එදා නිවාස වැඩපිළිවෙළ පුහු මාධ්‍ය සංදර්ශනයක් පමණයි – රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ

පසුගිය රජය සමයේදී නිවාස අමාත්‍යාංශය හරහා විශාල ලෙස මුදල් නාස්තියක් සිදු වූ බවත්, අද වත්මන් රජය යටතේ මුදල් නාස්තිය හා දූෂණය නැති කර ඇති බව ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.

රාජපක්ෂ රජය සෑමවිටම මහා සංඝරත්නයට ප්‍රමුඛතාවය ලබා දී කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මොනරාගල, සියඹලාණ්ඩුව, බුද්ධම රාජමහා විහාරස්ථානයේ පැවැති “මිහිඳු නිවහන” ව්‍යාපෘතියේ සමාරම්භක ජාතික මහෝත්සවයට එක් වෙමිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා “අද නිවාස අමාත්‍යංශය යටතේ විශාල වැඩසටහන් ප්‍රමාණයක් ක්‍රියාත්මක වනවා. ගරු අගමැතිතුමා සති දෙකකට වරක් එම වැඩසටහන් ගැන සොයා බලා එහි ප්‍රගතිය ගැන අප සමග සාකච්ඡා කරනවා. එවැනි වැඩසටහනක් අතරතුරදී මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ අගමැතිතුමාගෙන් සිදු කළ ඉල්ලීමට අනුව මාස දෙකක් ගත වීමට පෙර මෙම වැඩසටමන මහ පොළොවේ පැළ කරන්න හැකි වුණා. ඒ වෙනුවෙන් ගරු අගමැතිතුමා කොපමණ උනන්දු වුනාද කියනවා නම්, නිතරම මේ සම්බන්ධයෙන් සොයා බැලුවා, සාකච්ඡා කළා. මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන ආකාරය සහ ඒ සදහා වැදගත් අංග එකතු කළා.

පසුගිය රජය සමයේ නිවාස අමාත්‍යංශය සහ ඇමතිවරයා පිළිබදවත් කෙටියෙන් සදහන් කරන්න ඕන. එදා අපි සෑම විටම දුටුවේ යම් යම් තැන්වල බාගෙට හදපු නිවාස පමණයි. නමුත් අද මාර්ග හැදෙනවා. නිවාස ඉදිවනවා. වැව් හැදෙනවා. මුළු රටම වැඩ බිමක් බවට පත්ව තිබෙනවා. වත්මන් රජය යටතේ අද නාස්තිය හා දූෂණය නැති කර තිබෙනවා. එදා මේ වගේ වැඩසටහනක් ක්‍රියාත්මක කළා නම්, කොළඹ යාපනය ඇතුළු හැමතැනම පෝස්ටර් අලවලා, සේවකයින් යොදවා ළුලක සාදා, විශාල ලෙස මුදල් නාස්තියක් වැඩසටහන් හරහා සිදු කරනවා. 

මහින්ද රාජපක්ෂ අගමැතිතුමා මාසකට දෙවරක් පවත්වන සාකච්ඡාවලදී මුදල් නාස්තිය අවම කර ගැනීම සදහා අපේ අමාත්‍යංශ නිළධාරීන්ට උපදෙස් ලබා දෙනවා. ඒ නිසා නිවාස අමාත්‍යංශය යටතේ ඇති ආයතන මූල්‍යමය ලෙස අද ආදායම් ලබන තත්වයට පත් කර ගන්න අපට පුළුවන් වුණා. කැඩුනු බිදුනු වාහන ටික එකතු කරගෙන ඒවා සාදා ගත් නිසා රථ වාහන වෙනුවෙන් වැය වන මුදල ඉතිරි කර ගන්න අපට පුළුවන් වුණා. මෙවැනි කරුණු කාරණා ගොඩක් එකතු වුණු නිසා තමයි ඉතිරි වුණු මුදල් රටේ අභිවෘද්ධිය වෙනුවෙන් යොදවන්න හැකි වුණේ.

ඌව වෙල්ලස්ස සටන ගැන අපි යම් යම් තැන්වලදි කතා කරනවා. එදා රට රැක ගන්න, තම දරුවන් ආරක්ෂා කරගන්න, විහාරස්ථානවලට දරුවෝ දීලා දෙමාපියන් ජීවිත පූජාකරන්න ඇති කියලා මට හිතෙනවා. ඒ නිසාම ගරු අගමැතිතුමා ඌව වෙල්ලස්සට මෙම ව්‍යාපෘතිය ගෙනවිත් රටේ බහුතරයක් ස්වාමීන් වහන්සේලා රටට, ශාසනයට දායාද කළ ප්‍රදේශයක් ලෙස මේ සදහා දක්වන ලද ප්‍රමුඛතාවය ගැන අප එතුමට ස්තුතිවන්ත විය යුතුයි. ප්‍රදර්ශනවලට මුල්තැන නොදී අවශ්‍යතාවයට මුල්තැන ලබා දී අගමැතිතුමා කටයුතු කිරීම නිසා ජනතාවට අවශ්‍යම දේ ලබා දෙන්න අපට පුළුවන් වුණා. විහාරස්ථානවලට, බුද්ධ ශාසනයට අවශ්‍යම දේ ලබා දෙන්නත් පුළුවන් වුණා .

අද මේ රටේ හැම කටයුත්තක්ම සිදු වෙන්නේ ගරුතර මහසංඝ රත්නයේ ආශිර්වාද ලබා ගනිමින්. රට නිසි මාර්ගයට ගෙන යන්න ඔබ වහන්සේලා ලබා දෙන සහයෝගය ගැන අප ස්තූතිවන්ත වනවා. රජපක්ෂ රජයක් කියන්නේ හැමවිටම ගරුතර මහසංඝ රත්නට ප්‍රමුඛතාවය ලබා දී, අනුශාසනා පිළිගෙන වැඩ කරන රජයක්. ඇතැමුන් රාජපක්ෂ රජය විවේචනය කරන්න පටන් ගත්තේ ඔබ වහන්සේලා එම රජය ආරක්ෂා කරන නිසා. රජය ආරක්ෂා කරන්න ඔබවහන්සේලා පෙනී සිටින විට රජයට පහර දෙනවා වගේම, බුදුදහමට ලබා දී ඇති මූලිකත්වය පවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කටුගාන තරමට පසුගිය රජයේ නායකයෝ කටයුතු කළා අපට හොදට මතකයි.

රට, ජාතිය, ශාසනය රැකෙනවා නම් එතනට ඔබ වහන්සේලාගේ රැකවරණය අවශ්‍යමයි කියා ඉස්මුදුනින් පිළිගත් නායකයෙක් තමයි, අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන්නේ. එය මේ රටේ හැම කෙනෙක්ම දන්නවා. ඒ ආරක්ෂාව අපට ඉදිරියේදිත් පැන නැගෙන ගැටළුවලට උවමනා නිසයි, ඔබ වහන්සේලාගේ ශාසන පරපුර ආරක්ෂා කර ගන්න මෙම වැඩසටහන් දියත් කළේ. එතුමා අපට ලබා දුන් නායකත්වය නිසා අද මෙය කඩිනමින් ක්‍රියාත්මක කරන්නට හැකි වුණා. එය වචනවලට පමණක් සීමා වුණේ නැහැ.

අද දවසේ අගමැතිතුමා විසින් ඌව පළාතේ අප තෝරා ගත් සියලු නිවාස වලට මුදල් පරිත්‍යාග කරනවා. මෙම ව්‍යාපෘතිය යටතේ මේ වසරේ නිවාස 2,000 ක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 12,000 ක මුදලක් අගමැතිතුමා විසින් අප අමාත්‍යංශයට වෙන් කළා. රටේ පවතින ඇතැම් ගැටළුවලට තීන්දු තීරණ ගන්නා විට ඔබ වහන්සේලාගේ රැකවරණය හා උපදෙස් අපට නිතැතින්ම අවශ්‍ය වනවා. ඒ රැකවරණය තමයි අපව මෙහෙය වන්නේ. අප විශ්වාසයකින් රටේ ජනතාවට සේවය කරන්නේ, එම රැකවරණය තුළ ඇති ආශිර්වාදය හා ගුණාත්මකබව නිසයි.” යනුවෙන්ද පැවැසීය.

සම්බුද්ධ ශාසනයට සිය දරුවන් පූජාකළ දෙමාපියන්ට උපහාරයක් වශයෙන් ඔවුන්ට නිවාස ඉදිකර දීම සදහා “මිහිඳු නිවහන” ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර එය ආරම්භ කරමින් පූජ්‍ය බුද්ධම නන්දරත්න හිමියන්ගේ දෙමාපියන් වෙනුවෙන් මොනරාගල, බුද්ධම ප්‍රදේශයේ ඉදිවන නව නිවසට මුල්ගල තැබීම ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

නිවාස විෂයභාර අමාත්‍ය සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත, බුද්ධශාසන අමාත්‍යාංශය හා එක්ව ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විසින් “මිහිඳු නිවහන නිවාස ව්‍යාපෘතිය” ක්‍රියාත්මක කෙරේ.

මෙහි පළමු අදියර යටතේ දිවයින පුරා නිවාස 2,000 ක් ඉදිකෙරෙන අතර, ඒ සදහා වෙන්කර ඇති මුදල රුපියල් ලක්ෂ 12,000 කි.

‘මිහිඳු නිවහන’ නිවාස ව්‍යාපෘතිය සදහා වන සන්නස් පත්‍රය අතිගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහනායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල නහිමියන් වෙත මෙහිදී ප්‍රදානය කරන ලදි.

මෙම ව්‍යාපෘතිය සදහා ඌව පළාත වෙනුවෙන් තෝරා ගත් ප්‍රතිලාභී ස්වාමීන් වහන්සේලාගේ දෙමාපියන් 50 දෙනෙකු වෙනුවෙන් නිවාස දීමනා චෙක්පත් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරිණි.

Recommended For You

About the Author: Editor