චීනය තුළ BBC ලෝක සේවය විකාශනය කිරීම තහනම්

චීනය තුළ බීබීසී ලෝක සේවය විකාශනය කිරීම තහනම් කළ බව චීනයේ රුපවාහිනී සහ ගුවන් විදුලි නියාමන අධිකාරිය ඊයේ (පෙබරවාරි 11) නිවේදනය කළේය.

කොරෝනාවෛරසය පිළිබඳව සහ චීනයේ උයිගර් සුළුතර මුස්ලිම් ප්‍රජාවට සිදුවන හිංසා පිළිබඳව, බීබීසිය විසින් සිදුකරනු ලැබූ වාර්තාකරණය චීනයේ විවේචනයට ලක්වී තිබේ.

බීබීසී කියා සිටියේ එම තීරණය මගින් “අපේක්ෂා භංගත්වයට” පත් වූ බවය.

චීනය මෙම තීරණය ගෙන ඇත්තේ, චීන රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන China Global Television Network (CGTN) බ්‍රිතාන්‍යය තුළ විකාශය කිරීම සඳහා ලබා දී තිබුණු බලපත්‍රය බ්‍රිතාන්‍ය මාධ්‍ය නියාමන අධිකාරිය වන Ofcom විසින් අවලංගු කිරීමෙන් අනතුරුවය.

CGTN සඳහා විකාශන බලපත්‍රය වැරදිසහගත ලෙස ලබාගෙන ඇත්තේ Star China Media Ltd නමැති මාධ්‍ය ආයතනයක නමින් බව සොයා ගැනීමෙන් පසු, මේ මස මුලදී බ්‍රිතාන්‍ය මාධ්‍ය නියාමන අධිකාරිය එය අවලංගු කිරීමට තීරණය කළේය.

එමෙන්ම, බලහත්කාරයෙන් ලබා ගත් බවට චෝදනා එල්ලවෙන පාපොච්ඡාරණයක් විකාශනය කිරීමෙන් CGTN ආයතනය පසුගිය වසරේ දී බ්‍රිතාන්‍ය මාධ්‍ය නීති උල්ලංඝනය කර තිබුණි.

චීනය ගෙන ඇති තීරණය දැනුම් දෙමින් එරට රාජ්‍ය චිත්‍රපට, රුපවාහිනී සහ ගුවන් විදුලි පරිපාලනය පවසන්නේ බීබීසී ලෝක සේවය චීනය පිළිබඳව විකාශනය කර ඇති පුවත් “සත්‍යවාදී සහ සාධාරණ විය යුතු බවට සහ ජාතික ශුභසිද්ධියට හානිකර නොවිය යුතු” බවට පවතින අවශ්‍යතාව ඇතුළු චීන මාධ්‍ය නීති “බරපතල ලෙස උල්ලංඝනය” කර ඇති බවය.

තවත් වසරක කාලයක් චීනය තුළ විකාශන කටයුතු කරගෙන යාම සඳහා බීබීසීය ඉදිරිපත් කර ඇති ඉල්ලුම්පත්‍රය පිළිනොගන්නා බව ද එහි සඳහන් වේ.

බීබීසීය නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ, “චීනය ගෙන ඇති ක්‍රියාමාර්ගය පිළිබඳව තමන් අපේක්ෂා භංගත්වයට පත්ව සිටින” බවය.

“වඩාත්ම විශ්වසනීය ජාත්‍යන්තර ප්‍රවෘත්ති ආයතනය බීබීසිය වන අතර අපක්ෂපාතීව, සාධාරණව සහ නොබියව ලොව වටා පුවත් වාර්තාකරණයේ යෙදෙන බව ද එම නිවේදනයේ සඳහන් කර තිබේ.

“නිදහස් මාධ්‍ය මර්දය”

බීබීසී ලෝක සේවයේ රුපවාහිනි නාලිකාව ලොව වටා විකාශනය වන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙනි. එය වානිජමය ප්‍රතිපාදන සහිත නාලිකාවකි. මෙය චීනය තුළ විශාල වශයෙන් සීමාසහිත වන අතර මෙම නාලිකාව බොහෝවිට පවතින්නේ ජාත්‍යන්තර හෝටල් සහ ඇතැම් රාජ්‍යතාන්ත්‍රික කාර්යාල ගොඩනැගිලි තුළ පමණකි. එබැවින් බහුතර චීන ජනතාවට මෙය නැරඹීමේ හැකියාවක් නොමැත.

මේ පිළිබඳව අදහස් දක්වමින් බ්‍රිතාන්‍යයේ විදේශ අමාත්‍යවරයා කියා සිටියේ මෙය “පිළිගත නොහැකි පියවරක් වන අතර මාධ්‍ය නිදහස ලුහුඬු කිරීමක්” බවය.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම පියවර හෙලා දැක ඇත. ඔවුන් එය හඳුන්වා ඇත්තේ චීනයේ නිදහස් මාධ්‍ය මර්දනය කිරීම සඳහා ගෙන යන පුළුල් වැඩසටහනක කොටසක් ලෙසිනි.

හොංකොං හි පවතින තත්ත්වය හේතුවෙන් චීනය සහ එක්සත් රාජධානිය අතර පවතින සබඳතා මෑතක සිට උණුසුම් වෙමින් පැවතුණි. එය ආරම්භ වූයේ චීන පරිපාලනය විසින් හොංකොං කලාපයට නව ආරක්ෂක පනතක් ගෙන ඒමෙන් පසුවය.

එමගින් හොංකොං වාසීන්ගේ කලාපීය අයිතිවාසිකම් සහ නිදහසට පීඩා ගෙන දෙන බවට විශ්වාස කෙරෙන බැවින් හොංකොං වාසී ජනතාවට නව වීසා බලපත්‍රයක් හඳුන්වා දීමට එක්සත් රාජධානිය පියවර ගත්තේය. එමගින් මිලියන 5.4ක් වූ හොංකොං ජනතාවට එක්සත් රාජධානියට පැමිණ ජීවත් වීමටත් පසුව පුරවැසිභාවය ලබා ගැනීමටත් අවසරය ලැබේ.

එමෙන්ම, චීනයේ විදෙස් මාධ්‍යයන් අවහිර කිරීමටත් තහනම් කිරීමටත් චීනය පසුගිය දෙවසර තුළ සංවිධානාත්මකව කටයුතු කර තිබේ. 2020 දී ඇමරිකානු පුවත්පත් තුනකට සේවය කළ මාධ්‍යවේදීන් චීනයෙන් පිටුවහල් කෙරිණි. බීබීසී වෙබ් අඩවිය සහ ඇප් උපාංගය දැනටමත් චීනය තුළ තහනම් කර තිබේ.

චීනයේ ක්සින්ජියෑන් පළාතේ පවත්වාගෙන යන “පුනර්-අධ්‍යයන” කඳවුරු තුළ දී සංවිධානාත්මකව උයිගර් කාන්තාවන් දූෂණය කෙරෙන බවත් ලිංගික අඩන්තේට්ටම් සහ වධ හිංසාවන් සිදු කෙරෙන බවත් පවසන කාන්තාවකගේ සම්මුඛ සාකච්ඡාවක් සහිත ප්‍රවෘත්තියක් පසුගිය දා බීබීසිය විසින් පළකරන ලදී. බීබීසීය අසත්‍ය පුවත් සපයන බවට චීනයේ විදේශ අමාත්‍යවරයා චෝදනා කළේය.

BBC
චීන තානාපති Liu Xiaoming පසුගිය වසරේ බීබීසී සාකච්ඡාවක

චීනය උයිගර් මුස්ලිම්වරුන් ඇතුළු තවත් මුස්ලිම් කණ්ඩායම් මර්දනය කිරීම සඳහා වර්ග සංහාරයක යෙදී ඇතිබව පසුගිය මාසයේ දී එක්සත් ජනපදය පැවසීය.

මිලියනයකට අධික උයිගර් මුස්ලිම්වරුන් සහ තවත් සුළුතර ප්‍රජාව චීනයේ කඳවුරු තුළ රඳවා සිටින බවට ඇස්තමේන්තු කර තිබේ.

උයිගර් ප්‍රජාවට වධ හිංසා සිදු කරන බවට එල්ල වන චෝදනා චීනය ප්‍රතික්ෂේප කරයි. රටේ සෑම ජන ප්‍රජාවකටම එක හා සමානව සලකන බව එක්සත් රාජධානියේ සිටින චීන තානාපතිවරයා පසුගිය වසරේ බීබීසී සාකච්ඡාවකදී පැවසීය.

Recommended For You

About the Author: Editor