මේ යෝජනා 05 ‘නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පාරට බහින අයට’ නොවේ

මේ ගෝසාකාරී අන්තරේට, පෙරටුගාමීන්ට හා පාර්ලිමේන්තු සුවපහසුව බුක්ති විඳින ජ.වි.පෙට නොවේ. මේ යහපත් අනාගතයක් වෙනුවෙන් විසඳුම් අවශ්‍ය,  දියුණු පුරවැසියන්ගේ සංවාද, කතිකා වෙනුවෙනි.

බරපතල බිඳවැටීමක තිබූ, කොරෝනාව විසින් තවත් අවුල්කර දමා ඇති අධ්‍යාපනය ගොඩ ගැනීමට අන්තරේටවත් පෙරටුගාමීන්ටවත් ජ.වි.පෙටවත් ඔවුන්ට සම්බන්ධ හා “ස්වාධීන” යැයි කියා ගන්නා ගුරු සංගම් වලටවත් අධ්‍යාපනඥයින් සේ පෙනී සිටින අයටවත් වහා ගත යුතු පියවර සහ අනාගතය වෙනුවෙන් දුරදිග යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කිරීමේ කිසිදු උවමනාවක් නැත. ඔවුන්ට වුවමනාවක් නොවුනාට අධ්‍යාපනයේ පවතින බරපතල අවුල වහා විසඳා ගැනීම සමාජ අවශ්‍යතාවයකි.  

එබැවින් ඒ වෙනුවෙන් වහා කළ යුත්තක් වන්නේ,  “ඔන්ලයින් පංති” යැයි අන්තර්ජාලය හරහා කෙරෙන දුරස්ථ පංති පැවැත්වීම පිළිබඳව කිසිදු දැනුමක් නැති ගුරුවැරුන් හා ඒ වෙනුවෙන් ගුරුවරුන් අලුතින් පුහුණු කිරීමේ කිසිදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ නොහැකි අධ්‍යාපන අධිකාරයක් සමග, මේ ගමන යා නොහැක.

එනිසා එවැනි පංති වලට සහභාගි වන්නට අවශ්‍ය උපකරණ හා පහසුකම් කිසිත් නැති සියයට 60 ට වැඩි (මගේ අනුමානය) විශේෂයෙන් ග්‍රාමීය හා නාගරික දුප්පත් දරුවන් අධ්‍යාපනයෙන් අතහැර අතරමං කරන අසංවිධානාත්මක හා ප්‍රමිතතියක් නොමැති මේ “ඔන්ලයින් පංති” පැවැත්වීම වහා නතරකර, කොරෝනා වසංගතය හමුවේ සියලු ළමුන්ට ඉගෙන ගැනීමට එක හා සමාන අවස්ථා හා පහසුකම් ලබාදිය හැකි 2021 වසර සඳහා කෙටි කාලීන සැළසුමක් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් සමග කෙරෙන විවෘත සාකච්ඡාවකින් දෙවන වාරයේ සිට සංවිධානාත්මකව සැළසුම් සහගතව ක්‍රියාවට නැගිය යුතුය.

ඒ සමග ධවල පත්‍රිකාවට යෝජනා කිහිපයක්

  1. සියලු “ජාතික” පාසල් මුදල් අයකරන රජයේ පාසල් විය යුතුය. “නගර සභා” සීමා තුල ඇති ජාතික පාසල් වලට අයකරන “පහසුකම් ගාස්තුවක්ද” (සිසුවකුට මාසයකට රු.1,000), “මහ නගර සභා” සීමාවන් තුල ඇති ජාතික පාසල් වලට එම ගාස්තු මෙන් දෙගුණයක්ද (සිසුවකුට මාසයකට රු.2,000), කොළඹ අති ජනප්‍රිය ජාතික පාසල් සඳහා එමෙන් දෙගුණයක්ද (සිසුවකුට මාසයකට රු.4,000), අය කළ යුතුය. (මේ යෝජනාව පාරේ නගන ගෝසාවන්හි නිදහස් යැයි කියන අධ්‍යාපනය සමග පටල නොගන්න. 1943 සැසිවාර පත්‍ර අංක 24 යන කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් පාසල් සඳහා “පහසුකම් ගාස්තු” අය කිරීමේ අවසරය ලබා දී ඇත) 
  2. පහේ (05) ශිෂ්‍යත්වය අහෝසි කළ යුතුය. ඒ වෙනුවට, පාසල් ගාස්තු අය නොකරන පාසල්වල අ.පො.ස සා/පෙළ විභාගයෙන් දිස්ත්‍රික්ක මට්ටමින් ඉතා ඉහළින් සමත්වන සියලු ළමුන්ට විශ්ව විද්‍යාලද ඇතුළත් තෘතියික අධ්‍යාපනය ආවරණය වන ශිෂ්‍යත්වයක් ලබා දිය යුතුය.
  3. ගුරු වෘත්තියට බඳවා ගැනීමේ අවම සුදුසුකම සිව් වසරක “ඉගැන්වීමේ මූලික උපාධිය” (Basic degree in Teaching) විය යුතු අතර, “ගුරු සේවය” රජයේ වෛද්‍ය සේවයට හා ඊට සමාන්තර අනෙක් රජයේ සේවාවන්ට සමාන විය යුතුය. ගුරු වෘත්තියෙහි වසර 05 ක සේවා කාලය අතරතුර සෑම ගුරුවරයෙකුම/ගුරුවරියකම අධ්‍යාපනයට අදාල දෑවුරුද්දක පශ්චාත් උපාධියක් සම්පූර්ණ කළ යුතුය. ඒ සඳහා අධ්‍යන නිවාඩු ලබා දිය යුතුය.
  4. තෘතියික අධ්‍යාපනය තාක්ෂණික සුදුසුකම් මට්ටමේ සහ වෘත්තීය මට්ටමේ අධ්‍යාපනයක් ලෙස සංවිධානය විය යුතුය. අ.පො.ස සා/පෙළ විභාගයෙන් පසු තාක්ෂණික පාඨමාලා හැදෑරීමටද, අ.පො.ස උ/පෙළ විභාගයෙන් පසු වෘත්තීය මට්ටමේ පාඨමාලා හැදෑරීමටද ඉඩ තැබිය යුතුය. රැකියා සඳහා සුදුසුකම් විය යුත්තේ තාක්ෂණික සහ වෘත්තීය සහතිකය.
  5. විශ්ව විද්‍යාල අධ්‍යාපනය තෘතියික අධ්‍යාපනයේ වැඩිදුර අධ්‍යාපනයක් මිස රැකියා සඳහා උපාධි ප්‍රදාන කිරීමේ අධ්‍යාපනයක් නොවිය යුතුය.

මෙය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා පැවතිය යුතු සමාජ කතිකාවකට ආරම්භයක් පමණක් බව සළකන්න. එබැවින් අවශ්‍ය වෙනත් ඕනෑම වැදගත් යෝජනාවක් හෝ සංශෝධන මෙයට එකතු කිරීමේ කිසිදු බාධාවක් තහනමක් නැත.

කුසල් පෙරේරා   

Recommended For You

About the Author: Editor