පාසල් අධ්‍යාපනයේ නව ප්‍රතිසංස්කරණ: ‘නිවැරදි දිශාවට තැබූ තවත් වැරදි පියවරක්’ නොවීමට නම්

21 සියවසට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් ගොඩ නගන්නේ කෙසේද යන්න පිළිබඳ සංවාදය  එම සියවසේ දෙවැනි දශකය ද ගෙවී යන තෙක්ම දිග්ගැස්සී තිබීම කණගාටුවට කරුණකි. අනෙක් අතට, බලයට පත් වන සෑම රජයක් ම විශාල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිරීම හෝ එසේ කිරීිමට උත්සාහ කිරීම මගින් ඉඟි කෙරෙන කරුණු දෙකකි,

පළමුවැන්න නම් ලංකාවේ අධ්‍යාපන ක්‍රමය විශාල පරිවර්තනයකට ලක් විය යුතු බවය. අනෙක් කරුණ නම්, එවන් උත්සාහයන් අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් අසාර්ථක වීම සමාන්‍ය දෙයක් වී තිබීම හේතුවෙන් දෝ දැනට සිදුවෙමින් පවතින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ද වැඩි සමාජ අවධානයක් දැනට යොමු වී නොතිබීමයි. කෙසේ වෙතත්, තමා අපේක්ෂා නොකළ වෙනස්කම් සිදු වීමට නියමිත බව පසුව දැනනේනට ගන්නා විට, දෙමව්පියන් ද ගුරුවරුන් ද  අනෙකුත් නිලධාරීන් ද මහමගට බැස විරෝධතා කිරීම සුලබය.

එවන් හදිසි ප්‍රතිචාර දැක්වීමට ජනතාවට සිදු වන්නේ විධිමත් සහ පාරදෘශ්‍ය අන්දමින් ප්‍රතිපත්ති සම්පාදනය නොකරන අවස්ථාවන්හිදීය. දෙවනුව, එකී නව ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින කථිකයන්ගේ තර්ක සාක්ෂි මත පදනම් වී ඇති බව පෙනෙන්නට නැති විටය. මේ කෙටි ලිපියේ අරමුණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල තිබිය යුතුම අංග වන විනිවිදභාවය සහ සාක්ෂි මත පදනම් වීම පිළිබඳව අවධානය යොමු කිරීමයි.    

ආණ්ඩුවේ අභිලාශය 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය මාර්තු මාසයේ දී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කිරීම මගින් අධ්‍යාපනය නව මාවතකට යොමු කිරීම අරභයා ආණ්ඩුවේ අභිලාෂය පැහැදිලිව ප්‍රකාශ වේ. එම ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකාය සිය වාර්තාව පසුගිය සැප්තැම්බර් මාසයේදී ඉදිරිපත් කරන ලද අතර  එහි අන්තර්ගතය තුළ අධ්‍යාපනය පිළිබඳව උනන්දුවක් දක්වන විශේෂඥයන්ගේ අවධානයට ලක් වූ කරුණු බොහොමයක් පිළිබඳව සලකා බලා තිබේ. එමෙන්ම, ඒවා, වර්ෂ 2016දී ජාතික අධ්‍යාපන කොමිසම මගින් ප්‍රකාශයට පත් කරනු ලැබූ, ජාතික සමාන්‍ය අධ්‍යාපන ප්‍රතිපත්තියක් සඳහා වන යෝජනාවන්ට ද ඉතා කිට්ටු බව සැලකිය යුතුය. ආණ්ඩු වෙනස් වී තිබුණ ද අධ්‍යාපනයේ අවශ්‍ය වෙනස්කම් ගැන යම් එකඟතාවක් පෙනෙන්නට තිබීම  එක් අතකින් හිතකරය. වඩාත්  ප්‍රායෝගික තලයක සැලකූ විට, පසුගිය ආණ්ඩුව විසින් කරගෙන යනු ලැබූ පාසල් 1000 වැඩසටහනම වෙනත් නමකින් මේ ආණ්ඩුව ද ඉදිරියට ගෙන යාම මගින් වුවද පෙනෙන්නේ යම් ප්‍රතිපත්තිමය සාම්‍යයකි.

මේ සිදු වන්නේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියේ වෙනසක්ද?

බැලූ බැල්මට එසේ පෙනී යා හැකි වුවද දැනට සිදු වෙමින් පවතින්නේ අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ වෙනසකටවඩා අධ්‍යාපනයේ ජාතික අරමුණු සාක්ෂාත් කර ගැනීම පිළිබඳ ක්‍රමෝපායේ සහ සැලසුම්වල වෙනසකි. ජාතික අරමුණු වශයෙන් සැලකූ විට මානව ගෞරවය සහ ජාතික අභිමානය, වෙනස් වන ලෝකයට හැඩගැසීම, මානව අයිතිවාසිකම් ගරු කිරීම, මානසික සහ සෞඛ්‍යය සමතුලිතතාව රැක ගැනීම ආදී අරමුණු අටක් හඳුනාගෙන තිබේ.  මෙවර සිදු කෙරෙන ප්‍රතිසංස්කරණයේදී ඒවා වෙනස් කෙරෙන බවක් දැනට පෙනෙන්නට නැත. ඒ වෙනුවට, එකී අරමුණු සාක්ෂාත් කර ගැනීමේ ක්‍රමෝපාය සහ සැලසුම් විශාල ලෙස වෙනස් කිරීම ගැන අවධානය යොමු වී ඇති බව පෙනේ.

අධ්‍යාපන ප්‍රතිපත්ති විශ්ලේෂණය සහ සැලසුම්කරණය සඳහා වන යුනෙස්කෝ අත්පොතෙහි (2013) දක්වා ඇති අන්දමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වර්ග තුනකට වැටෙන අතර, ඒවා අධ්‍යාපන ප්‍රතිපත්ති, ක්‍රමෝපාය සහ සැලසුම් යන වර්ග ලෙස දක්වා තිබේ. හඳුනා ගැනීමේ පහසුව ඒවා අතර සම්බන්ධය මෙසේ දැක්විය හැකිය.

 රූපය 1. ප්‍රතිපත්ති, ක්‍රමෝපාය සහ සැලසුම් අතර සම්බන්ධය

මෙවර ප්‍රතිසංස්කරණයෙන් සිදු කෙරෙනුයේ කුමක්ද

වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ආණ්ඩුව වෙනුවෙන් බොහෝවිට කරුණු දක්වන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වන ආචාර්ය උපාලි සේදර මහතාය.  ඔහු මීට පෙර අවස්ථාවක දී ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් ද කටයුතු කර ඇති, සුදුසුකම් සහ පලපුරුද්ද ඇති පිළිගත් විද්වතෙකි. ඔහු සිදු කර තිබෙන ප්‍රකාශ අනුව පෙනී යන්නේ පෙළපොත වෙනුවට වැඩ පොතක් එන බවත් විභාග වෙනුවට පාසල්-පාදක ඇගයීම් ක්‍රමයක් ක්‍රියාත්මක වීමට නියමිත බවත්ය. පෙළපොත් පාඩම් කිරීම වෙනුවට සිසුන් ක්‍රියාකාරකම් වෙත යොමු කිරීමට අදහස් කරන බවත් විභාග බර ඉවත් කිරීම මගින් වඩා ප්‍රායෝගික පුද්ගලයකු බිහි කිරීමට කටයුතු කරන බවත් විෂයමාලා පිළිබඳ මෙම ප්‍රතිසංස්කරණයේ මූලික පදන වන බව ඔහු ප්‍රකාශ කොට තිබේ. ඊට අමතරව, ඉගැන්වීම් ක්‍රියාවලිය වෙනස් කෙරන බවත්, ඒ අනුව, ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දෙන බවත් ප්‍රකාශිතය.

කෙසේ වෙතත්, මෙසේ අලුත් යැයි ඉදිරිපත් කෙරෙන අදහස්වල පැරණි බවක් ද තිබේ. ශිෂ්‍ය-කේන්ද්‍රීය අධ්‍යාපනය ක්‍රමය යන සංකල්පය ශ්‍රී  ලංකාවට අලුත් දෙයක් නොවන අතර වර්ෂ 2003 සිට ජාතික අධ්‍යාපන කොමිසම විසින් නිර්දේශ කර තිබෙන ඉගෙනුම් – ඉගැන්වීම් ප්‍රවේශය එයයි. තවද, වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සිටි කාලයේදී, එනම්, 2007 වර්ෂයේ සිට සිට ක්‍රියාත්මක නිපුණතා – පාදක විෂයමාලා ක්‍රමය, සේදර මහතා විසඳීමට යෝජනා කරන ගැටලු බොහෝමයකට විසඳුම් ලෙස ඉදිරිපත් කෙරුණු එකකි. එය හඳුන්වා දීමේදී එම අමාත්‍යවරයා ඉතා සාධනීය මෙහෙවරක් ඉටු කරන ලදී. එහෙත්, සමස්ත ප්‍රතිසංස්කරණයේ සාර්ථකභාවය පිළිබඳව නිසි තක්සේරුවක් කිරීම සහ එහි අසාර්ථකවීම්වලට හේතු හඳුනා ගැනීමක් ප්‍රමාණවත් අන්දමින් සිදු වී තිබේද යන්න සැක සහිතය. 

සාක්ෂි නැතිව කරන ප්‍රතිසංස්කරණ අසාර්ථකය

වර්ෂ 2010දී ලෝක බැංකු ආධාර යටතේ ජාතික අධ්‍යාපන කොමිසම මගින් සිදු කරන ලද අධ්‍යයනයකින් වර්තමාන අධ්‍යාපන ක්‍රමයේ ගැටලු සොයැ බැලිනි. එහි වාර්තාව එම ආයතනයේ වෙබ් අඩවියෙන් කියවිය හැකිය. එම අධ්‍යයනය මගින් ද විෂය මාලා සහ විභාගය අතර විශාල  පරතරයක් පවතින බව පෙන්වා දී තිබේ. කෙසේ වෙතත්, එම පරතරයට හේතුව කුමක්ද යන්න ගැන නිසි විග්‍රහයක් සිදු කිරීමට එම අධ්‍යනයේ ක්ෂේත්‍රයෙන් පිටත තිබී ඇත. නිපුණතා-පාදක අධ්‍යාපනය අසාර්තක වූයේ විෂයමාලා හේතුවෙන්ද, පෙළ පොත හේතුවෙන්ද, නව ඉගැන්වීම ක්‍රමයට ඉගැන්වීම පිළිබඳව ගුරු පුහුණුව ප්‍රමාණවත් නොවීමෙන්ද, එසේත් නැතිනම් විභාග ක්‍රමය කිසිදු නිපුණතාවක් ගැන අවධානයක් යොමු නොකර හුදෙක් විෂය අන්තර්ගතය පිළිබඳ දැනුම පමණක් පරීක්ෂා කිරීම කෙරෙහි අවදානය යොමු කිරීම හේතුවෙන්ද? මේ සියල්ලෙහි ම ඵලයක් ලෙස නම් කොපමණ ප්‍රමාණයන්ගෙන් ද? ඒවා නිවැරදි කරන්නේ කෙසේද?

නිදසුනක් සලකමු. වර්ෂ 2007 සිට ක්‍රියාත්මක නිපුණතා පාදක විෂයමාලා ක්‍රමය මගින් ද පාසල්-පාදක ඇගයීම් ක්‍රමයක් හඳුන්වා දුන්නේය. එහි අපේක්ෂා වූයේ ද විභාග භාරය අඩු කිරීම, වඩාත් නම්‍යශීලී සහ සාර්ථක අන්දමින් සිසුන් ඇගයීමට ලක් කීරීම ආදියයි. ලොව පුරා බොහෝ රටවල් ඉතා සාර්ථකව පාසල් පාදක ඇගයීම් භාවිතා කළද ලංකාවේදී එය ඉතා අසාර්ථක ක්‍රමයක්ව ටික කල්ක පැවත වියැකී ගොසිනි. ඒ ඇයිද යන්න ගැන නිසි පර්යේෂණයක් නැත.

වර්ෂ 2009දී ජාතික අධ්‍යාපනය ආයතනය මගින් සිදු කරන ලද අධ්‍යනයකින් පෙන්වා දුන්නේ, විෂයමාලාවෙන් අපේක්ෂිත අරමුණු විභාග මගින් පරීක්ෂා නොකෙරෙන බවයි. එසේ වන්නේ ඇයි යන්න ගැන අවබෝධයක් තිබේද? නව ප්‍රතිසංස්කරණ මගින්ද විභාග ප්‍රතිසංස්කරණ සහ වඩාත් පුලුල් පාසල් පාදක ඇගයීම් ක්‍රමයක් හඳුන්වා දීමට සැරසෙන බැවින්, පැවති ක්‍රමයේ අසාර්ථක වීම පිළිබඳ අධ්‍යයනනයක් අත්‍යවශ්‍ය වේ. එසේ නොවන විට, සිදු වන්නේ හුදෙක් ‘ලොක්කට හිතෙන නිසා කරන’ අන්දමේ ප්‍රතිසංස්කරණයන්ය. ඒවා අසාර්ථක වන බව කියන්නට අවශ්‍ය නැත.

මහජන මතය නොසලකා කරන ප්‍රතිසංස්කරණ විරෝධය හමුවේ ප්‍රතික්ෂේප වේ

ශ්‍රී ලංකාව වැනි  බෙදුණු සහ විෂමතා ගහන සමාජයක මධ්‍යගත පෙළපොත් සහ විභාග කෙරෙහි පවතින ජනතා විශ්වාසය විශාලය.  සිසුන් ඇගයීමේ වැඩි භාරයක් පන්තියේ ගුරුවරයාට හිමිවීම හොඳ දෙයකි. එහෙත්, එය එක් එක් ජන කණ්ඩායම් අතර පවත්නා සැකය තව දුරටත් වර්ධනය නොකරන්නක් විය යුතුය. තවද, දැනටත් විශාල වශයෙන් තුටු පඬුරු වශයෙන් වටිනා තෑගි ලබා දෙන සංස්කෘතියක් මුල් බැසගෙන ඇති පාසල් පද්ධතිය තුළ, හොඳ ලකුණක් හෝ ඇගයීමක් වෙනුවෙන් වඩාත් නරක අල්ලස් ක්‍රමයක් මුල් බැස නොගන්නා බව තහවුරු කළ යුතුය.

සාමාන්‍ය දෙමාපියන් දැනට අධ්‍යාපනය ගැන විශ්වාසයෙන් දන්නා කරුණු දෙකක් තිබේ. ඒවා නම්, අවුරුද්ද මුලදී දරුවාට පෙළපොත් ලැබෙන බවත් අවුරුද්ද අන්තිටම විභාග පැවැත්වෙන බවත්ය. අධ්‍යාපනයේ වැඩිම ජනතා විශ්වාසය ඇති යෙදවුම් දෙක මේවාය. පෙළ පොත් සම්පාදනය මෙතෙක් සිදු කළ අධ්‍යාපන ප්‍රකශාන දෙපාර්තමේන්තුවෙන් එම කාර්යය ඉවත් කර, වෙනත් මොඩියුල ක්‍රමයක් හඳුන්වා දීමට නියමිත බව දැන ගන්නට තිබේ. ඒ අනුව, පොළ පොත නැති බව රාජ්‍ය ලේකම් සේදර මහතා කියා තිබිණි. ජනාත විශ්වාසය ඇති පෙළ පොත් සහ විභාග නිසි ජනතා අදහස් විමසීමක්, දැනුවත් කිරීමක් සහ මහජන එකඟතාවකින් සිදු කරන්නට යාම ජනතා විරෝධයට අත වැනීමකි.

කරුණු මෙසේ බැවින්, යෝජිත සුභවාදී ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී, නිසි පර්යේෂණ මගින් පවත්නා තත්ත්වය හඳුනා ගෙන, ජනතා එකඟතාව ලබා ගැනීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල සාර්ථකත්වයට අත්‍යවශ්‍ය බව සටහන් කර තබමි.

හරින්ද්‍ර බී දසනායක

Recommended For You

About the Author: Editor