Voice of දියවන්නා : විමල්ගේ කටකැඩිච්ච කතාව ඇදී ‘ආණ්ඩු පක්ෂ රැස්වීමත් ඇවිලෙයි’

සටහන – ගජබා නාගහවත්ත

ඇමති විමල් වීරවංශ ඉරිදා පුවත් පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් කළ ප්‍රකාශය පොදුජන පෙරමුණ ආණ්ඩුව උණුසුම් කිරීමට හේතුවුයේය. විමල් සමග ආණ්ඩුවේ මේ ගැටුමට හේතුවුයේ වරාය නැගෙනහිර ජැටියයි.

නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකුණා දැමීමට සුදානම් වන බව වෘත්තීය සමිති ගෙන ගිය අරගලයට තල්ලුවක් දෙමින් විමල්, වාසු, උදය ඇතුළු පිරිස පසුගිය සතියට පෙර සිටියේ වෙනම පක්ෂ නායක රැස්වීම් පවත්වමින් කටයුතු කිරීම මේ ගැටුමේ ආරම්භය විය.

මෙය පොදුජන පෙරමුණු ලේකම් සාගර ගාරියවසම්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වූ අතර කැබිනට් මණ්ඩලය තුල එවැනි තීරණයක් නොගෙන තිබියදී විමල් ඇතුළු පිරිස එලෙස කටයුතු කිරීම සාමූහික වගකීම උල්ලංගනය කිරීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් බහුතරයකගේ අදහස විය.

පසුගිය කැබිනට් රැස්වීමේදි අලුයට ගිනිපුපුරු ලෙස තිබු අතර ඒවා නැවත මතු වුයේ විමල් පසුගිය සති අන්තයේ පුවත් පතට කල ප්‍රකාශය නිසාය.

මේ ප්‍රකාශය ඉරිදා පුවත්පතේ පල වූ විට පසුදින සාගර, සංජීව ඇතුලු පිරිසක් ඊට උත්තර දුන්නේය. ඔවුන් කිවේ විමල්ට පොදුජන පෙරමුණේ පක්ෂ නායක්තවය ගැන කථා කරන්නට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බවය.

පසුගිය අගහරුවාදා ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීම පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 01 දී පැවතියේ මෙවැනි පසුබිමක් තුලය. ඇමති ප්‍රසන්න රණතුංග මේ රැස්වීමට පැමිණියේ විමල් වීරවංශ ඇමතිවරයාගේ අදාල ප්‍රකාශය ඇතුලත් පුවත්පතේ පිටුවද රැගෙනය. සතියේ පාර්ලිමේන්තු කටයුතු පිළිබද සාකච්ඡා කිරීමෙන් අනතුරුව විමල්ගේ කථාව ගැන ප්‍රශ්යන ඇද්දේ රාජ්‍ය ඇමති නිමල් ලාන්සාය.

‘‘මට පැහැදිලි කිරීමක් කරන්න ඕනෑ. මම කරපු ප්‍රකාශයක් ගැන පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයේදි විමල් වීරවංශ ඇමතිවරයා ප්‍රකාශයක් කරලා තිබෙන්වා. මම කථා කලේ රටට ආයෝජන අවශ්‍යයි කියන පදනමේ ඉදලයි. ජනතා විමුක්ති පෙරමුණයි සමගි ජන බලවේගයටයි තමයි මම මෙතනදී උත්තර දුන්නේ. ඒක නිසා බොරුවට මාව පටලවා ගන්න එපා මම කියපු දේ ආවරණයක් කර ගන්න එපා කියන එක එතුමාට කියන්න අවශ්‍යයි. “   ලාන්සා කිවේය.

‘‘එයා නෑනේ. එයා ඉන්න තැන කථා කරන්න“  වාසු කිවේය.

‘‘මම නැති තැන එහෙනම් එයත් කථා කලේ. ඒකයි  මමත් මේ කථා කරන්නේ මම කිව්වා යැයි බොරු කියනකොට මට ඒක පැහැදිලි කරන්න පුලුවන්“   ලාන්සා කිවේය.

‘‘මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන්නේ අපේ පරමාදර්ශී නායකයා. එතකොට විමල් ඇමතිතුමා මේ පත්තරේට කියනවා ජනාධිපතිතුමාට අත්දැකීම් අඩුයි කියලා. යූ.එන්.පී. එකත් ජනාධිපතිතුමාට ගහන්නේ අත්දැකීම් නෑ කියලා. එතකොට අපේ ආණ්ඩුවේම ඇමතිවරු පත්තර වලටත් ඒක කියනකොට මොකක්ද තත්වය“  ඇමති ප්‍රසන්න රණතුංග කිවේ ඔහු ගෙන ගිය පුවත්පතේ පිටුවද පෙන්වමිනි.

‘‘විමල් ඇමතිතුමා මෙතන නෑනේ. එතුමා ඉන්න වෙලාවක කථා කරමු“   උදය ගම්මන්පිල ද කිවේය.

‘‘මම කිව්වේ අගමැතිතුමාට අපේ පක්ෂයේ නායකයාට අපිට අයිතියක් තියෙනවා මේක මෙතන කියන්න‘‘    ප්‍රසන්න කිවේය.

‘‘අපි ඔය එක එක්කෙනා වගේ තැන තැන ගිහින් කියන්නේ නෑ. අපි කියන්න ඕන දේ කියන්න ඕන තැන කියනවා“  ලාන්සා කිවේය.

‘‘මම කියන්නේ මේක සදාචාරසම්පන්න නෑ එතුමා ඉන්න තැනකයි මේක කියන්න ඕනෑ“ වාසු කිවේය.

“එතකොට මේ කියල තියෙන එක සදාචාරසම්පන්නද“   ප්‍රසන්න ඇසුවේය.

“මම කියන්නේ අගමැතිතුමණි අපිට ආණ්ඩුවේ ක්‍රියාදාමය ගැන ප්‍රශ්නයක් තියෙනවානම් ඒක ගැන කථා කරන්න ඕනෑ එලියේ නෙමෙයි. මේක අතුලේ කථා කරන්න ඕන දෙයක්“   ප්‍රසන්න දිගටම කිවේය.

වාසුද අත ඇරියේම නැත. ඔහුද නැගිට අවස්ථා කීපයකදීම විමල් ඉන්න තැන කියන්න යැයි කියමින් ප්‍රසන්නට බාධා කලේය.

‘‘ඇමතිතුමා අපි ඔබතුමාට ගෞරව කරනවා. මේ ප්‍රශ්නයේදි අපට කථා කරන්න දෙන්න. ඒ ගෞරවය නැති කරගන්න එපා.“  ප්‍රසන්න කිවේය.

ප්‍රසන්නගේ මේ ප්‍රකාශයත් සමගම ආණ්ඩුවේ පසුපෙල මන්ත්‍රීවරු වාසුට විරෝධය පළ කරන්න වුයේය. වහා මැදිහත් වූ අගමැති මහින්ද මන්ත්‍රීවරුන්ට නිහඩ වන්නැයි කිවේය.

‘‘මේක ලොකු ප්‍රශ්ණයක් කරගන්න අවශ්‍ය නෑ දැන් මේක නතර කරන්න“   මහින්ද කිවේය. මහින්දගේ ඉල්ලීමට අවනත වූ අතර ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමද අවසන් විය.

ආණ්ඩු පක්ෂ රැස්වීම අවස්ථාවේ ඇමති විමල් හිටියේ මීගමුවේ අධිකරණ කටයුතු තත්වයකට සහභාගී වෙමිනි. විමල්ගෙන් මාධ්‍යවේදියෙකු ඇසුවේ සාගරගේ ප්‍රකාශය ගැනය. පොදුජන පෙරමුණෙන් මහින්ද ඉවත් විය යුතු බවට කල ප්‍රකාශය. සම්බන්ධයෙන් විමල් ජනතාවගේ සමාව ගත යුතු බව පවසා තිබුනි. විමල් ඊට අපූරු උත්තරයක් දුන්නේය. ඒ මහින්ද සුලග අරඹා යලි මහින්ද බලට පත් කිරීම වරදක්නම් ගොඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීමට කැපවීම වරදක්නම් තමන් ඊට ජාතියෙන් සමාව ඉල්ලීමට සුදානම් බවය.

සදුදා සවස අගමැති මහින්ද පක්ෂ නායක රැස්වීමක් කැදවා තිබුනේ මේ ගැටුම විසදීම සදහාය.

‘‘දැන් අපි මේ වාදය අවසන් කරමු. අපි අතර අනවශ්‍ය මත භේද ඇති වුනාම ඒකේ වාසිය විපක්ෂයටමයි. “    අගමැති මහින්ද කීවේය.

මේ අතර මේ දිනවල කථා බහට ලක් ව සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමති විමල් වීරවංශ හා ශ්‍රී ලංකා පොදුජණ පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පසුගිය බදාදා පාර්ලිමේන්තුවේදි මුහුණට මුහුණ හමුවිය. ඇමති මහින්ද පාර්ලිමේන්තුවේ භෝජනාගාරයේ සිට දිවා ආහාරය ගෙන පිටතට පැමිණෙමින් සිටියේය. සාගර කාරියවසම් ලොහාන් රත්වත්ත, නිමල් ලාන්සා, මහින්ද අමරවීර, දයාසිරි, සහන්, නිශාන්ත වැනි මැති ඇමති වරු මහින්ද සමග වුහ. මේ අතර ඇමති විමල් දිවා භෝජනය ලබා ගැනීමට භෝජනාගාරයට එමින් සිටියේය.

‘‘කෝ විමල් කොහෙද හිටියේ මම උදේ දැක්කේ නෑනේ“   අගමැති මහින්ද විමල්ගේ කරට අත දමා ගනිමින් කිවේය.

‘‘මම පොඩි වැඩකට ගියා. අගමැතිතුමා දැන් ආවේ“   විමල් කිවේය.

විමල් හා සාගර අතර කිසිදු කථා බහක් සිදු නොවු අතර දෙදෙනා, දෙදෙනා දෙසම හොරෙන් බලා අහක බලා ගන්නා අයුරු දුටු එතැන සිටි මැති ඇමතිවරුන්ගේ කට කොනකට සිනහවක් නැගෙනු දක්නට ලැබුනි.    

සටහන – ගජබා නාගහවත්ත

Recommended For You

About the Author: Editor