මෝදි ආණ්ඩුව ‘ජනමාධ්‍ය දඩයම’ ඇරඹුවේ ඇයි ?

ඉන්දියාව මාධ්‍යවේදීන්ට අනාරක්‍ෂිත බව බොහෝ දෙනා ගේ විශ්වාසයයි. භාෂණයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින ගීතා සෙස්හූ සංවිධානය පවසන පරිදි 2020 වසර තුළ මාධ්‍යවේදීන් 67 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර 200කට අධික පිරිසක් පහරකෑමට ලක්වී තිබේ.

මාධ්‍යවේදීන්ට අපායක් බවට පත් රටවල් අතරට ඉන්දියාවත්

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි 2014 දී දිව්රුම් දීමෙන් මාසයකට පසුව පැවසුවේ “අදහස් ප්‍රකාශ කිරීමේ හෝ භාෂණයේ නිදහස සහතික කිරීමට නොහැකි වුවහොත්” ප්‍රජාතන්ත්‍රවාදය නොපවතින බවය.

වසර හයක් ඇවෑමෙන්, ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදය හීන වී ඇති බවක් පෙනෙන්නට ඇත්තේ මාධ්‍ය නිදහසට නිරන්තර ප්‍රහාරයන් දියත් වීම හේතුවෙන් බව බොහෝ දෙනා පවසති.

පසුගිය වසරේදී, මාධ්‍ය නිදහස පිළිබඳ ලෝක දර්ශකයේ පියවර දෙකක් පහළට ඉන්දියාව වැටුණි. රටවල් 180ක් අතරින් ඉන්දියාවට ලැබුණේ 142වැනි ස්ථානයයි. මෙම දර්ශකය වාර්ෂිකව සකස් කරනු ලබන්නේ Reporters Without Borders නමැති සංවිධානය විසිනි.

ආසන්නතම මාධ්‍ය ප්‍රහාරය දියත් වූයේ ඉන්දියාවේ ගොවීන් වීදි බැසීමෙන් අනතුරුව ඇතිවූ ප්‍රචණ්ඩකාරී වාතාවරණයත් සමඟය. එක් උද්ඝෝෂකයෙකු මරණයට පත් විය. පොලිස් භටයන් 500කට අධික පිරිසක් තුවාල ලැබූහ.

දැන්, මාධ්‍යවේදීන් අට දෙනෙකුට එරෙහිව ඉන්දීය පොලිසිය චෝදනා ගොනුකර ඇත. ඔවුන් දිල්ලියේ පැවති ගොවි උද්ඝෝෂණය වාර්තා කළ මාධ්‍යවේදීන්ය. රාජද්‍රෝහී වීම සහ ජාතික එකාග්‍රතාවයට සතුරු වෙමින් ප්‍රකාශන නිකුත්කිරීම එකී චෝදනා අතර වේ.

ජනවාරි 26 වැනිදා පැවති විරෝධතාවයේ දී මරණය සිදුවූයේ කෙසේද යන්න විවාදාපන්න ය. පොලිසිය පවසන්නේ එම පුද්ගලයා පදවාගෙන පැමිණි ට්‍රැක්ටරය පෙරැළීමෙන් ඔහු මරණයට පත්වී ඇති බවය. නමුත් මිය ගිය පුද්ගලයාගේ පවුලේ ඥාතීන් පවසා ඇත්තේ ඔහුට වෙඩි තබා ඇති බවය.

මරණයට පත්වූ පුද්ගලයාගේ පවුලේ උදවිය පවසන දේ මාධ්‍ය කීපයක වාර්තා කිරීමෙන් අනතුරුව ඉහත කී චෝදනා ගොනුකර ඇති බව පෙනෙන්නට තිබේ.

AFP

ඇතැම් මාධ්‍යවේදීන් මෙය වාර්තාකිරීමේ යෙදී සිටියදී තවත් පිරිසක් සිදු කළේ එම වාර්තා සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගැනීම පමණි.

ඔවුන්ගෙන් හය දෙනෙකු ම විරුද්ධ පක්ෂය වන කොන්ග්‍රස් පක්‍ෂයේ ප්‍රධාන පෙළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ය. සිදු වූ මරණය පිළිබඳව “සාවද්‍ය තොරතුරු වාර්තා කිරීම” යන චෝදනාව යටතේ – පාලක පක්ෂය බලය අත්පත් කරගෙන සිටින ප්‍රාන්ත හතරක – ඔවුන්ට එරෙහිව නඩු පවරා තිබේ.

“පශ්චාත් මරණ පරීක්ෂණය හෝ මියයාමට හේතුව පිළිබඳව පවුලේ ඥාතීන් ප්‍රශ්න කරන අවස්ථාවක දී ඔවුන්ගේ ප්‍රකාශයක් වාර්තා කිරීම අපරාධයක් බවට පත්වෙලා.” The Wire මාධ්‍ය ආයතනයේ ප්‍රධාන සංස්කාරක සිද්ධාර්ත් වරදරාජන් පැවසීය. ඔහුට එරෙහිව ද චෝදනා ගොනු වී තිබේ.

මාධ්‍ය සගයන් මෙන්ම හිමිකම් සංවිධාන ද මේ පිළිබඳව කෝප වී සිටිති.

“මෙම විරෝධතාවයට ආණ්ඩුවේ අධිකාරීන් ගේ ප්‍රතිචාරය ඉලක්කගත වෙලා තියෙන්නේ සාමකාමී විරෝධතාකරුවන්ට අවමන් කිරීම, රජය විවේචනය කරන්නන්ට හිරිහැර කිරීම සහ අදාළ සිදුවීම් මාධ්‍යයට වාර්තා කරන්නන්ට එරෙහිව නඩු දැමීම යන කරුණුවලට.” හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ දකුණු ආසියාව භාර අධ්‍යක්ෂිකා, මීනක්‍ෂි ගංගුලි මා සමඟ පැවසුවාය.

පොලිසිය විසින් නඩු පවරනු ලැබීම ඉන්දීය සංස්කාරකවරුන්ගේ සංගමය හඳුන්වනු ලැබුවේ “මාධ්‍යය බියගැන්වීමට, හිරිහැර කිරීමට, අයුතු බලපෑම් කිරීමට සහ මැඩපැවැත්වීමට උත්සාහ කිරීමක්” වශයෙනි.

Getty Images

මෝදි ගේ ආණ්ඩුව විවේචනයට ලක් කළ Caravan මාධ්‍ය ආයතනයේ කිහිප දෙනෙකුට එරෙහිව ද නඩු පවරා ඇත.

එහි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් තිදෙනෙකු වන ප්‍රකාශක, සංස්කාරක සහ විධායක සංස්කාරකවරයාට එරෙහිව දේශද්‍රෝහී චෝදනා දහයක් ගොනු කර තිබේ. ඊට මූලික වී ඇත්තේ උද්ඝෝෂණයේ දී පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් පළවූ ලිපියක් සහ ඊට අදාලව නිකුත් කළ ට්විටර් පණිවිඩ කීපයකි. මෙම මාධ්‍ය ආයතනයට වාර්තා සපයන නිදහස් මාධ්‍යවේදියෙකු උද්ඝෝෂණය වාර්තා කරමින් සිටියදී අත්අඩංගුවට ගත්තේ “අවහිර කිරීමේ” චෝදනාව යටතේය. ඔහු ඇපපිට නිදහස් කෙරුණේ දින දෙකකට පසුවය. මෙම මාධ්‍ය ආයතනයේ ට්විටර් ගිණුම පැය කීපයක් පුරා අත්හිටුවා තිබුණි.

පසුගිය වසරේ, දැරියක දුෂණය කොට මරා දැමීමේ සිද්ධිය අරඹයා පැතිර ගිය ආගමික ගැටුම්වලින් පසුව ඒ පිළිබඳව වාර්තා කළ Caravan මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදීන් හතර දෙනෙකුට ප්‍රහාරයක් එල්ල විය.

“මෙහි තිබෙන්නේ ඉතා භයානක තත්වයක්. ආණ්ඩුව විවේචනය කරන්නන් ජාති ද්‍රෝහීන් ලෙස නම් කෙරෙන කාලයකයි අපි ජීවත් වෙන්නේ. බලයේ සිටින මිනිසුන් ප්‍රශ්න කිරීම අපේ රාජකාරිය.” Caravan මාධ්‍ය ආයතනයේ විධායක සංස්කාරක විනෝද් ජොසේ මා සමඟ පැවසීය.

මාධ්‍යවේදීන්ට එරෙහිව කටයුතු කරන බවට එල්ලවන චෝදනා ඉන්දියාවේ පාලන බලය හිමි භාරතීය ජනතා පක්ෂය ප්‍රතික්‍ෂේප කරයි. ඔවුන් පවසන්නේ රජයට එරෙහිව “ප්‍රචාරාත්මක හඬක්” දියත් කෙරෙමින් පවතින බවය.

Getty Images

පුවත්පත්, රූපවාහිනිය සහ අන්තර්ජාලය ඔස්සේ ඕනෑම මාධ්‍යවේදියෙකුට රජය විවේචනය කරමින් නිදහසේ කතා කිරීමටත් ලිවීමටත් කිසිදු බාධාවක් නොමැති බව භාරතීය ජනතා පක්ෂයේ උප සභාපති බායිජයන්ත් පාන්ඩා මා සමඟ පැවසීය.

ඔහු කියා සිටියේ, “මෑතකදී ඇතිවූ සිදුවීම් කීපයක්” සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ට එරෙහිව පැමිණිලි කර ඇත්තේ “ප්‍රචණ්ඩත්වය ඇවිලවීමේ අරමුණින් ව්‍යාජ පුවත් බෙදා හැරීමේ යෙදුණු බවට බරපතල අපරාධ චෝදනා එල්ල වී ඇති නිසා” බවය.

ඊට උදාහරණයක් වශයෙන් ඔහු ගෙනහැර පෑවේ, විරෝධතාකරුවන්ගේ මරණය පිළිබඳව “සාවද්‍ය ට්විටර් පණිවිඩයක්” නිකුත් කළ, ප්‍රධාන පෙළේ ප්‍රවෘත්ති ජාලයක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු රාජකාරියෙන් ඉවත්කොට වැටුප අත්හිටුවා ඇති සිද්ධියකි.

“මේක සාවද්‍ය කතාවක් බෙදාහැරීමක් පමණක් නොවෙයි, මහා පරිමාණයෙන් ප්‍රචණ්ඩ ක්‍රියා ඇවිලවීමට ආසන්න හැකියාවක් තිබුණු දෙයක්. මාධ්‍යවේදීන් ලෙස හැඳින්වෙන මේ අය මීට කලිනුත් සාවද්‍ය කතා ප්‍රවර්ධනය කරලා, එයින් අගතියට පත් පාර්ශව විසින් උසාවියට ගෙන යාමෙන් පසුව සමාව ඉල්ලා සිටි බවට වාර්තා තිබෙනවා.” උප සභාපති බායිජයන්ත් පාන්ඩා ප්‍රකාශ කළේය.

රාජද්‍රෝහී නීතිය

කෙසේ නමුත් ඇතැම් විවේචකයන් පවසන්නේ මෝදිගේ ආණ්ඩුවට හිතෛෂී ලෙස කටයුතු කරන මාධ්‍යවේදීන්, ඉන්දියාවේ සුළුතර ප්‍රජාව ඉලක්ක කොට කුපිතකරවන සුළු දේ නිතර දෙවේලේ ප්‍රසිද්ධියට පත්කරනු ලැබුවත් ඔවුනට නීතිය ක්‍රියාත්මක නොවන බවයි.

එමෙන්ම, යටත් විජිත යුගයේ සිට පැවත එන රාජද්‍රෝහී නීතිය යොදා ගනිමින් රජයට එරෙහි පිරිස් දඩයම් කිරීම පිළිබඳව ද බොහෝ දෙනා ප්‍රශ්න කරති.

මෝදි බලයට පැමිණීමෙන් අනතුරුව, 2014 වසරේ පටන් මේ දක්වා ආණ්ඩුව සහ දේශපාලනඥයන් විවේචනය කළ 405 දෙනෙකුට එරෙහිව රාජද්‍රෝහී නීතිය යටතේ නඩු පවරා තිබෙන බව article14 වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

මෙම මර්දනකාරී නීතියේ හිංසනයට ලක්වූවන් අතර විපක්ෂ දේශපාලනඥයන්, ශිෂ්‍යයන්, මාධ්‍යවේදීන්, ලේඛකයන් සහ විද්වතුන් සිටිති.

ඉන්දියාවේ මාධ්‍යවේදීන් වෙන කවරදාටත් වඩා බෙදී වෙන්වී ඇත. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන බොහොමයක් අගමැති මෝදිගේ ආණ්ඩුව විවේචනය නොකරති.

ඉන්දියාව මාධ්‍යවේදීන්ට අනාරක්‍ෂිත බව බොහෝ දෙනා ගේ විශ්වාසයයි. භාෂණයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින ගීතා සෙස්හූ සංවිධානය පවසන පරිදි 2020 වසර තුළ මාධ්‍යවේදීන් 67 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර 200කට අධික පිරිසක් පහරකෑමට ලක්වී තිබේ. උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ගැහැණු ළමයෙකු සමූහ දුෂණයකට ලක්වීමේ සිද්ධිය වාර්තා කිරීම සඳහා යමින් සිටි මාධ්‍යවේදියෙකු මාස පහකට සිරගත කෙරුණි.

ආණ්ඩුව විවේචනය කරන මාධ්‍යවේදීන්ට – විශේෂයෙන්ම මාධ්‍යවේදිනියන්ට – අන්තර්ජාලය ඔස්සේ බිහිසුණු තර්ජනයන් එල්ල වේ. දිල්ලියේ සිටින මාධ්‍යවේදිනියක වන නේහා ඩික්සිත් කියා සිටියේ තමන්ට ප්‍රසිද්ධියේ “හිංසා කරමින්, ලිංගික අතවර (rape) කර මරා දමන බවට තර්ජනය” කළ බවය. එමෙන්ම තමන් ජීවත්වන මහල් නිවාසයට කඩා වැදීමට පිරිසක් උත්සාහ කළ බවද ඇය පැවසුවාය.

තවත් මාධ්‍යවේදිනියක වන රෝහිනී සිං ට තර්ජනය කරමින්, ලිංගික අතවර කොට මරා දමන බවට පණිවිඩ යැවූ නීති ශිෂ්‍යයෙකු මෙම සතියේ අත්අඩංගුවට පත් විය.

භාෂණයේ නිදහස ආරක්ෂා කිරීම සඳහා මෙතරම් නීති ශක්තිමත් වුණු කාලයක් මීට පෙර නොතිබුණු බව ඔක්ස්ෆර්ඩ් සරසවියේ නීති පීඨාධිපති ටරුනාබ් ඛායිටන් පවසයි.

ඒ නිදහස ලබා දීමට කෙතරම් සහතික වී තිබුණත්, 1951 දී ජවහල්ලාර් නේරු අගමැතිවරයා ගෙන ආ පළමු ව්‍යවස්ථා සංශෝධනය මගින් එම අවකාශයට දැඩි සීමා පැමිණුනි.

එමෙන්ම, යටත්විජිත යුගයෙන් දායාද වූ පොලිස් සහ අපරාධ යුක්ති පද්ධතිය මගින් “මානව හිමිකම් යනු අවහිරයක් මිස එය ආරක්ෂා කිරීම පාලකයාගේ ප්‍රමුඛ වගකීමක් ලෙස නොදකින” බව මහාචාර්ය ටරුනාබ් ඛායිටන් පවසයි. ඔහු තවදුරටත් කියා සිටියේ වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් හා සංසන්දනය කොට බලන කල ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ද සිවිල් අයිතිවාසිකම් රැකීම සම්බන්ධයෙන් එතරම් යහපත් මට්ටමක නොපවතින බව ය.

බී.බී.සී ඇසුරිණි – ශීර්ෂපාඨය වෙනස්කර ඇත.

Recommended For You

About the Author: Editor