‘පළාත් පාලන ඇමැතිට’ අගමැති දුන් විශේෂ නියෝගය

මහා නගර සභා, නගර සභා ආඥා පනත් සහ ප්‍රාදේශීය සභා පනතේ යෝජිත සංශෝධන කඩිනම් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (15) දින පෙරවරුවේ දැනුම් දුන්නේය.

පළාත් පාලන ආයතනයන්ගේ සංසදයේ නියෝජිත හමුව අරලියගහ මන්දිරයේ දී පැවැති අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

ඒ අනුව අදාළ සංශෝධනය සඳහා දැනටමත් සූදානම් බවත් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව නොබෝ දිනකින් ඉදිරිපත් කරන බවත් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙහි දී සහතික විය.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය, නාගරික සංවර්ධන අධිකාරිය, වැටුප් කොමිෂන් සභාව, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව, තක්සේරු දෙපාර්තමේන්තුව සමඟ පවතින ගැටලු සහ කසළ කළමනාකරණය හා විගණනයට අවශ්‍යය පිළියම් පිළිබඳව පළාත් පාලන ආයතන නියෝජිතයන් විසින් මෙම හමුවේ දී අග්‍රාමාත්‍යවරයාට කරුණු ඉදිරිපත් කරන ලදී.

කොවිඩ්-19 තත්ත්වය හේතුවෙන් පළාත් පාලන ආයතනවල අදායම සීඝ්‍රයෙන් පහළ වැටී ඇති බවත්, මෙම ආයතනවල පවතින සේවක හිඟය අර්බුද රැසකට මුල් වී ඇති බවත් මොරටුව මහනගර සභාවේ නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය.

Recommended For You

About the Author: Editor