දැඩි අවධානය යොමු විය යුතු ‘ප්‍රතිජීවක ප්‍රතිරෝධතාව’ ගැන ඔබ දැනුවත් ද ?

ප්‍රතිජීවක යනු හානිදායක බැක්ටීරියා නිසා ඇතිවන ආසාදන රෝග මැඩලීම සඳහා භාවිත කරන ඖෂධ විශේෂයකි. ප්‍රතිජීවක, හානිදායක බැක්ටීරියා වර්ධනය අඩාල කිරීම මගින් හෝ මෙම බැක්ටීරියා සම්පූර්ණයෙන් ම විනාශ කර දැමීම මගින් ආසාදන රෝග සුව කරයි.

1928 දී ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්ග් විසින් ලොව ප්‍රථම ප්‍රතිජීවකය ලෙස පෙනිසිලින් සොයා ගන්නා ලදී. අද වන විට විද්‍යාඥයින් විසින් 100කට අධික ප්‍රතිජීවක ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් වී තිබේ.

ඇමොක්සිලින් (amoxillin) සිප්රොෆ්ලොක්ස්සසීන් (cliprofloxacin ) සහ එරිත්‍රොමයිසින් (Erythromycin) මින් සමහරකි.

ප්‍රතිජීවක සොයා ගැනීමත් සමඟ ලොව පුරා විවිධ ආසාදනවලින් පීඩා විඳි මිලියන ගණනක් ජනතාවගේ ජීවිත සුවපත් කිරීමට හැකි විය.

නමුත් කාලයාගේ ඇවෑමෙන් පරිණාමයේ ප්‍රතිඵලයක් ලෙස අද වන විට සමහරක් බැක්ටීරියා ප්‍රතිජීවකවලට ප්‍රතිරෝධී යාන්ත්‍රණයක් ගොඩනඟා ගැනීමට සමත් වී තිබේ. මෙය ප්‍රතිජීවක ප්‍රතිරෝධතාවය ලෙස හැඳින්වේ. ප්‍රතිජීවක ප්‍රතිරෝධතාවය පරිණාමණයේ ප්‍රතිඵලයක් ලෙස සිදුවන ස්වාභාවික ක්‍රියාවලියක් ලෙස දැක්විය හැකි ය.

එහෙත් වර්තමානය වන විට මිනිසාගේ නොසැලකිලිමත්කම සහ නොදැනුවත්කම නිසා මෙම ක්‍රියාවලිය ශීඝ්‍ර ලෙස සිදුවෙයි. මේ ක්‍රියාවලිය හේතුවෙන් නිර්මාණය වන ප්‍රතිජීවක ප්‍රතිරෝධී බැක්ටීරියා, දැනට පවතින ප්‍රතිජීවකවලට සුව කළ නොහැකි බැක්ටීරියා ආසාදන රෝග ඇති කිරීමට සමත් වී තිබේ. මේ හේතුවෙන් අද වන විට ප්‍රතිජීවක ප්‍රතිරෝධතාවය ලෝකයේ ප්‍රධාන ගැටලුවක් බවට පත් වී තිබේ.

අද වන විට බොහෝ දෙනා වෛද්‍යවරුන්ගේ නිර්දේශයකින් තොරව, සුළු සුළු රෝග සඳහා අධික ලෙස හා අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධ භාවිත කිරීමට පෙළඹී තිබේ. එමෙන් ම ප්‍රතිජීවක ක්‍රියා නො කරන සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ වැනි වෛරස මගින් ඇති කරන රෝග සඳහා ද බොහෝ පිරිසක් ප්‍රතිජීවක ඖෂධ භාවිත කරයි. මෙවැනි හේතු ප්‍රතිජීවක ප්‍රතිවිරෝධී බැක්ටීරියා වර්ධනය වීම සඳහා ප්‍රධාන ලෙස බලපායි.ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාවයට තවත් එක් හේතුවක් ලෙස සත්ත්ව ගොවිපළවල සත්ත්ව ඖෂධයක් ලෙස ප්‍රතිජීවක අධික වශයෙන් භාවිත කිරීම දැක්විය හැකි ය.

මෙම ගැටලු‍ව මැඩලීම සඳහා ප්‍රතිජීවක ලබා ගන්නා රෝගීන් මෙන් ම ප්‍රතිජීවක නිර්දේශ කරන වෛද්‍යවරුන් මත ද විශාල කාර්යභාරයක් රඳා පවතියි. වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරන ආකාරයට නියමිත මාත්‍රාවලින් ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම සිදු කළ යුත්තකි.එමෙන් ම දෙන ලද ප්‍රතිජීවක මාත්‍රාව අවසන් වන තෙක් ම භාවිත කළ යුතු ය.

රෝග ලක්ෂණය සුව වීම නිසා ප්‍රතිජීවක භාවිතය අතරමඟ දී නතර නො කළ යුතු ය.එමඟින් ආසාදනය ඇති කරන බැක්ටීරියාව මුළුමනින් ම විනාශ නො වීම නිසා ඒවා ප්‍රතිජීවකවලට ප්‍රතිරෝධී ලෙස වර්ධනය වීමේ ප්‍රවණතාවයක් ඇත.එමෙන් ම කිසි ම විටක දී එක් පුද්ගලයකුට නියම කරන ලද ප්‍රතිජීවක, තවත් පුද්ගලයකු විසින් වෛද්‍ය නිර්දේශයකින් තොරව භාවිත කිරීම ද නො කළ යුත්තකි.තව ද සෙම්ප්‍රතිශ්‍යාව, උණ වැනි වෛරස ආසාදනය සඳහා ප්‍රතිජීවක පාවිච්චි කිරීම නිශ්ඵල ක්‍රියාවකි.

මෙම ගැටලූ‍වට පිළියමක් ලෙස නව ප්‍රතිජීවක සොයා ගැනීම දැක්විය හැකි වුවත් විශාල පර්යේෂණ ප්‍රමාණයක් තුළින් වුව ද පසුගිය වසර 30 තුළ නිෂ්පාදනය කිරීමට හැකි වී ඇත්තේ එක් ප්‍රතිජීවක ඖෂධයක් පමණි. මේ හේතුවෙන් ප්‍රතිජීවක ප්‍රතිරෝධතාවය සුළුවෙන් තැකිය හැකි ගැටලුවක් නොවේ. මිනිස් වර්ගයාගේ පැවැත්මට තර්ජනයක් වී ඇති මේ ගැටලුව පාලනය කිරීම සඳහා උපරිම ලෙස කටයුතු කිරීම අප සැමගේ යුතුකමකි.

විදුශිඛා මද්දුම බණ්ඩාර 
ව්‍යවහාරික විද්‍යාපීඨය 
ක්ෂුද්‍රජීවවිද්‍යා (විශේෂ) උපාධි අපේක්ෂක 
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

Recommended For You

About the Author: Editor