චීනය තමන්ට කැමති විදියට ‘කාලගුණය’ වෙනස් කරයි – ලොව පුරා භීතිය පැතිරේ !

බීජිං, ලොව වඩාත් ම දූෂිත පරිසරයක් සහිත නගරවලින් එකකි. නමුත්, වලාකුළුවලින් තොර පැහැදිලි ආකාශයක් හරහා හොඳින් හිරු රශ්මිය පොළොවට පතිතවන දිනයක් වේනම් ඒ චීනයේ අගනුවර දේශපාලන රැස්වීමක් පැවැත්වෙන දිනයකි; නැතහොත් ජාත්‍යන්තර වශයෙන් වැදගත්වන උත්සවයක් පැවැත්වෙන දිනයකි.

මෙය අහඹු ලෙස උදා වූ කාලගුණික තත්ත්වයක් නොවේ.

කාලගුණය තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කර ගන්නට චීන පරිපාලනය පටන් ගත්තේ අද ඊයෙක නොවේ. වසර ගණනක් තිස්සේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙමින් තිබුණි. පසුගිය දෙසැම්බරයේ දී මෙහි තවත් පියවරක් ඉදිරියට තබන ලදී.

කාලගුණය වෙනස් කිරීමේ වැඩසටහන තවදුරටත් පුළුල් කරමින් එය රට පුරා ක්‍රියාත්මක කෙරෙන බව චීන ආණ්ඩුව නිවේදනය කළේය.

2025 වන විට චීන භුමියේ වර්ග කිලෝ මීටර මිලියන 5.5ක වපසරියක් ආවරණය වන පරිදි කෘත්‍රිම වර්ෂාව සහ කෘත්‍රිම හිම පතනය ඇති කිරීම සඳහා මෙම වැඩසටහන පුළුල් කිරීම චීන පරිපාලනයේ ඉලක්කයයි. මෙම භූමි භාගය සමස්ත චීන භූමියෙන් 60%කට ආසන්නය.

නමුත් මෙම වැඩසටහන අසල්වැසි රාජ්‍යයන්ගේ බරපතළ සැලකිල්ලට භාජනය වී තිබේ. ස්වභාවධර්මයට අත පොවන මෙම තාක්ෂණය නිසා අසල්වාසී රටවලට ඉන් ඇතිවන බලපෑම කෙසේ විය හැකිදැයි ඔවුහු ප්‍රශ්න කරති. කලක පටන් චීනය සමඟ මතභේද පවතින ඉන්දියාව ඉන් එක් රටකි.

Maharashtra government mulls use of cloud seeding technology for artificial  rains - The Economic Times

චීනය කාලගුණය වෙනස් කරන්නේ කෙසේද?

මෙම ක්‍රමවේදය ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන්නේ ‘ක්ලවුඩ් සීඩිං’ (cloud seeding) ලෙසිනි. ‘වලාකුළු බීජායනය’ නැතහොත් වලාකුළු මත බීජ වැපිරීම වැනි අරුතක් එහි ගැබ් වේ.

මෙය අනෙකුත් රටවලට රහසක් නොවේ. ලෝකයේ බොහෝ රටවල් මෙම ක්‍රමවේදය පිළිබඳව මනා දැනුමක් සහිතය.

මෙහිදී කෙරෙන්නේ ‘සිල්වර් අයඩයිඩ්’ වැනි රසායන ද්‍රව්‍යයක් වලාකුළු පුරා විසිරීමයි. එමගින් වර්ෂාපතනයක් ඇතිකරවිය හැකිය. මෙය කාලගුණය යම් ප්‍රමාණයකින් වෙනසකට භාජනය කළ හැකි තාක්ෂණික ශිල්ප ක්‍රමයකි.

වලා අතර 'බීජ වැපිරීම' නොහොත් Cloud seeding ක්‍රමවේදයට දිගු ඉතිහාසයක් තිබේ
වලා අතර ‘බීජ වැපිරීම’ නොහොත් Cloud seeding ක්‍රමවේදයට දිගු ඉතිහාසයක් තිබේ

“බොහෝ රටවල් මේ තාක්ෂණය භාවිත කරනවා. චීනය දීර්ඝ කාලයක් තිස්සේ මේ ක්‍රමය යොදා ගන්නවා. ඉන්දියාවත් එය පාවිච්චි කරලා තියෙනවා.” ඉන්දියාවේ කර්ණාටකයේ, මනිපාල් උසස් අධ්‍යාපන ආයතනයේ, කාලගුණ විශේෂඥ, ධනශ්‍රි ජයරාම් බීබීසියට ප්‍රකාශ කළේය.

“දැඩි නියං ප්‍රශ්න පවතින ඊසාන දිග අප්‍රිකානු කලාපයේ රටවල් වගේම ඕස්ට්‍රේලියාවෙත් මෙම ක්‍රමවේදය භාවිත කරලා තියෙනවා.”

කෙසේ නමුත්, ඉහත කී රටවල් මේ ආකාරයට කාලගුණයට මැදිහත් වී ඇත්තේ ඉතා අඩු මට්ටමකිනි. ඒ අනුව බලන කළ චීනයේ මැදිහත්වීම බොහෝ සෙයින් වැඩි බව ජයරාම් පවසයි.

වලා අතර ‘බීජ වැපිරීම’ හෙවත් Cloud seeding ක්‍රමවේදයට දිගු ඉතිහාසයක් තිබේ. එය ආරම්භ වූයේ එකදහස් නවසිය හතළිස් ගණන්වලදී ය. එවක මෙය ප්‍රධාන වශයෙන් භාවිත කළේ ඇමරිකා එක්සත් ජනපදයයි. නමුත් මෙහි ප්‍රතිඵල පිළිබඳව තවමත් විශාල සැකයක් පවතී.

“මේකෙන් ඇතිවන බලපෑම පිළිබඳව විද්‍යාත්මක ලිපි ලියැවිලා තියෙන්නේ කීපයක් පමණයි.” බීජිං නුවර Normal විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයෙකු වන ජෝන් සී මුවර්, බීබීසීයට ප්‍රකාශ කළේය.

“ක්ලවුඩ් සීඩිං කියන ක්‍රමය සංවර්ධනය කරලා තියෙන්නේ කිසිදු ආකාරයක විද්‍යාත්මක වලංගුභාවයකින් තොරව.”

Farm field in China.
“තම ගොවිතැන් ආරක්ෂා කර ගැනීම සඳහා චීනයේ ප්‍රදේශ 50,000ක පමණ මෙම ක්ලවුඩ් සීඩිං ක්‍රමය නිතිපතා ක්‍රියාත්මක වේ”

ඔහු පවසන පරිදි, ‘වලාකුළු මත බීජ වැපිරීම’ මගින් කාලගුණය වෙනස් කිරීම චීනයේ සිදු වන්නේ “ක්‍රියාකාරී මෙහෙයුමක්” ලෙසිනි.

“ඒක පර්යේෂණාත්මක ක්‍රියාකාරකමක් නොවෙයි. කිසිදු විද්‍යාත්මක පදනමකින් සිදුවන්නක් නොවෙයි. සාමාන්‍යයෙන් එය ප්‍රජා මට්ටමින් ප්‍රාදේශීයව සිදුවන දෙයක්.” ආචාර්ය ජෝන් සී මුවර් පැවසීය.

බීජිං අගනුවර විශාල උත්සව පැවැත්වෙද්දී මෙය ක්‍රියාත්මක වනු දැකිය හැකිය. වාර්ෂික පාර්ලිමේන්තු සැසිවාරය වැනි විශේෂ අවස්ථාවන්හි දී පවා මෙම කාලගුණය වෙනස් කිරීම සිදුවේ.

ආචාර්ය ජෝන් සී මුවර් පවසන පරිදි, තම ගොවිතැන් ආරක්ෂා කර ගැනීම සඳහා චීනයේ ප්‍රදේශ 50,000ක පමණ මෙම ‘ක්ලවුඩ් සීඩිං’ ක්‍රමය නිතිපතා ක්‍රියාත්මක වේ.

“සාමාන්‍යයෙන් ඝන හිම කැට පතනය වීමෙන් වගා හානි සිදුවීම වලක්වා ගන්නත් මේ ක්‍රමය භාවිත කරනවා. එයින් කෙරෙන්නේ වලාකුළු අනතුරුදායක තත්ත්වයට පත් වීමට කලින් එහි ඇති වර්ෂා ජලය ඉවත් කිරීමයි.” ඔහු පැවසීය.

නමුත් මෙම විද්‍යාඥයා පවසන්නේ, ක්ලවුඩ් සීඩිං ක්‍රමවේදය චීනයේ ඵලදායී වී ඇත්තේ “වසරකට මාසයක් හෝ දෙකක්” පමණක් බවය.

වලාකුළු මත 'බීජ වැපිරීම' නිසා 2011 දී බීජිං නුවරට හිමපතනය සිදු වූ බව චීනය පවසයි
වලාකුළු මත ‘බීජ වැපිරීම’ නිසා 2011 දී බීජිං නුවරට හිමපතනය සිදු වූ බව චීනය පවසයි

එක්සත් ජනපදය මේ පිළිබඳව සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵල සහිත ලිපියක් 2020 පෙබරවාරි මාසයේ, New Scientist සඟරාවේ පළ විය.

‘ක්ලවුඩ් සීඩිං’ ක්‍රමවේදය පිළිබඳව මෙම පර්යේෂණය සිදු කොට ඇත්තේ කඳු වටා ඇතිවන වලාකුළු ආශ්‍රිතව ය. මෙම වලාකුළු බිහිවන්නේ, හමන සුළඟ කන්දේ හැපී ඉහළට තල්ලු වීමෙනි.

මෙම ක්‍රමවේදය මගින් වර්ෂාපතනයක් ඇති කරවිය හැකි නමුත් එය සිදුවන්නේ 10%කටත් වඩා අඩු මට්ටමකින් බව මෙහිදී පර්යේෂකයන්ට පෙනී ගොස් තිබේ.

වැස්ස අයිති කාටද?

චීනයේ කාලගුණය වෙනස් කිරීම පුළුල් වශයෙන් දියත්වන බව නිවේදනය කෙරුණේ පසුගිය දෙසැම්බර් 02 වැනිදාය.

එම නිවේදනයේ දැක්වෙන්නේ, ස්වභාවික ආපදා තත්ත්වයක දී, කෘෂි නිෂ්පාදනයේ දී සහ ලැව්ගිනි ඇතිවීමේදී මෙන්ම අසාමාන්‍ය පරිදි උෂ්ණත්වය ඉහළ යාමකදී හෝ නියඟයක දී මෙම වැඩසටහන උපකාරී වන බවය. ඒ හැරෙන්නට වැඩි විස්තරයක් එම නිවේදනයේ සඳහන් නොවේ.

“මේ නිවේදනයේ නිකුත් කරලා තියෙන්නේ ‘සංවර්ධනය වෙනුවෙන් අදහසක්’ යන මාතෘකාව යටතේ. මෙයින් ගම්‍ය වෙන්නේ මහ ආණ්ඩුව විසින් මෙම වැඩසටහනට අදාළ ආකෘතිය සම්පාදනය කරලා පළාත් පාලන ආයතනවලට ලබාදීමෙන් පසුව එය ක්‍රියාත්මක වනු ඇති බවයි. විවිධ අමාත්‍යංශ සහ ප්‍රාදේශීය පාලනයන් මගින් ස්ථාවර ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි. ඉන්පසුවයි සාමාන්‍යයෙන් ප්‍රතිපාදන නිකුත් කෙරෙන්නේ.” බීජිං නුවර සිටින බීබීසී මාධ්‍යවේදී යිට්සිං වැං පැහැදිලි කළේය.

මෙම නිවේදනය නිකුත් වූ සැනින් උතුරු චීනයේ ගැන්සු ප්‍රාන්තය “විශාල බලාපොරොත්තු සහිත ඉලක්කයන්” ඇතුළත් නිවේදනයක් නිකුත් කර ඇති ආකාරය ඔහු උපුටා දැක්වූයේය. ඒ සඳහා දැවැන්ත ඩ්‍රෝන යානා ද යොදා ගැනීමට සැලසුම් කර හමාරය.

‘වලාකුළු මත බීජ වැපිරීම’ රට පුරා පුළුල් වශයෙන් ක්‍රියාත්මක කෙරෙන බවට පළමු නිවේදනය නිකුත් වී මාසයක් ගෙවෙන්නට මත්තෙන් ඒ සඳහා සිදු කෙරෙන සමාරම්භක ගුවන් ගමන Xinhua පුවත් සේවය විසින් පළ කරනු ලැබ තිබුණේ මෙලෙසිනි.

මේ සඳහා යොදාගත් ඩ්‍රෝන යානය Ganlin-1 ලෙසින් නම්කර තිබුණි. චීන බසින් ඉන් අදහස් කෙරෙන්නේ “රසවත් වර්ෂාව” යන්නයි.

මෙම වැඩසටහන සඳහා චීනය විසින් සිදුකරනු ලබන දැවැන්ත ආයෝජනය නතර කිරීමට, ක්ලවුඩ් සීඩිං ක්‍රමවේදය පිළිබඳව පවතින සැක සංකාවලට හැකියාවක් නොලැබුණි. අසල්වාසී රටවල් සමඟ භූ දේශපාලනික මතභේද වර්ධනය වෙමින් පවතින මොහොතක මේ පිළිබඳව ද බරපතල සැලකිල්ල යොමු වීම චීනයට බාධාවක් නොවීය.

“මේ ක්‍රමවේදය පිළිබඳව පවතින එක සැකයක් තමයි ඉන්දියාවේ ගිම්හාන වර්ෂාපතනයට ඉන් බලපෑමක් වේවිද කියන කාරණය. එම වර්ෂාපතනය ඉන්දියාවට පමණක් නොවෙයි, මුළු කලාපයටම බලපාන දෙයක්. ඒත් මේ සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යයනයන් සිදු කරලා නැහැ.” කාලගුණ විශේෂඥ, ධනශ්‍රි ජයරාම් පැවසීය.

ඔහු තවදුරටත් කියා සිටියේ, ඉන්දියාව හා චීනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා යහපත් මට්ටමකින් පැවතුණු අවධියක නම් චීනය විසින් සිදුකරනු ලබන මෙවැනි නිවේදනයක් ඉන්දියාවට ඇස නොගැසෙන්නට ඉඩ තිබුණු බවය.

නමුත්, ඉන්දු – චීන දේශ සීමාව මත දෙරටේ හමුදා සොල්දාදුවන් අතර ඇතිවූ ගුටිබැට හුවමාරුවෙන් අනතුරුව ඉන්දියාව තුළ චීන විරෝධී ජන මතයක් ගොඩනැගී ඇත.

වැස්ස “හොරකම් කිරීම”

කාලගුණය වෙනස් කිරීම පිළිබඳව අසල්වාසී රටවල් සමඟ සම්බන්ධීකරණයක් නොතිබීම හේතුවෙන් “වර්ෂාව සොරා ගැනීමක්” පිළිබඳව ඉදිරියේ දී චෝදනා එල්ල වන්නට ඉඩ ඇති බව 2017 දී තායිවාන ජාතික විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පළ කළ වර්තාවක සඳහන් වෙයි.ආචාර්ය මුවර් පවසන්නේ, ආසියානු මෝසම් වර්ෂා පිළිබඳ තත්ත්වය ඉතා සියුම් වුවද, කාලගුණය වෙනස් කිරීම මගින් ඊට ඇතිවන බලපෑම සනාථ කිරීම සඳහා ඉදිරිපත් කිරීමට විද්‍යාත්මක සාධක තවමත් නොපවතින බවය.

අනාගතයේ දී චීනය නවීන තාක්ෂනය යොදා ගනිමින් අවට රටවල් සමඟ එකඟතාවයකින් තොරව හිරු එළිය පවා කළමනාකරණය කරන්නට හෝ පාලනය කරන්නට පටන් ගතහොත්
අනාගතයේ දී චීනය නවීන තාක්ෂණය යොදා ගනිමින් අවට රටවල් සමඟ එකඟතාවකින් තොරව හිරු එළිය පවා පාලනය කරන්නට පටන් ගතහොත්…?

“මෝසම් වර්ෂාව තීරණය කෙරෙන එක් සාධකයක් තමයි ටිබෙට් සානුව සහ ඉන්දීය සාගරය අතර පවතින උෂ්ණත්වයේ වෙනස.” ආචාර්ය මුවර් පැහැදිලි කළේය.

“ඉතින්, සමහරු දැන් සැලසුම් කරන ආකාරයට, ටිබෙට් සානුවේ උෂ්ණත්වයේ සැලකියයුතු වෙනසක් ඇති කළහොත් එයින් අතිශය බරපතල ලෙස බලපෑමක් සිදු වෙන්න පුළුවන්.” ඔහු ප්‍රකාශ කළේය.

‘මකබාස්ලා’

ආචාර්ය මුවර් සඳහන් කරන්නේ, ප්‍රාදේශීය මට්ටමින් සිටින චීන ඉංජිනේරුවන් ටිබෙට් සානුව අවට මහා පරිමාණයෙන් දියත් කිරීමට යන ‘ක්ලවුඩ් සීඩිං’ ව්‍යාපෘතිය පිළිබඳවය. මෙය මුළු මහත් ටිබෙට් සානුව පුරාම දියත් කෙරෙන නමුත් ඊට ජාතික මට්ටමේ දායකත්වයක් හෝ විද්‍යාත්මක පර්යේෂණයක් සිදුකර නොමැති බව ද ඔහු පැවසීය.

“මේක හරියට ‘මකබාස්ලා’ කීප දෙනෙක් එකතුවෙලා අභ්‍යවකාශ යානයක් තනනවා වගේ වැඩක්. මාත් එක්ක වැඩ කරන බොහෝ චීන විද්‍යාඥයන් පවා මේ පිළිබඳව හොඳටම බියට පත්වෙලා ඉන්නේ.”

නමුත් ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ පිහිටි මනිපාල් උසස් අධ්‍යාපන ආයතනයේ, කාලගුණ විශේෂඥ, ධනශ්‍රි ජයරාම්ගේ අදහස නම්, ‘වලාකුළු මත බීජ වැපිරීමට’ වඩා එහා ගිය කාරණයක් දෙසට මුළු කලාපයේම බරපතළ සැලකිල්ල යොමු වී ඇති බවයි.

අනාගතයේ දී චීනය නවීන තාක්ෂණය යොදා ගනිමින් අවට රටවල් සමඟ එකඟතාවකින් තොරව හිරු එළිය පවා කළමනාකරණය කරන්නට හෝ පාලනය කරන්නට පටන් ගතහොත් කුමන තත්ත්වයක් උදා වේදැයි කලාපය සිතන්නට පෙළඹී ඇති බව ඔහුගේ අදහසයි. විශේෂයෙන් මේ වන විට ඉන්දියාව සමඟ පවතින ආකාරයට අසල්වැසි රටවල් සමඟ මතභේද උත්සන්න වූ මොහොතක චීනය එම ක්‍රමවේදයන් කොයි ආකාරයෙන් දියත් කරාවිදැයි ඔහු ප්‍රශ්න කරයි.

ඉන්දු - චීන දේශ සීමාව මත දෙරටේ හමුදා සොල්දාදුවන් අතර ඇතිවූ ගුටිබැට හුවමාරුවෙන් අනතුරුව ඉන්දියාව තුළ චීන විරෝධී ජන මතයක් ගොඩනැගී ඇත
ඉන්දු – චීන දේශ සීමාව මත දෙරටේ හමුදා සොල්දාදුවන් අතර ඇතිවූ ගුටිබැට හුවමාරුවෙන් අනතුරුව ඉන්දියාව තුළ චීන විරෝධී ජන මතයක් ගොඩනැගී ඇත

“මම හිතන්නේ නැහැ මෙතන තියෙන්නේ තාක්ෂණය පිළිබඳ අවදානමක් කියල. ඒක ප්‍රයෝජනවත් දෙයක් වෙන්න පුළුවන්. හැම රටකටම තියෙනවා තමන්ගේ කලාපය ගැන ස්වෛරීභාවයක්. නමුත් ප්‍රශ්නයක් වෙන්නේ මේවා ඒකපාර්ශවික තීරණ මත කරන්න ගත්තමයි. උදාහරණයක් හැටියට හිතල බලන්න මේ තාක්ෂණයෙන් යම්කිසි වැරද්දක් වුණොත් කවුද ඒ හානියට වන්දි ගෙවන්නේ?”

ජයරාම් පවසන්නේ, ඉදිරියේදී ඇතිවිය හැකි විරසක මගහැරීමට නම්, මෙවැනි කටයුතු නියාමනය කිරීම සඳහා ගෝලීය රාමුවක් ඉතා ඉක්මණින් අවශ්‍යව පවතින බවකි. ආචාර්ය මුවර් ද ඊට එකඟය.

කෙසේ නමුත් චීනයේ භූ ඉංජිනේරු ශිල්පයට නායකත්වය දෙන ආචාර්ය මුවර් අයැද සිටින්නේ සන්සුන් වන ලෙසයි: “චීනය යහපත් උදවියගෙන් කෙනෙකු වශයෙන් දිගටම පැවතීමට ඉතාම කැමතියි.” බීජිං නුවර Normal විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයෙකු වන ජෝන් සී මුවර් සැකහැර පවසයි.

Text by – bbc

Recommended For You

About the Author: Thusal