කොරෝනා එන්නත: වඳභාවය හා සම්බන්ධ ‘ශ්‍රී ලංකාවේ මිත්‍යා මත’

කෝවිඩ් එන්නත හේතුවෙන් ‘වඳ වෙන’ බවට සමාජ මාධ්‍යවල සංසරණය වන විවිධ ව්‍යාජ ප්‍රකාශ හේතුවෙන් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් කොටසක් එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව බීබීසී සිංහල සේවය කළ විමසුමක දී දැනගන්නට ලැබිණි.

එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ හේතුව කීපදෙනෙකුගෙන් විමසූ විට ඔවුන් පැවසුවේ තමන්ට කෙටි පණිවිඩ, ඊ මේල් සහ කට කතා ඔස්සේ දැනගැනීමට ලැබුණු කරුණු මත එම තීරණවලට එළැඹුණු බවය.

“මම වැක්සීන් එක ගන්නේ නැහැ කියලා තීරණය කළා. මේකේ සයිඩ් ඉෆෙක්ට්ස් සෑහෙන තියෙනවා කියලා මට දැනගන්න ලැබුණා. විශේෂයෙන්ම වඳභාවය ඇති වෙනවා වගේ දේවල්. මම වැඩ කරන්නේ සෞඛ්‍ය අංශයේ. ළඟදී විවාහ වෙන්න ඉන්න නිසා මට ඇත්තටම බය හිතුණා,” කොළඹ රජයේ රෝහලක රැකියාවේ නිරත 24 හැවිදිරි කාන්තාවක් පැවසීය. ඇය සිය නම හෙළි නොකරන ලෙස ඉල්ලා සිටියාය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ කෝවිඩ් එන්නත සම්බන්ධයෙන් සමාජයේ පැතිරී ඇති මිත්‍යා මත පිළිබඳ බීබීසී සිංහල සේවයට සිය අදහස් දැක්වීය.

“කෝවිඩ්-19 එන්නත් හා සම්බන්ධ මිථ්‍යාවන් බොහෝමයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ව්‍යාප්ත වී ඇති බව පෙනෙනවා.

සමහරු මිත්‍යාවන් පතුරවන්නේ එන්නත් පිළිබඳ අවබෝධයක් නැති නිසායි. නමුත් සමහරු මිත්‍යා මත පතුරන්නේ එන්නත ගැන අනවශ්‍ය බියක් ඇති කරවීමට හෝ එන්නත් කිරීමේ වැඩසටහන් කඩාකප්පල් කිරීමේ චේතනාවෙන්. මම හිතන්නේ සමහර පුද්ගලයින් මේ වගේ මිත්‍යා මත පතුරන්නේ එයින් එන්නත් කිරීමේ වැඩසටහනට සිදුවන හානිය ගැන සිතා බලලා නෙමෙයි,” මහාචාර්යවරිය පැවසීය.

මිත්‍යාවක්!

වැදෑමහ වර්ධනය සඳහා අවශ්‍ය ප්‍රෝටීන එන්නතේ අඩංගු නිසා එයින් සරුභාවයට තර්ජන එල්ල වන බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ව්‍යාජ තොරතුරක් සංසරණය වේ. එම ප්‍රෝටීන ඇතුළුවීමත් වීමත් සමග ප්‍රතික්‍රියා දක්වන ශරීරය වැදෑමහට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරන බවට එම පුවත්වල වැඩිදුරටත් සඳහන් වේ.

Coronavirus vaccine myths

මෙය අසත්‍යය තොරතුරකි. එන්නතෙහි ඇති ප්‍රෝටීන වැදෑමහ වර්ධනය සඳහා අවශ්‍ය ප්‍රෝටීනවලට යම් තරමක් සමාන වන නමුත් එය ශරීරය ව්‍යාකූල කිරීමට තරම් ප්‍රමාණවත් නොවේ.

එන්නත පුද්ගලයෙකුගේ සරුභාවයට බලපාන බවට “පිළිගත හැකි ජීව විද්‍යාත්මක යාන්ත්‍රණයක්” නොමැති බව ලන්ඩන් කිංග්ස් විද්‍යාලයේ ප්‍රසව හා නාරිවේද පිළිබඳ මහාචාර්ය සහ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ රාජකීය විද්‍යාලයේ ප්‍රකාශක මහාචාර්ය ලුසි චැපල් පැවසීය.

වෛරසයේ වඩාත් සුවිශේෂී කොටස් වටා එන්නත නිර්මාණය කර ඇත්තේ එය ශරීරයට ඇතුළු වූ පසු වෛරසය පමණක් හඳුනා ගැනීම තහවුරු කිරීම සඳහාය.

මහාචාර්ය ලුසි චැපල් පවසන්නේ, අදාළ ප්‍රෝටීනවල යම් සමානකම් ඇති නමුත් එයින් “කිසිවක් අදහස් නොකෙරෙන” බවය. සොබාදහමේ විවිධ ස්ථානවල ද සමාන ප්‍රෝටීන විශාල ප්‍රමාණයක් පවතින අතර, ඒවායේ ප්‍රමාණය සහ අනුක්‍රමය අනුව සුවිශේෂී තත්ත්වයක් ලැබෙන බව ඇය පැවසීය.

“පදනම් විරහිතයි”

“කෝවිඩ්-19 එන්නතේ නිෂ්පාදනය වාර්තාගත වේගයකින් සිදු වුණා. මෙය සිදු කරන්න පුළුවන් වුණේ විද්‍යාඥයන්, තීරණ ගැනීමේ ආයතන, රජයන්, අරමුදල් සම්පාදකයින් සහ එන්නත නිෂ්පාදකයින්ගේ කැපවීමේ එකතුවකින්.

කෝවිඩ්-19 නිසා ඇති වූ විනාශය නිසා ලෝකයේ පළමු වතාවට සෑම දෙනාම එක් හේතුවක් සඳහා වැඩ කිරීමට එකට එකතු වුණා” යැයි නීලිකා මලවිගේ පැවසීය.

“කෝවිඩ්-19 ජය ගැනීමට එන්නත වේගයෙන් සංවර්ධනය කළත්, එන්නතේ ආරක්ෂාව සම්බන්ධයෙන් කෙටි මං භාවිත කරලා නැහැ.

Coronavirus vaccine myths
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ

නියාමන ආයතන නිරීක්ෂණය කරන වැදගත්ම අංගයත් එන්නතේ ආරක්ෂාවයි. ආසාදනය වීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය සම්පන්න පුද්ගලයින්ටත් එන්නත් ලබා දෙනවා. දැනට අනුමත වී ඇති කෝවිඩ්-19 එන්නත්වලින් වඳභාවය ඇති විය හැකියි කියන දේ මිත්‍යාවක්. ඒක කිසිසේත්ම විශ්වාස කරන්න බැහැ.

යම් පුද්ගලයෙක් එවැනි කතාවක් හැදුවේ කොහොම ද කියන එක වටහා ගන්න අපහසුයි. එය නියත වශයෙන්ම පදනම් විරහිත සහ සත්‍යතාවයක් නොමැති දෙයක්,” මහාචාර්යවරිය තවදුරටත් කරුණු පැහැදිලි කළාය.

එන්නත ක්‍රියාත්මක වන්නේ කෙසේ ද?

කොරෝනාවෛරසයේ සුවිශේෂී “උල් හැඩති කොටසේ” කුඩා සහ හානිකර නොවන කැබැල්ලක් නිෂ්පාදනය කිරීමට ඉඩ සලසමින් ශරීරය වෙත ‘සැලැස්මක්’ යැවීම මෙම එන්නත ක්‍රියාකාරී වීමෙන් සිදු වේ.

මෙමගින් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාශීලී වීමට පොළඹවන අතර, වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රතිදේහ සහ සුදු රුධිරාණු නිපදවයි. එමෙන්ම වෛරසය නැවත හමු වුවහොත් එය හඳුනා ගනී.

මෙයින් ඔබට වෛරසය ලබා නොදෙන අතර, ජානමය තොරතුරුවලට බලපෑම් එල්ල කිරීමේ ක්‍රමයක් ද නොමැත.

“පණිවිඩකරුවෙකු ලෙස ක්‍රියාකරන මෙම අංශුවල” පැවැත්ම අතිශයින්ම කෙටිකාලීනය. ඒවා ශරීරයට පණිවුඩය ලබා දුන් පසුව විනාශ වේ. විශේෂයෙන්ම ෆයිසර් එන්නත ඉතා ප්‍රවේසමෙන් ගබඩා කළ යුත්තේ ද මේ හේතුවෙනි. එන්නතේ අඩංගු ජානමය ද්‍රව්‍ය විනාශ වී ඉතා පහසුවෙන් නිෂ්ඵල වීමට ඉඩ ඇත.

ලීඩ්ස් විශ්ව විද්‍යාලයේ වෛරස් විද්‍යා මහාචාර්ය නිකොලා ස්ටෝන්හවුස් පැවසුවේ ඉහත ක්‍රියාදාමය ප්‍රජනන සෞඛ්‍යයට බලපෑමක් ඇති කළ හැකි යැයි සිතිය නොහැකි බවය.

Coronavirus vaccine myths
සමහරු මිත්‍යාවන් පතුරවන්නේ එන්නත් පිළිබඳ අවබෝධයක් නැති නිසායි”

“මට මැසේජස් ආවා වැක්සීන් එක ගන්න එක හොඳ නැහැ කියලා තරුණ අයට. මම දන්නවා බොරු දේවල් පැතිරෙනවා කියලා. නමුත් හිතේ මහා බයක් ඇති වුණා. ඒක නිසා ගත්තේ නැහැ. මම සෞඛ්‍ය අංශයේ වැඩ කරන්නේ. මාත් එක්ක හිටිය තරුණ ගැහැණු පිරිමි ගොඩක් මේ විදිහට ප්‍රතික්ෂේප කළා. අපිට කළමනාකාරීත්වයෙන් පෞද්ගලිකව ඉල්ලීම් කළා. අනික් අය සෑහෙන බැන්නා ආත්මාර්ථකාමී අය කියලා. ඒත් හිතේ බය ඔය ඔක්කොටම වැඩියි,” යැයි තවත් රජයේ රෝහලක 28 හැවිදිරි සේවිකාවක පැවසුවාය.

ඇය මෙම මිත්‍යා මතය දැඩි ලෙස විශ්වාස කරන බව කතා බහේ දී හැඟුණි.

සාක්ෂි මොනවා ද?

එන්නත සරුභාවය කෙරෙහි බලපෑමක් ඇති කළ හැකිද යන්න “නොදන්නා” බව සඳහන් කරන ලද එක්සත් රාජධානියේ රජය ප්‍රකාශයට පත් කළ වාර්තාවක් ද වට්ස් ඇප් සහ ෆේස්බුක්වල සංසරණය වේ. මෙය එන්නත සොයාගත් මුල් කාලයේ ප්‍රකාශයට පත් වූවකි. පසුව එය යාවත්කාලීන කර තිබෙන අතර, ප්‍රජනන පදධතියට කිසිදු හානිකර බලපෑමක් සත්ත්ව අධ්‍යයනයන් මගින් නොපෙන්වන බව සඳහන් කර තිබේ.

මෙම ව්‍යාකූලත්වයට තවත් එක් හේතුවක් වන්නේ විද්‍යාඥයන් කරුණු විස්තර කරන ආකාරය සහ එදිනෙදා ජීවිතයේදී අප බොහෝ දෙනා ඒවා තේරුම් ගැනීම අතර වෙනසය.

විද්‍යාඥයන් “කිසිදු සාක්ෂියක් නොමැති” යැයි පවසන විට ඔවුන් අදහස් කරන්නේ මෙම විශේෂිත එන්නත පිළිබඳ දීර්ඝ කාලීන අධ්‍යයනයක් කර නොමැති බවය. නමුත් මේ ගැන කිසිදු තොරතුරක් නොමැත යන්න එයින් අදහස් නොවේ.

උණ රෝගයට ලබා දෙන එන්නත ඇතුළු අනෙකුත් සජීවී නොවන වෛරස් එන්නත්වලින් සරුභාවය කෙරෙහි කිසිදු බලපෑමක් නොමැති බවත්, ඒවා සම්පූර්ණයෙන්ම ආරක්ෂිත බව සහ ගර්භණී සමයේදී පවා භාවිත කිරීමට නිර්දේශ කරන බව මහාචාර්ය ලුසි චැපල් පැවසීය

Recommended For You

About the Author: Thusal