කට පරිස්සම් කර ගනිමු

ක්ෂණික ආහාර යනු ඉක්මනින් ආහාරයට ගත හැකි, කෙටි කාලයකින් පිළියෙල කර ගත හැකි පෝෂණ ගුණය මත පමණක් නොපිහිටා කෑමට ගත හැකි ආහාර වේ. ඉක්මනින් පිළියෙල කර ගැනීම ගැන පමණක් සිතන නිසා මෙම ආහාරවල ගුණය සහ පෝෂණ ගුණය පිළිබඳ ඒතරම් තැකීමක් නොකරයි. ක්ෂණික ආහාර නිපදවීමේදී බැරලෝහ විෂ වීම, රසකාරක, කල් තබා ගැනීමේ රසායනික ද්‍රව්‍ය අඩංගු යනාදී සාධක හේතුවෙන් පමණ ඉක්මවා මේ ආහාර ගැනීම ශරීර සෞඛ්‍යයට හිතකර නැත. සැබවින්ම මෙම ආහාර පරිභෝජනය අවශ්‍යම නැත. සාමාන්‍යයෙන් ක්ෂණික ආහාරවල පෝෂණ ගුණය එතරම් සැලකිල්ලට භාජනය නොවේ. ඇතැම් රසායනික ද්‍රව්‍ය පිළියෙළ කිරීමේදී විනාශ වී යයි. උදාහරණ වශයෙන් විටමින් A,C,D යනාදිය ද, ඛනිජ ලවණ ද විනාශ වී යයි.

ඉතා පහසුවෙන් ලබා ගත හැකි වීම, ආහාර පිසීමට වැය වන කාලය අවම වීම, රසවත් වීම, නවීන බව, නිවෙසටම ගෙන්වා ගැනීමට ඇති හැකියාව, පහසුවෙන් රැගෙන යා හැකි වීම යන හේතූන් මත ක්ෂණික ආහාර සඳහා සුවිශේෂී ඉල්ලුමක් පවතී. නාගරීකරණය වූ සමාජය තුළ කාර්යබහුලත්වය හේතුවෙන් ආහාර වේල සම්පූර්ණ කරගැනීමට ඔවුන්ට ඇති කදිම විසඳුම වන්නේ පෙර සකසන ලද ආහාරය. මීට අමතරව තම සමාජ තත්ත්වය පෙන්වීම උදෙසාත් ජනප්‍රිය වෙළෙඳ නාම ඇති මෙවැනි ආහාර අවන්හල් කරා ඇදෙන පිරිස වැඩිව තිබේ. වර්තමානයේදී ක්ෂණික ආහාර සඳහා තරුණ‍යන් සහ ළමයින් තුළ විශාල පෙලඹුමක් දැකිය හැකිය.

අහිතකර රසායනික

ක්ෂණික ආහාරවලට එක් කරන රසායනික ද්‍රව්‍ය හුදෙක්ම, රසය වැඩි කර ගැනීමට, පෙනුම වැඩි කිරීමට, පාට ලබා ගැනීමට, ප්‍රියතාවක් ඇති කිරීමට එක් කරන ද්‍රව්‍යයි.මේවා අතර ස්වාභාවික මෙන් ම කෘත්‍රීම රසායනික ද්‍රව්‍ය ද ඇත. මේවායින් සමහරක් ශරීරයට ඉතා හානිකර වේ. එම නිසා ලෝක ආහාර කමිටුව හා සෞඛ්‍ය සංවිධානය මඟින් සමහරක් රසායනික ද්‍රව්‍ය ආහාරවලට එක් කිරීම තහනම් කර ඇත. තවත් සමහර රසායනික ද්‍රව්‍යවලට නීති සහ සීමාවන් පනවා ඇත. එවැනි රසායනික ද්‍රව්‍ය හඳුනා ගෙන සිටීම වඩාත් වැදගත් වේ. එම රසායනික ද්‍රව්‍ය අඩංගු ආහාර පරිභෝජනයෙන් වැළකී සිටීමෙන් ශරීරයට සිදු වන හානිය අවම කර ගත හැකි ය.

සිට්‍රස් රතු 2 කෘත්‍රිම වර්ණකය දෙහි කුලයේ පලතුරුවල පාට වැඩි කිරීමට පාවිච්චි කරයි. මෙය ශරීරයට හානිකරය. බ්‍රිලියන්ට් නිල් කෘත්‍රීම වර්ණකය පිළිකා කාරකයකි. මෙය සමට හා ඇස්වලට හානිකරය. කොළ පාට කෘත්‍රිම වර්ණකය මීයන්ගේ ශරීරයේ අසාමාන්‍ය ගෙඩි සාදන බවට ඔප්පු කර ඇත. සන්සෙට් කහ (සුඩාන් 01) , ටාට්‍රසින් කහ වර්ණක යන කෘත්‍රිම වර්ණක මඟින් ඇදුම මෙන්ම කුඩා ළමයින් දැඩි ලෙස අධික ක්‍රියාකාරීන් බවට පත්වෙයි.

BHA(බියුටයිලේටඩ් හයිඩ්‍රොක්සි ඇනිසෝල්) නමැති ආහාර කල් තබා ගැනීම සඳහා යොදන රසකාරකය, අර්තාපල් චිප්ස් හා ධාන්‍යමය ආහාර කල් තබා ගැනීමට එක් කරයි. මෙය පිළිකා ජනකය. BHT (බියුටයිලේටඩ් හයිඩ්‍රොක්සි ටොලියීන්) යන රසකාරකය තෙල් සහිත ආහාරවල මුඩු වීම වැළැක්වීම සදහා ආහාරවලට එක් කරයි. මෙය පිළිකාකාරකයකි. EDTA (එතිල් ඩයිඇමයින් ටෙට්‍රා ඇසිටික් ඇසිඩ්) ආහාර මුඩු වීම වළක්වයි. යකඩ එක් කිරීමේදී ස්ථිර කාරකයක් ලෙස මෙන්ම බැර ලෝහ විෂ වු විට ද භාවිත කරයි. මෙම රසායනිකය මඟින් සෛල විනාශ වීම සහ ප්‍රජනක පද්ධතියට විවිධ බලපෑම් ඇති කරයි. කැල්සියම් ප්‍රොපියොනේට් ආහාර කල් තබා ගැනීමට භාවිතා කරන රසායනිකය විශේෂයෙන් බේකරි නිෂ්පාදනවලට යොදා ගනී. ක්ලෝෆෙනිසින් සහ ෆ්‍රීනොක්සිඑතනෝල් ආහාර කල් තබා ගැනීමට ගන්නා රසායනිකය, බැක්ටීරියා නාශකයකි. මෙය මානසික විෂාදිය හා මධ්‍යම ස්නායු පද්ධතියට හානි කරයි. සෝඩියම් බෙන්සොවේට්/බෙන්සොයික් ඇසිඩ් කල් තබා ගැනීම සඳහා බීම වර්ගවලට සහ කාබනේටඩ් බීමවලට එක් කරයි. තවද මෙය ලියුකේමියා සහ අනෙකුත් පිළිකා තත්ත්වයන් ඇති කරවනු ලබන රසායනික ද්‍රව්‍යයකි. ආහාර කල් තබා ගැනීමට ගන්නා සලෆයිට්ස් රසායනික ද්‍රව්‍ය මඟින් නොයෙකුත් අසාත්මිකතා සහ රෝග ඇති කරයි. තව ද මෙමගින් B විටමිනය ද විනාශ කරයි. TBHQ(ටර් බියුටයිල් හයිඩ්‍රො ක්විනොන්) රසායනිකය, අසංතෘප්ත මේදය, මුඩු වීම නැති කිරීමටත්, කල් තබා ගැනීමටත් යොදා ගනී. මෙය DNA වලට හානිකර මෙන් ම පිළිකා ඇති කරනු ලබයි.

ඇසිටෝන් පොරොක්සයිඩ්, ඇරිස්ටොලොනික් ඇසිඩ්, කෘත්‍රිම සුවඳකාරක, ක්ලොරො ප්‍රොපනොල්ඩි, ඩයසිටයිල් ඩයි සෝඩියම්ගුවනේට්, හයිඩ්‍රොලයිඩ්, ප්‍රෝටීන් (එළවළු) මොනෝ සෝඩියම් ග්ලූටමේට් (අජිනමොටෝ) නොනිල් ඇල්කොහොල් පොලිසෝබේට් 80, පොටෑසියම් බ්‍රෝමේට්, පොටෑසියම් නයිට්රේට්, සෝඩියම් නයිට්රේට් යනාදිය ද තහනම් රසකාරක වේ.

රෝගාබාධවල අවදානම

කෘත්‍රිම රසකාරක, කල් තබා ගැනීමේ රසකාරක ද්‍රව්‍ය, නිසා මේවා නියමිත මාත්‍රාවට වඩා වැඩි වූ විට පිළිකා ජනක බවට පත් වේ. තව ද ක්ෂණික ආහාර පිළියෙළ කිරීමේදී එළවළු තෙල්, මාගරින් යොදා ගන්නා බැවින් මේවා නිසා මුක්ත ඛණ්ඩක සැදී පිළිකාකාරක විය හැකි වන අතර, හෘදයාබාධවලට ද මුල පුරයි.

ක්ෂණික ආහාර පිළියෙල කර ගැනීමේ ඉක්මන්කම නිසාම නාගරික ගෘහණිය රැකියාවට යාමට පෙර මෙවැනි ක්ෂණික ආහාරවලට පුරුදු වී සිටියි. ක්ෂණික ආහාර සමබර නොවන ආහාර නිසා විශේෂ රෝගී අවස්ථාවන් වුවද ඇති විය හැකි ය. එනම් විටමින් A ඌනතාවය, B ඌනතාවය සහ C ඌනතාවය යනාදියයි. එම නිසා වැඩෙන දරුවාට, ගර්භණී මවට, ක්ෂණික ආහාර සුදුසු නැත. තව ද ක්ෂණික ආහාර නිසා බැරලෝහ විෂවීම පවා ඇති විය හැක. තව ද රසකාරක කල්තබා ගැනීමට යොදා ගන්නා රසායනික සංයෝග යනාදිය නිසා හෘදයාබාධ හට ගන්නා බව විද්‍යාත්මකව පෙන්වා දී ඇත. තව ද පිළිකා සෑදීමට ඉතා අවදානමක් ඇත. ක්ෂණික ආහාරවලට Baking Magarine දමා සාදන නිසා Transfat නිපද වේ. මේ හේතුවෙන් පිළිකා තත්ත්වයන් ඇති විය හැකි ය. සමහර විට මෙම ක්ෂණික ආහාරවල කටට රසය, සැර මිස පෝෂ්‍ය පදාර්ථ ගැන අවධානයක් නැත. එම නිසා මෙම ක්ෂණික ආහාර නිතරම ගැනීමේ අවදානමක් ලෙස මන්දපෝෂණය, රක්තහීනතාවය ද පෙන්වා දිය හැකි ය.

නිර්මාණශීලී ක්ෂණික ආහාර

ක්ෂණික කාබනික ආහාර මඟින් නිසි පෝෂණය නිසි ආකාරයෙන් ලැබේ. ක්ෂණිකව පිළියෙල කරන කාබනික ආහාරවල පෝෂ්‍ය පදාර්ථ විනාශ නොවේ. වස විෂ ද අඩංගු නොවේ. එම නිසා හෘදයාබාධ, සහ වෙනත් අතුරු ආබාධ ඇති වන්නේ නැත. ක්ෂණිකව පිළියෙල කරන කාබනික ආහාර පිළියෙල කිරීමේදී අසංතෘප්ත මේදය පිළියෙළල කිරීමට නොගනී. එම නිසා පිළිකා කාරක Transfat සෑදෙන්නේ නැත. මෙම ආහාරවලට රසකාරක අඩංගු නොකරන නිසා ලොල් වීම (Addiction) සිදු වන්නේ ද නැත.

මුදල් වැය කරමින් ක්ෂණික රසයක් වෙනුවෙන් පසුකාලීනව ලෙඩ ගොඩක් ඉතිරි කරගන්නවාට වඩා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට හුරුපුරුදු වීම කෙතරම් හොඳ ද යන්නට සෑම දෙනෙක්ම අවබෝධ කර ගත යුතු ය. පලතුරු, එළවළු සහ පලාවර්ග වැඩි වශයෙන් ආහාරයට ගනිමින් ඉතා කලාතුරකින් මෙවැනි ක්ෂණික ආහාර සඳහා ඔබ යොමු වුවාට කමක් නැත.

අප පරිභෝජනයට ගන්නා එළවළු, මාංසමය ආහාර හොඳින් පිරිසිදු කර ඉතා අඩු උෂ්ණත්වයට රත් කර, පිරිසිදු පොල්තෙල් ස්වල්පයක් දමා තෙම්පරාදු කර තෙලෙන් පෙරළා බැඳීම (දවටා) මඟින් විටමින්, ඛනිජ ලවණ, විනාශ නොවේ. මෙහිදී රසායනික ද්‍රව්‍ය එකතු කිරීමක් ද සිදු නොවේ. කල් තබා ගැනීමට, අඩු උෂ්ණත්වයේ ශීතකරණයේ දැමීම සිදු කර ගත හැකි ය. මෙම ක්‍රමයට ව්‍යංජනය සෑදීමට ගත වන්නේ විනාඩි 5- 10 කි.

වම්බටු , දඹල, කංකුං, මැල්ලුම්, තක්කාලි, යනාදිය ක්ෂණික ලෙස සෞඛ්‍ය සම්පන්නව පිළියෙල කර ගත හැකිය. මෙවැනි එළවළු තෙලේ දවටා ගැනීම මඟින් ක්ෂණික වන අතරම කෘත්‍රීම රසායනික ද්‍රව්‍ය කිසිවක් ඇතුළත් නොකරන නිසා බියක් නැතිව ආහාරයට ගැනීමට පුළුවන. තව දුරටත් ක්ෂණික කිරීමට නම් එළවළු, කපා වියළා පැකට් කර කල් තබා ගත හැකි ය. පසුව මෙම එළවළු ක්ෂණිකව පිළියෙල කර ගත හැකිය. මෙම එළවළු කාබනික එළවළු නම් තවත් වටිනාකම වැඩි වේ. වැටකොළු, වට්ටක්කා, අල, කෙසෙල් යනාදී එළවළු ක්ෂණික කර ගත හැකි වන්නේ ඉතා අඩු ජලය ප්‍රමාණයක් දමා තම්බා කෙටි කලකින් තෙලෙන් තෙම්පරාදු කර ගැනීමෙනි. මැල්ලුම, කපා සෝදා පැකට් කර වෙළෙඳපළේ විකිණීමට ඇත. මේවාට පොල් රැලි ( ගාගත් ) ස්වල්පයක් දමා රත් කර ගත හැකිය. 

කරපිංචා, ගොටුකොළ, හාතවාරිය, මුරුංගා, පැෂන් ෆෘට් යනාදී කොළ වර්ග අව්වේ හෝ උදුනක වියළා කුඩු කර පිටි කර කල් තබා ගැනීමට පුළුවන. හාල් ෆ්ලේක්ස්, හබල පෙති උතුරන ජලයට දමා, පිටි කර ගත් කොළ (කලින් සඳහන් කළ ශාක පත්‍ර) පිටි මේස හැන්දක් උණු ජලයට දමා විනාඩි 10 ක් පමණ තබා එයට, ලුණු කුඩු, සීනි, පොල් කිරි, එකතුකර විනාඩි 15 කින් පමණ කාලයක් වැය කර ක්ෂණික කැඳ සාදා ගත හැකිය.

තව ද විවිධ පලතුරු වර්ග මධ්‍යම ප්‍රමාණයේ කැබලිවලට කපා ලුණු, දෙහි , අවශ්‍ය නම් වැනිලා ඉස ඕනෑම තැනකට පහසුවෙන් ගෙන යෑමට හැකි පරිදි භාජනයට (කුඩා කප් එකකට දමා) ක්ෂණික පලතුරු ආහාර වේලක් සකස් කර ගත හැකි ය. හදිසි බඩගින්නක් ඇති වූ විට එම පලතුරු භාජනයට, යෝගට් ස්වල්පයක් දමා මිශ්‍රකර පෝෂණ ගුණය වැඩි කර ආහාරයට ගත හැකි ය. මෙම පලතුරු සකස් කර ගැනීමේදී වස විසෙන් තොර කාබනික පලතුරු ගන්නවා නම් වඩාත් හිතකර වේ.

තිරිඟු පිටිවලින් සකස් කරගත් ක්ෂණික ආහාර ගන්නවාට වඩා හාල් පිටි සහ විවිධ බීජ පිටි වර්ගවලින් සකස් කර ගත් ආහාර ගැනීම වඩාත් යහපත් වේ. උදාහරණ වශයෙන් කඩල පිටි, මුං පිටි, කව්පි පිටි, උදු පිටි යනාදී පිටි වර්ග පෙන්වා දීමට පුළුවන. පිෂ්ඨය වැඩි ආහාරවලට වඩා කජු, ආමන්ඩ්, රට කජු වැනි පෝෂණ ගුණයෙන් පරිපූර්ණ කජු වර්ග සහ මී පැණි එකතු කර නිර්මාණාත්මක සීරීයල් වර්ගයේ ආහාර නිර්මාණය කර ගත හැකිය. ශරීරයට අහිතකර ක්ෂණික ආහාරවලට වඩා එවැනි නිර්මාණාත්මක, ගුණාත්මකභාවයෙන් වැඩි ආහාර ශරීර සෞඛ්‍යට වඩාත් හිතකරය.

Recommended For You

About the Author: Editor