ගොවියට සහ පාරිභෝගිකයාට සහන දෙන්න ‘ආර්ථික මධ්‍යස්ථාන’ නව මගකට

ආර්ථික මධ්‍යස්ථානයේ කලමනාකාරීත්වයටත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරියෙක් පත් කරනවා. ගොවි සංවිධානවලට එකතු කිරීමේ මධ්‍යස්ථාන ලබා දෙන්නට අපි කටයුතු කරනවා. එතකොට ගොවීන්ට තමන්ගේ එළවළු පිරිසිදුව ආර්ථික මධ්‍යස්ථානවලට ලබා දෙන්න පුළුවන්. තව මාස 03ක් ඇතුළත ආර්ථික මධ්‍යස්ථානවල අලුත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා.

ගොවියාගේ අස්වැන්නට සාධාරණ මිලක් ලබා දීමත්, පාරිභෝගිකයාට සාධාරණ මිලක් යටතේ එළවළු මිලදී ගැනීමටත් අවස්ථාව ලබා දීම සඳහා ආර්ථික මධ්‍යස්ථානවල කටයුතු ක්‍රමවත්ව සිදුකිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද දින (11) දින කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා “ රජයක් හැටියට අපිට තියෙන යුතුකමක් තමයි ජනතාවට සාධාරණ මිලට භාණ්ඩ ලබා දීම. ඒක ආණ්ඩුවේ වගකීම. එක දවසක් බඩු මිල වැඩි වුණොත් බනින්නේ ආණ්ඩුවට. ඒ නිසා ආණ්ඩුව හැටියට අපි බැදිලා ඉන්නවා සාධාරණ මිලට බඩු ටික බෙදා දෙන්න. කෘෂිකර්ම අමාත්‍යාංශය විදිහට අපිට තියෙන්නෙ වවන්න. අපි ජනතාවට අවශ්‍ය සියලු ආහාර නිෂ්පාදනය කරන්න, ආනයනය සීමා කරන්න කටයුතු කරනවා.

බඩු මිල වැඩි නිසා රජය තීරණයක් ගත්තා, බඩු මිල අඩු කරන්න. ඒ අනුව අල, ලූනූ, පරිප්පු වගේ අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක් මාස 03ක කාලයක් පාලන මිලට ලබා දෙන්න රජය තීරණය කළා. වෙළඳ අමාත්‍යාංශය සතොස සහ සමූපකාර ආයතන එක්ක එකතුවෙලයි මේක කරන්නේ. ඒවා රජයේ ආයතන. ආර්ථික මධ්‍යස්ථානත් අයිති රජයට. ආර්ථික මධ්‍යස්ථාන හදන්න මිනිස්සුන්ගේ සල්ලි බිලියන ගණන් වියදම් කරලා තියෙනවා. ආර්ථික මධ්‍යස්ථාන කියන්නේ කඩ දීලා, කඩ කුලී එකතු කරන තැනක් විතරක් නෙවෙයි. මේක රාජ්‍ය යාන්ත්‍රණයේ කොටසක්.

ආර්ථික මධ්‍යස්ථාන හදපු අරමුණේ අපි නැහැ. පාරිභෝගිකයාට සාධාරණ මිලක් යටතේ එළවළු ලබා දෙන්න ක්‍රමවේදයක් හදන්න කියලා ජනාධිපතිතුමා අපිට කිව්වා. ආර්ථික මධ්‍යස්ථාන දෙන්න ඕනේ ගොවියට. එතකොට ගොවියට පුළුවන් සාධාරණ මිලකට එළවළු ලබා දෙන්න. නමුත් දැන් මේක ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක් පමණක් මෙහෙයවන තැනක් වෙලා. එළවළු ටික තැන් 4කට විතර ගිහින් තමයි පාරිභෝගිකයාට ලැබෙන්නේ. අතරමැදියෝ වැඩියි. යාන්ත්‍රණය හරියට හැදුණු නැති ගැටළුවයි මේ තියෙන්නේ.

ආර්ථික මධ්‍යස්ථානයේ කලමනාකරුවන්ගේ වගකීම කඩ කුලිය එකතු කරන එක විතරක් නෙවෙයි. අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ ආර්ථික මධ්‍යස්ථාන සියල්ල එක භාරයක් යටතට ගන්න. සතොස වගේ ආයතනයක් හදන්න. අතරමැදියන්ගෙන් තොර ක්‍රමවේදයක් හදලා ගොවියාටත්, පාරිභෝගිකයාටත් සාධාරණයක් කිරීම අපේ අපේක්ෂාවයි.

ගොවියා ගමේ අඬනවා බඩු ටික විකුණගන්න බෑ කියලා. පාරිභෝගිකයා කියනවා බඩු ගණන් කියලා. අතරමැදියා ලාභ ලබනවා. අතරමැදියාට යන ලාභය නැති කරලා ගොවියා සහ පාරිභෝගිකයා යන දෙපාර්ශවයටම සාධාරණයක් කිරීමටයි අපට අවශ්‍ය. ගොවි සංවිධානවලට ආර්ථික මධ්‍යස්ථානවල කඩ ලබාදෙනවා. එතකොට මැනිං මාර්කට් එකෙන් එළවළුගන්න බෑ. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් ආර්ථික මධ්‍යස්ථානවලට ගේන ලොරි පරීක්ෂා කරනවා. පිටින් බඩු ගේන්න බෑ. පිටින් බඩු ගෙනාවොත් මේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න බැහැ. ගොවි සංවිධානවලට කලින් ඇනවුම දුන්නම ඔවුන් ආර්ථික මධ්‍යස්ථානවලට බඩු ගෙනත් දෙනවා. ඔවුන්ගේ බඩුවලට මුදල් ගෙවීම කලමනාකරු සතු වගකීමක්. බඩු ටික විකුණන වගකීමත් කලමනාකරු සතුයි.

ආර්ථික මධ්‍යස්ථානයේ කලමනාකාරීත්වයටත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරියෙක් පත් කරනවා. ගොවි සංවිධානවලට එකතු කිරීමේ මධ්‍යස්ථාන ලබා දෙන්නට අපි කටයුතු කරනවා. එතකොට ගොවීන්ට තමන්ගේ එළවළු පිරිසිදුව ආර්ථික මධ්‍යස්ථානවලට ලබා දෙන්න පුළුවන්. තව මාස 03ක් ඇතුළත ආර්ථික මධ්‍යස්ථානවල අලුත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා.”

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ද එක්වුණා. එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ තොග වෙළඳුන් සමඟ පාරිභෝගිකයා සෘජුව සම්බන්ධ කිරීම, තරඟකාරී මිලක් පවතින විට එය පාලනය කිරීම වැනි මූලික කරුණු පදනම් කරගෙන ආර්ථික මධ්‍යස්ථාන ආරම්භ කළ අතර, ගොවියා පාරිභෝගිකයාට තම අස්වැන්න සාධාරණ මිලකට ලබා දීමේ විශ්වාසය මත මෙම කටයුතු සිදු කරන බවයි.

නාරාහේන්පිට, පිළියන්දල, රත්මලාන, වැලිසර කියන කොළඹ නගරයේ ආර්ථික මධ්‍යස්ථාන හතරෙම කඩ ගොවියන්ට ලබා දී ඇත්තේ ඔවුන් වවන්න බැරි කොළඹ පාරිභෝගියාට සාධාරණ මිලට බඩු විකුණන විශ්වාසය මත බැවින් එම විශ්වාසය මත මෙම ක්‍රමවේදය සාර්ථක කර ගත හැකි බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරුවන්, ආර්ථික මධ්‍යස්ථානවල වෙළඳ සංගම් නියෝජිතයින් අමාත්‍යාංශ නිලධාරීන් එක්ව සිටියා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිල වෙබ්අඩවිය ඇසුරිණි

Recommended For You

About the Author: Editor