිරීමේ කාර්යභාරයක් ඉටු කර ඇති අතර, කුමන්ත්‍රණයෙන් පසුව අනතුරු ඇඟවූයේ සම්බාධක හෝ ජාත්‍යන්තර බලපෑම් නිසා තත්වය වඩාත් නරක අතට හැරෙනු ඇති බවය.

සුළුතර මුස්ලිම් රෝහින්ග්‍යා ජනතාවට එරෙහි හමුදා මර්දනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විවේචන වලින් නැවත නැවතත් රුසියාව සමඟ එක්ව චීනය විසින් මියන්මාරය ආරක්ෂා කර තිබේ.

මියන්මාරය පිළිබඳ වැදගත් කරුණු

මියන්මාරය යනු ගිනිකොනදිග ආසියාවේ මිලියන 54 ක ජනතාවක් සිටින රටක් වන අතර එය බංග්ලාදේශය, ඉන්දියාව, චීනය, තායිලන්තය සහ ලාඕසය සමඟ දේශසීමාවන හි පිහිටා ඇත.

එය 1962 සිට 2011 දක්වා පීඩාකාරී හමුදා රජයක් විසින් පාලනය කරන ලද අතර එය ජාත්‍යන්තර හෙලාදැකීමට හා සම්බාධකවලට තුඩු දුන්නේය.

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සඳහා අවුං සාන් සූ චී වසර ගණනාවක් තිස්සේ උද්ඝෝෂණය කළේය. හමුදාව තවමත් සැලකිය යුතු බලපෑමක් රඳවාගෙන සිටියද, ක්‍රමයෙන් ලිබරල්කරණය 2010 දී ආරම්භ විය.

2015 දී නිදහස් මැතිවරණයෙන් පසු සූ චී ගේ නායකත්වයෙන් යුත් රජයක් බලයට පත්විය. එහෙත් වසර දෙකකට පසු රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එල්ල වූ මාරාන්තික මිලිටරි මර්දනයක් සිය දහස් ගණනක් බංග්ලාදේශයට පලා ගොස් සූ චී සහ ජාත්‍යන්තර ප්‍රජාව අතර මතභේදයක් ඇති කළේය.

ඇය රට තුළ තවමත් ජනප්‍රිය අතර 2020 නොවැම්බරයේ පැවති මැතිවරණයෙන් ඇගේ පක්ෂය යළිත් ජයග්‍රහණය ලැබීය. එහෙත් හමුදාව දැන් යළිත් වරක් පාලනය අතට ගැනීමට පියවර ගෙන තිබේ.

Text by – bbc sandesaya

Recommended For You

About the Author: Editor