නන්නත්තාරවූ නිදහස් අධ්‍යාපනය: කුසල් පෙරේරාගෙන් ‘තව පොඩි පැහැදිලි කිරීමක්’

“මේ යෝජනා 05 නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පාරට බහින අයට නොවේ” යැයි මම මීට ඉහතින් ලියූ ඉතා කෙටි සටහන ගැන “තද” වුනු අය සිටියහ. මා එහි විසඳුම් වශයෙන් යම් පමණකට සංකල්ප ලෙස ඉදිරිපත් කළ යෝජනා කිහිපය සතු වැදගත්කම පෞද්ගලිකව මගෙන් ප්‍රශ්න කළ දෙතුන් දෙනෙකුද විය. ඒවා තවදුරටත් විස්තර කරන්න යැයි ඉල්ලූ කිහිප දෙනෙකුද විය. මේ ඒ සැමට තවත් කෙටි පිළිතුරකි. 

බොහෝ අයට තිබූ මූලික අවුල වූයේ රජයේ පාසල් මුදල් අය කරන “අධ්‍යාපන කඩ” බවට පත් කළ යුත්තේ ඇයිද යන්නය. “ඉතිරි ටිකත් ඉවර කරන වැඩක් ඔය” යැයි කියූ දෙන්නෙක් තුන් දෙනෙක්ද වූහ.

මා යෝජනා කෙරුවේ රජයේ පාසල් 10,000 ට වැඩි සංඛ්‍යාවෙන් “ජාතික” යැයි නම් කර මධ්‍යම ආණ්ඩුවට පවරා ගෙන ඇති 370 ක් පමණ වන පාසල් සියල්ල අනිවාර්ය “පහසුකම් ගාස්තු” අය කරන්නාවූ පාසල් බවට පත් කිරීමටය. කන්නන්ගර ප්‍රතිසංස්කරණ වලට අනුව රජයේ පාසල් සියල්ලෙන් “පහසුකම් ගාස්තු” අය කළ හැකිය.

එළෙස මුදල් අය කිරීමේදී මම මේ ජාතික පාසල් කාණ්ඩ 03 ට ගොනු කිරීමට යෝජනා කළෙමි.(එක) කොළඹ අධි ජනප්‍රිය ජාතික පාසල් (දෙක) මහ නගර සභා බල ප්‍රදේශවල ඇති ජාතික පාසල් (තුන) නගර සභා බල ප්‍රදේශවල ඇති ජාතික පාසල්. ඊටත් අමතරව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල ජාතික පාසල් කිහිපයක් හෝ තිබේ නම්, ඒවා ගැන වෙනම කතා කළ හැක.   

මේ ජාතික පාසල් සතු විශේෂයක් ඇත.

01. ඒවා ප්‍රදේශය, දිස්ත්‍රික්කය හා ජාතික වශයෙන් ගත් විට, විශේෂ නැතිනම් වැඩි පහසුකම් සහිත ජනප්‍රිය පාසල් වන්නේය

02. ඒවාට “පළමු වසර” සඳහා ළමුන් ඇතුළත් කිරීමේදී අවට අනෙක් පාසල් සඳහා නොමැති විශාල තරගයක් ඇත.\

03. ඒවාට වාර්ෂිකව මෙතෙක් ළමුන් ඇතුළත් කළ දෙමාපියන් යම් ආර්ථික ශක්තියක් ඇති දෙමාපියන් විය.  

ඉහත කාරණා සියල්ලට අමතරව, එම පාසල් සතු සමාජ ආර්ථික බලයක් සමග එකතුවන දේශපාලන අනුග්‍රහයක්ද ඇත. එය තීන්දුවන කාරණා අතර, දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙකු ආදි ශිෂ්‍යයෙකුවීමේ සිට, පසුගිය 2019 දෙසැම්බරයේ ඇමති මණ්ඩලය අනුමත කළ ජාතික පාසල් සංඛ්‍යාව වැඩිකර ඒවායේ පහසුකම් වැඩි දියුණු කිරීමට පාසලකට රුපියල් මිලියන 100 බැගින් වෙන් කිරීම වැනි යෝධ ව්‍යාපෘති ලබා ගැනීම දක්වා කාරණා අදාලය.

ඒවා සමග විදුහල්පතිවරුන් ආදි ශිෂ්‍ය සංගම් බලධෘරීන් මෙන්ම ප්‍රාදේශීය දේශපාලන හිතවතුන්ද බොහෝවිට ඔවුන්ගේ වාසි සඳහා හවුල් වන්නාහ.  එනිසා මේ ජාතික පාසල් විසින් මීට අවුරුදු 78 ට ඉහතින් කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් අපේක්ෂා කළ හා අරමුණු කළ “සියලු දරුවන්ට විධිමත් පාසල් අධ්‍යාපනයෙහි සමාන පහසුකම් සහ සමාන අවස්ථා ලබා දීම” මුළුවනින් කණපිට හරවා ඇත. මේ පාසල්වල ළමුන්ට ඇති පහසුකම් හා අවස්ථා වලින් බිඳක් හෝ අනෙක් බහුතරයක් පාසල්වල ළමුන්ට බොහෝවිට ඇත්තේ නැත. අවම තරමින් මේ ජාතික පාසල්වල ඇති වැසිකිළි හෝ අති බහුතරයකට නැත.

එසේ තිබියදී මේ රටේ සියයට 80 ක් වක්‍ර බදු වලින් අධ්‍යාපන වියදම් ඇතුළු රජයේ වියදම් පිරිමහ ගන්නා තත්ත්වයක, විශ්ව විද්‍යාල ඇදුරන් විසින් බාල ජනප්‍රියත්වයක් වෙනුවෙන් අයවැයෙන් සියයට 06 ක් අධ්‍යාපනයට වෙන් කළ යුතු යැයි සටන් පාඨ ඉදිරිපත් කිරීම නිදහස් අධ්‍යාපනය යනු “නොමිලේ අධ්‍යාපනය” යැයි සිතා සිටින අයගේ “මෝඩ චූන්” සඳහා උත්තේජනයක් විය. ජාතික පාසල් සඳහාද ජනතාව බදු ගෙවීමෙන් සිදු වන්නේ අධ්‍යාපනයෙහි ඇති බරපතල විෂමතා තව දුරටත් උග්‍ර කිරීමකි.  

එය මේ ඔස්සේ තේරුම් ගන්නේ නම් පහසුය. මේ ජාතික පාසල් 370 ට අධික සංඛ්‍යාවෙහි ලක්ෂ 10 ට ආසන්න සිසු සිසුවියන් සංඛ්‍යාවක් ඇත. ඔවුන්ට වාර්ෂිකව, අසල්වැසි දිළිඳු පාසල්වල ළමුන්ට මෙන් නොමිලේ පොත් ලබා දිය යුත්තේ මන්ද? ජාතික පාසල්වල ළමුන්ගේ දෙමාපියන්ට එම පොත් මුදල් ගෙවා ලබා ගැනීමේ කිසිදු අපහසුවක් නැත. ඔවුන්ට නිල ඇඳුම් නොමිලේ ලබා දීමද එළෙසින්ම මහජන මුදල් අපතේ යැවීමකි. ජාතික පාසල්වල බොහෝ ළමුන් නොමිලේ ලැබෙන නිල ඇඳුම් පළඳින්නට අකමැති උද්දච්ච කමක් පැළඳ සිටිනවුන්ය.  

එවැනි සමාජ ආර්ථික පසුබිමක, ජාතික පාසල් සඳහා බදු මුදල් වියදම් කිරීම නතරකර, ඒවායේ ළමුන් සඳහා දෙමාපියන්ගෙන් සාධාරණ පාසල් ගාස්තුවක් අය කළ යුතු යැයි යෝජනා කෙරෙන්නේ, එමගින් වාර්ෂිකව ඉතිරි කෙරෙන හා අලුත් ආදායම් ලෙස උපයන සියලු මුදල් දිස්ත්‍රික්ක මට්ටමින් අනෙක් පාසල් ළමුන්ට නොමැති පහසුකම් ලබා දීමට වැය කර, කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් බලාපොරොත්තු වූ අධ්‍යාපනික සමානාත්මතාව ක්‍රමානුකූලව තහවුරු කළ හැකි හෙයින්ය. 

එහි තවත් වැදගත් කාරණාවක් ඇත. විශේෂයෙන් කොළඹ අධි ජනප්‍රිය ජාතික පාසල් සහ මහ නගර සභා බල ප්‍රදේශවල ජාතික පාසල් වලට ළමුන් ඇතුළත් කිරීමේ මැදපංතික දෙමාපියන්ගේ අධි මාන්‍යාධික  තරගය පාලනයකින් තොර විකෘති තරගයක් බවට පත් වූවකි. සමාජය දූෂණයක් ලෙසින් නොසළකන, යෝධ දූෂණ ක්‍රියාවලියක්ද ඒ ඇසුරෙන් තහවුරුව ඇත. ජාතික පාසල් සඳහා ගාස්තු අය කිරීමෙන් දූෂණ සමගින්වන මේ මැදපංතික මානසික විකෘතිය පාලනය කර ගැනීමටත් අවම කර ගැනීමටත් හැකි වනු ඇත. ජාතික පාසල් සඳහා ගාස්තු අය කිරීමත් සමග තරගයේ පහළින් ඉන්නාවූ පිරිස් නිතැතින්ම ඉන් ඉවත්ව තමන් ඇත්තටම පදිංචි ප්‍රදේශයේ සාපේක්ෂව වඩා හොඳ පාසලකට දරුවන් ඇතුළු කර ගැනීමට උනන්දු වනු ඇත.
මේ සමග අවධාරණය කළ යුත්තක් ඇත. එය අතිශය වැදගත්ය. 

ජාතික පාසල් සඳහා මුදල් අය කිරීමට යෝජනා කෙරෙන්නේ හුදකලා පියවරක් ලෙස නොවේ. එය යෝජනා කෙරෙන්නේ තවත් මූලික සංකල්පීය ප්‍රතිසංස්කරණ කිහිපයක් සමග ය. සමස්ථ අධ්‍යාපනයෙහි සිදු කළ යුතු ඉතා බරපතල ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව ඉස්මතු කරමින් ය. එබැවින් ඉදිරි දිනවලදී එම යෝජනාද මෙලෙසින්ම පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙමි.
ඒ අතරතුර ඕනෑම කෙනෙකුට වල්පල් නොමැතිව, වැදගත් කතිකාවක් සඳහා අදහස් දැක්වීමේ බාධාවක් නැත. 

කුසල් පෙරේරා

Recommended For You

About the Author: Editor