Voice of දියවන්නා : පාස්කු කොමිසමේ නිර්දේශ ගැන ජනපති ස්ථාවරය

සටහන – ගජබා නාගහවත්ත

යහපාලන ආණ්ඩුව සමයේ සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජනාධිපති කොමිසමක් පත් කලේ ද යහපාලන ආණ්ඩුවමය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත්කල පාස්කු කොමිසමේ වාර්තාව වත්මන් ජනාධිපති ගොඨාභයට ලැබුනේ මීට සති දෙකකට පමණ පෙරය.

මේ කොමිසම සිය වාර්තාව ජනාධිපතිවරයාට භාරදුන් සතියේ පැවති කැබිනට් මණ්ඩලයේදි ජනාධිපති ගොඨාභය කිවේ.

‘‘මේ වාර්ථාව ආන්දොලනාත්මක එකක්. ඒවායේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න ගියාම නොයෙකුත් ගැටලු මතුවේවි. නමුත් ඒවා ක්‍රියාත්මක කරන්න වෙනවා….“ කියාය.

ඒ අනුව ඒ වාර්ථාව ඉතා ඉක්මණින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ඔහු කිවේය. පසුගිය සදුදා පාස්කු කොමිසන් වාර්ථාව කැබිනට් මණ්ඩයට ඉදිරිපත් කෙරුණේ ඒ අනුවය.

ඒ අතරතුර ජනාධිපතිවරයා තවත් කමිටුවක් දැම්මේය. ඒ පාස්කු කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කල යුතු ආකාරය පිළිබද සොයා බැලීම සදහාය. ඒ කමිටුවේ සභාපතිවරයා වුයේ ඇමති චමල්ය. උදය, ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ හා රෝහිත මේ කමිටුවේ සෙසු සාමාජිකයන් වුහ.

පසුගිය සදුදා කැබිනට් රැස්වීමට පෙර ජනාධිපතිවරයා පත්කල මේ කමිටුවේ පලමු රැස්වීම පැවැත්වුනේ ජනාධිපති ලේකම් කාර්යාලයේදිය. ඒ සවස 3.00 ට පමණය.  කමිටු නියෝජිතයෝ පාස්කු කොමිසමේ වාර්ථාව ක්‍රියාත්මක කිරීමට ගත යුතු පියවර පිළිබදව මෙහිදි සාකච්ඡා කළහ. ඉතා ඉක්මනීන් සිය නිරීක්ෂණ ජනාධිපතිවරයා භාරදීමටද ඔවුහු තීරණය කළහ සදුදා කැබිනට් මණ්ඩලයේ රැස්වීම පැවැත්වුනේ සවස 5.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. ඊට පාස්කු කොමිසමේ වාර්ථාව ඉදිරිපත් කලේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂය.

‘‘මේ කොමිසම පත්කලේ අපි නෙවෙයි. මේ කොමිසම පසුගිය රජය විසින් පත්කල කොමිසමක්. අපි එහි කාලය දිර්ඝ කරමින් එය ඉදිරියට ගෙනයාමට කටයුතු කළා. කොමිසමේ වාර්තාව මා වෙත ලැබුණට පස්සේ එහි නිර්දේශ ක්‍රියාත්මක කල යුතු ආකාරය නැවත සොයා බලන්නයි. මම චමල් ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කලේ. නැතිව ඒ නිර්දේශ වෙනස් කරන්න නෙවෙයි.“  ජනාධිපතිවරයා මෙහිදි පැහැදිලි කලේය.

‘‘මේ කොමිෂන් වාර්ථාව හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපි කටයුතු කරනවා. ඒ වගේම ඉදිරි ක්‍රියාමාර්ගත් ගන්නවා.“  ජනාධිපතිවරයා කිවේය.

ඒ අනුව පසුගිය පාස්කු වාර්ථාව කථානායකවරයාට භාරදීමට ජනාධිපතිවරයා කටයුතු කළ අතර එය මුද්‍රණය කර බ්‍රහස්පතින්දා වන විට සියලු මන්ත්‍රීවරුන්ට බෙදා දෙන බව කථානායකවරයා කිවේය. එතෙක් මන්ත්‍රීවරුන්ගේ පරිශීලනය සදහා එහි සිංහල, දෙමළ, ඉංග්‍රීසි වාර්ථා පාර්ලිමේන්තු පුස්තකාලයේ තබා තිබිණි.

විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු පුස්තකාලයට එම වාර්ථාව පරිශීලනය කරනු දක්නට ලැබිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මෙම වාර්තාව බලනු දුටු ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරයෙකු කිවේ. “නම තියෙනවාද කියල හොයනවා“  කියාය.

සංචාරක කාර්ය සාධක බලකායේ පලමු රැස්වීම පසුගිය අගහරුවාදා (23) රැස්වුයේ ඇමති ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙනි. මේ වසරේ සංචාරක ව්‍යාපාරය විසින් සපුරාගත යුතු ඉලක්ක මේ රැස්වීමට ඉදිරිපත් කර තිබුනේ මහ බැංකු නියෝජිතයන් විසිනි.

‘‘ඔබතුමන්ලා ඉලක්ක හදනවා වගේ මේ ක්ෂේත්‍රයේ ඉන්න මිනිසුන්ගේ ප්‍රශ්ණ ටිකටත් උත්තර දෙන්න. ඩ්‍රයිවර්ස්ලාට සංචාරක වාහන හිමියන්ට අපි ලීසිං සහන දුන්නා. සමහර මුල්‍ය ආයතන ඒවා දීලා නෑ. සහන දුන්න කාලයට අමතර පොලියකුත් දැන් එකතුකරනවාලු. ඇයි මේවාට මැදිහත් නොවන්නේ ඉලක්ක දෙනවා වගේම මේවාත් බලන්න දැඩි ලෙස කිවේය.

‘‘මේ ගැන අපි සාකච්ඡා කලා. ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා.“     මුදල් අමාත්‍යාංශයේ නිලධාරීයෙකු වහා කිවේය.

‘‘සාකච්ඡා කරලා විතරක් වැඩක් නෑ. මේකට ප්‍රායෝගිකව විසදුමක් දෙන්න. මේ ක්ෂේත්‍රයේ අය කවදාවත් ආණ්ඩුවට බරක් වුනු අය නෙවෙයි. මේ වෙනකොට ඔවුන් පත්වෙලා ඉන්න තත්වය අනුවයි මේ අය සහන ඉල්ලන්නේ. ආණ්ඩුව දුන්නු සහනයවත් මේ අයට දෙන්න බැරිනම් ඇති වැඩේ මොකක්ද? ඒ නිසා වහාම මේ තත්වය නිවැරදි කරන්න.“    ප්‍රසන්න උපදෙස් දුන්නේය.

පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් පසුගිය අගහරුවාදා සවස දිවයිනට පැමිණියේය. කටුනායක ගුවන්තොටුපලේදි ඔහුව පිලිගත්තේ අගමැති මහින්දයි. ආණ්ඩුවේ මැති ඇමතිවරුන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. පාකිස්තානු අගමැතිවරයා සහ ශ්‍රී ලංකා අගමැතිවරයා අතර ද්වපාර්ශවික සාකච්ඡා පැවතුනේ අරලියගහ මන්දිරයේදියි. එහිදි අගමැති මහින්ද තමන් සමග සිටින අමාත්‍යවරුන් පාකිස්තානු අගමැතිවරයාට හදුන්වා දුන්නේය.

‘‘මේ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග හිටපු ක්‍රිකට් නායක රණතුංගගේ සොහොයුරා“   අගමැති මහින්ද ප්‍රසන්න ඉම්රාන්ට හදුන්වාදෙමින් කිවේය.

“ආ…. මට දෙදෙනාගේ සමාන කම් පෙනුනා“    පාකිස්තානු අගමැතිවරයා ප්‍රසන්න දෙස බලමින් කිවේය.

Recommended For You

About the Author: Thusal