රෝගී වූ – දුර්වල ගොවිබිමට ‘කාබනික පොහොර’ මගින් යළි ජීවය දෙමුද ?

අපි ගොවීන්ට ආරාධනා කරන්නේ එකවර නොවුණත් ක්‍රමයෙන් කාබනික වගාවට යොමු වන ලෙසයි. ඒ වගේම වී වගාවටත් 25%ක්වත් කාබනික පොහොර යොදන ලෙසයි. තමන්ට කාබනික පොහොර හදා ගන්නේ නම් ගොඩක් හොඳයි. පස සරු කිරීම කියන කාරණයට පටු නොවී රෝගි වුණු දුර්වල වුණු පස සුවපත් කරන සටනට අපි දැන් අවතීර්ණ විය යුතුයි.

චන්දන රුවන් සිරිවර්ධන සහකාර අධ්‍යක්ෂ ජාතික පොහොර ලේකම් කාර්යාලය

මුළුමනින්ම කාබනික ඕනෑ නෑ. පුළුවන් තරම් කාබනික පොහොර යොදන්ඩ.

පමණ ඉක්මවා රසායනික පොහොර භාවිතයේ අවදානම සහ කාබනික වගා සංග්‍රාමය පිළිබඳව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ චන්දන රුවන් සිරිවර්ධන මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

කෘෂිකර්මාන්තය මත ආර්ථිකය රඳා පවතින රටවල රසායනික තෙල් පොහොර භාවිතයට නැඹුරු වීමේ ඉතිහාසය කුමක් ද?

ගොවිබිම්වලට රසායනික තෙල් පොහොර යෙදීම කියන මාතෘකාව කෘෂිකර්මාන්තයත් සමග කළ එළි බසින්නේ 1970 හරිත විප්ලවයත් සමගයි. මේ ගැන වැඩි දෙනෙක් දන්නේ නැති වුණත් හරිත විප්ලවය කියන්නේ අමුතු දෙයක් නෙමෙයි. ජනගහනය වැඩිවීමත් සමග වැඩියෙන් ආහාර නිෂ්පාදනය කරන්න සිද්ධ වුණා. මුළු ලෝකටයම බලපෑ මේ ක්‍රියාන්විතය එවකට පැවති ආර්ථික සහ කෘෂිකාර්මික ක්‍රමවේද හරහා සිදු කිරීම අපොහොසත් කාර්යයක් බව ට මුලින්ම මත ඵල කළේ යුරෝපා රටවල්. ඒ අය මේ ප්‍රශ්නයට විසඳුමකුත් කිව්වා. ආහාර නිෂ්පාදනය වැඩි කර ගැනිමට නම් වැඩි අස්වැන්නක් දෙන දෙමුහුන් බීජ භාවිතයට යා යුතු බව ඔවුන් ලෝකය ට ප්‍රකාශ කළා. නමුත් දෙමුහුන් බිජවලින් වැඩි ඵලදාවක් ගන්න එකත් ලෙහෙසි පහසු කාර්යයක් නෙමෙයි. එහිදි ඵලදාව වැඩි කරගන්න නම් රසායනික තෙල් පොහොර යෙදිය යුතු බව එම රටවල් කෘෂිකර්මාන්තයෙන් යැපෙන අපි වගේ රටවල්වලට උපදෙස් දුන්නා. ඒ උගුලේ පැටලුණු අපි ඇතුළු රටවල් ඒ මතම යැපෙන කෘෂිකාර්මික ක්‍රමයට ඇබ්බැහි වුණා.

ඔබ කියන්නේ පොහොර සහනාධාරය දීමත් ඒ උගුලේ පැටලීමක් කියල ද?

නෑ. නෑ. අද ලෝකයේ සෑම රටක් ම රසායනික තෙල් පොහොර යොදනවා. හේතුව අද පවතින කෘෂිකාර්මික ගමන්මගත් එක්ක වැඩි නිෂ්පාදනයක් ගන්න නම් රසායනික තෙල් පොහොර භාවිතය යම් ප්‍රමාණයකට අවශ්‍යයි. එහෙම නැත්නම් ආහාර නිෂ්පාදන කර්මාන්තයේ දී අපි අසමර්ථ වෙනවා. රජය මගින් සිදු කළේ මේ කර්මාන්තයට බද්ධව සිටින ගොවි ප්‍රජාවට නිෂ්පාදන ධාරිතාව වැඩි කර ගැනීම සඳහා ඔවුන් දරණ උත්සාහයට ධනාත්මක පහසුකාරකයන් සැපයීමයි. අදටත් ලංකාවේ වී නිෂ්පාදනයෙන් අපි දැවැන්ත ප්‍රගතියක් ලබා ගෙන තිබෙනවා. නමුත් ගැටලුව මතු වන්නේ පොහොර සහනාධාරය නොවෙයි. මෙම සහනයෙන් සීමාව ඉක්මවා, එහෙමත් නැත්නම් වැරැදි භාවිතය යි.

අපේ පැරැණි කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික වගාවක්. මොකක්ද එදා සිද්ධ වුණේ?

ගහක් හැදෙන්නේ සරුසාර පසක. කාබනික පොහොර කියන්නේ තනිකරම පස සාරවත් කරන ක්ෂුද්‍ර ජීවින්ගේ තෝතැන්නක් .රසායනික තෙල් පොහොර යෙදීමට පෙර දේශීය ගොවිතැන මුළුමනින් ම රඳා පැවතුණේ කාබනික පොහොරත් සමගයි. අපේ දේශීය වී ප්‍රභේද, එළවළු පළතුරු ආදිය ඵල දැරුවේ සොබා දහමට අවනත කාබනික පොහොර මතයි. ක්ෂුද්‍ර ජීවින් නිසා පසට එකතු වන කොළ රොඩු ඔක්කොම ඉක්මනින් දිරාපත් වෙනවා. මේ ජීවින් විවිධ එන්සයිම හදලා දෙන නිසා තමයි මේ දිරාපත් විම සිද්ධ වෙන්නේ. අද ගෙවත්තේ කොළ රොඩු ටික දිරිපත් වීමටවත් පසේ ජීවියෙක් නෑ. ගැඩවිලෙක් දැක ගන්න නෑ. ගැඩවිලා පස හොඳට බුරුල් කරලා දෙන ගොවියාගේ ළගම හිතවතෙක්.

හිතේ හැටියට ඵලදාවක් ගන්න නම් කාබනික වගාව අදට හරියන්නේ නෑ නේද?

අපේ ඇතැම් ගොවි මහත්වරු හිතන්නේ එහෙම තමයි. නමුත් කාබනික පොහොරවලින් පස තුළ සිදුවන ක්‍රියාවලිය අප ට යාන්ත්‍රිකව කරන්න බැරි ස්වභාවධර්මය මගින් ම ක්‍රියාවට නංවන කාර්යාවලියක්. කාබනික පොහොර එහෙමත් නැත්නම් කොළ රොඩුවලින් හදා ගත් කොම්පොස්ට් පසට දැම්ම ම පස බොහොම ශක්තිමත්. තද අව්වක්, මහ වැස්සක් ආවත් පස හෙල්ලෙන්නේ නෑ. ඒ වගේම අපි හිතමුකෝ රසායනික පොහොර ටිකකුත් දැම්මා කියලා. ඉතා හොදින් පසට සාරය උරා ගන්නවා. වතුර හොඳට උරා ගන්නවා. නමුත් ගමන පොඩ්ඩක් හිමින් තමයි. නමුත් සොබා දහමට අවනතව මිනිස්සුන්ට වස විස කැවෙන්නේ නැති ඵලදාවක් අරන් දෙනවා.

රසායනික තෙල් පොහොර සහමුලින්ම ප්‍රතික්ෂේප කළ හැකි ද?

ජාතික ආර්ථිකයට පෑහෙන ආහාර නිෂ්පාදන ක්‍රමවේදය තුළ අපි රසායනික පොහොර භාවිතය ප්‍රතික්ෂේප කරන්නේ නෑ. අද ලෝකයේ කෘෂිකර්මාන්තයෙන් ඉදිරියට යන රටවල් බොහොමයක් අනුගමනය කරන්නේ කාබනික සහ රසායනික පොහොර ද්විත්වයම සම සමව පසට යොදන ක්‍රියාවලියක්. වත්මන් රජයේ දැක්ම සහ ඉලක්කයත් මේ ක්‍රමවේදයට ගොවීන් බද්ධ කර ගැනීමයි.ගොවීන් දැන ගත යුතු දෙයක් තියෙනවා. රසායනික තෙල් පොහොර වුණත් පමණ දැනගෙන යොදනවා නම් ලොකු අවුලකට මග පෑදෙන්නේ නෑ. නමුත් වසර තිහ හතළිහක් ඉවක් බහක් නැතිව පොහොර ටොන් ගණන් මේ මහ පොළොවට දමන ලද විපාකය නිසා අද පසේ ස්වභාවය සම්පූර්ණයෙන් ම විකෘති වෙලා. ලංකාවේ ඇතැම් ප්‍රදේශවල පසේ පොස්පරස් ප්‍රමාණය සියයට 38කින් වැඩි බව පර්යේෂණ මගින් තහවුරු වී තිබෙනවා. මේ නිසා අද නිෂ්පාදන ධාරිතාව වගේ ම පාංශු ප්‍රතිකාරයත් වහ වහා ක්‍රියාත්මක කිරීමට සිදුවෙලා තිබෙනවා.

මොකක්ද පාංශූ ප්‍රතිකාරය කියන්නේ?

රසායනික පොහොර ගැන අපිට වඩා ගොවියෝ හොඳට දන්නවා. ගොවියෝ යොදන යුරියාවලින් පසට නයිට්‍රජන් ලැබෙනවා. ටී.එස්. පි යෙදුවම ගසේ මුල් ටික හොඳින් වැඩෙනවා. එම්.ඕ.පී වල තමයි පොටෑසියම් තිබෙන්නේ. ඉන් වැඩි අස්වැන්නක් ලැබෙනවා. නමුත් අපි මේවා යෙදු පමණින් මේ සංඝටක සියයට සියයක් ම පසට උරා ගන්නේ නෑ. රසායනික පොහොර වුණත් පස හොඳින් උරා ගන්නේ ක්ෂුද්‍ර ජීවින් හිටියොත් තමයි. මේ කතාව අපේ ගොවියෝ දන්නේ නෑ. මේ නිසා කාබනික පොහොර ටික කොම්පෝස්ට් ටික පැත්තකට දාලා රසායනික පොහොරම යොදනවා. එවිට පස දුර්වල වෙනවා. දුර්වල වී ඇති පස යථා තත්ත්වයට ගන්න නම් කාබනික පොහොර යෙදීම කළ යුතුයි.

ඔබ කියනවා පස ලෙඩ වෙලා කියලා. අපි කොහොමද එය හඳුනාගන්නේ?

ඉස්සර වගේ ගොවි බිම්වලින් අද අස්වැන්නක් එන්නේ නෑ. ඒ වගේම ලැබෙන අස්වැන්න දුර්වලයි. එළවළු සහ පලතුරුවලින් අපිට මෙය දැක ගත හැකියි. ගහකින් වැළකින් පිරුණු ගෙඩියක් එන්නේ නෑ. අපේ ගොවියෝ ඒකටත් හිතන්නේ පොහොර මදි නිසා තමයි වගාව දියාරු වෙලා තියෙන්නේ කියලා. එහෙම හිතලා අත දිගෑරලා අයෙමත් පොහොර ගහනවා. දැන් අපේ පසේ තත්ත්වය බොහොම බරපතළයි.

කෘෂිකාර්මික ප්‍රදේශවල පාංශුවල ස්වභාවය පර්යේෂණාත්මක ව අධ්‍යයනය කරනවා. ගොවින් නොදන්න මුත් හඳුනාගෙන ඇති අලුත් තත්ත්වය මොකක් ද?

යූරියා ගැන අපි දන්නේ බොහොම ටිකයි. අපි යොදන යූරියාවලින් පසට උරා ගන්නේ සියයට 60යි. ඉතිරි ටික ට මොක ද වෙන්නේ? ඒ ටික වතුරට දියවෙලා යනවා. තද අව්වේ දී නම් වාෂ්ප වෙනවා. පොස්පරස් හෙවත් මඩ පොහොර ගැන ගොවි ජනතාව මහ ඉහළින් විශ්වාසයක් තියාගෙන ඉන්නවා. දැන් රජය මගින් පොහොර සහනාධාර යටතේ ලබා දෙන මඩ පොහොර ප්‍රමාණය සීමා කරලයි තිබෙන්නේ. ගොවියෝ කියනවා ලැබෙන මඩ පොහොර මදි පස නිසරු වෙලා අස්වැන්න අඩු වෙලා කියලා. නමුත් දැන් වෙලා තිබෙන්නේ පොස්පරස් අඩු වීම නොවෙයි පසේ පොස්පරස් ප්‍රමාණය පසට උහුලන්න බැරි තරමින් තිබෙන නිසා පස රෝගි තත්ත්වයට පත් වී ඇති එකයි.

පොස්පරස්වල ස්වභාවය වෙනස්ම එකක්. වතුරේ දිය වෙන්නේ නෑ. වැඩිපුර යොදන්න යොදන්න පස විසින් ප්‍රතික්ෂේප කරලා ප්‍රායෝජනයක් නැති දෙයක් බවට පත් වෙනවා. ශාකයට උරා ගන්නෙත් නෑ. ඉන් පසු පස මතුපිට තට්ටුවක් වගේ තැන්පත් වෙනවා.වෙනත් පොහොර වර්ගයක් දැම්මත් මේ තට්ටුව නිසා පසට හෝ ගසට උරා ගන්නේ නෑ. අද මේ තත්ත්වය අපේ පස තුළ නිර්මාණය වෙලා අවසන්. දැන් පස මත පිළිකා කාරකයක් වගේ පොස්පරස් බැඳිලා.

රසායනික පොහොර භාවිතයේ දී ගොවින් අතින් සිදු වන වැරැදි මොනවා ද?

මේ කතාව අපි ගොවීන්ට නිරන්තරයෙන් සිහි කැඳවනවා. නමුත් ඇතැමුන් තවම මෙය දන්නේ නෑ. තවත් පිරිසක් තකන්නේ නෑ. සාමාන්‍යයෙන් වී වගාවට යොදන පොහොර වර්ග තුනම හෙක්ටයාර් එකක ට යෙදිය යුතු ප්‍රමිතිය කිලෝ ග්රෑම් 300-400යි. අපේ ගොවි මහත්තුරු හෙක්යාරයකට කිලෝ 1000-1500ක් යොදනවා. එ වගේම නොමිලේ රජයෙන් ලැබෙන පොහොර ගහලා තව මදි කියලා හිතෙනකොට සල්ලිවලට අරගෙනත් ගහනවා. එතකොට හිතන්න පුළුවන්නේ වෙන්ඩ තියෙන්නේ වෙලා තියෙන්නේ මොකක්ද කියලා.මේ තත්ත්වයට අද රසායනික පොහොර යොදන බොහොමයක් රටවල් පත් වෙලා තිබෙනවා.

ගොවි බිම් ආශ්‍රිතව පස යථා තත්ත්වයට ගැනීම සඳහා රජයේ වැඩ පිළිවෙළ කුමක්ද?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය සෞභාග්‍යයේ දැක්ම යටතේ මේ ගැන පැහැදිලිි විග්‍රහයක් කර තිබෙනවා. වර්තමානයේ පස සරුබව කියන කතාවට වඩා පසේ සෞඛ්‍ය ගැන ලොව සෑම රටක්ම විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. අපිත් ඒ ගමනේ කොටස්කරුවන් විය යුතුයි. මේ නිසා වත්මන් රජය රසායනික පොහොර යොදන ගමන් කාබනික පොහොරත් එම පසටම යොදන්න ගොවීන් පෙලඹවීමට වෙනම වැඩසටහනක් ක්‍රියාත්මක කරලයි තිබෙන්නේ. අපි දැනටමත් කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ නියමු ව්‍යාපෘතියක් කර තිබෙනවා. රජය වී වගාව සඳහා රසායනික පොහොර සියයට 75 ක් සහ කාබනික පොහොර සියයට 25ක් යෙදීමට ගොවින් දිරි ගන්වන නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. වී වගා බිම්වලින් හෙක්ටයාර් 14467ක ට කාබනික පොහොර යෙදිමට අපේක්ෂිතයි. අද දෙමුහුන් බීජ භාවිතය වැඩි නිසා මේ පොහොර වර්ග දෙකම සම සමව යොදන ලෙස අපි ගොවින් ව දැනුම්වත් කරනවා.

ගොවීන්ට තියෙන ප්‍රශ්නයක් තමයි අක්කර පහ හයක් වී වගා කරන විට කුඹුරට කොහොම ද කාබනික යොදන්නේ කියන එක?

මුළුමනින්ම කාබනික ඕනෑ නෑ. පුළුවන් තරම් කාබනික පොහොර යොදන්ඩ. දැන් වෙළෙඳපොලේ මිල දී ගන්ඩත් තිබෙනවා. රජය දැනටමත් කාබනික පොහොර නිෂ්පාදනය දිරි ගන්වමින් යනවා. අනෙක කුඹුරේ තියෙන පිදුරු ටික කාබනික පොහොරක්. අපේ අය කරන්නේ ඉක්මනට ගිහින් පිදුරු ගොඩට ගිනි කූරක් තියෙනවා. පිදුරු ඉක්මනට දිරන්නේ නෑ තමයි. අනෙක සීසාන විට කරදරයි. පිදුරු ඉක්මනට දිරන්න නම් ලියද්දට වතුර බැඳලා යුරියා ටිකක් ඉහින්න.

කාබනික දියර පොහොර අද කාබනික වගාවට කැමැති ගොවි මහත්වරු අතර හරිම ජනප්‍රියයි. ඉකුත් මහ කන්නයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අක්කර 5000ක දියර පොහොර යොදා විශේෂ නියමු ව්‍යාපෘතියක් කළා. ඉහළින් ම සාර්ථකයි. මේ වගේ වෙනස් දේවල් අත්හදා බලන්න කැමැති ගොවීන් අපි අතර ඉන්නවා.

කෘෂි රසායන යෙදවුම්වල තවත් ආදිනව තිබෙනවා නේද?

වකුගඩු රෝග, නිදන්ගත රෝග, ජාන විකෘති දරුවන් බිහිවීම ඔය කියන ප්‍රශ්න මේවායේ ප්‍රතිවිපාක තමයි. අද රජරට, කුරුණෑගල වැව් ඔක්කොම ජපන් ජබර, බෙරු වගේ ජලජ ශාකවලින් වැහිලා. මේවා මේ තරමට වර්ධනය වෙලා ව්‍යාප්ත වෙලා තිබෙන්නේ ගොවි බිම්වලින් හේදිලා එන රසායනික තෙල් පොහොර වැව්වලට මිශ්‍ර වීම නිසයි.

ගොවීන්ට පෞද්ගලිකව පාංශූ පරික්ෂාවක් කර ගන්නේ කොහොමද?

නිතර ගොවිතැන් කරන අය අවධානය යොමු කළ යුතු වැදගත්ම කාරණයක් පාංශු පරික්ෂාව. ඕනෑම ගොවියකුට තමන්ගේ වගා බිමේ තත්ත්වය කොහොමද කියලා ඉන් බලාගන්න පුළුවන්. පොස්පරස් ප්‍රමාණය අඩු ද වැඩි ද කියලා බලා පොහොර යෙදිය යුතු ප්‍රමාණය තිරණය කර ගන්න පුළුවන්. පාංශු පරීක්ෂාවක් කර ගැනිමට සෑම දිස්ත්‍රික්කයක ම රසායනාගාර පිහිටුවලා තිබෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රසායනාගාර 32ක් තිබෙනවා. මේ ගැන වැඩිදුර තොරතුරු කෘෂිකර්ම උපදේශකවරුන් ගෙන් දැන ගත හැකියි.

කාලයක් තිස්සේ හුරු වුණු ගොවිතැනින් මිදි අලුත් ප්‍රවේශයකට යාමට කළ යුත්තේ කුමක්ද?

අපි ගොවීන්ට ආරාධනා කරන්නේ එකවර නොවුණත් ක්‍රමයෙන් කාබනික වගාවට යොමු වන ලෙසයි. ඒ වගේම වී වගාවටත් 25%ක්වත් කාබනික පොහොර යොදන ලෙසයි. තමන්ට කාබනික පොහොර හදා ගන්නේ නම් ගොඩක් හොඳයි. පස සරු කිරීම කියන කාරණයට පටු නොවී රෝගි වුණු දුර්වල වුණු පස සුවපත් කරන සටනට අපි දැන් අවතීර්ණ විය යුතුයි. ඒ සඳහා එකම ප්‍රතිකාරය වගේම රෝගය නිට්ටාවට සුවකළ හැකි හැකි ප්‍රතිකර්මයත් කාබනික පොහොර බව සිහි තබා ගන්නේ නම් මේ සංග්‍රාමය සාර්ථක වෙනවා. රජයේ මේ වැඩපිළිවෙළත් සමග එක්වන ලෙස අපි ගොවින්ට ආරාධනා කරනවා.

සකුන්තලා ජයසිංහ විසින් දිනමිණ පුවත්පතට සම්පාදිත ලිපියකි.

Recommended For You

About the Author: Editor