‘පාඩම් වැඩ කිරීමට සුදුසු ම තැන’ කුමක්ද කියා ඔබේ දරුවාට වටහා දෙන්න

මනෝ වෛද්‍ය මහාචාර්ය ප‍්‍රියන්ත ගාමිණි ජයසිංහ

විභාගයට සූදානම් වීමේ දී පාඩම් කටයුතු සඳහා සුදුසු ස්ථානයක් සකස් කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. විශේෂයෙන් ම කුඩා ළමයින්ට මෙහි දී මාපිය සහාය අවශ්‍ය ය.

පාඩම් කිරීම සහ විභාගයට සූදානම් වීම එක රැයකින් සිදු කළ හැකි දෙයක් නො වේ. එනම් ඕනෑ ම විභාගයක් සඳහා නිශ්චිත නියමිත කාලයක් ඇති අතර එම කාලය තුළ මනා කළමනාකරණයකින් යුතුව සූදානම් වීම වැදගත් ය. එනිසා විභාගයට සූදානම් වීම සහ පාඩම් කිරීම පුරුද්දක් බවට පත්කර ගැනීම අපේක්ෂකයකුට අත්‍යවශ්‍ය කාරණයකි.

විභාගයට සූදානම් වීමේ පිළිවෙළ යහපත් ආකල්ප හා ක්‍රියාමර්ග ඇති කර ගැනීම මඟින් පහසුවෙන් විභාගයට මුහුණ දීමට සහ හොඳ විභාග ජයග්‍රහණ ලැබ ගැනීමට ද හැකියාව ලැබේ.

විභාගයට සූදානම් වීමේ දී පාඩම් කටයුතු සඳහා සුදුසු ස්ථානයක් සකස් කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. විශේෂයෙන් ම කුඩා ළමයින්ට මෙහි දී මාපිය සහාය අවශ්‍ය ය. සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකට ම තමන්ට පාඩම් කිරීම සඳහා සුදුසු ස්ථානයක් පිළිබඳව හැඟීමක්, අදහසක් ඇත. ඒ ස්ථානය ඒ ඒ ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාවට ම පෞද්ගලික වූවකි. ඇතැම් විට එය තම කාමරය තුළ ම සකස් කර ගත් ස්ථානයකි.

එසේ නො වේ නම් නිවසේ වෙනත් ස්ථානයක සකස් කර ගත් ස්ථානයකි. තවද බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පුස්තකාලයක හෝ වෙනත් ස්ථානයක් කණ්ඩායම් සාකච්ඡා ලෙස කිරීමට යොදා ගත හැකි ය. ඒ කෙසේ වෙතත් තමන් ඉගෙනුම් කටයුතු කරන ස්ථානය නිස්කලංක (quiet), පහසුකම් සහිත(comfortable) සහ අවධානය නොබිඳින ස්ථානයක් (distraction free) වීම අවශ්‍ය ය. එම ස්ථානය තමාට ප්‍රිය ජනක විය යුතු ය. තමා රැඳී සිටීමට කැමති ස්ථානයක් විය යුතුය. කැමති, ප්‍රියජනක ස්ථානයක් ලෙස සකසා ගැනීමට කැපවීම තිබිය යුතුය.

එම ස්ථානයේ තමන් ප්‍රිය කරන චිත්‍රයක් හෝ තම අනාගතය, අනාගත අපේක්ෂාව කියවෙන වැකි කඩක් පැහැදිලිව, පිරිසිදුව, ක්‍රමවත්ව ලස්සනට පෙනෙන්නට තබා ගැනීම ද වැදගත් වෙයි. නමුත් බිත්ති පුරා බොහෝ චිත්‍ර, රූප, ඡායා රූප වැනි දේ අපිළිවෙළකට තැබීම නුසුදුසු ය. එසේ ම පොත පත පාඩම් කරන මේසය නොයෙකුත් පොත් පත් අවුල් සහගත ලෙස තබා තිබීම ද මනසට පීඩාවකි. අත්‍යවශ්‍ය ම පොත්පත් හා ලියකියවිලි, පෑන් පැන්සල් ආදිය පමණක් තමන් සමීපයේ තබා ගැනීම සුදුසු ය.

එසේ ම තම පෞද්ගලික පුස්තකාලයේ පොත්පත් හැමවිට ම පිළිවෙළකට තැබීම ද වැදගත් ය. පාඩම් කරන අතරතුර යම් පොතක් හදිසියේ සොයා ගැනීමට අවශ්‍ය වුවොත් එවිට පහසු වේ. තමන් පාඩම් කරන ස්ථානයට එන විට ම තමන්ගේ සිතට ප්‍රසන්න බවක් ඇති විය යුතු ය. අප්‍රසන්න දේ එම ස්ථානයෙන් ඉවත් කර තැබිය යුතු ය.

වඩා සුදුසු ස්ථානයක අධ්‍යාපන කටයුතු කිරීම මඟින් ඵලදායිතාව වැඩි කර ගැනීමට පුළුවන. එම ස්ථානය තුළ සිටින විට, පාඩම් කරන විට, තම අවධානය බිඳෙන සුලු, වෙනතක යොමු වන සුලු තත්ත්වයක් වේ නම් ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව එහි ගත කරන කාලය තුළ සාපේක්ෂ අධ්‍යයන කටයුතු අසාර්ථක වීමට බැරි නැත. එනම් විටින් විට අවධානය වෙනත් බාහිර දේකට යොමු වේ නම් ඒ කාලය අපතේ ගියා වෙයි. එවිට ඒ නාස්ති වූ කාලය ළමයාට පාඩුවකි. පාඩමේ ඵලදායිතාව අඩු වේ. තවද එක් ළමයකු පාඩම් කිරීම සඳහා උචිත යැයි තෝරා ගන්නා ස්ථානය තවත් ළමයකුට එසේ නොවීමට පුළුවන.

එක් අයකු කැමති, ඔහුට ගැළපෙන තැන තවත් අයකුට අකමැති නො ගැළපෙන තැනක් වීමට පුළුවන. උදා : ලෙස එක් ළමයකු දැඩි නිශ්ශබ්ද, පෞද්ගලික නිස්කලංක පරිසරයක් තමාට ගැළපෙන ස්ථානය ලෙස සැලකිය හැකිය. තවත් ළමයකුට එවැනි ස්ථාන අල්ලන්නේ ම නැත. එබැවින් ඒ ඒ ළමයාට ප්‍රියජනක, කැමති, ගැළපෙන ස්ථානය තෝරා ගැනීමටත්, සොයා ගැනීමටත් ඔවුන්ට මග පෙන්විය යුතු වේ. කෙසේ වුව ද අප අවබෝධ කර ගත යුතු වැදගත් දෙය නම් තෝරා ගත් පරිසරය තම ඉගෙනීමට, පාඩම් කිරීමට. අභ්‍යාසවලට පිළිතුරු ලිවීමට, මෙහි දී තමන් භාවිත කරන ක්‍රමවේදයට, තම මතක ශක්තියට, සේ ම තමාගේ අවධානයට බාධා නොවන පරිසරයක් විය යුතු බව ය.

දැනට හඳුනා ගෙන තිබෙන ආකාරයට නිස්කලංක, නිහඬ වූ බොහෝ ශබ්දවලින් තොර ස්ථානයක් සුදුසු ම ස්ථානයක් යැයි කිව හැකි නොවේ. ඇතැම් පුද්ගලයන් එසේ නො වන ස්ථානවල, එසේ නො වන පරිසර තුළ ඉතා හොඳින් පාඩම් කර, ඉගෙන ගෙන, විභාග ද සමත් කර ගන්නා බව දක්නට ලැබීම ඊට හේතුවයි. උදා : ලෙස මහජනයා නිතර ගැවසෙන, යන එන පොදු පුස්තකාලවල ඇතැම් අය ඒවා ගණන් නො ගෙන පාඩම් කරති. පොත් පත් කියවති. එවැනි පොදු ස්ථානයක ඇති බාධක එමට ය. විවිධ කතාබහ, ශබ්ද, දර්ශන ඒ අතර කිහිපයකි.

නමුත් ඇතැම් අයට එවැනි ස්ථාන අපහසු නො ගැළපෙන බව අපි දනිමු. එවැනි තවත් ස්ථාන නම් විශේෂයෙන් ම උසස් පෙළ හා උසස් අධ්‍යාපනය ලබන විද්‍යාර්ථීන් කණ්ඩායම් වශයෙන් එකතු වී කුලී නිවසක් හෝ කාමරයක් කුලියට ගෙන “චමරි”. ලෙස හැඳින්වෙන ක්‍රමයට සාමූහිකව කරන අධ්‍යයන කටයුතුයි. එක් විෂයයකට හෝ විෂයය කොටසකට වඩාත් දක්ෂයකු අනෙක් අයට පහදා, කියා දෙමින් ද, ප්‍රශ්න විමසමින්, පිළිතුරු දෙමින්, සාකච්ඡා කරමින් පොදුවේ ඔවුන් තම ඉගෙනීම් කටයුතු සාර්ථක කර ගන්නා අවස්ථා ද තිබේ. යමක් නො දන්නා අයකුට කියා දීම තුළින් ද ඒ කියා දෙන තැනැත්තාට ඉගෙනීමක්, මතකයක් ලැබෙන බව කලින් ද පැහැදිළි කර ඇත.

අනෙක සාමූහික කණ්ඩායමක් ලෙස ක්‍රියා කරන විට, එම කණ්ඩායමට හානි කර එනම් ඉගෙනීමට බාධා, අකුල් හෙලන සාමාජිකයෙකු නො වේ නම් එහි ඇති මිත්‍රශීලී තරඟකාරීත්වය තුළ පොදුවේ කාටත් විභාග ජය ගැනීමේ හැකියාව වැඩි විය හැකිය.

ඊළඟට තවත් වැදගත් කාරණයක් නම් කෙනකුගේ ඉගෙනීම් කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ඒ තැනැත්තාගේ දිනචරියාව (routine) බලපාන බව සැලකිය යුතු වීමයි. දවසේ එක වේලාවක දී එක ම ස්ථානයක් ඒ සඳහා යොදා ගැනීම වැදගත් වේ. තමාගේ කැමැත්ත හා ගැළපෙන පරිදි උචිත ස්ථානය, සුදුසු පරිසරය වෙනස් කර ගත හැකිය. නමුත් දෛනික කාල සටහනක් තුළ නිශ්චිත කාලයක්, නිශ්චිත ස්ථානයකට වී පාඩම් කිරීම වඩාත් ඵලදායී වේ. උදාහරණ හැටියට උදේ කාලයේ පුස්තකාලයේ, සවස තම නිවසේ ආදී වශයෙනි. සෑම සති අන්තයකම සෙනසුරාදා පුස්තකාලයේ සවස නිවසේ විය හැකිය.

ඉරිදා උදේ නිවසේ සවස පුස්තකාලයේ වුව ද පුරුද්දක් වශයෙන් කළ හැකිය. පාසල් ළමයින් නම් උදේ වරුවත් ඇතැම් විට සවස් වරුවෙනුත් අඩක් පාසලට හා මහ මගට යෙදවීමට සිදුවේ. සවස පැය කිහිපයක් හෝ කෙටි කාලයක් නිවසේ පාඩම් කළ හැකිය. එසේ ම රාත්‍රියට නිවසේ සුපුරුදු අධ්‍යයන කාමරයේ ද දහවලට ගෙවත්තේ ගසක් යට, සිසිල් සෙවනක පාඩම් කිරීම පුරුද්දක් කර ගත ගැකිය. එවිට ඒකාකාරී බවෙන් ද මිදී පාඩම් කිරීම සඳහා නව ප්‍රවේශයක් ලබා ගත හැකි වනු ඇත. කුඩා අවධියේ සිට ම යම් නිශ්චිත ස්ථානයකට වී පාඩම් වැඩ කිරීමට පුරුදු වී සිටී නම් ඒ පුරුද්ද අත් නො හැර දිගට ම කිරීම වඩා හොඳ ය.

එසේ ම පාඩම් වැඩ කිරීමට පුරුද්දක් ඇති කර ගෙන නැති අයකු නම් එය වහා වෙනස් කර ඒ පුරුද්ද ඇති කර ගත යුතු වේ. ඇතැම් අය රාත්‍රී ආහාරයෙන් පසු මැදියම් රැය ගෙවී යන තුරුත් පාඩම් වැඩ කරන්නට හුරු පුරුදු වී ඒ අනුව තම දෛනික චර්යව පවත්වා ගනිති. එසේ ම තවත් සමහරු රාත්‍රී අට, නමය වන විට නින්දට ගොස් ඒ වෙනුවට අලුයම් වේලාව ඒ සඳහා යොදා ගනිති. එසේ පුරුදු වී සිටින අය ඒ පුරුදු අනුව වැඩ කිරීම සුදුසු ය.

ඇතැම් අය ඇතැම් අවස්ථාවල තමන් ඉගෙන ගැනීමට කැමති ස්ථාන අනුමත කළ නො හැකිය. උදා : ලෙස රූපවාහිනිය ඉදිරියට වී හෝ ඒ අසල තැනකට වී එය හරියට කළ නොහැකි ය. එවැනි අවස්ථාවල රූපවාහිනියේ දැක්වෙන දේවල් කෙරෙහි අවධානය යොමු වන අතර පාඩම කෙරෙහි අවධානය බිඳී ගිලිහී යනු ඇත. එබැවින් අධ්‍යයන ක්‍රම චර්යාවක් (study routine) හඳුනා ගැනීම හා එය අනුගමනය කිරීම යෙහෙකි. අධ්‍යයනය ජීවිතේ පුරුද්දක් කර ගත යුතු ය. හුරුවන තුරු මුල් අවස්ථාවේ එය තරමක් දුෂ්කර වුවත් කල් යාමේ දී එය සාමාන්‍ය දෙයක් වේ. කෙසේ නමුත් කෙනෙකුට සුව පහසු ලෙස තම අධ්‍යයන කටයුතු (comfortably) කර ගැනීමට සුදුසු ස්ථානයක් සකස් කිරීම අවශ්‍ය වේ.

එසේ නො වූ විට නොයෙකුත් කායික අපහසුතා ද ඒ අනුව මානසික අපහසුතා ද ඇති වේ. විශේෂයෙන් ම කොන්දේ කැක්කුම, අතේ මැණික්කටුව ප්‍රදේශයේ වේදනාව ඇති වීමට පුළුවන. එසේ ම සුළු කායික අපහසුතා කාලයක් යන විට අසහනකාරී රෝග තත්ත්ව බවට හේතු වේ. එසේ ම පාඩම් කරන, පොත් කියවන, අධ්‍යයන කටයුතු කරන ස්ථානයට හොඳ ආලෝකයක් ලැබීම අත්‍යවශ්‍ය ය. පොත්පත්, පෑන් පැන්සල් වැනි අත්‍යවශ්‍ය ම දේ තමාට වහා ලබා ගත හැකි පරිදි සමීපයේ පිළිවෙළකට තබා ගැනීම ද වැදගත් වේ.

දිනමිණ අසුරිනි

Recommended For You

About the Author: Editor