දිස්ත්‍රික්ක 25ට Youth Hub 25ක්

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ  සංකල්පයකට අනුව සෑම දිස්ත්‍රික්කයකම සංස්කෘතික මධ්‍යස්ථාන යටතේ යූත් හබ් (Youth Hub) පිහිටුවීම පැසසිය යුතු කරුණක් බව  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (12)  ප්‍රකාශ කළේය.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යංශය යටතේ ඇති සංස්කෘතික මධ්‍යස්ථාන එම කටයුතුවලට සමගාමීව  ක්‍රීඩා කටයුතු හා වෘත්තිය පුහුණු කටයුතු සඳහා යොදා ගැනීමට ඇති හැකියාව පිළිබඳ සාකච්ඡා කිරීමට අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා ‍මේ බව සඳහන් කළේය.

දිස්ත්‍රික් 25 තුළ යූත් හබ් (Youth Hub) 25ක් ස්ථාපිත කිරීමට සැළසුම් කර ඇති බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහි දී පෙන්වා දුන්නේය.

මෙහි පළමුවැන්න දැනට වසර දෙකක කාලයක සිට ඉදිකිරීම් නවතා දමා තිබෙන මාතර නාවිමන සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථාන පරිශ්‍රයේ ආරම්භ කළ හැකි බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යතුමාට යෝජනා කළේය.

ඒ පිළිබඳව පැවැති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය පිහිටි ස්ථානයේ ගොඩනැගෙන ක්‍රීඩා විශ්ව විද්‍යාලය අසලින් ගොඩනැගිලි සංකීර්ණයක් සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයට ලබා දිය හැකි බවට යෝජනා විය.

ජාතික උරුම ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පි ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එම යෝජනාව පිළිගෙන කටයුතු කළ හැකි බව සඳහන් කළේය.

සියලු දේ කොළඹට සීමා නොකර සෑම දිස්ත්‍රික්කයකටම බෙදී යන පරිදි කටයුතු කිරීම ප්‍රශංසනීය බව  අග්‍රාමාත්‍යතුමා මෙහි දී අවධාරණය කළේය.

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය.

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශ විෂය පථය ඇතුලෙ තියෙන ගුණාංගවලින්ම පිරුණු වැඩසටහනක් තමයි සංස්කෘති මධ්‍යස්ථාන සහ ඒ ආයතන හරහා ක්‍රියාත්මක වන්නේ. මේ දෙපැත්තටම බහුතරයක් සම්බන්ධවන්නෙ තරුණ පිරිස නිසා අපට ඒකාබද්ධව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ හැකිනම් එය ඉතාමත් සාර්ථකව ඉදිරියට ගෙන යා හැකියි.

යූත් හබ් කියලා වැඩපිළිවෙලක් අපි නිර්මාණය කළා. මේ සංකල්පයෙන් දිස්ත්‍රික් මට්ටමෙන් අවම වශයෙන් එක් තරුණ මධ්‍යස්ථානයක් හදන්න අපි බලාපොරොත්තු වෙනවා. එය දැනට තිබෙන තරුණ මධ්‍යස්ථාන, තරුණ සංවිධාන එහෙම නැත්නම් යෞවන සමාජ හෝ යොවුන් සේනාංක වගේ නෙමෙයි. මේ ඔස්සේ අපි කරන්න බලාපොරොත්තු වෙන්නෙ තරුණ තරුණියන්ගේ එදිනෙදා ජීවිතය ගොඩනගාගන්න අවශ්‍ය උපදෙස් මාලාවක් ලබාදීම, රැකියා අයදුම්පතක් පුරාවා ගැනීම, දෙස් විදෙස් රැකියා මාර්ගෝපදේශ ලබාදෙන්න, වෘත්තිය කාර්මික පුහුණුවට යොමු කිරීම, විනෝදාස්වාදය වෙනුවෙන් නර්ථනය ඇතුළු සංස්කෘතිය ඒකාබද්ධ වූ මධ්‍යස්ථානයක් නිර්මාණය කිරීම.

ඒ අනුව දිස්ත්‍රික් 25 තුළ එවැනි මධ්‍යස්ථාන 25ක් ස්ථාපනය කරනවා. මේ සඳහා දැනට තිබෙන ආයතන සහ මධ්‍යස්ථානවල ගොඩනැගිලි අපට ඒ සඳහා භාවිතා කළ හැකියි. අලුතින් ඉදිකරන එක මුදල් නාස්තියක්. මාතර සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය පිළිබඳව අපේ අවධානය යොමු වුණා. එය දැනට වසර දෙකක කාලයක සිට ඉදිකිරීම ඇණසිට තිබෙන ස්ථානයක්. අපට පුළුවන් යූත් හබ් එකේ පළමුවැනි පියවර එතැනින් පටන් ගන්න.

අද අපි තවත් අලුත් සංකල්පයක් හදා ගත්තා අපේ කුඩා ව්‍යාපාර වෙනුවෙන්. ඒ තමයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පොළවල්වල නැති දිනවල කුඩා ව්‍යාපාරිකයන්ට පොළවල්වල වෙළඳාම් කිරීම අවස්ථාව සලසා දීම. හම්බන්තොට සහ බදුල්ල දිස්ත්‍රික්ක වලින් ඊට මූලාරම්භයක් අද දිනයේ තබා තිබෙනවා. ඉදිරියේ දී අවම වශයෙන් එක ආසනයක එක පොළක කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් දිනක හෝ දෙදිනක පොළක් අප නිර්මාණය කරනවා. ඒ වෙනුවෙන් ඉදිරියේ දි යූත් හබ් එක තුළ ඒ වෙනුවෙන් ස්ථීර මධ්‍යස්ථාන ඇති කරන්න බලාපෙරොත්තු වෙනවා.

දැනට තිබෙන සංස්කෘතික මධ්‍යස්ථානවලට ක්‍රීඩාව පැත්තෙන් අපට උදව් කළ හැකියි. ටේබල් ටෙනිස්, බැඩ්මින්ටන්, වූෂූ, කරාටි, බොක්ෂිං වගේ ක්‍රීඩා කොළඹින් පිටටත් ගෙනියන්න අප බලාපොරොත්තු වෙනවා. දෙමසක් වගේ ඇතුළත ක්‍රීඩා භාණ්ඩ හා පුහුණුකරුවන් අපට ලබාදිය හැකියි. ත්‍රිවිධ හමුදාවෙන් හා පොලිසියෙන් පුහුණුකරුවන් ඊට සුදානමින් සිටිනවා.

ක්‍රීඩා අමාත්‍යංශය හා ප්‍රවාහන අමාත්‍යංශය එක්ව පාසල් ළමුන්ට දැන් බස් රථ ප්‍රවේශපත්‍ර ලබාදෙනවා. එමගින් ක්‍රීඩා කටයුතුවලට යන ළමුන්ට බස් රථ හා දුම්රිය ප්‍රවේශපත්‍ර ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. එම පිරිවැය ක්‍රීඩා අමාත්‍යංශයෙන් දරනවා. සංස්කෘතික අමාත්‍යංශයේ දරුවන්ටත් ඒ සඳහා වැඩපිළිවෙලක් අප සකස් කර දෙනවා.

Recommended For You

About the Author: Editor