රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළට ‘සහාය නොදෙන ගොවීන්ට’ වැඩ වරදී

  • පොහොර සහනාධාර කපන්න කිසිදු ක්‍රියාමාර්ගයක් නැහැ.
  • වී මිලදී ගැනීමේ ජාතික වැඩපිළිවෙල වී කිලෝ 1000ක් නොදෙන ගොවීන්ට පොහොර ගන්න වෙන්නේ රුපියල්4000ක වෙළඳපොළ මිලට.
  • කෘෂි රක්ෂණ දෙන්නෙත් රජයේ ජාතික වැඩපිළිවෙලට සහය දෙන ගොවීන්ට.
  • ගොවියාත්,පාරිභෝගිකයාත් වී සහ සහල් මාෆියාවෙන් බේරාගැනීම රජයේ ඉලක්කය.
  • ගොවියාට කිසිඳු අසාධාරණයක් නැහැ. වියලි නාඩු රුපියල් 50ක්, වියළි සම්බා රුපියල් 52 ට වගේම තෙත වීත් අපි ගන්නවා.
  • පොහොරත්, ජලයත්, කෘෂි රක්ෂණයත්, තාක්ෂණයත් නොමිලේ දෙනවනම් රජයේ වී සංචිතයට වෙළදපොළ මිලට වී කිලෝ 1000ක්  දීම ගොවියාගේ යුතුකමක්.

වී වගාකරන ගොවීන්ට ජලයත්, කෘෂි රක්ෂණයත්, තාක්ෂණයත් නොමිලේ දෙනවනම් රජයේ වී සංචිතයට වෙළදපොළ මිලට වී කිලෝ 1000ක්  දීම ගොවියාගේ යුතුකමක් බවත් රජයේ ජාතික වැඩපිළිවෙලට සහය නොදෙන ගොවීන්ට ඊළඟ කන්නයට පොහොර ලබාගැනීමට සිදුවන්නේ කිලෝ 50ක මිටියක් රුපියල් 4000ක වෙළඳපොළ මිලට බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (19) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී සදහන් කළා.

මෙම මාධ්‍ය හමුව සදහා රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු උසස් නිලධාරීන් සහභාගී වුණා.

පසුගිය දා විපක්ෂ නායකයවරයා මාධ්‍යට ප්‍රකාශ කළේ, වී මිලදී ගැනීමට මුවා වී රජය පොහොර සහනාධාරය කපා හැරීමේ වැඩපිළිවෙලක නිරත බවයි. පසුගිය රජය සමයේ වී කිලෝවක මිල රුපියල් 32ක් වූ අතර, ඒ වන විට සජිත් ප්‍රේමදාස මහතා එම ආණ්ඩුවේ නොසිටියේදැයි මෙම මාධ්‍ය හමුවේදී අමාත්‍යවරුන් ප්‍රශ්න කළා.

රටට ඉතා වැදගත් ජාතික වැඩපිළිවෙලක් දේශපාලනීයකරණය කොට  වාසි  ලබාගෙන, වී සහ සහල් මාෆියාවට වක්‍රව උදව් කොට රටේ ජනතාව බොරුවෙන් මුලා නොකරන ලෙසද මෙම මාධ්‍ය හමුවේදී අමාත්‍යවරුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටියා.

මෙවර වී මිලදී ගැනීමේ ජාතික වැඩපිළිවෙලට රජය වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 23,000ක්. එය මෙතෙක් ඉතිහාසයේ වෙන්කළ වැඩිම මුදලයි. වීඅලෙවි මණ්ඩලය, දිස්ත්‍රික් ලේකම්වරුන්, සමුපකාර සමිති හරහා එම මුදල් මඟින් වී මිලදී ගැනීමට පියවර ගෙන තිබෙනවා.

මේ වනවිටත් අස්වනු නෙළන දිස්ත්‍රික්කවල මෙම වැඩසටහන යටතේ වී මිලදී ගැනීම සිදුවෙනවා. ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තුව හා කෘෂිකර්ම පර්යේෂණ සහකාර සංවර්ධන නිලධාරීන්, සංවර්ධන නිලධාරී මඟින් වී මිලදී ගැනීම සිදු කෙරෙන්නේ.

රජයේ ජාතික වැඩපිළිවෙලට සහය නොදෙන ගොවීන්ට ඊළඟ කන්නයට පොහොර ලබාගැනීමට සිදුවන්නේ කිලෝ 50ක මිටියක් රුපියල් 4000ක වෙළඳපොළ මිලට වන අතර, කෘෂි රක්ෂණය ද එම ගොවීන්ට අහිමිවනවා. කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අනුවයි මෙම ජාතික වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන්නේ.

මෙහිදී අදහස් පළකළ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා,

“පසුගිය ජනාධිපති වරණයේදී අපි රටේ ජනතාවට පොරොන්දුවක් දුන්නා වීවලට රුපියල් 50ක සහතික මිලක් දෙන බවට. පාරිභෝගිකයාට රුපියල් 97ක සහතික මිලට හාල් ලබා දෙන්නත්. ඒ අනුව ඒ වැඩපිළිවෙල මේ වන විට ක්‍රියාත්මක වෙනවා.

එළඹෙන අලුත් අවුරුද්දට රුපියල් 97ක සහතික මිලට පාරිභෝගිකයාට සහල් අපි ලබා දෙනවා. රජය මගින් පොහොර සහනාධාරය ලබා දෙන ගොවීන් මේ  සඳහා අපි යොදා ගන්නවා. හෙක්ටයාරයකින් වී කිලෝ1000ක් රජයේ ජාතික වැඩපිළිවෙලට ලබා දෙන ලෙස අපි ඉල්ලීමක් කර තිබෙනවා.

විපක්ෂ නායක පැකනිල් ප්‍රේමදාස මහත්තයා, පොහොර සහනාධාරය කැපුවොත් ගොවියොත් එක්ක පාරට බහිනවා කියලා තිබුණා. එයාගේ ආණ්ඩුව තියන කාලයේ වී කිලෝ එකක් ගත්තේ රුපියල් 32 ට. එදා සජිත් ප්‍රේමදාස හිටියේ කොහෙද? අපි ගත්තේ වියළි නාඩු වී කිලොවක් රුපියල්50 යි. වියළි සම්බා  52 යි. ගොවියාට හොඳ මිලක් ලැබිලා තියනවා.

පොහොර, ජලය, කෘෂි රක්ෂණය, මේ සියල්ල අපි ගොවියාට නොමිලේ දෙන්නේ. අපි නොමිලේ දෙන පොහොර මිටියක් රුපියල් 4000 යි. රජයේ වැඩපිළිවෙලට දායක නොවන ගොවීන්ට පොහෝර ගන්න වෙන්නේ  රුපියල් 4000 ක වෙළඳපොළ මිලට. ගොවියාට වී සඳහා ඉතා සාධාරණ මිලක් අපි  නියම කර තියනවා. තෙත වී අපි මිලදී ගන්නවා.අපි කියන්නේ කැබිනට් තීන්දුවක් අනුව ක්‍රියාත්මක වැඩපිළිවෙලට සහය නොදුන්නොත් පොහොර සල්ලිවලට ගන්න වෙන්නේ කියලා මිසක් පොහොර සහනාධාරය කපනවා කියලා නෙමෙයි.පැකනිල් ප්‍රේමදාස මහතා මේ කරන්නේ වී සහ සහල් මාෆියාවට උදව් කරමින් ජනතාව නොමඟ යැවීම.ඒකට රැවටෙන්න එපා කියලා මේ රටේ ගොවියන්ගෙන් ඉල්ලනවා”

මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා 

”අපි පැහැදිලිව කියන්න ඕනේ රටේම වී නිෂ්පාදනය මෙට්‍රික්ටොන් ලක්ෂ 30යි. අපි මිලදී ගන්නේ ලක්ෂ 3යි. සම්පුර්ණ රටේ අස්වැන්නෙන් 10%යි. මහා පරිමාණ වී මෝල්  හිමියන්, ගබඩාකරුවන්  මිලට ගන්නේ 30%ක් විතරයි. ඒ දෙකම නැතුව ගොවියාට 60%ක් වී ඉතිරි වෙනවා. බිත්තර වී සහ පරිභෝජනය සඳහා. ඒ නිසා කිසිදු ගැටළුවක් නොවෙන්න අපි මේ ජාතික වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා විපක්ෂය කරන්නේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ සැලසුම් සහගත වැඩපිළිවෙලක්. වීවලට සහතික මිලක් ලබා දීම රජයේ  වැඩපිළිවෙලට. කිසිඳු ගැටළුවක්, අකටයුත්තක් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. විපක්ෂ නායකයා මේ කරන්නේ ජනතාව නොමඟ යවන එක කියලා රටේ ජනතාවට අපි කියන්න ඕනේ”.

තෘෂිකර්ම අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය ඇසුරිණි

Recommended For You

About the Author: Thusal