Covishield එන්නත කොහොමද ? – සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ හෙළිදරව්ව

දකුණු අප්‍රිකාවේ කොවිෂීල්ඩ් එන්නත විදින එක නතර කලා. අපි කොවිෂීල්ඩ් විතරක්ම ගෙන්වන්න සැලසුම් කරනවා

රවී කුමුදේශ් – සභාපති, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය 

‘‘තාම අපේ රටේ ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබිලා තියෙන්නේ කොවිෂීල්ඩ් එන්නතට විතරයි. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය දීලා තියෙන්නේ ෆයිසර් එන්නතට විතරයි. ප්‍රභේද වලට වැඩිපුර සාර්ථක RNA වර්ගයේ එන්නත්. ෆයිසර් කියන්නේ එහෙම එන්නතක්. කොවිෂීල්ඩ් කියන්නේ එහෙම එන්නතක් නෙවේ. එය වාහක වර්ගයේ එකක්. ඒ නිසා විද්‍යාතමක පදනම තුලම අපට අභියෝගයක් තියනවා“ යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියයි.

ඒ මහතා විසින් අද (10) මාධ්‍ය වෙත යොමු කළ විශේෂ ලිපියක මේ බව සදහන් වේ. ප්‍රශ්නෝත්තර ශෛලියෙන් ජනතාවට වඩාත් පහසුවෙන් වටහා ගත හැකි ආකාරයට සම්පාදිත මෙම ලිපිය සම්පූර්ණයෙන් පහත පළ වේ.

ලෝකයේ රටවල් බොහොමයක්  තමන්ගේ රට තුල පවතින කොවිඩ් ප්‍රභේදය ගැන පරීක්ෂණ කරමින් වද වෙනවා. බොහෝ රටවල් තමන්ට ගැලපෙන එන්නතක් නිපදවන්නට හෝ අඩුම තරමින් දැනට පවතින එන්නත් අතුරින් වඩාත්ම ගැලපෙන එන්නත තෝරා ගැනීමට විශාල ලෙස පර්යේෂණ ආරම්භ කර තිබෙනවා.

මෙවැනි පරීක්ෂණ වල ප්‍රතිඵල විදිහට දකුණු අප්‍රිකාව  ‘කොවිෂීල්ඩ්‘ Covishield  – The local name for the Oxford-AstraZeneca vaccine developed in the UK) -එක්සත් රාජධානියේ සංවර්ධනය කරන ලද ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත සඳහා දේශීය නම – සංස්කාරකවරයා විසින් එක්කරන ලදි) එන්නත සිය රටේ මහජනතාවට ලබා දෙන එක පසුගිය සතියේ වහාම ක්‍රියාත්මක වන පරිදි අත් හිටවනු ලැබුවා. දකුණු අප්‍රිකාවේ පැතිරෙමින් තිබෙන කොවිඩ් ප්‍රභේදයට, කොවිෂීල්ඩ් එන්නත ගැලපෙන්නේ නැති බැවින් එම එන්නත නැවැත්වූ බව තමා දකුණු අප්‍රිකාවේ  සෞඛ්‍ය බලධාරීන් කියන්නේ.

දකුණු අප්‍රිකාව ප්‍රතික්ෂේප කරපු එම විෂීල්ඩ් එන්නත ලංකාවේ සෞඛ්‍ය කාර්‍යමණ්ඩලය, ත්‍රිවිධ හමුදාව  ඇතුළු ලක්ෂ තුනක පමණ ප්‍රමාණයක් සදහා මේ වන විටත් ලබා දී අවසන්. එසේම තවත් එම එන්නත් මිලියන නවයක් ඇනවුම් කර ඇති බවත්, තවත් මිලියන 40ක් ලෝක සෞඛ්‍ය සංවිධානය  පරිත්‍යාග කිරීමට යන බවත් වාර්ථා වෙලා තියනවා.

මේ තොරතුරු වලට අනූව, සරළව කල්පනා කලත් අපට ගැටළු දෙකක් මතු වෙන්න ඕනේ
1. අපේ රටේ පවතින කොවිඩ් ප්‍රභේදය මොකක්ද? 2. අපි විද ගත්තු එන්නත වැඩ කරලද තියෙන්නේ?

අපේ රටේ පවතින කොවිඩ් ප්‍රභේදය ගැන ඔබ දන්නවාද?

අපේ රටේ තියන කොවිඩ් ප්‍රභේදය හෝ ප්‍රභේද ගැන තවම අපි හරියටම දන්නේ නැහැ. ප්‍රභේද හොයා ගැනීම සදහා දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව කිසිදු වැඩපිළිවෙළකුත් නැහැ. ප්‍රභේද හදුනා ගැනීම PCR පරීක්ෂණ මගින් සිදු කරන්න බැහැ. PCR පරීක්ෂණයට ඕනෙම කොවිඩ් ප්‍රභේදයක් එක හා සමානයි. වෛරසය විශාල ලෙස වෙනස් වෙලානම් දැනට කරන PCR පරීක්ෂණය නෙගටිව් කියලා එන්නත් පුළුවන්.  ප්‍රභේද හදුනා ගැනීම සදහා වෛරසයට අදාල “ජාන අනුක්‍රමය” තවදුරටත් විෂ්ලේෂණය කරන්න වෙනවා. ඒකට ජාන අනුක්‍රමික විෂ්ලේෂක යන්ත්‍ර අවශ්‍ය වෙනවා. PCR යන්ත්‍රයෙන් ඒ වැඩේ කරන්න බැහැ.

සෞඛ්‍ය අමාත්‍යාංශයට “ජාන විෂ්ලේෂක” යන්ත්‍ර නැහැ

ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ PCR රසායනාගාර 18ක් තිබෙනවා. ඒ එක රසායනාගාරයකවත් ජාන අනුක්‍රමික විශ්ලේෂක යන්ත්‍ර නැහැ. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයට ප්‍රභේද හදුනා ගැනීමේ හැකියාව නැහැ.  එම යන්ත්‍රයක් ලබා දීම සදහා ලෝක බැංකුව, ආසියාණු සංවර්ධන අරමුදල වැනි ආයතන අපි වෙනුවෙන් ප්‍රසම්පාදන කටයුතු පවා සිදු කලා. කොවිඩ් ඉවරයි කියලා සමහර සෞඛ්‍ය බලධාරීන් එය මග හැරියා. සෞඛ්‍ය අමාතාංශයේ වෛරසවේදීන් සහ ක්ෂුදජීවවේදීන් ඊට උණදුවක් නැති බවක් තමයි පෙනෙන්නට තියෙන්නේ. ඔවුන් ඒ අභියෝගය බාර ගන්න බැරිකමකින් පෙලෙනවා. නමුත් ඒ හැකියාව තියන ඕනෑතරම් වෘත්තිකයින් සෞඛ්‍ය අමාත්‍යාංශය තුල ඉන්නවා. තමන්ට බැරි වැඩේ වුණත් පුළුවං කෙනෙකුට නොදී අධ්‍යාපන අමාත්‍යාංශයේ රසායනාගාරයකට පවරලා අපි වගකීම් විරහිතව ඉන්නවා. ඒ නිසා රටේ තියන ප්‍රභේද පිළිබදව ජාතික මට්ටමින් සිදුවන එකක් නැහැ.

අපි ගහපු එන්නත වැඩ කරනවද?

ඊලගට අපි ගහපු එන්නත් වැඩ කරනවද කියලා බලන්න තියන ක්‍රමය වෙන්නේ, ප්‍රතිදේහ පරීක්ෂණ මගින් ඒ පිළිබද අධ්‍යනය කිරීමයි. එන්නතක් ලබා දුන්නට පස්සේ, ඒ එන්නත ශරීරය තුල ක්‍රියාත්මක වෙනවනම්, ශරීරය විසින් වෛරසයට එරෙහි සුවිශේෂී ප්‍රතිදේහ නිෂ්පාදනය කරලා රුධිරයට මුදා හරිනවා. රුධිර නිදර්ෂකයක් ඊට අදාල විශේෂිත පරීක්ෂාවකට ලක් කිරීමෙන් එම ප්‍රතිදේහ හදුනා ගැනීමටත්, වර්ධනය වීමේ සීඝ්‍රතාවය වැනි කරුණු අධ්‍යනය කිරීමටත් පුළුවං. නිශ්චිත කාලයකට පසුව අපේක්ෂිත ප්‍රතිදේහ වර්ගය වර්ධනය වෙලා නැත්තනම්, එන්නත වැඩ කරලා නැති බව නිගමනය කරන්න පුළුවං. කොවිඩ් හැදිලා හොද වෙච්ච ආසාධිතයින්ගෙත් මේ වගේම රුධිරයේ ප්‍රතිදේහ තියන නිසා,   නොදැනුවත්ව කොවිඩ් ආසාධනය වෙලා හොදවුණු අය වගේම, හොද වෙමින් පවතින බ්ව හොයා ගන්නත් මෙම පරීක්ෂණ වැදගත්.

යන්ත්‍ර තිබ්බට, ප්‍රතික්‍රීයක තහනම්

ලංකාවේ සෞඛ්‍ය සේවාවේ මූලික රෝහල් දක්වා එම පරීක්ෂණ කරන්න පුළුවං විවිධ වර්ගවල ස්වයංක්‍රීය යන්ත්‍ර තියනවා. නමුත් කොවිඩ් ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කිරීම සදහා ඊට අදාල විශේශිත ප්‍රතික්‍රියක කට්ටල ලබා දිය යුතුයි. නමුත් PCR පරීක්ෂණ වැඩිපුර කරන තරමට තමන්ට වාසි කියලා හිතපු කිහිප දෙනෙකු නිසා, මෙම ප්‍රතික්‍රියක රසායනාගාර වලට ලබා දීමට, සෞඛ්‍ය අමාත්‍යාංශ මට්ටමින්ම භාධා ඇති වුණා. අදටත් එම භාධාවන් ඉවත් වෙලා නැති නිසා, රසයානාගාර වල ප්‍රතිදේහ පරීක්ෂණ සිදු වෙන්නේ නැහැ. ඒ නිසා අපි විද ගත්තු කොවිෂීල්ඩ්, ඇග ඇතුලේ ක්‍රියාත්මකද, නැද්ද කියලා අපිට හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයට දැන ගන්න පුළුවං වෙන්නේ එන්නත් විදපු අයට රෝගය නැවත වැලදුන වෙලාවට විතරයි. ඒ වෙනකොට අපි රටක් විදිහටආපහු හැරෙන්න බැරි අමාරුවක වැටිලා ඉවරයි.

තාම අනුමත කොවිෂීල්ඩ් විතරයි, ඒක හරිද?

තාම අපේ රටේ ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබිලා තියෙන්නේ කොවිෂීල්ඩ් එන්නතට විතරයි. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය දීලා තියෙන්නේ ෆයිසර් එන්නතට විතරයි. ප්‍රභේද වලට වැඩිපුර සාර්ථක RNA වර්ගයේ එන්නත්. ෆයිසර් කියන්නේ එහෙම එන්නතක්. කොවිෂීල්ඩ් කියන්නේ එහෙම එන්නතක් නෙවේ. එය වාහක වර්ගයේ එකක්. ඒ නිසා විද්‍යාතමක පදනම තුලම අපට අභියෝගයක් තියනවා.

අපේ රටේ ඖෂධ නියාමන අධිකාරිය තවම ඇයි අනෙක් එන්නත් සදහා අනුමැතිය ප්‍රමාද කරන්නේ. අනුමැතිය සදහා අපි ලොකු පරීක්ෂණ කිසිවක් කරන්නේ නැහැ. ලේබල පරීක්ෂාවකින් තමා මේ කටයුත්ත කරන්නේ. ඒ නිසා ඒතරම් කාළයක් ගතවීම, එන්නත් මාෆියාවක මූලාරම්භය ලෙස සැක කිරීම, ඓතිහාසික භාවිතාවන්ට කොහෙත්ම අසාධාරණ සැකයක් කියලා කියන්න බැහැ.

කොවිෂීල්ඩ් ආදරය පිළිබද සාධාරණ සැකයක්

කොවිෂීල්ඩ් විතරක් ලියාපදිංචි කරලා තිබෙන තත්වයක් අනූව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ නොමිලේ ලැබෙන බොහෝ ආධාර සදහා කොවිෂීල්ඩ්ම අනුමත වෙන එක, ව්‍යාපාරයක් ලෙස කාටවත් පේන එකක් නැහැ. ඒකෙන් අපි කොවිෂීල්ඩ් ඇබ්බැහියක් හදා ගන්න එක නිරායාසයෙන්ම සිදු වෙනවා. සමාන්‍යයෙන් ඖෂධ ඒකාධිකාරයන් හදා ගන්නේ ඒ විදිහටම තමා.
කොහොම වුණත් අපි වපුරන දේ තමයි, අනාගතයේ අපිට නෙලා ගන්න වෙන්නේ. මේ වෙලාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැපිරීම පිළිබදව අපිටනම්, හොද අනාගත බලාපොරොත්තු  නැහැ. ගජමිතුරු කල්ලියක් හදාගෙනෙ, හැමෝටම අහුම්කන්දීම වැරැද්දක් විදිහට සලකාගෙන, තීරණ ගන්න අය, ඒ තීරණ මගින් සිදුවන බරපතල හානිකර තත්වයන් ගැන වග කියන්නේ නැතුව, මහජනතාව හෝ සාමාන්‍ය සෞඛ්‍ය සේවකයා මත පටවමින් සිටින බැවින්, අපි ඒ පිළිබදව දණුවත්ව හා අවධියෙන් සිටිය යුතු වෙනවා.

රවී කුමුදේශ් – සභාපති, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය 

Recommended For You

About the Author: Editor